
අපි විදී දිගේ ඇවිද ගියෙමු. වැසි පොදක් නොවැටී තිබූ කාෂ්ටක අව්වේ ගිනි මද්දහනේ දූවිලි විමානේ, මුදල් පැළකර එවලේම අස්වනු නෙළනා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට අපි ඇවිද ගියෙමු. රටේ කොයි අස්සටත් ඕනෑම බඩුවක් පැටවෙන වැඩිම විවිධත්වයෙන් යුත් වෙළෙඳාම් සිදුවෙන “ඒරියල්” එක මෙය යැයි කිවහොත් ඊට වෙනත් විස්තර අවශ්‍ය නැත. කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වැටී ඇති මල්වත්ත පාර දිගේ කෙළවරටම අපි ඇවිද ගියෙමු. අපගේ කතාවට උවමනා වූ එම අටුවාටීකා පිළිබඳව වූ සේයාවක් අප දුටුවේ මල්වත්ත පාර කෙළවරෙනි.
“බබාගේ විනෝදේ... බබාගේ විනෝදේ... ස්පයිඩර් මෑන් පුංචි රුපියල් සීයයි.”
“බල බලා යන්න එපා එන්න එන්න අරාන්... යන්න... අරාන්... අ යන්න... බබාගේ විනෝදේ... බබාගේ විනෝදේ...”
මල්වත්ත පාර කෙළවරටම වන්න තිබූ ඒ සෙල්ලම් බඩු ලෑල්ල ළඟට අපි කිට්ටු වූයේ සෙල්ලම් බඩු වෙළෙදාමෙහි ඇතුළේ කතාව සොයා ගෙනයි.
අවුරුදු 35ක්ම මේ කොළඹ බජාර් එකේ ඔට්ටු වෙමින් මේ වනවිට සෙල්ලම් බඩු තට්ටුවක් දමාගෙන සිටිනා ඔහු රිස්වාන්ය. කොළඹ කොටුවේ තිබෙනා ඕනෑම අස්සක් මුල්ලක් දන්නා ඔහු දේශයේ අපත් සමඟ සිය වෙළෙඳාම ගැන මෙසේ කතා කළේය.
“මම මේ කොළඹ බිස්නස් කරන්න ඇවිල්ලා දැන් අවුරුදු 35ක් වෙනවා. රෙදි, ටොෆි, චොක්ලට්, පළතුරු මේ වගේ අයිටම් හැම එකක්ම මම විකුණලා තියනවා. දැන් අවුරුදු පහ හයක් තමයි මේ විදිහට සෙල්ලම් බඩු තට්ටුවක් දාගෙන ෂේප් එකේ එන ගාණක් කපාගෙන ඉන්නේ. ඒත් ඉතින් දෙසැම්බර් මාසේ තමයි හොඳටම බිස්නස් එක තියෙන්නේ. අනිත් කාලවල නම් මහ ලොකු බිස්නස් එකක් නැහැ. සමහරැ දැක්කොත් අරගෙන යනවා සමහරැ නම් මේ පැත්කවත් බලන්නේ නෑ. නොදැක්කා වගේ යන්න යනවා.”
“කොහෙන්ද මේවා ගේන්නෙ? බිස්නස් එහෙම තියනවද?” රිස්වාන් සිය කතාව කරගෙන යන අතරතුර ඔහුට බාධා කරමින් අපි පැනයක් ඇසුවෙමු.
“මෙහෙමයි බිස්නස් නැහැ කියන්නත් බෑ. ඒ වුණාට කලින් තිබ්බ තරම් ලොකුවට බිස්නස් එකක් නැහැ. මේ බඩු ඔක්කොම චීනයෙන් තමයි ගෙන්නේ. අපි බසාර් එකෙන් ගන්නවා මහ ලොකු ලාබයක් නැහැ. කෑල්ලකින් රුපියල් 10ක් විතර තමයි තියෙන්නේ. අනික ඉතින් ලොකු ලොකු අයිටම් අපි ළඟ නැහැ. මේ වගේ පොඩි අයිටම් එකක් දෙකක් තමයි අපි කරගෙන යන්නේ. අනික ඉතින් මිනිස්සු මෙච්චර ඇතුළට බඩුගන්න එන්නේ නැහැනේ. ඒ වුණාට අපිට තට්ටුව දීලා තියෙන්නේ මෙතන. බිස්නස් හොඳ තැනක අපිට තට්ටු දාන්න දෙනවා නම් මීට වඩා හොඳයි.”
රිස්වාන්ගෙන් තොරතුරු අසා දැන ගත් අප ඔහුගෙන් සමුගෙන පළමු හරස් වීදිය දෙසට හැරී ගමන් කළෙමු.
පළමු හරස් වීදියේ මඳක් දුර යනවිට තිබූ සෙල්ලම් බඩු කරත්තයක් අසල නැවතී ඔහුගෙන් ද මෙම වෙළෙදාමෙහි විස්තර ගැන විමසීමක් කළෙමු.
ඔහු ෆාරිස් මොහමඩ් නම් විය.
“එහෙම ඉතින් ලොකු විස්තරයක් ගැන කියන්න නැහැ. බිස්නස් ඒ තරම් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මිනිස්සු පොඩි අය එක්කගෙන ආවොත් ඒ අයගේ වදෙන් බේරෙන්න බැරිම වුණොත් අරන් දෙනවා නැත්නම් එහෙම නැහැ. අනික ඉතින් මේ වගේ අස්සවල්වලට කවුරුවත් එන්නේ නැහැනේ. මේක පාර අයිනෙන් තිබුණා නම් තව ටිකක් මේ බිස්නස් එක කරගන්න තිබුණා. නමුත් ඒකට ඉතින් චාන්ස් එකක් නැහැ. හැමෝම කියනවා මේ පේමන්ට් එකේ විකුණන්නේ බාල බඩු බාල බඩු කියලා. ඔය ඉතින් මිනිස්සු කියන කතානේ. මේවා චීනෙන් ගේන්නේ. ලොකු ලොකු ෂොප්වල තියන ඒවත් ඔය චීනෙන්ම තමයි ගේන්නේ. ඒ අය ගේන්නේ ලොකු ගණන්වලට අපි ගේන්නේ පොඩි මිනිහ. ඒකයි වෙනස තියෙන්නේ.”
සිය වෙළෙදාම ගැන දුකක් මුසු මුහුණෙන් යුතුව කතාකළ ෆාරිස්ගෙන් සමුගෙන අපි ඉදිරියට ඇවිද ගියෙමු.
බලන බලනා සෑම අතම වෙළෙන්ඳන් කුමක් හෝ වෙළෙඳාමක නිරතව සිටිනා අතර නාට්ටාමිවරුන්ගේ සයිඩ් සයිඩ් හඬද, වාහන නළා ශබ්ද වෙළෙන්දන්ගේ හඬද මහා ඝෝෂාවක් වූ කොළඹ කොටුව ගාලගෝට්ටියක් බදුවිය.
කතාවෙන් කතාව ගමන් ගත් අපි නැවත සෙල්ලම් බඩු තට්ටුවක සේයාරුවක් ප්‍රධාන වීදියෙන් දුටුවෙමු. අපි ඒදෙසට ඇවිද ගියෙමු.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ෆඩිඝාල් එම සෙල්ලම් බඩු තට්ටුවෙහි හිමිකරු විය. ඔහු මෙම වෙළෙඳාම සම්බන්ධව අපට පැවසුවේ වෙනස්ම ආකාරයේ වූ කතාවකි.
“දැන් නම් ගොඩාක් අය පොඩි ළමයින්ට එහෙම මේ අපේ තට්ටුවලින් සෙල්ලම් බඩු අරගෙන දෙන්නේ නැහැ. ඇයි පසුගිය කාලේ සෙල්ලම් බඩුවලින් පිළිකා හැදෙනවා කියලා රාවයක් ගියානේ. ඒක නිසා ඉස්සර මේ දිගටම සෙල්ලම් බඩු තට්ටු තිබුණා. බිස්නස් බැහැගෙන එනකොට ඒ හැමෝම මේ බිස්නස් එකෙන් අයින් වෙලා වෙන වෙන ඒවා කරන්න ගත්තා. මේවා චීනයෙන් ගෙන්නන්නේ. ප්‍රමිතියක් නැති බඩුනම් මුලින් මේවා ගෙන්නන එක නතර කරන්න ඕන. එහෙම නැත්නම් පිළිකා කාරක පිළිකා කාරක කියලා හරියන්නේ නැහැ.”
කොළඹ කොටුව යනු එළැඹෙන සැම තත්පරයක්ම මහ පරිච්ඡේද ලියැවෙන අපූරු පොතකි. එහි ආවෝ ගියෝ සිදුකළ නොකළ කරණා කෝටි ගණනකි. එවැනි වටපිටාවක් ඇති පසුබිමක මොවුන් කරන්නේ තමන්ගේ ජීවිකාව සරිකර ගැනීමක් පමණි. ඔවුනට අවශ්‍ය ඒ පැනවලට විසඳුම් ලබා නොදෙනතාක් ඔවුනට මෙම වැටී තිබෙනා ආගාධයෙන් ගොඩඒමට තවත් කලාන්තරයක් බලා සිටීමට සිදුවනු ඇත.
හසිත් අංජන
සේයාරූ - සමන්ත විල්තෙර