
පරණ තාලයට කේන්දර බැලූ කාලය දැන් අවසන්... ඔබේ දෛවය ලියවී ඇත්තේ කෙසේද? අත බලා කම්පියුටරයෙන් ඔබේ දෛව චක්‍රය උරගා බලන්න, රුපියල් 100 යි, සීයට සීයක්ම නිවැරදි අනාවැකි පළකරන නක්ෂත්‍රකරුවන් දැන් ඔබේ ගමට... අදම පැමිණ වෙනස අත්විඳින්න...
සති අන්තයේ දිනයක් සටහන් කර තිබූ මෙම දැන්වීම ලියුම්කරුගේ නෙත ගැටුණේ කොළඹට දකුණින් පිහිටි නගරයකදීය.
මුළු නගරය පුරාවටම වූ ලයිට් කණු තාප්ප හා දැන්වීම් පුවරුවල අලවා තිබූ මෙම පෝස්ටර්යේ වගතුග සොයා බැලීමට ලියුම්කරුටද සිත් පහළ විය.
සති අන්ත දිනයක් වූ සෙනසුරාදා දිනක මෙහි විස්තර සොයා බැලීමට ගිය ලියුම්කරු දුටුවේ බස් නැවතුම කෙළවරට වන්නා වූ දිගු පෝලිමකි.
මැදි වියෙහි, තරුණ වියෙහි මෙන්ම, අතිරේක පන්තිවලට සහභාගී වීමට පැමිණි සිසු සිසුවියෝද මෙම පෝලිමට එක් වී සිටි අයුරු එම ස්ථානයට ගිය ලියුම්කරුට දැකගත හැකි විය.
මල්ලි මොකක්ද මෙතන වෙන්නේ?
අත බලලා සාස්තර කියනවලු කම්පියුටර් එකෙන්
ආහ් එහෙමද? ඔයත් සාස්තරයක් අහන්නද?
ඔව්. දන්නේ නැද්ද අයියේ ඊළඟ ක්ලාස් එකට ටිකක් වෙලා තියනවා. රුපියල් සීයනේ. නිකම් බලලා යන්න ආවා අපේ සෙට් එකක්ම
විනාඩි තිහක් වැනි කාලයක් එහි රැඳී සිටි ලියුම්කරැට බොහෝ දෙනකු පැමිණ සතුටින් හා සොම්නසින් පිටව යන අයුරු දැකගත හැකි විය.
මොවුන් විසින් මේ සිදුකරන දෛවය කම්පියුටරයෙන් පරීක්ෂා කරන අයුරු ගැන දැනගැනීමට පොටක් පෑදෙනතුරැ ලියුම්කරුට තවත් මඳ වේලාවක් බලාසිටීමට සිදු විය. ලියුම්කරුගේ බලාපොරොත්තු සපල කරමින් එම කණ්ඩායමේ පුද්ගලයකු ලියුම්කරුට හමුවූයේ එම ස්ථානයේ රැස්ව සිටි පුද්ගලයන් මඳක් ඉවත්ව ගිය පසුය.
මඳ වේලාවක් ඔහුත් සමඟ කතාබස් කරමින් සිටි ලියුම්කරු ඔහුගෙන් මෙම සේවාව පිළිබඳ අටුවාටිකා විමසුවේය.
තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමේ පදනම මත ඔහු ලියුම්කරු හා කතාවට එක් විය.
කොහොමද මෙහෙම අත බලලා කම්පියුටර් එකෙන් සාස්තර කියන්නේ?
ඒක මම හරියට දන්නේ නැහැ. අපිත් ඩේලිකලෙක්ෂන් එකට තමයි වැඩ කරන්නේ.
ඒ කියන්නේ ඔයා මේ අය එක්ක නෙවෙයිද ආවේ?
ආවේ මෙයාලා එක්ක. හැබැයි ඒ සිස්ටම් එක ගැන වැඩිය දන්නේ නැහැ. මම කරන්නේ එන අයගෙන් සල්ලි අරගෙන එයාලා ලියාපදිංචි කරන එක.
ඒ කියන්නේ මේ කම්පියුටර් එකෙන් කරන විදිය ඔයා දන්නේ නැහැ?
ටිකක් දන්නවා. මේක එන හැමෝගෙම අත බලලා අපි පොඩි ප්‍රින්ට් එකක් අරගෙන දෙනවා. ඒකේ තමයි විස්තරේ තියෙන්නේ.
ඒ ඒ බලන අයගේ විස්තරේමද තියෙන්නේ ඒකේ.
එහෙම කියලා නැහැ. අපි ඊට කලින් දහදෙනෙක්ගේ විතර කේන්දර අරගෙන විස්තරේ බලලා කම්පියුටර් එකට සේව් කරගන්නවා. එන හැමෝටම ඒක තමයි ප්‍රින්ට් කරලා දෙන්නේ එක එක්කෙනාට.
ඉතිං ඒ අය ආයේ එන්නේ නැද්ද වැරදියි කියලා.
අයියා අහලා තියනවද කේන්දර බලන්න ගිහින් ඒක වැරදියි කිව්වම ඒක අහල බණින මිනිස්සු නැහැනේ? සාස්තර අහන්න ගිහින් ඒක කියවුණේ නැති වුණාම බණින මිනිස්සු අහල තියනවද නැහැනේ? මේකත් ඒ වගේ තමයි. ප්‍රින්ට් එක අරගෙන යනවා. ඒකේ විස්තරේ ටයිප් කරලා තියනවා. එච්චරයි. එතනින් එහාට කවුරැත් මොනවත් අහන්නේ නැහැ.
කොච්චර කල් ඉඳන් මෙහෙම කරනවද?
ඒක නම් දන්නේ නැහැ. මම එන්නේ ඩේලිකලෙක්ෂන් එකට. අපිට කන්න දීලා දවසට එක්දහස් පන්සීයක් දෙනවා. මම මේ අය එක්ක වැඩ දහය දොළහකටම ගිහින් තියනවා. අද නම් එච්චර සෙනගක් නැහැ. ඒ වුණාට ගාණ ෂේප් ඇති.
වෙන තැන්වල මෙහෙම නෙවෙයි. මිනිස්සු පෝලිම උදේ හතට ආවොත් හවස හතර පහ වෙනකම් එකදිගට එක එක්කෙනා එනවා. මිනිස්සු කොච්චර මේ දේවල් විශ්වාස කරනවද කියලා පේනවනේ. හැබැයි මේ ඔක්කොම බොරු. කේන්දර දහයක විතර තියන කොපිවලින් තමයි ඔය ඔක්කොම ගේම ගහන්නේ.. අපි නම් මේවා දන්නේ නෑ. දන්න දේ තමයි කිව්වේ. නම කියන්න බැහැ කිව්වේ වෙන මොනවත් නිසා නෙවෙයි. ඒක ලීක් වුණොත් මේ ගාණ අපිට නැතුව යනවනේ ඒකයි.
පදික වේදිකාවේ කෙරෙන මගෝඩි ඕන තරම් අපට කනවැකී ඇත. මිනිසුන් ඒවාට මුලාවෙන අයුරුද අප ඕනෑ තරම් අසා ඇත. එහෙත් දෛවය පෙරටුකොටගෙන සිදුකරන මෙම සිදුවීම්ද මේ වන විට මහමඟට වැටී ඇත්තේ ජනතාව මුලාකරන්න තිබෙන හොඳම තැන ජනතාව ගැවසෙන පදික වේදිකාව බව ඔවුන් දන්නා බැවිනි.
බොරු සාස්තරකරුවන්ගෙන් මෙන්ම දෛවය පෙන්වා මිනිසුන් මුලාකරන නූල් සූස්තරකරැවන්ගෙන්ද බේරී සිටීම ජනතාවගේ අතේම ඇති වගකීමකි.
හසිත් අංජන