
1. තෙල් මිල, වැඩවර්ජන ඇතුළු රටේ සිදුවන සෑම ප්‍රශ්නයකදීම ආණ්ඩුව එකවර තීරණයක් ගන්න බැරිව දඟලන්නේ ඇයි?
2. ආණ්ඩුව ඡන්ද කල්දාන්නෙ මුහුණදෙන්න බැරිකම නිසා කියලා විපක්ෂය විසින් ආණ්ඩුවට බරපතළ චෝදනාවක් එල්ල කරනවා. මේක ඇත්තද?
3. මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන්න තරම් තත්ත්වය දරුණුවෙලා තියෙනවා. ආණ්ඩුව මේ කුඩු ප්‍රශ්නය මේ තරම් දරුණු වෙනකම් කිසිම පියවරක් ගත්තෙ නැද්ද?
4. ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේදී 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න අවශ්‍ය පදනම දැන් සකස් කරලා තියෙනවා කියලා අගමැතිවරයා පැවසුවා. මේක කරන්න පුළුවන් දෙයක්ද?
ඒ කාලෙ කුඩු ඇල්ලුවේ නෑ: දැන් අල්ලනවා
කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.ඩී. අලවතුවල
1. තීරණ ගන්න බැරි කිසිම ප්‍රමාදවීමක් ආණ්ඩුවේ නැහැ. අපි යම් දෙයක් පිළිබඳ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරලා තමයි තීරණ ගන්නෙ. ඒ නිසා තමයි ප්‍රමාද වෙනවා නම් ප්‍රමාද වෙන්නෙ. කෙසේ වෙතත් රටේ ජනතාවට ප්‍රශ්නයක් නොවන විදියට තීන්දු ගැනීමක් රජය සිදුකරනවා.
2. අපේ යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් තමයි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියන එක පළාත් පාලන මැතිවරණ ක්‍රමය අපි වෙනස් කළා. සීමානිර්ණ කටයුතු අනුව තමයි ඒක. ප්‍රමාද වුණේ. පළාත් සභා ඡන්ද ක්‍රමයෙත් ඒවා වෙනස් කරලා තියෙනවා. සීමානිර්ණ කටයුතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව අනුමත කළාට පස්සෙ තමයි මේක කරන්න වෙන්නෙ. අලුත් ඡන්ද ක්‍රමය නිසා තමයි මැතිවරණ තියන්න ටිකක් ප්‍රමාද වෙන්නෙ.
3. අපි කුඩු අල්ලනවා. ලංකාවේ ගොඩබිමෙන් අහුවුණු විශාලම මත්කුඩු තොගයත් අපේ රජය යටතේ අත්අඩංගුවට ගත්තා. ඒ නිසා මේවා ජනතාව දැන් දන්නවා. පහුගිය කාලයේ කුඩු අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නැහැ. ඒ නිසා ජනතාව ඒවා දන්නෙ නැහැ. අපි අත්අඩංගුවට ගත්ත නිසා තමයි ජනතාව මේවා දන්නෙ.
4. අපි පහළ ආදායම් ලබන රටක් බවට තමයි පත්වෙලා හිටියේ. දැන් අපි මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙලා ඉන්නවා. මේක ක්‍රමක්‍රමයෙන් සිද්ධවෙන්නෙ. ජනතාවගේ ඒකපුද්ගල ආදායම ඉහළ දාන්න තමයි අපි මේ සියලුම දේවල් කරන්නෙ. ඉදිරියට ජනතාවට දැකගන්න පුළුවන් වෙයි මේ රටේ සංවර්ධනය කොහොමද කියලා.
අපේ කාලේ රට කුඩු තිප්පොළක් කිව්වා දැන් කොහොමද වැඩේ?
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර - ඒකාබද්ධ විපක්ෂය
1. දෙන්නෙක් එක්ක රට පාලනය කරන්න ගියාම එක්කෙනෙක්ට කිව්වේ නැහැ, අනිත් කෙනාට කිව්වේ නැහැ කියලා කියනවා. එහෙම තීන්දුවක් ගන්න අමාරුයි. දැන් තෙල් මිලට වුණේ ඒක. ඉතින් ඒකෙන්ම පේනවා මේ දෙන්නා වැඩ කරන්නෙ ඒ දෙන්නට ඕන විදියට. ඒක නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ. අපේ ආණ්ඩු කාලයේ සියලුදෙනා එක්ක කතා කරලා තීන්දු ගත්තා. නමුත් මේ ආණ්ඩුවට හැමෝම එක්ක කතා කරලත් තීන්දු දෙන්න බැහැ.
2. ගිය අවුරුද්දෙ අයවැය වෙලාවේ සහන දෙනවා කිව්වා, රස්සා දෙනවා කිව්වා. එහෙම කරලා ඡන්දය තිබ්බා. මොකද වුණේ? යූ.එන්.පී. එකයි ශ්‍රීලනිපයයි අන්ත ලෙස පරාජය වුණා. මම පාර්ලිමේන්තුවේදී පැවසුවා ඔය කියන සියලු සංවර්ධන වැඩ කරලා සබරගමුවේ විතරක් ඡන්දය තියන්න කියලා. නමුත් ආණ්ඩුවේ කවුරුත් ඒ අභියෝගය බාරගත්තෙ නැහැ. ඒ කියන්නෙ මේ ආණ්ඩුව ඡන්දයකට යන්න බයයි.
3. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දීම කිව්වා ආසියාවේ ලොකුම කුඩු තිප්පොළ ලංකාවේ කියලා. නමුත් දැන් ගොඩබිමෙන් අහුවුණු ලොකුම කුඩු තොගය හම්බවෙලා තියෙනවා. හැමදාම කුඩු අහුවෙනවා. මේ කුඩු නැති කරනවා කියලා ආණ්ඩුව ආවේ. නමුත් ආපු දවසේ ඉඳලා කුඩු වැඩිවෙලා තියෙනවා. මේ කුඩු ජාවාරම්කාරයෝ බන්ධනාගාර ඇතුළේ ඉඳන් මේ ජාවාරම මෙහෙයවන්නෙ. මේ අක්කර 20 ක් තියෙන බන්ධනාගාරේ ඇතුළේ ඉඳන් කෙරෙන කුඩු ජාවාරම නවත්වන්න බැරුව රටක් ඇතුළේ තියෙන කුඩු ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයිද? බැහැනේ.
4. මහජන ඡන්දයෙන් මේ රටේ තවමත් ජනපති වෙන්න බැරිවුණු නායකයෙක්, තව අවුරුදු එකහමාරකින් ගෙදර යන්න ඉන්න අයෙක් කොහොමද මේ ඉදිරියට වෙන වැඩ කටයුතු තීරණය කරන්නෙ.
මේ ආණ්ඩුව පාණ්ඩුවක් ඉතින් කොහොමද තීන්දු ගන්නේ?
කළුතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස
1. මේ ආණ්ඩුවේ උපන් ගෙයි දෝස තමයි කෙළින් තීන්දු ගන්න බැරිවීම, තීන්දු වෙනස් කිරීම සහ අස්ථාවරත්වය. එය හවුල් ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා තියෙනවා. මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂයකිනුත් අගමැති තව පක්ෂයකිනුත් පත්වුණු නිසා නෙවෙයි මේකෙ අවුල තියෙන්නෙ. ඔවුන්ගේ තිබෙන යටිකූට්ටු දේශපාලන අරමුණු නිසා මේක පවත්වාගෙන යන්න බැරිවීම. ඉතින් මේ සියලු කාරණා එකතු වුණාට පස්සෙ කාටත් පේනවා ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක් තියෙන්නෙ කියලා.
2. ඔව්. පළාත් සභා ඡන්දය මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වෙනකොට පවත්වනවා කියලා තමයි ආණ්ඩුව මුලින් කිව්වේ. ඒ සඳහා වන සීමානිර්ණය වාර්තාව සකස් කරලා අවසන් කළා. එහි අඩුපාඩු තිබුණා නම් එය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත යුතුව තිබුණා. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙ ආණ්ඩුව දිගින් දිගටම හිටියේ ඡන්ද කල්දාන ස්ථාවරයක. ඒක නිසා තමයි මේ ඡන්ද කල් යන්නෙ.
3. මේක නම් කලින් ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට ලැබුණු දායාදයක්. විශේෂයෙන් 2010න් පස්සෙ මේ රට ආසියාවේ කුඩු තිප්පොළක් බවට පත්වුණා. ඒ මත්කුඩු බෙදාහරින කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්වෙලා තියෙනවා. මේ වෙනකොටත් පහුගිය කාලයේ මේ ජාවාරම කළේ ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ දේශපාලකයන් සහ පාතාල කණ්ඩායම්. අදත් අඩු වැඩි ලෙස ඒක වෙනවා. ඒ නිසා මේ කවර ආණ්ඩුවකටවත් මත්කුඩු ජාවාරම මර්දනය කරන්නත් බැහැ වගේම ඒකට වුවමනාවකුත් නැහැ.
4. ඔය ඉලක්කම් වෙනස්කම් සහිතව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාමත් 1977 කිව්වා. එහෙම කියලා තමයි විවෘත ආර්ථිකය ගෙනාවෙත් විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළෙත්. හැබැයි එහෙම කියලා අවුරුදු 40 ක් ගතවෙනකොට බෑණටත් කියන්න වෙලා තියෙනවා ඉලක්කම් වෙනස් කරලා ඒ කතාව. අද පරම්පරාවේ දේශපාලකයෝ හිතනවා ඔවුන්ගේ මේ කතාවලට යළිත් වතාවක් ජනතාව රැවටෙයි කියලා. නමුත් එහෙම වෙන්නෙ නැහැ.
රට අස්ථාවරයි: ආර්ථිකයත් ඉවරයි
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර
1. මේ ආණ්ඩුවේ නායකයෙක් නැහැ. ඒක තමයි 2015 ජනවාරි මස 08 වැනිදාට කළින් අපි අවධාරණය කළේ මේ හැදෙන්නෙ ආඩි හත්දෙනාගේ කැඳ හැලියක් කියලා. රට අස්ථාවර කරන එක තමයි මේකෙ පරමාර්ථය. දැන් මේ සිදුවෙමින් තියෙන්නෙ ඒක. දැන් මොවුන් රට අස්ථාවර කරලා ආර්ථිකය බිඳවට්ටවලා ඉවරයි.
2. ඉතාම පැහැදිලිවම සක්සුදක් සේ ඇත්තක්. පළාත් පාලන මැතිවරණය අවුරුදු 3 ක් කල් දැම්මා. පළාත් සභා 3 ක් දැන් මාස 9 ක් තිස්සෙ කල් ගිහින්. තව මාසයකින් දෙකකින් තවත් පළාත් සභා 3ක කාලය ඉවරවෙනවා. ආණ්ඩුව කොච්චර මැතිවරණවලට බයද කියනව නම් අද මැතිවරණ කොමසාරිස්ට වෙලා තියෙන්නෙ කතානායක හම්බවෙන්න. මැතිවරණ තියන්න කියලා අඬා වැළපෙන්න වෙලා තියෙනවා. රජය දෙනවා කිව්ව තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ.
3. පැහැදිලිවම නැහැ. ආණ්ඩුව මේ පාතාලයට, කුඩුවලට සහයක් දෙනවා. පාතාලය, කුඩු ජනතාවගේ ශබ්දකෝෂයට එකතු කළේ එජාපය. දැන් ජනවාරි 09න් පස්සෙ පාතාලය හිස ඔසවලා කුඩු ජාවාරම හිස ඔසවලා. මොවුන්ටත් මේක පාලනය කරන්න බැරිවෙලා තියෙනවා. ඉතින් යහපාලනය කියලා ආවේ යූ.එන්.පී ආණ්ඩුවක්. ඒකයි මෙහෙම දෙයක් රටට වෙලා තියෙන්නෙ.
4. 2050 වෙනකොට මේ රට ඉන්දියාවෙත් වහල් කොළනියක් බවට පත්වෙයි. යහපාලන නඩය තිබ්බොත් ඒ වෙනකොට මේ රට ආසියාවේ ඉතියෝපියාව බවට පත්වෙයි. රටට හොරෙන් තමයි මොවුන් ගිවිසුම් අත්සන් කරන්නෙ. ඒ තුළින් රටේ ආර්ථිකය කඩාවැටෙනවා. මෙහෙම ගියොත් ලංකාව ඉතියෝපියාවක් වන එක නවත්වන්න බැහැ.
ආණ්ඩුව හොඳ වැඩියි: ඒ නිසා ප්‍රශ්නත් වැඩියි
කම්කරු ජාතික පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්
1. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණ. එකපාරට තීරණ ගන්නෙ නැහැ. ඒ ඒ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා තමයි විසඳුම් සොයන්නෙ. හමුදා පාලනයක් තියෙනවා නම් තමයි ඒ වෙලාවෙම විසඳුම් දෙන්නෙ. මේ ආණ්ඩුවට ප්‍රශ්න එන්නෙ මේ ආණ්ඩුව හොඳ වැඩි නිසා.
2. ආණ්ඩුව ඡන්දවලට බය නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරු හෙට වුණත් ලෑස්තියි ඡන්දයකට මුහුණදෙන්න. මොකද, ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුත් මේ ඡන්ද තියන්නෙ නැතුව ගමට යන්න බැහැ කියනවා. ඒ නිසා කියන්නෙ යහපාලන ආණ්ඩුව ඡන්දවලට බය නැහැ.
3. මේ නීතිය කලින්ම ගේන්න තිබුණේ. මේක බෞද්ධ රටක් නිසා තමයි වැරදි කරන පුද්ගලයන්ට මරණ දඬුවම ගේන්න ප්‍රමාද කළේ. නමුත් දැන් ජනාධිපතිතුමා කියනවනේ මේකට අත්සන් කරනවා කියලා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් වෙන්නෙ රට විනාශවෙන එක.
4. එතුමා ඒක තමයි කරගෙන යන්නෙ. ඒක කරන්න එතුමාට ඉඩ දෙන්න ඕන. එතුමාගේ දැක්මක් තියෙනවා. නමුත් විපක්ෂයේ අය එතුමාට මේක කරන්න දෙන්නෙ නැහැ. මම දන්නවා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් එතුමාට විතරයි. රට ණය නොකර ඒක එතුමාට කරගෙන යන්න ඉඩදුන්න නම් ඒක එතුමා කරලා පෙන්නයි.
ඇතුළේ ප්‍රශ්න තියාගෙන ගියොත් කවදාවත් වැඩක් කරන්න බැරිවේවි
එක්සත් සාම සන්ධානයේ මහ ලේකම් හසන් අලී
1. හරියට සැලැස්මක් නැතිකම තමයි මේකට මූලික හේතුව වෙලා තියෙන්නෙ. ඒ වගේම රටේ ප්‍රධාන පක්ෂ දෙකක් තමයි ආණ්ඩුව කරගෙන යන්නෙ. යම්කිසි තීරණයක් ගැනීමේදී මොවුන්ගේ අතර ප්‍රශ්න ඇති. ඒවත් නිරාකරණය කරගෙන එපැයි තීරණ ගන්න. එනිසා ප්‍රමාද වෙනවත් ඇති. හැබැයි සැලැස්මක් නැති එක තමයි ප්‍රධාන හේතුව.
2. අනිවාර්යයෙන්ම ඒක ඇත්ත. වෙන හේතු නැහැනේ නැත්නම් ඡන්ද කල් දාන්න.
3. මේක අද ඊයෙක ඉඳන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් කාලයක ඉඳන් තියෙන ප්‍රශ්නයක්. මේක වර්ධනය වුණේ ව්‍යාප්ත වුණේ මෑත කාලයේදී. ආණ්ඩුව ඒක මැඩපවත්වන්න උත්සාහ ගනිමින් ඉන්නවා. නමුත් එකපාරට ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොම වුණත් මේ වගේ දඬුවම් ක්‍රියාත්මක වුණොත් මේක යම්තාක් දුරකට පාලනය වෙයි.
4. ඇතුළේ ප්‍රශ්න තියාගෙන මේ විදියට ආණ්ඩුව ගියොත් කවදාවත් මේක කරන්න ලැබෙන්නෙ නැහැ. මේ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන සිංහල, මුස්ලිම්, දමිළ ජනතාවගේ සංහිඳියාව වර්ධනය කරලා රට සංවර්ධනය කරමින් මේ විදියේ වැඩපිළිවෙළකට ගියොත් ඔය ඉලක්ක සපුරාගන්න පුළුවන්.
සංස්කරණය : හසිත් අංජන
සේයාරූ / අන්තර්ජාලයෙනි