2018 ජුලි 14 වන සෙනසුරාදා

විජයකලාගේ කතාව හරිනම් අධිචෝදනා?

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ගෙවී ගිය සති දෙකකට ආසන්න කාලය තුළ ලාංකික දේශපාලනයේ ප්‍රධානම මාතෘකාවක් බවට පත්වූයේ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී සිදු කළ ප්‍රකාශයයි. මෙම සිදුවීම වටා තවත් ජනප්‍රිය දේශපාලන කතාන්දර රැසක් නිර්මාණය වූ අතර පාර්ලිමේන්තු සභාවේ පවා සිදුවූයේ දැඩි කලබැගෑනියකි. හිටපු රාජ්‍ය ඇමතිනිය පරීක්ෂණවලට සහය දීමට යැයි පවසමින් ධූරයෙන් ඉල්ලා අස් වුවද ඉන්පසුව ද විවිධ අවස්ථාවල ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු කර තිබුණි. කතා නායකවරයා මේ සම්බන්ධව නීතිමය කටයුතු කිරීමට නීතිපතිවරයාට යොමුකර තිබේ.

මෙවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් සිදුකිරීමෙන් පසුව ඇතිවන නීතිමය තත්ත්වය දැනගැනීම සඳහා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අපි සම්බන්ධ කර ගතිමු. ඒ මහතා සමඟ කළ සාකච්ඡාව මෙසේය.

යාපනයේ ජනතාව නිදහසේ ඉන්න ඕනෑ නම් යළිත් එල්. ටී. ටී. ඊය ගේන්න ඕනෑ කියලා හිටපු රාජ්‍ය ඇමැතිනී විනජයකලා මහේෂ්වරන් ප්‍රකාශයක් කරනවා. මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරියක් හැටියටත් ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකාවක් ලෙසත් ඇයට මෙවැනි ප්‍රකාශයක නීතිමය වශයෙන් ඇතිවන බලපෑම් මොනවද?

1983 දී ගෙන ආපු 6 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 157 අ. 01 කියන වගන්තිය යටතේ යම්කිසි කෙනෙක් ශ්‍රී ලංකාවේ නීතිය තුළ වෙනම රාජකාරියක් පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යආකාරයකින් හරි ආධාරයක් කළොත්, මුදල් යෙදවීමක් කළොත්, දිරි දීමක් කළොත්, දේශනා කිරීමක් කළොත් එවැනි දෙයක් කළ කෙනකුට විරුද්ධව යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් බව සඳහන් වෙනවා. එහෙම කරන්න බෑ කියලා කියනවා ඊට පස්සේ. තුන්වැනි වගන්තියේ තියනවා එහෙම කළොත් අභියාචනා අධිකරණයේ අධි චෝදනා පත්‍රයක් මත නඩු විභාග කරලා වරදකාරයන් වුණොත් ඇයට දෙන්න පුළුවන් දඬුවම් සඳහන් වෙනවා.

දැන් මෙතනදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාව තමයි එල්.ටී.ටී.ඊය පැහැදිලිවම රට බෙදීමේ අරමුණක් තියෙන පක්ෂයක්. ඒක පිළිබඳ ඕනතරම් සාක්ෂි තියෙනවා. ඔවුන්ට වෙන පරමාර්ථ නෑ. තියෙන එකම පරමාර්ථය තමයි වෙනම රාජ්‍යක් බිහිකර ගැනීම. එවැනි සංවිධානයක් ස්ථාපිත කරන්න ඕනෑ කියලා කියනවා නම් යම්කිසි කෙනෙක් ඒක සෘජුව සහ අන්‍යාකාරයකින් වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා කරන අනුබල දීමක්, ධෛර්ය දීමක්, අනුග්‍රහය දීමක්. ඉතින් ඒ නිසා පැහැදිලිවම ඇය ඒ වරදට වැරදිකරුවෙක් වෙනවා හයවැනි සංශෝධනය යටතේ.

ඇයට විරුද්ධව පියවර ගත යුත්තේ කවුද? එසේ පියවර ගතහොත් වරද ඔප්පු වුණොත් දඬුවම කුමක්ද?

157 අ.3 වගන්තියේ කියන්නේ එවැනි වරදක් කරපු තැනැත්තෙක්ට අධි චෝදනා පත්‍රයක් මත නඩු විභාගයක් අභියාචනා අධිකරණයෙන් කරන්න ඕන කියලා. අධි චෝදනා පත්‍රයක් සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් නීතිපතිතුමාට. ඒ හින්දා නීතිපතිතුමා විසින් අධි චෝදනා පත්‍රය ඇය වෙත ඉදිරිපත් කරලා අභියාචනා අධිකරණයේ නඩු විභාගය පැවැත්විය යුතුයි.

උතුරේ ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් නැද්ද? කියලා විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පසුව ප්‍රශ්න කරනවා. මන්ත්‍රීවරියක් විදිහට කොතනක හෝ ඇයට නීතිමය ආවරණයක් තියෙනවාද?

නෑ. ඇයට ඒ ජනතාව වෙනුවෙන් ඕනතරම් දේවල් කතා කරන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නේ එල්.ටී.ටී.ඊය බෙදුම්වාදී අරමුණින් තියන සංවිධානයක්නේ. ඒ වගේම මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක්නේ. ඉතින් එතකොට ත්‍රස්තවාදී සංවිධානයක් උතුරට ගෙන ඒමෙන් ඒ රටේ ජනතාවට වෙන සෙතක් තියනවයි කියලා සිහිවිකල් වෙච්ච පුද්ගලයෙක් මිසක් වෙන කිසිම කෙනකුට කියන්න බෑනේ. එල්.ටී.ටී.ඊය වගේ මිනීමරු මුළු ලෝකෙයම තහනම් කරපු ඉන්දියාවේ අගමැති පවා ඝාතනය කරපු ලංකාවේ ජනාධිපතිනියකට තුවාල සිදු කරපු, අපේ ඇමතිවරු විශාල සංඛ්‍යාවක් දෙමළ නායකයන් ඝාතනය කරපු පුංචි ළමයි බඩදරු අම්මලා ඝාතනය කරපු මිනීමරු සංවිධානයක් ගේන්න ඕනා කියලා කියන එක ඒ පැත්තේ ජනතාවට හොඳ වෙන්නේ කොහොමද?

විජයකලා මහේෂ්වරන් මීට දින කිහිපයකට පෙර නැවත ප්‍රකාශයක් කරනවා “දකුණේ දේශපාලනඥයන්ට ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියනවා. ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නෑ.. මම උතුරේ ජනතාව වෙනුවෙන් කතා කරන කොට දකුණේ දේශපාලනඥයන් කෑගහනවා.” කියලා. ඇත්තම දකුණේ දේශපාලනඥයන් ජාතිවාදී අදහස් ප්‍රකාශ කරනවාද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

පළවෙනියෙන්ම මම අහන්න කැමතියි දැන් දකුණේ කවුද ජාතිවාදී අහදස් ප්‍රකාශ කළේ කියලා. ඕක මේ එල්.ටී.ටී.ඊ එක හොඳ කරන්න කියන කතාවක්නේ. මම දැකලා නෑ ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක ඉන්න කිසිම දේශපාලනඥයෙක් ජාතිවාදී කතාවක් කරනවා. යම්කිසි කෙනෙක් ඔට ෆේස්බුක් එකට අනන්‍යතාවයන් හෙළි නොකරන හොරට  නීති විරෝධී ලෙස කරන එකක් මිසක් කිසිම දේශපාලන පක්ෂයක් හරි කිසිම බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් සංවිධානයක් හරි එහෙම ජාතිවාදී ප්‍රකාශ කරලා තියනවා? මම නම් කවදාවත් දැකලා නෑ කිසිම මාධ්‍යයක එහෙම එකක්. යම්කිසි පුද්ගලයෙක් කරලා තියෙනවානම් ඔහුට විරුද්ධව දණ්ඩනීති සංග්‍රහය පියවර ගන්න පුළුවන්. එල්.ටී.ටී.ඊ එකේ වැරදි වහන්න බෑ මෙහෙම බොරු කියලා.

පාර්ලිමේන්තු ඉතිහාසයේ වරක් උතුර නියෝජන කළ සියලු දේශපාලනඥයන් පාර්ලිමේන්තුව හැර යනවා ඒකීයභාවය පිළිබඳ දිවුරැමට එකඟ වෙන්න බැරුව. විජයකලාගේ ප්‍රශ්නය සංසන්දනයේදීත් යළිත් එවැනි තත්ත්වයක් ඇතිවෙන්න බැරිද?

මම හිතන්නේ ඒකයි මේකයි සංසන්දනය කරන්න බෑ. මොකද අද විපක්ෂ නායක සම්පන්දනුත් කියනවනේ ඇය නොකළ යුතු කතාවක් කළේ කියලා. එහෙමනේ සම්පන්දන් කිව්වේ. නොකළ යුතු කතාවක් කියලා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එතුමා දන්න හින්දා තමයි එහෙම කිව්වේ. ඒ හින්දා මම හිතන්නේ නෑ ඇය හැරුණුකොට වෙන කෙනෙක් හෝ ඇයගේ ප්‍රකාශය මත අස්වෙලා, නෑ එයාට මේ වගේ ප්‍රකාශ කරන්න ඉඩ දිය යුතුයි කියලා කියයි කියලා. යම්කිසි කෙනෙක් එහෙම කියනවා නම් ඔහුත් එක අතකින් අර එල්.ටී.ටී.ඊය නැවත ගෙන ආ යුතුයි කියන සංකල්පයට සහයෝගය දෙනවා. මේ සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනවා විතරක් නෙවෙයි, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියනවා දඬුවම් තුනක් හතරක් සඳහන් කරලා. ඒ දඬුවම් සියල්ලටම ඔවුන් යටත් විය යුතුයි.

දැන් මම ඒකත් සඳහන් කරන්නම්. අවුරුදු 7ක් පුරා අශක්නුතාවයට යටත් කරන්න පුළුවන්. දේපල රාජසන්තක කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රවරයෙක් නම් ඔහුගේ ධූරය අහිමි කරන්න පුළුවන්. ඉතින් ඒ දඬුවම ඇත්තටම තව වැඩි කරන්න ඕනේ. අනාගතයේ එන ව්‍යවස්ථාවකින් දඬුවම් නැති කරලා හිරේ දාන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. දැන් මේක යටතේ නම් හිරේ දාන්න බෑ. රට බෙදන්න යන එක්කෙනෙක්ව හිරේ දාන්න බෑ. නමුත් රුපියල් දහයක් පගාවක් ගත්තොත් ඒ මනුස්සයාව හිරේ දාන්න පුළුවන්. ඉතින් මේ නීතියෙන් ලොකු අඩුපාඩුවක් තියනවා. වහාම මේ නීතිය තවත් සංශෝධනය කරලා මේ පිළිබඳ නීති දැඩි කළ යුතුයි. මොකද අපි මේ ප්‍රශ්නේ බලන්න ඕනේ දැන් උතුරුකරයේ ආරක්ෂක තත්ත්වය මත. දැන් අපි දන්නවා ක්ලේමෝ මයින්, එල්.ටී.ටී.ඊ කොඩි සහ ත්‍රස්තවාදීන් හොයාගත්තා පහුගිය දවස්වල ත්‍රීවීලයක යනකොට. එතකොට ආරක්ෂක අංශවල නිවාඩු අවලංගු කරලා ඒ පැත්තට ආරක්ෂාව තර කරලා තිබුණා. ඒකෙන් පැහැදිලිව පේනවා ආණ්ඩුවෙත් පිළිගන්නවා අද ත්‍රස්තවාදී උවදුරක් උතුරුකරයේ තියනවා කියලා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි හයවැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි. ගිය පාරත් අපිට අවුරුදු තිහක් යුද්ධ කරන්න වුණේ සුළු සිද්ධීන් නවත්තගන්න බැරි වෙච්ච නිසා. ඒ හින්දා මේකට වහා පියවර නොගත්තොත් රට විශාල අගාධයකට ඇද දැමීමක් වෙනවා.

විජයකලාගේ ප්‍රකාශයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ඇති වුණු සංවාදයේදී මන්ත්‍රීවරයෙක්ගේ හැසිරීම, කතා නායකවරයාට අපහාස කිරීම, සෙන්කෝලය උදුරාගැනීමට උත්සාහ දැරීම ආදී තත්ත්වයන් පිළිබඳව මොකද්ද පාර්ලිමේන්තුමේ නීතිමය තත්ත්වය?

මේකයි. පාර්ලිමේන්තුව අතුළේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කරන එක කතානායකවරයාගේ කාර්යයක්නේ. නමුත් මුළු පාර්ලිමේන්තුවේම හැසිරීම අද බොහොම ප්‍රශ්නසහගතයි. දැන් උදාහරණයක් හැටියට පනත් සම්මත වෙනවා කිසිම සාකච්ඡාවකින් තොරව. කතානායකවරයා මේ කලබලය අස්සේ කියනවා පනත සම්මත වුණා කියලා. එතුමට කවුද දඬුවම් දෙන්නේ? ඒ කතානායකවරයා කරන වැරදිවලට දඬුවම් දීමක් ඇත්තෙත් නෑ. දැන් මම හිතනවා මේ එක මන්ත්‍රීවරයෙක් කෑගහන එක හරිද වැරදිද කියලා හැසිරිච්ච එක මම දැක්කේ නෑ. නමුත් වැරදි නම් කතානායකවරයාට යම්කිසි පියවරක් ගන්න පුළුවන් ඉතින්.

අවසාන වශයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ සහ ජන සමාජය ඇතුළේ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධව හරවත් සංවාදයක් ඇතිවීමට තිබුණු අවස්ථාවක් මගහැරුණද අපට? එම සංවාදය ඇතිවිය යුතුද?

අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුයි. ඇතිවිය යුතුයි නෙවෙයි. නීතිපතිවරයාට, පොලිස්පතිට විධාන කර කර ඉන්න දෙයක් නෑනේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඕනතරම් ලිපිගොනු තියෙනවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකලාපයන් ගැන. ඔවුන් රට බෙදීමේ කටයුත්තක් කරනවා කියන එක නීතිපති නෙවෙයි මේ රටේ ඉන්න කුඩා දරුවෙක් වුණත් දන්නවා. එතකොට දැන් මෙතන අවශ්‍ය කරන්නේ අර රෙකෝඩින් එක රෑපවාහිනී මාධ්‍යවලින් අරගෙන එහෙම ප්‍රකාශයක් ඇය කරලා තියෙනවා නම් වහාම අධි චෝදනා පත්‍රය හදලා අධිකරණයට ඉදිරිපත් කිරීම.

ඉතින් මේ රටේ සියලු දෙනාම රජයටත් නීතිපතිවරයාටත් බලකර සිටින්න ඕන වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය පියවර ගන්න ඕන කියලා. මට පෙනෙන විදිහට මේක පිටුපස මෙයා ආරක්ෂා කරන්න, විජයකලා මහේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ආරක්ෂා කරන්න දකුණේ දේශපාලනඥයනුත් ඉන්නවා. මොකද මෙය ව්‍යවස්ථාව හදන්න උදව් දෙන විශේෂයෙන්ම සුමන්දිරන් හා ජයම්පති වික්‍රමරත්න මහත්තයා හදන ව්‍යවස්ථා ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම රට දෙකඩ කරන ව්‍යවස්ථා ක්‍රියාවලියක්. ඕක ගෙනල්ලා කොහොමත් රට දෙකඩ කරන ව්‍යාපෘතියක නිරත වන අය විජයකලාට අනුකම්පා කිරීම ගැන මම පුදුම වෙන්නේ නෑ.

►චමිඳු නිසල් ද සිල්වා