- මහාචාර්ය ප්‍රසාද් අමරතුංග
දිගු කලිසම, අත් දිග කමිසය ඇඳ ටයි පටිය පළඳින මහාචාර්යවරයා ජීවිතයේ එක සමයක පුංචි කොට කලිසමක් හැඳ කුඹුරේ ගොයම් කපන දාට හරක් බාන පසුපස දිව ගියේය. මහ හරකෙකු වුව අපූරුවට රිසිසේ මෙල්ල කර ගැනීමේ හැකියාවක් වෙල් ඉපනැල්ලේ ගහ කොළ, ඇල දොළ අතරේ නිදහසේ පය තබා දුව පැන ඇවිද්ද ඒ පුංචි කොලු ගැටයා සතුව තිබුණේය. අස්වනු නෙලා කමතේ ගොඩ ගසා තිබියදී කුල්ල අතින් ගෙන බොල් වී සමඟ ඔට්ටු අල්ලමින් කුල්ලෙන් වී හුළං කිරීමට ද ඒ සන්ධියේ මේ කොලු ගැටයා දැනගෙන සිටියේය. වගාව - ගොයම රැකගන්නට, රෑ පැල් රකින්නට ද ගිය මේ කොලු ගැටයා හරි අපූරුවට පැල් කවි කියමින් රැය පහන් කර පසුදා අකුරු උගනින්නට ඉස්කෝලෙට ගියේය.
කොළඹ රාජකීයට, පේරාදෙණිය සරසවියට, එංගලන්තයේ විශ්ව විද්‍යාලයකට එතෙකින් නොනැවතී සාර සිප් සොයා දේශයෙන් දේශයට ගියේ එදා මේ කෙතේ, කමතේ, රෑ පැලේ, ඇළ දොළේ හිඳ ජීවිතයේ පතුල කිය වූ ඒ කොලු ගැටයාය.
ප්‍රසාද් අමරතුංග.. අර පුංචි කොලු ගැටයා මහාචාර්ය ප්‍රසාද් අමරතුංග දක්වා පැමිණි ගමනේ අහුමුලු පිරික්සන්නට මට දොළක් ඇතිවුණේ එදා පේරාදෙණිය සරසවි බිමේ දන්ත වෛද්‍ය පීඨයේදී මේ අපූරු මහාචාර්යවරයාගේ සෙවණේ ශිල්ප සැදූ ඔහුගේ ශිෂ්‍යයකු වූ දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර තම ගුරුවරයා ගැන අප හමුවේ කළ අපූරු විවරණයක් නිසාමය. එහෙයින් මුල්ම ස්තූතිය දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර වෙත පිරිනමමින්ම මහාචාර්ය ප්‍රසාද් අමරතුංග දකිනු රිසින් අපි එක් දවසක කොළඹ ගලධාරී හෝටලයට ගියෙමු. ඒ හමුවක්, කතාබහක් වෙනුවෙන් නොව තව දවසක කතාබහක් වෙනුවෙන් ඉඩහසරක් ඉල්ලා සිටින්නටය.
එහෙත් තත්ත්පරයක දෙකක කාලයක් තුළ ඔහු ඔහුගේ ජීවිත සාරාංශය හරි අපූරුවට ගොනු කළේය. දත් දොස්තර මහාචාර්යවරයා අපූරු ගායකයෙක් වගට ද ඒ තත්ත්පර කිහිපය තුළ ඔහු අපට දෙස් දුන්නේය. වයලීනය, බටනලාව, තම්මැට්ටම තබ්ලාව ආදී සංගීත භාණ්ඩ වයමින් ගෙවන පැය අයත් රාත්‍රීන් ගැන ඔහු කියද්දී මා මේ කතා කරන්නේ දත් දොස්තරවරයකු සමඟ ද මහාචාර්යවරයකු සමඟ ද යන්න වරෙක මටත් අමතකව ගිය හැටියකි.
ජීවිතය විඳිමින් ජීවිතයට ආත්මීයව පෙම් කරන අසිරිමත් යැයි හැඟෙන හදවත් කලාතුරකින් වුව මුණගැසෙන ඇසිල්ලක පෑන් තුඩින් ඒ හදවත් පසිඳින්නට බලා හිඳින මගේ දොළදුක නිවාගන්නට මම මහාචාර්යවරයා කැටුව ඔහුට අයිති අතීතයේ නිල්ල දිගේ ඇවිද ගියෙමි.
දොම්පේ මණ්ඩාවල ගම්මානයේ අම්මා, තාත්තා, අම්මාගේ සහෝදර සහෝදරියෝ සමඟ ප්‍රසාද් පුංචි දරුවකුව හැදී වැඩුණේ සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියක සමඟ ගමේ පොළොවේ රස අපූරුවට බෙදා හදා ගනිමිනි. ලිලෝනි ගුණසේකර නම් වූ අම්මා ඉස්කෝලේ හාමිනේ කෙනෙකි. ඊ.ඒ. අමරතුංග නම් තාත්තා ගමේ ගාම්භීර ප්‍රින්සිපල් සර්ය. එහෙත් මේ ගුරු යුවලට ගුරුකමත් සමඟ ගමින් ගමට මාරු වෙවී පාසල් මාරැ අනුව යමින් නවාතැන් සොයන්නට සිදුවිය.
කුලියාපිටිය දිස්ත්‍රික්කයේ මඟුලාගම මහා විද්‍යාලය එදා දුප්පත් පුංචි ඉස්කෝලයකි. ඒ මඟුලාගම දුප්පත් ඉස්කෝලයට පා තැබූ මුල්ම විදුහල්පතිවරයා ප්‍රසාද්ගේ තාත්තාය. ඒ මුල්ම විදුහල්පතිගේ දෙවුර මත මහා වගකීමක් පැවරුණේ දුප්පත් ඉස්කෝලය දුප්පත්කමින් මුදවන්නටය.
විදුහලේ ක්‍රීඩාංගණය හදන්නට අලි ලවා ගැලවූ පොල් ගස් අද්දවද්දී අලි සමඟ හරි හරියට වැඩ කළ ගම්මුන් අතර ඒ නිහතමානී විදුහල්පතිවරයා ද එක් අයෙක් විය.
මහාචාර්ය ප්‍රසාද් අමරතුංග එදා අලි ඇතුන් අතරේ පොල් කොටන් වැඩ බිම හා ඔට්ටු වූ ඒ තාත්තා ගැන කියද්දී මගේ හිත නැවතුණේ චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතයේ දුයිෂෙන් ළඟය. ආදරණීය දුයිෂෙන් විප්ලවකාරී අපූරු ගුරුවරයාගේ, අලුතින් ඉස්කෝලයක් හදා දරුවන්ට අකුරෙහි රස බෙදන්නට ජීවිතයම කැප කළ දුයිෂෙන්ගේ සෙවණැල්ලක් ඒ තාත්තා ළඟත් ඇතියැයි මහාචාර්යවරයා අතීතයේ කවුළු පියන් හැර මතක සුවඳ මා අබිමුවට කැඳවද්දී මට සිත්වුණු බවත් ලියන්නටම සිතේ. ගැඹුරින් ඇද පැද කතා කරන මහාචාර්යවරයාගේ වචන අහුරම මුදාහැරියොත් නරකද? කහබහ අතරේ මගේ හිත මගෙන් අසයි. හිතට අවසඟව යන්නටත් නොසිතේ.
අසන්න.... මේ මගේ වචන නොව ඔහුගේ හඬය.
ඒ පුංචි ඉස්කෝලේ විද්‍යාගාරය, ගුරු නිවාසය, පාසල් ගොඩනැගිලි මේ ඔක්කොම ටිකින් ටික හැදුවේ මගේ තාත්තා. ඒ ගුරු නිවාසයේ ඉස්සරලම පදිංචි වුණෙත් අපේ පවුල. මඟුලාගම ඉස්කෝලෙන් පස්සේ මම ඉගෙනගන්න ගියා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට. මණ්ඩාවල ගමේ මිනිස්සු මගේ සීයාට, අම්මාගේ තාත්තාට කීවේ ලොකු මහත්තයා කියලා. සීයාත් විදුහල්පතිවරයෙක්. මට මතකයි මගේ අම්මා, තාත්තා, සීයා ගමේ දුප්පත් දරුවන්ට ඉගෙනගන්න උදවු කළා. සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගාන දවසට අපේ සීයාගේ අතින් හිස තෙල් ගාගන්න ගමේ මිනිස්සු මහ ගෙදරට එනවා.
අපේ කුඹුරු ඉඩම්වල මම පුංචි කාලේ ඉඳන්ම වැඩ කළා. මට අවුරුදු දහය - දොළහා කාලේ ඉඳන් මමත් ගියා කට්ටිය එක්ක රූට පැල් රකින්න. ගොයම් පාගලා වී අස්වැන්න ගද්දී, හරක් දාලා කුඹුරු වැඩ කරද්දී අපි පුංචි කොල්ලෝ හැටියට අපිට ඒක ලොකු විනෝදයක්.
එදවස පැල ඉස්මත්තේ ඉහිරුණ අඳුර මකන්නට සඳ එළිය තරම් නොවෙද්දී ඒ වෙනුවෙන් පැලේ කොණක ලන්තෑරුමක් දැල්විණි.
රෑ කළුවරේ ලන්තෑරැම් එළිය හරි ලස්සනයි. ඒ ලන්තෑරුම් එළිය විඳිමින් අපි රෑ දෙගොඩහරියක් වෙනකම් පැල් කවි කීවා. පැල් රකින්න එද්දී කෑම බීමත් හදාගෙන එන්නේ ගෙදරින්. කුඹුරු වැඩ කරද්දී ඇඹුල ගෙනාවම කනකම් ඉවසිල්ලක් නෑ. හරි රහයි ඒ බත් වෑංජන. ඒ කාලේ මිනිස්සු ගම්වල කුලියට නෙවෙයි වැඩ කළේ. එකිනෙකාට උදව් කරගන්නවා. අපේ ගෙදර හරක් බානක් හිටියා. ඒ හරක් බානෙන් වැඩ නොගත්ත ගෙයක් ගමේ තිබුණෙ නෑ.
සැන්දෑ කාලෙත් හරි විනෝදයි. කට්ටිය ගෙදරක පිලක එකතු වෙනවා. කයිවාරු ගහන ගමන් හකුරු කෑල්ලක්, කහට කොප්පයක් හිස් කරන ගමන් කාඩ් සෙල්ලම් කරනවා. ඒ වටපිටාව හින්දම ඒ කාලේ ඔය ගම්වල මිනිස්සුන්ට කවදාවත් මානසික ආතතියක් තිබුණේ නෑ. ගමම සාර සුබාවෙන් ඉතිරුවා.
ගොයම් කපන කාලේ මම කොල්ලෝ කුරුට්ටෝ රෑනක් එක්ක හරක් පස්සේ දුවනවා. හරක් කුඹුරට අරගෙන යන වැඩේට මමත් එකතු වෙනවා. මට හරක් හොඳට හසුරුවාගෙන අරන් යන්න පුළුවන්. කුල්ලෙන් වී හුළං කිරිල්ල (කුල්ලෙන් හුළං කරමින් බොල් වී අයින් කිරීම) හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් ඔය කුල්ලෙන් හුළං කිරිල්ල මම පුරුදු වුණේ පුංචි කාලේ ඉඳන්. ඒ වැඩේට මම හරි දක්ෂයෙක් වුණා. මගේ අයියාට මල්ලිට ඔය වැඩ පුළුවන්. නංගිනම් ඔය වැඩවලට එච්චර පුරුදු වුණේ නෑ.
මණ්ඩාවල මහා විද්‍යාලය, යක්කල චන්ද්‍රජෝති මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය ඉනික්බිති පේරාදෙණිය සරසවිය, එංගලන්තයේ සරසවිය ඔහු ආ ශ්‍රාස්ත්‍රීය ගමන් මගේ නෙක නැවතුම්ය.
මණ්ඩාවල වගේ ගමේ ඉස්කෝලෙකටත් ගිහින් කොළඹ හතේ රාජකීය විද්‍යාලයට ආවම දැනුණු වෙනසක් තිබුණද?
ටිකක් වෙනසක් දැනුණා. අයියායි මමයි දෙන්නම එකට රාජකීය විද්‍යාලයට ආවේ. ඒ නිසා තනිකම හුඟක් නැතිවුණා. අපි දෙන්නම හිටියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ. මගේ අම්මායි, තාත්තායි දෙන්නම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන තිබුණ ගුරුවරු. ඒ නිසා රාජකීයට එද්දී අයියාටයි මටයි දෙන්නටම හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඒ නිසා අපිට රාජකීයේ පරිසරයට හැඩගැහෙන්න ලොකු අමාරුවක් වුණේ නෑ. උසස් පෙළ විභාගයෙන් පසුව මම උත්සාහ කළේ බැංකු රස්සාවකට හරි ගුරුකමට හරි යන්න. මම ඔය රස්සා දෙකටම තේරුණා. අම්මායි තාත්තායි දෙන්නමත් ගුරුවරු නිසා මම කීවා මම ගුරු වෘත්තියට නෙවෙයි බැංකුවේ රස්සාවට යනවා කියලා. මම බැඳුණා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලෙජර් ක්ලාක් කියන තනතුරට. කොටුව බැංකු ශාඛාවේ තමා මුලින්ම මම රාජකාරී කළේ. රුපියල් හාරසිය පනහක වගේ පඩියකින් තමා මගේ රස්සාව පටන් ගත්තේ. ඒත් ඒක ඒ කාලේ ලොකු පඩියක්.
එහෙත් කෙටි කාලයකින් ප්‍රසාද් අමරතුංග බැංකු රස්සාවට සමුදුන්නේ 1977 වසරේ විශ්ව විද්‍යාල ජීවිතයේ ආරම්භය කරණ කොට ගෙනය. සරසවි ජීවිතයේ වින්දනීය මතක සමුදාය අදටත් එහෙමමය.
මට අදටත් විශ්ව විද්‍යාල ජීවිතය ගැන කතා කරද්දී ඉස්සෙල්ලම මතක් වෙන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් ඇවිත් අපව පිළිගත්ත හැටි. මමයි අම්මයි, අම්මාගේ සහෝදරයකුයි අපට තිබුණු මොරිස් මයිනර් කාර් එකේ තමා විශ්ව විද්‍යාලයට ගියේ. හොස්ටල් එක ළඟ බැහැලා මම සූට්කේස් එක අරන් යනකොට ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක් ඇවිත් කීවා මල්ලි මම මේක ගන්නම් කියලා. අරගෙන කාමරයට ගිහින් මගේ අම්මාටත් කතා කරලා බයවෙන්න එපා අපි බලාගන්නම් කියලා කීවා. අම්මා යන්න යද්දී ඒ සහෝදරයා මගේ කනට කරලා තදින් කීවා වැඳපිය අම්මට කියලා. අම්මලා ගිය ගමන් ජ්‍යෙෂ්ඨ සහෝදරයෝ මාව වටකරගෙන ඇහුවා උඹ හිතුවද සූට්කේස් එක උස්සගෙන ආවට පස්සේ උඹට රජකුට වගේ සලකයි කියලා? මගේ රූම් මේට් හිටියේ ජ්‍යෙෂ්ඨයෙක්. රූම් මේට්ගේ පෙම්වතිය ගමේ ගෑනු ළමයෙක්. එයා මෙයාට ලියුමක් එවලා. එයා ලොක්කා වගේ ඇඳේ ඇස් දෙක පියාගෙන ඉද්දී මම එයාට ඇහෙන්න ඒ ලියුම කියවන්න ඕනෑ. ඒ මම වින්ද එක නවකවදයක්. ඒ ලියුම කියවද්දී ඒකේ තිබුණා මට ඔයාව නොදැක ඉන්න බෑ කියලා. රූම් මේට් මට කිව්වා. උඹ කියපන් එයාට මාව නොදැක ඉන්න බැරි හේතු පහක් කියලා. මම ඉතින් කිව්වා ජ්‍යෙෂ්ඨ උත්තමයාගේ හැඩරුව දකින්නෙ නැතුව ඉන්න අමාරු ඇති, ජ්‍යෙෂ්ඨ උත්තමයට ඒ තරම් ආදරේ ඇති, ජ්‍යෙෂ්ඨ උත්තමයාගේ මිහිරි වදන් අහන්නේ නැතුව ඉන්න අමාරු ඇති. මම ඉතින් ඔය විදිහට හේතු හදලා කිව්වා. ඒ නවක වදයේ වදහිංසාකාරී බවක් තිබුණේ නෑ මිහිරක් මිසක්. මම පසු කාලෙක විශ්ව විද්‍යාලයේ විනය පාලක විදිහට දිගු කාලයක් වැඩ කරන කාලේ නවක වද සිද්ධි ගැන සෘජුවම පරික්ෂා කරලා ඒවා නවත්වන්න මම හුඟක් දේ කළා. මොකද අපේ කාලේ තිබුණු නවක වදයේ මිහිර එන්න එන්න නැති වුණා.
කහ පාට ඇහැල මල් බිම ඇතිරී පලස් මැවූ... හන්තාන කඳු ශිඛර හසුන්තුඩු පෙනෙන නොපෙනෙන මිහිදුම් සළුවෙන් වසාගෙන අනුරාග ගිනි සිළු ඇවිලවූ සරසවි බිමේ සොඳුරැ වටපිටාවක එදා ඔහු හද මඬලත් ප්‍රේමයෙන් කිති නොකැව්වා වෙන්න බැහැ...
අපි විමසීමු.
මගේ ප්‍රථම ප්‍රේමය මට මුණගැහුණේ ඒ සරසවියේදී. මගේ සහකාරිය, බිරිය වුණෙත් ඇයම තමයි. ඇය ඉන්ද්‍රාණි අතුකෝරාළ. එයයි මමයි එකම බැජ් එකේ. කාය ව්‍යවච්ඡේදය ඉගෙන ගන්න මළ සිරුරක් කපද්දි ඒ බොඩි එක වටේට ශිෂ්‍යයන් හය දෙනෙක් දානවා. මමයි ඉන්ද්‍රාණියි එකම බොඩි එකේ තමා හිටියේ. දෙවැනි වසරේදී අපි දෙන්නා අතර ගර්ල් ෆ්‍රේන්ඩ් බෝයි ෆ්‍රේන්ඩ් විදිහට ආදරයක් ඇති වුණා. ඒ 1978 අවුරුද්දේ.
මම හරි වාසනාවන්තයි. මම ඉගෙනගත්තු සරසවියේම ඉගෙනීමට එන දරුවන්ට උගන්වන්න මට ලැබීම හරි භාග්‍යයක්. එදා මේ සරසවි බිමේ මම ඉන්ද්‍රාණි එක්ක මගේ යාළුවෝ එක්ක එකට කෑවා, බීවා, පාඩම් කළා. මගේ පෙම්වතිය එක්ක මම මේ සරසවියේ හැමතැනම ඇවිදලා ඇති. සරසවි ලවර්ස් ලේන් එකේ ඇයත් සමඟ ඕනෑතරම් ප්‍රේමයේ අත්දැකීම් විඳලා ඇති. වලේ පෙන්වපු හැම නාට්‍යයක්ම බලලා ඇති. ඒ කාලේ අද වගේ ටෙලිෆෝන් නෑනේ. ඉතින් හරිම දිග පෙම් හසුන් තමා ලීවේ. පාඩම් කරන ගමන් ලස්සන සින්දු කෑලි එහෙම දාලා දිග පෙම් හසුන් ලිව්වා.
අපි යාළු වෙලා පළවෙනි සරසවි නිවාඩුවට අපි ගෙදර ගිහින් දවස් දෙකක් යද්දි මට ඉස්සරලම ඉන්ද්‍රාණිගෙන් ලියුමක් ලැබුණා. ලස්සන බෝල අකුරින් ලිපිනය ලියලා තිබුණා. අපි නිවාඩුවට එදා එකම බස් එකේ ආවේ. ඉන්ද්‍රාණි අහලා තිබුණා ආයි අපි කවදද හම්බවෙන්නේ කියලා. ඒක හරි පුංචි ලියුමක්. ඒ ලියුම හම්බුණදාට පහුවදා තවත් ලියුමක් ලැබුණා. ඒ පාර අම්මාට සැකයක් ආවා. මොකද ඒ ලියුම් දෙකම අතට ගත්තේ අම්මා. අම්මා ඉතින් මගෙන් ඇහුවා. මම කීවා ඔව් අම්මා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්ද්‍රාණි කියලා.
ඒ දලු ලෑ ප්‍රේමය විවාහයේ පොහොට්ටුවක් ලෙස පිපී කලක් ඇවෑමෙන් ඔවුහු දියණියන් තිදෙනකුගේ අම්මෙක් තාත්තෙක් බවට පත්වූහ.
විවාහයෙන් පසු එක කාලයකදී මම කුලියාපිටිය මහ රෝහලේත්, ඉන්ද්‍රාණි හෙට්ටිපොල රෝහලේත් රාජකාරි කළා. ඒ කාලෙදි තමා අපේ පළමු දියණිය අපට ලැබුණේ. එහෙ අවුරුදු තුනක් වැඩ කරද්දී දවසක් මගේ තාත්තා පත්තරේ ගිය පුංචි වෙළඳ දැන්වීමක් කපා මට තැපෑලෙන් එව්වා. ඒ දැන්වීමේ තිබුණා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනමනවා කියලා. ජනාධිපති අරමුදලින් පළමු වතාවට ශිෂ්‍යත්ව අටක් පිරිනමන බව තමයි ඒ දැන්වීමේ තිබුණේ. මම ඒකට ඉල්ලුම් කළා. මගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂයක් තමයි ඒ ගමන. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් ලබාදුන් ඒ ශිෂ්‍යත්ව අටෙන් වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලැබුණු ශිෂ්‍යත්වය ලැබුණේ මට. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මම මාස්ටර් උපාධිය කළා. මගේ විෂය වුණේ මුඛ ව්‍යාධිවේදයයි. වෘත්තිකයෙක් විදිහට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුකම සම්පූර්ණ කරගන්න නම් එංගලන්තයේ Royal College of Surgeons කියන උසස් අධ්‍යාපන ආයතනයේ ෆෙලෝෂිප් එක කරන්න ඕනේ. ඒ ෆෙලෝෂිප් එක සම්පූර්ණ කළාම මුඛ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙනවා. මගේ ආසාව තිබුණේ ඒ දේ කරන්න. මම ඒ ආසාවත් ඉටු කරගෙන පසුව අයර්ලන්තයේ Royal College of Surgeons ආයතනයේ ෆෙලෝෂිප් එකත් ගත්තා.
එංගලන්තයේ ඉගෙනගන්න ගිහින් විභාග සමත් වුණාට පසුව මට එහි රැකියාවක් ලැබුණා. මගේ වැටුප පවුම් 3000ක්. ඒ කාලේ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ හිටියා මහාචාර්ය රංජිත් මෙන්ඩිස් කියලා ගුරුවරයෙක්. එතුමා මට එරෝග්‍රෑම් එකක් එව්වා සුබ පතලා. මට කියලා තිබුණා මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මුඛ ව්‍යාධි අංශයේ වැඩ බාර ගන්න ඇවිත්. ඔබේ සේවය මෙහේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍යයයි කියලා. මම පවුම් 3000ක් ලැබුණු රැකියාව පැත්තකට දාලා 1989 වසරේ ඉගෙනගත්ත සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට ආවේ ඒ විදිහට. මම එද්දී ඒ දෙපාර්තමේන්තුවේ කවුරුත් නෑ. මහාචාර්ය රංජිත් මෙන්ඩිස් මම එද්දි රට ගිහින්. මට ඒ දෙපාර්තමේන්තුවේ ලොකු වැඩ ගොඩක් තිබුණා
ඒ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා 2007 වසරේ මහාචාර්ය පදවිය ලබන තෙක් ආ ගමනේ අත්දැකීම් බොහොමයකි. කළ මෙහෙවරත් කරන මෙහෙවරත් අපමණකි.
BDS (SL) FDSRCS (England), FFDRCS (Ireland) MSc (London) MS (Col) සොයා ගිය දැනුමේ සාර උල්පත් උදෙසා මහාචාර්ය ප්‍රසාද් අමරතුංග ලද මේ සියලු අධ්‍යාපනික වටිනාකම් මහා සාක්ෂියකි.
දේශයෙන් මෙන්ම විදේශයන්ගෙන් ද කොපමණ උපාධි, වටිනාකම් නමේ මුලට එක් කරගත්තත් එදා කමතේ, කුඹුරේ, පැලේ ගෙවූ යටගියාව හැමදාමත් ඔහු පොළොවේ පය ගසා සිටිනා මිනිසකු බවට පරිවර්තනය කළේය.
1992 වසරේ මහනුවර සිංහ සමාජයේ මහත්ම මහත්මීන් මට මුණගැසුණා. ඒ අයගේ ආරාධනය මත මමත් මගේ බිරියත් සිංහ සමාජයට බැඳුණා. අපි නැතිබැරි දරුවන්ට, පවුල්වලට ඒ හරහා හුඟාක් උදවු කළා. හුඟාක් දුෂ්කර පළාත්වලට ගිහින් වෛද්‍ය කඳවුරු කළා. 2005 වසරේ මම මහනුවර සිංහ සමාජයේ සභාපති ධූරයට පත්වුණා. මට මතකයි ඒ වසරේ පේරාදෙණිය දන්ත වෛද්‍යපීඨය, වෛද්‍ය පීඨය මේ සියලු පීඨ එකතු කරගෙන අපි විශාල සායන පැවැත්වුවා දිවයිනේ දුෂ්කර පළාත්වල. මට මතකයි වරක් අපි නාගොල්ලාගම ප්‍රදේශයේ කඳවුරක් කළා. අපි එදා ලෙඩ්ඩු පන්දාහකට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර ලබා දුන්නා.
ඔබට හිතෙනවද ඔබ මේ කළ සියලු මෙහෙවර ඔස්සේ ඔබේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ මහ පොළොවේ රස හඳුනන, මේ පොළොව හදවතින් සිඹ බලන පිරිසක් බවට පත් කරන්න පදනම හැදුවා කියලා..?
අපි අධ්‍යාපනයත් එක්ක මනුස්සකම්, වටිනාකම් එයාලට ඉගැන්නුවා. රෝගියකුට ආදරයෙන් කරුණාවෙන් කතා කරන හැටි පවා ඉගැන්නුවා. අදටත් රෝගියෙක් රෑ එකට දෙකට කතා කළත් මම දුරකථනයට උත්තර දෙනවා. රෝගියකු ගෙන්වා ප්‍රතිකාර කිරීමට අවශ්‍යනම් රූ එකට දෙකට හරි මම ඒ රෝගියාට සායනයට එන්න කියලා ප්‍රතිකාර කරනවා. නියම වෛද්‍යවරයකුට රෝගියකුගේ වේදනාව දැනෙන්න ඕනෑ. හුඟක් රෝගීන් ප්‍රතිකාරවලින් පසු දණගහලා වඳිනවා මට. කඳුළු පෙරාගෙන වේදනාවෙන් ආව රෝගියෙක් හිනාවෙද්දී මට දැනෙන සතුට කියන්න වචන නැති තරම්.
විදාහල මනුස්සකමින් උගත් ශිල්පයෙන් දහසක් රෝගීන් සුවපත් කළ සහ සුවපත් කරන මේ මහාචාර්ය දොස්තර මහත්තයා දැයට තිළිණ කළ තවත් වෛද්‍යවරියන් දෙදෙනෙකි. ඒ ඔහුගේ දියණිවරු දෙදෙනාය.
මගේ බිරියත් දන්ත වෛද්‍යවරියක් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. දුවලා දෙන්නෙක් වෛද්‍යවරියන්. බාල දියණිය වෛද්‍ය ශිෂ්‍යාවක්. මගේ දරුවෝ තුන්දෙනාත් 1999 – 2000 වසරවල අපි එංගලන්තයේ ගත කළ අවුරුද්දේදී එංගලන්තයේ ඉගෙනගත්තා. එක් දුවක් දැන් පශ්චාත් උපාධිය කරනවා. අනිත් දියණිය ජීවත් වෙන්නේ අමෙරිකාවේ හූස්ටන් නගරයේ. මගේ ලොකු බෑණත් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුහුණුව ලබනවා මේ වෙද්දී. ඔහුත් දන්ත වෛද්‍යවරයෙක්. මම දැන් සීයා කෙනෙක්. මුණුපුරෙකුගේත් මිණිපිරියකගේත් හුරතල් දඟකාරකම් මමත් බිරියත් දැන් හිතේ හැටියට විඳිනවා. අවුරුදු පහක්, අවුරුදු දෙකක් වයස ඒ පැටවු තමා දැන් අපේ ජීවිතවල වෙහෙස නිවන්නේ.
පුංචි කාලයේ ඉඳන්ම මම සංගීතයට හරි ආසයි. කුලියාපිටිය පාසලේ ඉගෙනගත්ත කාලයේ මුණගැසුණ පල්ලේවත්ත ගුරුතුමාගෙන් මඟුලාගම ඉස්කොලේ සංගීත ගුරුවරයෙක් වුණ විජිතසේන ගුරුතුමාගෙන් තමා මම සංගීතය ගැන වගේම වයිලීනය ගහන්න, බටනලාව වයන්න, තබ්ලාව, තම්මැට්ටම වයන්න ඉගෙනගත්තෙ. මගේ දුවලා තුන් දෙනාටම පියානෝ ගහන්න පුළුවන්. මට හොඳට සින්දු කියන්න පුළුවන්. ගෙදරදි අදටත් මම සංගීත භාණ්ඩ වයනවා සින්දු කියනවා අපි කට්ටිය එකතු වුණාම.
ගුණදාස කපුගේ ආදරණීය ගායකයා මහාචාර්ය ප්‍රසාද් අමරතුංගගේ එදවස කදිම මිත්‍රයෙකි.
මට එතුමා කතා කළේ ප්‍රසාද් මල්ලි කියලා. ප්‍රසාද් මල්ලි මගේ කකුල් දෙක පණ නැහැ වගේ කියලා වරක් ඔහු කීවාම මම එතුමාව පේරාදෙණිය රෝහලට එක්ක ආවා. මාහාචාර්ය නිමල් සේනානායකටත් කතා කර එතුමාගේ වාට්ටුවේ ඔහු නතර කරගෙන සුමාන ගාණක් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ගුණදාස කපුගේ අපේ ගෙදර ආවම රාත්‍රියට මගේ දුවලත් එක්ක පියානෝ ගැහුවා. සින්දු කීවා. කපුගේගේ මම ආසම සින්දුව උන්මාද සිතුවම් මැවේ බිඳේ. දවල්ට කන්න එනවා කීවොත් එතුමා එන්නේ මහ රෑ. ඒ තරම් අතරමඟ යාළුවෝ එක්ක කාලා බීලා තමා එන්නේ. පුළුවන් දාට අපි කැකුළු බත්, පරිප්පු, පොල් සම්බෝල, කිරි කොස් මාළුව, හාල් මැස්සන් බැඳුම් එක්ක බත් කෑවා මට මතකයි.
මතක නම් මහ සයුරකි. හදවතේ පියන්පත් එකින් එක හැර දැමූ කල ඒ මතක සුළඟක් වෙසින් අවුත් සිත පාමුල අදටත් දැවටෙයි. මා සිඹ බැලුවේ ඒ මහා මතක සුළඟකින් අල්පමාත්‍රයක්ම නොවූවත් මහා මාත්‍රයක්ම නොවන බවත් මට හැඟේ. එහෙත් කාලය කොතරම් නපුරුද විමසමින්ම නැවතුමත් නොතියාම බැරිය.
සංජු
සේයා රූ - සමන්ත ප්‍රදීප් විල්තෙර