2018 ජුලි 14 වන සෙනසුරාදා

“රාජපක්ෂ පවුලේ අයගෙන් මම නියෝග ලබාගත්තේ නැහැ”

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 521

හිටපු ජනාධිපති ලේකම්වරයා සිව් වසරකට පසු මුල්වරට “පුවත්පතකට” ලබාදුන් සාකච්ඡාව

- හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග

♦ යුද්ධය කියන බොක්ෂිං වළල්ල කිට්ටුවම හිටපු කෙනෙක් මම
♦ මහින්ද ජනාධිපතිතුමාට අදත් ජනතාව යන යන තැන වඳිනවා
♦ තනතුර සමඟ අනතුර ඇත කියනවනේ

♦ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් විදිහ වැරදියි

මෙරට රාජ්‍ය සේවයේ ප්‍රධානියා නැත්නම් ජනාධිපති ලේකම්වරයා හැටියට ඔබ අවුරුදු 10ක් විතර හිටියා. ඒ කාලේ කරපු කියපු දේ නැවත මෙනෙහි කරන කොට අද දැනෙන හැඟීම මොන වගේද?

පිළිතුර - ජනාධිපතිවරු රටටම ඉන්නේ එක්කෙනයි. තමන්ගේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා දේශපාලන නායකයෙක්. ඒ නිසා ඔහුගේ ලේකම්වරයා ජනාධිපතිගේ දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ මොනවා වුණත් මම අදත් ඉන්නේ ඉතාම සතුටින්. ඒකට හේතුව අවුරුදු 30ක් මේ රට නාස්ති කරපු යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයාගේ ලේකම්වරයා වීම නිසා. ඒ යුද්ධය කියන බොක්ෂිං වළල්ල කිට්ටුවටම හිටපු දෙතුන් දෙනා අතරින් කෙනෙක් මම.

ඔබ මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් වන්නට කලකට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ අතිරේක ලේකම්ව හිටියා. ඒ යුගයයි රාජපක්ෂ යුගයයි අතර තිබූ වෙනස මොකද්ද?

මැතිනියට තිබුණා පුදුම පුද්ගලික ශක්තියක්, නායකත්වයක්. ඒකට ජනතාව ගරු කළා. සැලකුවා. ලෝකේ පළමු අගමැතිනිය, පක්ෂයේ නායිකාව වීම ආදිය නිසා ඉතාම සෘජු නායිකාවක් වුණා. එකල අගමැති ලේකම් වුණේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා. එයා මට මැතිනිය එක්ක කිට්ටුවෙන් වැඩ කරන්න අවස්ථාව සලසලා තිබුණා. 

ජනාධිපති ලේකම් ධූරය තදින් රාජ ඌෂ්ණය වදින තනතුරක්. ඔබට ඒ රාජ  ඌෂ්ණය වැදුණේ නැද්ද?

ඒක මගේ මිතුරන්ගෙන් හා ජනතාවගෙන් අහන්න ඕන.. මම රාජ ඌෂ්ණේ ඇතුව හිටියානම් ඔබ අද මා එක්ක කතා කරන්නෙත් නැහැ. (සිනාසෙයි.)

මම එහෙම ඇහුවේ සමහරුන්ට තනතුර එක්ක රාජ ඌෂ්ණය වැළඳෙන නිසයි?

තනතුර සමඟ අනතුර ඇත කියලා කතාවක් තියනවා. මම මාතර මධ්‍යම පාන්තික පවුලක දරුවෙක් හැටියට ඉපදුණේ. ඒ වගේම මට මගේම පෞරුෂයක් තිබුණා. රාජ ඌෂ්ණෙ වැදුණේ නැත්තේ ඒකයි. රාජකාරි කලට වේලාවට ඉටු කරන්න නම් මට ලොකු උණක් තිබුණා.

ජනාධිපතිධූරය දරන්නෙත් මනුෂ්‍යයෙක්. ඔහු ගන්නා තීන්දු තීරණ ඇතැම්විට වැරදි ඒවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔබ එතුමාට හරි වැරැද්ද පෙන්වා දීලා නැද්ද?

එතුමා කවදාවත් මටනම් වැරදි දේ කරන්න කියලා නැහැ. ඒත් ප්‍රතිපත්තිමය තීරණවල වැරදි තියනකොට ප්‍රසිද්ධියේ ඒක පෙන්වා දෙන්න යන්නේ නැහැ. පසුව ගිහිල්ලා වරද පෙන්වා දුන් සෑම අවස්ථාවකදීම එතුමා මට හරි දේ කරන්න ඉඩ දුන්නා.

ඒ වගේ ඔහුට වැරදි පෙන්වා දුන් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කොපමණ හිටියද?

එතුමාට සමීපව හිටපු අපි කවුරුත් ඒ වගේ.

ඔබ කොහොම උපදෙස් දුන්නත්, “නැහැ මම කියපු දේම කරන්න” කියලා ජනාධිපතිවරයා නියෝග කළේ නැද්ද?

කවදාවත් නැහැ. ඒකයි අදත් අපි සතුටින් ඉන්නේ. ගිය රජයට තරම් හොඳ නිලධාරී කණ්ඩායමක් මෑත ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට ඉඳලා නැහැ. අද ඒක ඔප්පු වෙලා ඉවරයි.

ඔබ ඔය කියන ජනාධිපතිතුමාට උපදෙස් දුන්න ඇතුල් කට්ටලේ නිලධාරීන් කවුද?

මම, ගෝඨාභය රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, ගාමිණී සෙනරත්, අජිත් නිවාඩ් කබ්රාල්, එච්.එම්.ජී.එස්.පලිහක්කාර, පාලිත කොහොන, ඩී. දිසානායක වගේ පිරිසක් තමයි එතන හිටියේ.

ජනාධිපතිතුමාගේ තීරණ ක්‍රියාත්මක කරලා වැරදුණු තැන් නැත්ද?

සමහර අමාරු තීරණ අරන් ඒවා අපේ තීරණ වගේ ක්‍රියාත්මක කළා. අපි සැමවිටම එතුමාගේ අවශ්‍යතාව ඉටු කළා. එතුමා දේශපාලනඥයෙක් ඔහුයි මැතිවරණවලට මුහුණ දුන්නේ. ඒකත් අමතක කළේ නැහැ.

ඔබ කියන්නේ ඔබ සාර්ථකව දැලි පිහියෙන් කිරි පැණි කෑවා කියලද?

ඇත්තම කියන්නම්. එතුමා අපි එහෙමම අසීරු අවස්ථාවලට දැම්මේ නැහැ.

පසු කාලේ රාජපක්ෂ රජයට හරියට චෝදනා නැගුණා. ප්‍රධානම එක එකල රට පාලනය කළේ රාජපක්ෂ පවුල විසින් කියලයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල්, යෝෂිත, ගෝඨාභය, බැසිල් ඔය නම් රොත්තක් තිබුණා නේද?

තමන්ගේ ඥාතියා ජනාධිපති නිසා එයාලට යම් කැක්කුමක් තියෙන්න ඇති. නමුත් අපි කරන දේවල් එහෙම කරන්න මෙහෙම කරන්න කියාගෙන කවදාවත්ම කරදර කරලා නැහැ. සමහර යෝජනා නම් ඉදිරිපත් කළ අවස්ථා තිබුණා.

ඒ අය ඔබට නියෝග දීලම නැහැ?

මම හිටියේ නියෝග ලබාගන්නා මට්ටමක නෙවෙයි. සුහදව කියපු අවස්ථා තිබුණා.

බොහෝ දෙනා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හිතුවොත් හිතුණ දේ කරන දරදඬු චරිතයක් කියලනේ?

ගෝඨාභය කියන්නේ එක් එක් පුද්ගලයාගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට කතා කරලා තීන්දු ගත්ත දක්ෂ කළමනාකරුවෙක්. එහෙම නැතුව රාජ්‍ය බුද්ධි අංශයවගේ ආයතන පවත්වාගෙන යන්න බැහැ.

බැසිල් රාජපක්ෂ?

එයා මුල ඉඳලම දේශපාලනේ කළ චරිතයක්. සමහරවිට තද තීන්දු ගත්ත අවස්ථා තිබුණා. මම එකක් කියන්නම්. බැසිල්ගේ අතට අද දෙන ලියුම තවත් අවුරුදු 10කින් ආපසු ඉල්ලුවොත් මිනිත්තු තුනක් ඇතුළත ඒක හොයලා දෙන්න පුළුවන් සංවිධානයක් එයා සතුව තිබුණා. මම එහෙම ක්‍රමයක් කොතනකවත් දැකලා නැහැ.

ඔබලාගේ පාලන කාලය තුළ ගත්ත අර්බුදකාරී තීන්දුවක් තමයි මංගල සමරවීර හා අනුර බණ්ඩාරනායක මහත්වරු රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට්ටුවෙන් ඉවත් කළ අවස්ථාව. කොහොමද ඒ තීන්දුව ගත්තේ?

ඒ තීන්දුවට පසුබිම් වූ බරපතළ රාජ්‍ය තාන්ත්‍රික කාරණා ගණනාවක් තිබුණා. ඒකට බැසිල් කැමති වුණේම නැහැ. නමුත් මහින්ද ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තොත් ගත්තා. අපට තිබුණේ ඒක කොපමණ ඉක්මනට ක්‍රියාත්මක කරනවාද කියන ප්‍රශ්නය විතරයි.

අනුර කියන්නේ ශ්‍රී.ල.නි.ප නිර්මාතෘගේ පුත්‍රයා. මංගල මහින්ද දිනවන්න මහා වැඩ කොටසක් කළ කෙනෙක්. ඔවුන්ට ඇයි මෙහෙම සැලකුවේ?

ඒ ගැන විවෘතව ඔබ සමඟ සාකච්ඡා කළ නොහැකි බරපතළ කාරණා ගණනාවක් මහින්ද ජනාධිපතිතුමා දැනගෙන හිටියා. යුද ජයග්‍රහණය කරා යද්දී යමෙක් රජය පෙරළන්න තැත් කරන බව මහින්ද මහත්තයා දැනගත්තා නම් ඒකට එතුමා සමාව දෙන්න සූදානම් වුණේ නැහැ.

යුද ජයග්‍රහණයෙන් පසු සමහරු මහින්ද රාජපක්ෂ මහතාට මහ රජු යැයි කිව්වා. තවත් ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් ගස් බැන්දා. ඇතැම් බලවත් අය කොළඹ, මහනුවර නයිට් රේස් පැද්දා. ඒවයෙන් රජය සෑහෙන්න පිරිහුණා. ඇයි ඔබලා ප්‍රායෝගික මිනිසුන් ලෙස ජනාධිපතිතුමාට මේ වැරදි පෙන්වා නුදුන්නේ?

අපි ඒ වැරදි දැක්කා. ඒවා හොඳ දේවල් නොවන බවත් තේරුණා. අපිට පුළුවන් මට්ටමට අපි ඕවා ගැන නොයෙක් යෝජනා කළා... වෙනත් හේතු නිසා ඒවා ඉවත දමන්න ඇති. මහින්ද රාජපක්ෂ මහතා මහරජුට ඇන්දුවත් නැතත් එතුමා රජෙක් වගේ තමයි කියලා ජනතාව පිළිගත්තා. මිනිස්සු, දරුවෝ එතුමාට එදත් වැන්දා. අදත් වඳිනවා. යන යන තැන. බලන්නකෝ තියන ගෞරවය, පිළිගැනීම.. ඒ වැඳුම් ලබන්නේ ගෞරව ලබන්නේ එතුමා ඉල්ලලාවත් කියලවත් නොවේ.

එතකොට නයිට්රේස්, නිලධාරීන් ගස් බැඳීම වගේ දේවල්?

නයිට්රේස් එපා කියන එක කිව්වා. යම් හේතුවක් මත ඒ අදහස පිළිගත්තේ නැහැ. නිලධාරීන් ගස් බැඳීමට අපේ දැඩි විරෝධය පළ කළා. මාත් එක්ක තවත් නිලධාරී පිරිසකුත් ඒකට එකතු වුණා. ඕවා නිසා රාජ්‍ය සේවය අපි එක්ක තරහා වුණ බවත් කිව යුතුයි.

එදා රාජ්‍ය සේවය තරහා වුණත් තීන්දු ගත්තා වැඩ කළා. ඒත් අද රාජ්‍ය සේවයට ලොකු චෝදනාවක් නැගෙනවා තීන්දු ගන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ කියලා?

ඒ කාලේ රාජ්‍ය සේවය වෙනුවෙන් තීන්දු ගත්ත නිලධාරීන් ආණ්ඩුව විසින් බලාගත්තා. ආරක්ෂා කළා.. අද එහෙම තියනවද? අද නිලධාරීන් අනාරක්ෂිතයි. රාජ්‍ය නායකයාගේ සුහද බව අගැයීම විතරක් ලබලා සතුටින් මැරීගෙන වැඩ කළ රාජ්‍ය නිලධාරීන් මහ ගොඩක් එදා හිටියා..

අනාරක්ෂිත බවට අමතරව අද පවතින තත්ත්වයට බලපාන තවත් හේතු තිබෙනවාද?

ඒ කාලේ රටට හිටියේ එක නායකයයි. එතුමට තිබුණා මහින්ද චින්තනය.. ඒකේ ක්‍රියාකාරකම් 624ක් තිබ්බා.. ඒවා ක්‍රියාත්මක කිරීමයි අපි කළේ. අද එහෙම දැක්මක් තිබෙනවාද කියලා ආණ්ඩුවේ අයම අහනවා.

උතුරේ යුද්ධය ජයගන්න සෑහෙන දායකත්වයක් දුන්න සරත් ෆොන්සේකා මහත්මයා තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම හරිද?

තනතුරුවලින් ඉවත් කිරීමට ආරක්ෂක හේතු ගොඩක් තිබෙන්න ඇති. ෆොන්සේකා මහත්මයා හමුදාව තුළ ඇති කළ වාතාවරණය නිසා රාජ්‍ය නායකයකුට බිය සහ සැකය ඇතිවෙන්න පුළුවනි.

හමුදාපතිවරයා අත්අඩංගුවට ගත් ආකාරය, ඉන් පසුව ක්‍රියා කළ විදිහ ගැන ආපසු හැරිලා බලනකොට මොකද හිතෙන්නේ?

මම ඒවා අනුමත කරන්නේ නැහැ. මම අදත් දන්නේ නැහැ කුමන හේතුවක් නිසා ඒක එහෙම වුණාද කියලා. සමහරු  ඔය ගැන කිව්ව ජනප්‍රිය කතාව මේක ගෝඨාභය රාජපක්ෂගේ වැඩක් කියලනේ. ඒකනම් සහමුලින්ම බොරු බව මම දන්නවා.

මහින්ද රාජපක්ෂ රජය ලැබූ යුද ජයග්‍රහණය ඒ ආකාරයට ලැබීමේ විශේෂ රහසක් තිබුණද?

දේශපාලන නායකත්වය තමයි ප්‍රධාන. ඊළඟට ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව...

1987 ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉන්දීය බලපෑම නිසා යුද්ධය වඩමාරච්චිවලින් නතර කළා. මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය නතර කරන්න කියලා බලපෑම් ආපු ආකාරය කිව හැකිද?

බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩ්න් බ්‍රවුන්, අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, බෑන් කී මුන්... ඩේවිඩ් මිලිබෑන්ඩ්, බර්නාඩ් කුෂ්නර් කියන විදේශ ඇමැතිලා බලපෑම් කළා.

කොහොම කීවත් ඉන්දියාව නැත්නම් යුද්ධය දිනන්න බැහැ නේද?

එරට සහය අත්‍යවශ්‍යයි. අපි ඔය ගැන කියන්න අගමැති මන් මෝහන් සිං හමුවූ විට එතුමා හිටියේ දැඩි ආතතියකින්... එක පාරක් අපේ හමුවීම් ගැන පිංතූරයක්වත් ගන්න දුන්නේ නැහැ.

කවුද මේ යුද්ධය දිනාගන්න සහය දුන් ඉන්දියානු ලොක්කා?

පිළිතුර - මුල්ම ප්‍රශංසාව මම පිරිනමන්නේ එදා කොළඹ හිටපු මහ කොමසාරිස් ආලෝක් ප්‍රසාද්ට. යුද්ධය ගැන ඉන්දියාවේ තිබුණ දුර්මත දුරු කළේ ඔහු. යුද්ධය ඉවර නොකළොත් ඉන්දියාවටයි ඊළඟ අර්බුදය කියන එක ගාන්ධි මැතිනියට, මන්මෝහන් සිං අගමැතිතුමාට කිව්වේ ඔහු. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ආර්.කේ. නාරායන් හා විදේශ ලේකම් ශිවංකර් මෙනන් අපිට අසීමිතව උදව් කළා. නාරායන් මහත්මයා ළඟ ගෝඨාභයටත්, සරත් ෆොන්සේකාටත් සෑහෙන්න පිළිගැනීමක් තිබුණා. ඉන්දියාව අපට කොපමණ උදව් කළාද කීවොත් යුද්ධයේ අන්තිම දවස් දෙක තුනේ එයාලගේ සමහර නායකයෝ දිල්ලියෙන් පිටත ස්ථානවලට ගිහිල්ලා යුද්ධය ඉවර කරගන්න අපට ඉඩ දුන්නා.

යුද්ධයේ අවසාන දින කිහිපයේ එංගලන්තෙ හා ප්‍රංශ විදේශ ඇමැතිවරු ජනාධිපතිතුමා හොයාගෙන ඇඹිලිපිටියට ගිහිල්ලා චන්ද්‍රිකා වැව් තාවුල්ලේ ගහක් යට කරපු තීරණාත්මක සාකච්ඡාව මතකද?

ඔවුන් එදා අපට දුන් පණිවුඩය තර්ජනයක් වගේ. එංගලන්ත විදේශ ඇමැති මිලිබෑන්ඩ්  කීවා (ජනාධිපති මහත්මයා අපි මෙතනට ආවේ ඔබට සමස්ත ලෝක ජනතාව ගේ පණිවුඩයක් ලබා දෙන්නයි. ඔබ වහාම මේ සමූල ඝාතනය නතර කළ යුතුයි.) කියලා එයා දැඩිව ප්‍රකාශ කළා.

එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මොකද කිව්වේ?

අපට කිසිම පෙර සූදානමක් තිබුණේ නැහැ. මේ කතාවෙන් පස්සේ ජනාධිපතිතුමා තත්පර 15ක් විතර නිහඬව සිටියා. ඊට පස්සේ කිව්වේ මෙහෙමයි. (ඇමතිතුමා ඔබ මතක තබාගත යුතුයි ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තයේ කොලණියක් නොවන වග.. ඒ කොලණිය 1948දී ඉවර වුණා. මම මේ රටේ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපති. මම වගකියන්නේ රටේ මහජනතාවටයි. මම මේ යුද්ධය ඉවර කරනවා. ඒක ඔබ ගිහිල්ලා ඔබේ බටහිර මිත්‍රයන්ටත් දන්වන්න මම කීවා කියලම..) ඔය කතාව යනකොට ප්‍රංශ විදේශ ඇමති කුෂ්නර් කිව්වා (ජනාධිපතිතුමා ඔබතුමා අපේ මිත්‍රයෙක්) කියලා. එතකොට අපේ ජනාධිපතිතුමා කිව්වා (මම හොඳට දන්නවා මගේ මිතුරන් කවුද කියන එක) කියලා. (කොටි බෝම්බවලින් අපේ මිනිස්සු මැරුවම උඹලට ඒක ප්‍රවෘත්තියක් පමණයි... ඒත් මට ඒක මහත් වේදනාවක්) කියලත් එතුමා මතක් කළා.

මේ තරම් ලොකු යුද ජයග්‍රහණයක් ලබලා ජනප්‍රියව හිටපු මහින්ද රාජපක්ෂ මහතා 2015 ඡන්දයෙන් පරාජය වුණා. ආණ්ඩුවේ අන්තිම අවුරුදු දෙකේ රජය විශාල ලෙස පිරිහෙමින් තිබුණ බව ඔබලටත් පෙනුණේ නැද්ද?

මටනම් පෙනුණා. අපි යම් යම් දේ කිව්වත් දේශපාලන වශයෙන් බලවත් කණ්ඩායම් තවත් නොයක් දේ කියලා පාර වරද්දන්න ඇති. ඒ වගේම ඒ කාලේ විපක්ෂයේ දේශපාලන වේදිකාවලින් රාජපක්ෂ රජය ගැන සෑහෙන්න අසත්‍ය තොරතුරු ප්‍රකාශ වුණා. අද ආපහු පස්ස හැරී බලනකොටයි ඒවා ජනතාවට තේරෙන්නේ. නමුත් එතුමා පැරදුණාම ජනතාවට තේරුණා තමනුත් පැරදුණු බව. රාජපක්ෂ මහතා පැරදුණාට පස්සේ දවසේ ඉඳලා අද දක්වාත් එතුමා බලන්න දවසකට සිය ගණන් මිනිස්සු එන්නේ ඒ නිසයි.

රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දරලා ඡන්ද ප්‍රතිඵල එනකොට අරලිය ගහ මන්දිරෙන් මාරු වෙලා ගිහිල්ලා මේ ආණ්ඩුවේ ඉහළම තනතුරු ලබාගත් නිලධාරී පිරිසක් හිටියා. මෙතැන පාවාදීමක්ද සිදු වුණේ?

එහෙම පිරිසක් හිටියා. රාජපක්ෂ රජයේ ප්‍රධාන තනතුරු දරලා වත්මන් රජය ආ ගමන් ඒ අයට ප්‍රධානම තනතුරු ලැබුණා. ඒක අපූරු වැඩක්. එහෙම අපිට කළේ කව්ද කියලා නම් කියන්න බැහැ.

ඊළඟට රාජපක්ෂ රජයක් එහෙම ආවොත් මෙයාලා නැවතත් ආණ්ඩුවට සෙට් වේවිද?

ඒ ගැන දැන්ම මොකුත් නොකියා ඉඳිමු.

අපි දැන් සංවේදී ප්‍රශ්නයකට යමු. ඔබ මාතර රාහුල විදුහලේ සහ කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම බොහෝ අත්දැකීම් ඇති පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි කට පාඩමින් දන්න පරිපාලන ප්‍රවීණයෙක්. එහෙව් ඔබට කොතැනද වැරදුණේ? වැලිකඩ සිර ගෙදරට යන්න සිදුවීම ඛේදජනක අත්දැකීමක් නේද?

ඒ සිද්ධිය දිහා මම බොහෝම උපේක්ෂාවෙන් බලන්නේ. ඒකෙදි මම නිවැරදියි කියන මතයේ අදත් ඉන්නවා. නඩුවක් තියන නිසා ඒ ගැන වැඩිදුරටත් කතා කරන්නේ නැහැ. මම කළ දේ මමයි දන්නේ. ඒ නිසා කනගාටුවක් දුකක් නැහැ. ඔය සිද්ධියට පෙර රාජපක්ෂ රජය කාලේ එක් විදේශ ඇමැතිවරයෙක් මම වොෂින්ටන් තානාපති කරලා අරින්න උත්සාහ කළා. එතකොට මම රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වේ ඉන්දියාවේ හිටපු පළමු ෆීල්ඩ් මාර්ෂල් සෑම් මනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධි අගමැතිනියට කීව කතාවමයි. (ඔබතුමිය මට සැලකීමක් ලෙස එංගලන්තේ ඉන්දීය මහ කොමසාරිස් පදවිය යෝජනා කළා. අගමැතිනියනි මට අපහාස කරන්න එපා. ලක්ෂ 15ක හමුදාවකට අණ දුන්න මට කියන්නේ ඔබේ විදේශ ලේකම් යටතේ ඉන්න කියලද?) අන්න ඒ වගේ මමත් කිව්වේ යනවනම් යන්නේ ගෙදර මිස නැවත රාජ්‍ය සේවයට නොවන බවයි.

රාජ්‍ය සේවයේ ප්‍රධානියා වූ ඔබ බරපතළ වැඩ ඇතිව සිරගත කරන්න උසාවිය කීවම ඒ මොහොතේ ක්ෂණිකව හිතුණේ මොකද්ද?

ඒක මට කලින්ම හිතිලා තිබුණා. ඒ හින්දා ලොකුවට ගණන් ගත්තේ නැහැ.

කොපමණ කාලයක් සිරගතව සිටියද?

එක දවසක් වැලිකඩ. දින 12ක් බන්ධනාගාර රෝහලේ.

කෙනකුට ඔය වගේ දෙයක් වුණාමයි සැබෑ මිතුරන් හා සතුරන් හඳුනාගන්න ලැබෙන්නේ. ඔබත් මිතුරන් සහ සතුරන් හඳුනාගත්තාද?

අපිත් මිනිස්සුනේ. මේ කාරණයේදී මම නොසිතපු මිතුරන් සිටියා. මම තනතුරු දරපු කාලේ ළඟටවත් නොපැමිණි අය මට උදව්වට ආවා. මට නියම කරපු දඩය ගෙවන්න ඉදිරිපත් වූ අය හිටියා. රාජ්‍ය සේවයෙන් මම උපයාගත්ත එකම ධනය මිනිසුන් පමණයි.

රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දැරූ ඔබ හිර ගෙදර ජම්පරේ ඇඳලා බෙලෙක් තැටියේ සිරබත කනකොට හිත සංවේදී වුණේ නැද්ද?

මම හිනාවෙලා ඒ  සියල්ල පිළිගත්තා. එදා මට මතක් වුණා මගේ පියා මම කුඩා කාලේ පරිවර්තනය කරලා දුන්න (රඩ්යාඩ් කිප්ලිංග්ගේ IF) කියන ප්‍රකට කවිය. ඒකේ තිබුණේ රජුන් සමඟ ගියත් හිඟන්නන් සමඟ ගියත් හිස කෙළින් තබාගෙන සිටිනවානම් ඔබයි මගේ පුත කියලා.

මට මතක් වෙනවා ඔබ ජනාධිපති ලේකම් කාලේ රාජපක්ෂ රජය ඔබේ බිරිඳ ඇය දැරූ රැකියාවෙන් ඉවත් කළා. එදා ඔබට මොකද හිතුණේ? සිරගතවීම වගේම ඒකත් ඉතා දුෂ්කර අවස්ථාවක් නේද?

ඇය රැකියාව කළේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිනිය ලෙසයි. එතුමිය එතන ප්‍රතිසංස්කරණය සඳහා ගත්ත තීන්දුවලින් සමහරුන්ට වැදුණා. ඒ නිසා ඇය කුමන්ත්‍රණකාරී ලෙස ඉවත් කළා. සමහරු ඒ වෙලාවේ මගෙන් ඇහුවා දැන් ඔබත් අස් වෙලා යනවද කියලා. මම ඒ අයට කිව්වා මම කරන්නේ වෙනත් රාජකාරියක් ඇය කළේ වෙනත් රාජකාරියක්, ඇය කළ හොඳ වැඩ ඇල්ලුවේ නැති අය ඇය ඉවත් කළා කියලා ඒ ගැන මට කනගාටුයි කියලා. ඇය හිටියානම් ඔය කොමිසම අද හුඟක් ඉහළ තැනක තියේවි කියන බව මට සහතිකයි. ඇය තමයි මේ සියලු ප්‍රශ්නවලදී මට ශක්තියක් වුණේ..

ජනාධිපති ලේකම් ලෙස සුවපහසු නිල නිවාසයක හිටි ඔබ අද ඉන්නේ කුලී ගේක. ගමන් බිමන් යන්නේ අද මේ රටේ තිබෙන ඉතාම පුංචි වාහනයක. මෙහෙම වුණාම කනගාටුද?

ඒ වාහනෙත් මගේ නෙවෙයි. මාතර නිමල් ස්ටෝස් එක අයිති මගේ ඥාතිවරයෙක් තමයි අරන් දුන්නේ. ඔහු තමයි ලීසින් ගෙවන්නෙත්. එදා මම තනතුරේ ඉන්නකොට හොඳ වාහනවල ගියා. හැබැයි මම ඉස්කොලේ ගියේ බස් එකේ. තාත්තලාට උගත්කම තිබුණට කාර් තිබුණේ නැහැ.. ඒ හින්දා යාන වාහන, රොලැක්ස් ඔරලෝසු මට ආභරණ නෙවෙයි.

තනතුරු සමඟ තිබුණ පහසුකම් අහිමි වුණා. අන්තිමට සිරගත වෙන්නත් සිද්ධ වුණා. මේවා එක පෙළට මෙහෙම වෙනකොට සමහරු ජ්‍යොතිෂ අපල නිසා ඒවා සිදුවන බව කියනවා. ඔබ ඒ ගැන විපරම් කළේ නැද්ද?

මට සෙනසුරු ඒරාශ්ඨකය යන්නේ. සෑහෙන්න අපලයි. බොහෝ වැරදීම් සිදුවන බව කියලා තිබුණා. අත පය කැඩිලා බේරුණොත් ලොකු දෙයක්. ඉතා දරුණු අනතුරුවලට ලක්වන බවත් දෛවඥයෝ කීවා.

මෙච්චර බරපතළ අපල ගෙනදුන් ඔබේ ලග්නය මට කියන්න කැමතිද?

ලග්නය (ධනු) ධනුවට ලබාපු බරපතළ ඒරාශ්ඨකයක් අවුරුදු ගණනක් තියනවා...

 


♦ රන්ජිත් ආනන්ද ජයසිංහ 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05