2018 ජුලි 14 වන සෙනසුරාදා

වාහනයක් නම් බද්දක්!

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 411

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක පසුගියදා මාධ්‍ය තුළින් ප්‍රකාශ කර තිබුණේ අලුතින් වාහනයක් මිලට ගන්නා සෑම කෙනෙකුටම බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව අලුතින් වාහන මිලට ගන්නා සෑම දෙනාම ස්වේච්ඡාවෙන් බදු ලිපි ගොනුවක් විවෘත කරගත යුතු බව පවසා සිටි හේ වැඩිදුරටත් අවධාරණය කළේ එලෙස සිදු නොකරන අය පිළිබඳව සොයාබලා ඔවුන් වෙනුවෙන් තම දෙපාර්තමේන්තුව ලිපිගොනු විවෘත කරන බවයි. ඒ අනුව ඔවුන්ට නිතැතින්ම ආදායම් බදු ගෙවීමට සිදුවිය හැකි බව ඔහු අවධාරණය කර තිබුණි.

මේ ප්‍රකාශයන් සමඟ බොහෝ දෙනා තමන්ට ආදායම් බදු ගෙවීමට සිදුවේදැයි කුතුහලයෙන් සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් අය මේ නිසා වාහන මිලදී ගැනීමෙන් තාවකාලිකව හෝ වැළකී සිටීමට උත්සාහ කරන බවද සැලවී තිබේ.

ඇත්තවශයෙන්ම කෙනෙකුගේ ආදායම ඔහුට වාහනයක් හිමිවීම මත ඉහළයැයි පැවසිය හැකිද යන්න තර්කයට භාජනය විය යුතු කරුණකි. අපේ රටේ වාහන හිමි හැමදෙනාම ආදායම් බදු ගෙවිය හැකි තරමේ ධනපතියන්ද යන්න විමසා බැලිය යුතුය. රටේ වාහන හිමියන්ගෙන් වැඩි කොටස මිලදී ගෙන ඇත්තේ ඇන්ජිම් ධාරිතාව 1000ට අඩු මිල අඩු ඉන්දියානු හෝ ඒ හා සමාන වෙනත් වාහනය. ඒවාද අත්පිට මුදලට නොවේ. ෆිනෑන්ස් හෝ ලීසිං පදනම මත ණයට ගත් මුදල්වලින්ය. වසර පහක් තිස්සේ ඉහළ පොලියක්ද සමඟ මෙම ණය ගෙවිය යුතුය. මාස දෙකකට වඩා හිඟ හිටියහොත් වාහනය රුගෙන යනවා ඇත. 

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අදාළ අංශ කිහිපයකින් දැක්වූ අදහස් මෙලෙස දක්වමු. 

දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම් ඒ.එච්.එල්. උදයසිරි පවසන්නේ දැනට පවතින නීතිය අනුව ආදායම් බදු අයකළ හැක්කේ වාර්ෂික ශුද්ධ ආදායම ලක්ෂ පහකට වැඩි අයගෙන් පමණක් බවයි. ඔහුට වාහනයක් තිබේද නැතිද යන්න බලනොපාන බව ඔහු කියයි.

“වාහනයක් දැනට තිබෙන අයට හෝ වාහනයක් මිලට ගන්නා විට ඒ හැමකෙනෙක්ම බදු ගෙවිය යුතුය කියලා නීතියක් නැහැ. එය අවම ශුද්ධ ආදායම ලක්ෂ 5 මතයි තීරණය වන්නේ. ඒ නිසා සෑම වාහන හිමිකරැවකුටම බදු ගෙවිය යුතුවන්නේ නැහැ. ඇතැම් වෙලාවට දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවසූ දේ හරියට පැහැදිලි නොවුණු නිසා ජනතාව තුළ මේ මතය ඇති වෙලා ඇති. 

මෝටර් වාහන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් වාහන පිළිබඳ තොරතුරු ලැබුණු විට අපි සොයා බලනවා ඒ අයට ආදායම ලැබුණේ කොහොමද කියලා. ඒ එක්කම වාහනයක් නඩත්තු කරන්න ඒ අයට පුළුවන්ද කියලත් සොයලා බලනවා. එහෙම ආදායමක් තියෙනවා කියලා සෑහෙන තොරතුරැ ලැබුණොත් පමණයි ගොනුව විවෘත කරන්නේ. ඒ අයගෙන් විමසලා දැනුවත් කරලා තමා ගොනුව අරින්නේ. එහෙම නැතුව එය රහසේ කරන දෙයක් නොවෙයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

“මෙම ක්‍රමයට බදු අයකරන්න යනවා නම් එය ජනතාවගෙන් වැඩි කොටසකට කරන අසාධාරණයක්. අපි 2017 සැප්තැම්බර් 07 වනදා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී කතා කළා. නව බදු පනත අනුව තමා මෙම කණ්ඩායමත් බදුවලට ආවරණය වන්නේ. අපි මේ බදු පනතින් සඳහන් ප්‍රතිපාදනවලට එරෙහිව යෝජනා 65ක් පමණ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. එයින් සමහරක් අනුමත කරගන්න අපට පුළුවන් වුණා. වැඩි කොටස බැරි වුණා. වාහනයක් මිලට ගැනීමේදී ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කරන යෝජනාව ඒ අනුව සම්මත වුණා. ඒ වුණත් අපි මෙහි ඇති වැරැද්ද දකිනවා. ඇතැම් වෙලාවට ජනතාවට එය අවබෝධවන්න කල්යාවී.

එසේම මෙම පනත අනුව වයස අවුරුදු 18 වැඩි හැම කෙනෙකුටම බදු ලිපිගොනු විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. අවුරුදු 18 වැඩි හැම කෙනෙකුට ආදායම  උපයන අය නොවෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ උසස් අධ්‍යාපනය ලබන දරුවන් සිටිනවා. මේ අය අනුන්ගෙන් යැපෙන අයයි. ඉතින් මේ අයට ලිපිගොනු විවෘත කිරීමට කිසිම ප්‍රායෝගික සුදුසුකමක් නැහැ. මේ තත්ත්වය මත හිඟන්නෙකුට පවා බදු ලිපිගොනු විවෘත කළ හැකි වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි:

“වාහන යනු කෙනෙකුගේ වත්කමක්. වාහන පමණක් නොව ගේදොර ඉඩකඩම්, හරකාබාන, ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර වගේම රිදි රත්‍රන් වැනි ආභරණද වත්කම්වලට අයත් වෙනවා. මෙම ඇතැම් වත්කම්වලින් ආදායම් උපයන්න පුළුවන් අතර සමහර ඒවායින් බැහැ. එසේම ආදායම යනු ප්‍රවාහනයක්. කෙනෙකුගේ ආදායම නිරතුරුව අඩු වැඩි වෙනවා. එහෙම නැතුව එකම ආදායමක් දිගටම ස්ථාවරව පවත්වා ගෙනයන්න බැහැ. දිනපතා සතිපතා මාස්පතා වෙනස් වෙනවා.

මූල්‍ය හා මූර්ත වත්කම් ලෙස කෙනෙකුගේ වත්කම් දෙකොටසකට බෙදිය හැකියි. මූල්‍ය වත්කම් යනු බැංකු ගිණුම්, කොටස් වෙළෙඳ පොළ ආයෝජන, බැඳුම්කර සුරුකුම්පත් ආදිය වෙනවා. මූර්ත වත්කම් යනු ස්ථාවර වත්කම්ය. ඒවා නිතර වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණත් දීර්ඝකාලයකට පසුවයි එහෙම වෙන්නේ. මෙම මූර්ත වත්කම්වලින්ද කෙනෙකු ආදායම ලබනවා.

ආදායම් ලිපිගොනු විවෘත කරනවා නම් මේ සියලුම මූල්‍ය සහ මූර්ත වත්කම් සලකාබැලිය යුතු වෙනවා. එහෙම නැතුව වාහන මත පමණක් සලකලා නොවෙයි. වාහන යනු කුඩාම යතුරුපැදියේ පටන් අධිසුඛෝපභෝගි වාහන දක්වා ඉදිරියට යනවා. එසේම මෙම වාහනවලින් ඇතැම් ඒවායින් ආදායම් ලබන අතර අනිත් වාහන පෞද්ගලික පාවිච්චියට හෝ පොදු පාවිච්චියට මෙන්ම ස්වේච්ඡා කටයුතුවලට ද යොදාගන්නවා විය හැකිය. කුඩා වාහනයකින් වුවද විශාල ආදායම් උපයන අවස්ථා තිබෙනවා. ඒ නිසා කෙනෙකුගේ මූල්‍ය හෝ මූර්ත ආදායම මත බදු අයකිරීමට යාම අසාර්ථක බවයි මගේ වැටහීම.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල් ශ්‍රී ද සිල්වා,

වාහන ගන්න විට ආණ්ඩුවට විශාල බදු මුදලක් ගෙවනවා. ඊළඟට වාහනයට යොදන ඉන්ධනවලටත් ආණ්ඩුවට බදු ගෙවනවා. වාහනවලට දමන ටයර්, ටියුබ්, බැටරි හා එන්ජින් කොටස් ආදී සෑම එකකටම බදු ගෙවනවා. ඊළඟට වාහන බලපත්‍ර, රක්ෂණ, දුම් සහතික ආදී සෑම දෙයකටම බදු අය කරනවා. මේ බදු මුදල් සෑම එකක්ම වාගේ අවුරුදු පතා, සමහර ඒවා මාස් පතා දිගටම වැඩිවෙනවා. ඉතින් මෙහෙම තිබියදී වාහනයක් හිමි සෑම කෙනකුගෙන්ම ආයිත් බද්දක් ගහන්න යනවා නම් ඒ අයගේ මොළේ අවුලක් තිබිය යුතුමයි.

බොහෝ දෙනා වාහන ගන්නේ සල්ලිවලින් කරන්න දෙයක් නැති නිසා නොවෙයි. තමන්ට යන්න එන්න අමාරු නිසයි. අද පාසල් ළමුන් පොදු ප්‍රවාහනයේ නොයවා අමාරුවෙන් හෝ මෙවැනි වාහනවල යවන්න දෙමාපියන් පෙළඹෙන්නේ බස්රථවල ගියහොත් වෙලාවට පාසල් යන්න බැරිවෙන නිසයි. අනිත් අතට මිනිස්සු හැමදාම හිඟන්නො වගේ ඉන්න කැමති නැහැ. වාහන ගන්නේ පුළුවන් අය විතරක් නොවෙයි. බැරි දුප්පත් අයත් වාහන ගැනීමේ සිහිනය සැබෑකරගන්න උත්සාහ කරනවා. බොහෝ අය වාහන ගන්නේ අත්පිට මුදලට නොවෙයි. ලීසිං කරලා හෝ ෆිනෑන්ස් කරලයි. අපේ සංගමයේ සිටින බොහොම දෙනා වාහනවලට ලීසිං ගෙවනවා. අද පවතින තත්ත්වය අනුව පාසල් ළමුන්ගෙන් ප්‍රවාහන ගාස්තු අයකිරීම අපහසුයි. එහෙම වැඩිපුර අය කළොත් ඊළඟට කිහිපදෙනෙක් අඩුවෙනවා. ඒ හින්දා ගාස්තු වැඩිකිරීමද බෙහොම ප්‍රවේශමෙන් කළ යුතුයි.

මෙවැනි පරිසරයක සිටින අපේ වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කරනවා කියන එක හරිම අසාධාරණයක්. 

 යසවර්ධන රුද්රිගු