
දිවංගත ජනපති ජේ.ආර් ජයවර්ධන මහතා විධායක ජනපති ක්‍රමය රටට හඳුන්වා දීමත් සමඟ මේ රටේ ඉහළ දේශපාලනඥයන්ගේ සැඟවුණු එකම හීනය වී ඇත්තේ කවදා හෝ මේ රටේ ජනාධිපති පුටුවේ වාඩිවීමය. එහි වාඩිවූ පසුව සුර සැප විඳිය හැකි බව බොහෝ දෙනා දන්නා නිසා හොරෙන් හෝ උත්සාහ ගන්නේ එකී පුටුවේ විරාජමානව සිටීමටය. මේ නිසා ඇතැම් දේශපාලනඥයෝ දෛවඥයන් පසුපස ගොස් රාජ යෝග ඇත්දැයි සොයා බලති.
කෙසේ වෙතත් ජනපති සටන ලේසි පහසු නැත. රටට දැනෙන ප්‍රතිපත්තියක්, දැනෙන සටන් පාඨයක් නැති කොට එකී ජනපති සටන අපේ භාෂාවෙන් කියනවා නම් කිසිම ගැම්මක් නැත. මේ නිසා ජනපති සටනට එක්වන්නෝ නොයෙකුත් ප්‍රතිපත්ති, සටන් පාඨ, පොරොන්දු ජනතාව හමුවේ තබති. එහෙත් එකී පොරොන්දු, සටන් පාඨවලින් ජනතාවට ඉෂ්ඨ කළ ප්‍රමාණය අතේ ඇඟිලිවලටත් වඩා අඩුය.
විධායක ජනාධිපති කතාවේ පළමු සටන් පාඨය මෙන්ම පළමු දේශපාලන පොරොන්දුව වූයේ ජේ.ආර් ජයවර්ධන මහතාගේ ‘ධර්මිෂ්ට සමාජයක්’ තේමාවය. එහෙත් එම පාලනය කෙතරම් ධර්මිෂ්ට සමාජයක් වූවාද යන්න දන්නෝ දනිති. ඊට පසු ඔහුගේ පොරොන්දුවක් අනුව විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේය .එයද සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ ප්‍රශ්න ඇත.
ඊට පසු රණසිංහ ප්‍රේමදාස මහතා ජනපති සටනට ආවේය. ඔහුගේ එකම සටන් පාඨය වූ ඒ වන විටත් රට තුළ කඳවුරු ලා සිටි ඉන්දීය හමුදා මෙරටින් පළවා හැරීමය. පසුව ඔහු එය ක්‍රමානුකූලව සිදු කළේය. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමඟ ඊළඟ ජනපති සටනට ආවේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි. ඉතිහාසයේ වැඩිම පොරොන්දු සංඛ්‍යාවක් ගෙන ආවේ ඇයය.
ඇය මේ විධායක ජනපති ක්‍රමය පැය විසිහතරෙන් අහෝසි කරන බව කීවාය. ජේ. ආර්. ගේ බහුබූත 77 ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙනෙන බව කීය. 88/ 89 භීෂණයේදී අතුරුදන් වූ දරුවන්, ස්වාමි පුරුෂයන් වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන බව කීවාය. බඩු මිල අඩු කරන බවට ද පොරොන්දු වූවාය. එහෙත් නැවත 1999 ජනාධිපතිවරණ සටනට එනතෙක් ඇය ඒ කිසිදු පොරොන්දුවක් ඉෂ්ඨ කළේ නැත. එවර ජනාධිපතිවරණයේදී ඇයට එල්.ටී.ටී.ඊය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ ඇයට සානුකම්පිතව ඡන්දයක් හිමිව ඇය ජයගත්තේය. ඇය එවර ගෙන ආ පොරොන්දුව වූයේ යුද්ධයට නිමාවක් යන්නයි. ඒ අනුව ඇය ජයග්‍රහණයෙන් පසුව සාම සාකච්ඡා සඳහා රජය ක්‍රමයෙන් තල්ලු කළේය.
ඇයගේ කාලය නිමවීමත් සමඟ මීළඟ ජනපති අපේක්ෂයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ගෙන ආ පොරොන්දු වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවය. යුද්ධය පැවති කාලවකවානුවක් නිසා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවද වේදිකාවල නිතර ප්‍රකාශ විය. එසේම ඔහු 2005 මැතිවරණයේදී ප්‍රකාශ කළේ තමන් නැවත යුද්ධ නොකරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන බවත්ය. එහෙත් ඔහු ඒ සියල්ල වෙනුවට යුද්ධය අවසන් කළේය.
නැවත 2010 මැතිවරණය ආවේය. එය ඉතිහාසගත මැතිවරණයක් විය. ඒ පළවැනි වතාවට පොදු අපේක්ෂකයකු තරග කිරීමට ඉදිරිපත් වීමය. එවර මහින්ද රාජපක්ෂ මහතාගේ සටන් පාඨය වූයේ රට ආශ්චර්යක් කරා රැගෙන යාමය. එපමණක් නොව සුබ අනාගතයක් තේමා පාඨය කරලියට ආවේය. එවරද මහින්ද මහතා විධායකය අහෝසි කරන බව කීවේය. එහෙත් කළේ නැත. ඒ වෙනුවට ඔහු තුන්වැනි වතාවටත් තරග කළ හැකි ලෙසට ව්‍යවස්ථාව සකසා ගත්තේය.
එසේම එවර එක්වූ පොදු අපේක්ෂයා වූ සරත් ෆොන්සේකා මහතාගේ වේදිකාවල ලොකුම සටහන් පාඨය වූයේ “දූෂිත ආණ්ඩුව ගෙදර” යවමු යැයි කියාය. එසේම “පවුල් වාදය සහ සහෝදර සමාගම නතර කිරීමට එක්වන ලෙසද ෆොන්සේකා මහතා ජනතාවාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අවසානයේ ඔහු පරාජය වී මහින්ද දින්නේය.
2015 ජනාධිපතිවරණය ඉතිහාසගත මැතිවරණයක් විය. එයට හේතු වූයේ ජනාධිපතිවරයකු මෙරට පළමු වතාවට තෙවරක් තරග කිරීමත්, එසේම ඔහුගේම පක්ෂයේ සිටි ලේකම් එළියට බැස ඔහුට විරුද්ධව පොදු අපේක්ෂකයා වීමත්ය.
කෙසේ වෙතත් එවර මහින්ද රාජපක්ෂ වේදිකව තුළ තේමා සටන් පාඨවලට වඩා විරුද්ධවාදියාට ප්‍රහාරය එල්ල කිරීම පමණක්ම තිබුණේය. රාජපක්ෂ වේදිකාවේ තිබු එකම සටන් පාඨය වූයේ රට බෙදන කුමන්ත්‍රණය පරදවමු යන්නය.
එහෙත් ප්‍රතිවාදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා සිත් ගන්නා සුළු සටන් පාඨ, තේමා, පොරොන්දු රැසක් තිබුණේය. විශේෂයෙන් මෛත්‍රී පාලනයක්, යහපාලනයක් වගේ තේමා ජනතාව අතර ඇදී ගියේය. ඊට අමතරව 18 ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට 19ගෙන ඒමටත්, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වැනි පොරොන්දු සටන් පාඨ රාශියක් වේදිකාවලින් එළියට ආවේය. විශේෂයෙන් දූෂිත රාජපක්ෂ පවුල් වාදය බිඳ දැමීම, හොරුන් ඇල්ලීම, මාධ්‍යවේදී ඝතන, අතුරුදන් කිරීම්, සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මක කළ අයට නිසි දඬුවම් දීම වැනි ප්‍රහාර සටන් පාඨ එවක ප්‍රසිද්ධ කතාබහ විය. ඩුබායි හෝටල්, රත්තරන් අශ්වයන්, ලැම්බෝගිනි නම් කරළියේ පෙරළි කෙරුවේය.
මේ අතරින් ලොකුම සටන් පාඨය වූයේ දින සීයේ කතාවය. එකී කතාවට අන්තර්ගතව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ විය. ඒ නිසා අවසානයේ ජනතාව එම පොරොන්දුවලට යටත්ව මෛත්‍රීව දිනෙව්වේය. දැන් ඇත්තේ එකී මෛත්‍රී පාලනයයි. ඔහු කිවූ දේවල්වලින් යම් දේවල් ඉටුකළේය. එහෙත් අල්ලපු හොරෙක් නැත. විධායක අහෝසි නොකළත් විධායකයේ බලතල යම් ප්‍රමාණයක් අඩු කළේය.
කෙසේ වෙතත් එකී මෛත්‍රී පාලනය ලබන වසරේ ඔක්තෝම්බරයෙන් පසුව නිමවීමට නියමිතව ඇත. ඊට පසුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. එකී මැතිවරණයට මොනවගේ සටන් පාඨ ඒවිද යන්න බොහෝ දෙනාට කුකුසක් ඇත. අප කළ සොයා බැලීමේදී 2020 ජනාධිපතිවරණයේදී ඉදිරියට පැමිණිය හැකි සටන් පාඨ, පොරොන්දු මෙසේ විය හැක.
නියත වශයෙන් ප්‍රධාන සටන් පාඨය විය හැක්කේ රටම ආර්ථික අර්බුදයකට හෙළන ලද මහ බැංකු බැඳුම්කර චෝදනාවට ලක්වූ පිරිසට දඬුවම් ලබාදෙන බවය. එසේම ඊට සම්බන්ධ දේශපාලනඥයන් ද කූඩු කරන බව ප්‍රධාන සටන් පාඨය වනු ඇත. ඊට පසුව පැමිණිය හැකි දෙවැනි සටන් පාඨය වන්නේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා බවය. මේ නිසා 2020 අපේක්ෂකයන් බොහෝ දෙනකුගේ ප්‍රතිපත්තියේ ආර්ථික වර්ධනය ගැන පිටු රැසක් පිරවෙනු ඇත.
එසේම විකුණනු ලැබු රාජ්‍ය ආයතන, වරාය, ගුවන් තොටුපළවල් නැවත ලබාගන්න බව පොරොන්දු විය හැක. නැවතත් සූපුරුදු පරිදි විධායකය අවසන් කරන බවද පොරොන්දු වීමේ ඉඩකඩ ඇත.
රට බෙදන ප්‍රතිපත්ති, නැවත එල්.ටී.ටී.ඊය නැගිටීම මර්දනය, පාතාල මර්දනය වැනි දෑ සමාජ කරළියට එනු ඇත. එපමණක් නොව තවත් අපේක්ෂයන් අතර විල්පත්තු ඇතුළු වන විනාශය සම්පූර්ණයෙන් නිම කිරීමේ පොරොන්දු ආ හැක.
තාක්ෂණ දියුණුව, කඩිනම් සංවර්ධන වැඩ සටහන් ආදී වැඩ පිළිවෙළවත් ඉස්මතු විය හැක. බොහෝ දෙනා දේශපාලන වාසියක් ලෙස ආගම්වාදය, ජාතිවාදයට වේදිකාවේදී පමණක් ප්‍රසිද්ධියේ විරුද්ධ වීමේ සටන් පාඨයක් විය හැක. විශේෂයෙන් මහනුවර සිද්ධිය, විජේකළා මන්ත්‍රීවරියගේ ප්‍රකාශ එකී මැතිවරණයේ දැඩි සටන් පාඨ වීමට ඉඩඇත. බොහෝ වෙලාවට එම මැතිවරණය එකම සටන් පාඨ යුද්ධයක් වනු ඇත. සටන් පාඨ පමණක් නොව නම් ගම් ද එළියට එනු ඇත.
♦ ගයාන් ගාල්ලගේ