2018 ජුලි 14 වන සෙනසුරාදා

රජයේ නිලධාරීන්ගේ දුක් ගන්නා රාළ

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 6810

රාජ්‍ය ආයතනයකින් සේවා සපයා ගැනීමට ගියවිටදී බොහෝදෙනා අපහසුතාවයන්ට සහ අසාධාරණයට ලක්වන්නේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියකලාපයන් නිසාවෙනි. එමෙන්ම රාජ්‍ය සේවයේ නිරතවන රාජ්‍ය සේවකයන්ට ද ඇතැම් ඉහළ නිලධාරින්ගේ පක්ෂග්‍රාහී හා දූෂිත තීරණ හේතුවෙන් අසාධාරණකම් සිදුවෙන අවස්ථා අඩු නැත. මෙවන් අසාධාරණයන්ට ලක්වූ බොහෝ දෙනා නිහඬවම තමන්ට සිදුවන අහසුතාව දරාගන්නේ මේ දුක්ගැන්විල්ල කාට කියන්නදැයි සිතාගැනීමට අපහසුවීමෙනි. එහෙත්එවන් අවස්ථාවල ජනතාවගේ දුක්ගැනැවිල්ල කියන්ට කෙනෙක් සිටී. ඔහු ඔම්බුඩ්ස්මන් වරයාය.

ඔම්බුඩ්ස්මන් යනු පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාය. සියලු රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, රාජ්‍ය බැංකු, පළාත් සේවා, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍යයට අයත් ආයතනවල නිලධාරීන් අතින් මහජනයාට අසාධාරණය සිදුවන විට මහජනයාගේ දුක්ගන්නාරාළ බවට පත්වන්නේ ඔම්බුඩ්ස්මන්වරයාය. මූලික අයිතිවාසිකම් කඩවීම්, පරිපාලන දෝෂ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගනු ලබන වෙනස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ලැබෙන පැමිණිලි අපක්ෂපාතිව පරීක්ෂා කරබලා අසාධාරණයක් සිදුව ඇත්නම් යුක්තිය ඉටුකිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීමට ඔම්බුඩ්ස්මන්වරයාට හැකිය.

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය ස්වාධීන ආයතනයකි. මෙහි පත්වීම් සිදුවන්නේ ජනාධිපතිවරයා හරහාය. 1981 අංක 17 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතින් මෙම ඕම්බුඩ්ස්මන් ආරම්භ වී ඇත. මුල්කාලයේ දී මීට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මාර්ගයෙනි. 1994 අංක 26 දරන පනතින් එය සංශෝධනය වූ අතර කොමසාරිස්වරයා වෙත ඍජුව පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඒ මඟින් මහජනයාට උදාවිය. මෙම තනතුර ශ්‍රී ලංකාවේ පමණක් තිබෙන්නක් නොවන අතර ලෝකය පුරා රටවල් බොහෝමයක මෙවැනි ආයතන 180ක් පමණක් ස්ථාපිත වී තිබේ. පුරවැසියන් රජය සමඟ කටයුතු කිරීමේ දී ඔවුන්ට රැකවරණය ලබාදීම මෙම ආයතන මගින් සිදුවෙයි.

මෙරට ඔම්බුඩ්ස්මන් කාර්යාලය වෙත පැමිණිලි ඉදිරිපත් කළ යුත්තේ ලිඛිතවය. ලියාපදිංචි තැපෑලෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ. රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ ක්‍රියාවන් නිසාවෙන් අසාධාරණයට ලක්වූ සාමාන්‍ය ජනතාවටත් රාජ්‍ය සේවය තුළදීම නිලධාරීන් අතින් අසාධාරණයන්ට ලක්වූ රාජ්‍ය සෙවකයන්ටත් සිය පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. මෙලෙස එවනු ලබන පැමිණිලි ඔම්බුඩ්ස්මන්වරයා විසින් සලකාබලා විභාගකළ හැකි මට්ටමේ පවතී නම් අදාළ ආයතනයට පැමිණිල්ලේ පිටපතක් යවා වාර්තාවක් කැඳවනු ලබයි. අනතුරුව ආයතනය විසින් එවනු ලබන වාර්තාවේ පිටපත්ද පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශවය වෙත යවා ඒ පිළිබඳව එම පාර්ශවයේ ද අදහස් විමසනු ලබයි. මෙම ලියවිලිවල අන්තර්ගත තොරතුරු පවතී නම් ඔම්බුඩ්ස්මන්වරයා ඒ සඳහා කටයුතු කරයි. එසේ නොමැති නම් දෙපාර්ශවයම කැඳවා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ලබාදීමට පියවර ගනු ලැබේ.

වර්තමානයේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු එල්.ඒ. තිස්ස ඒකනායක මහතාය.

ඔහුට අනුව ඔම්බුස්මන් කාර්යාලයට පැමිණෙන්නේ පීඩාවට පත්ව අසරණ වූ අය වන අතර එවැනි අයට අධිකරණ වැනි ආයතන තුළදී තම ගැටලු නිරාකරණය වෙනුවෙන් නීතිඥයන් සඳහා වැයකිරීමට මුදල් නොමැත. එවැනි පිරිස්වලට මුදල් වැයකිරීමකින් තොරව සහන ලබාගැනීමට මෙම ආයතන හරහා අවස්ථාව ලැබේ. මේ දිනවල වඩාත් වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සම්බන්ධව බව ඔම්බුඩ්ස්මන්වරයා සඳහන් කරයි. ඊට අමතරව අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අමාත්‍යාංශ සම්බන්ධව මහවැලි අධිකාරිය සම්බන්ධවද බොහෝ පැමිණිලි ලැබී තිබේ. විශ්‍රාමිකයන්ට සිදුවන අසාධාරණකම්, පාසලට දරුවන් ඇතුළත් කිරීමේ දී සිදුවන අසාධාරණකම් ආදිය කරුණු සම්බන්ධයෙන් බොහෝ සහන සැලසීමට ඔම්බුස්මන් කාර්යාලය සමත්ව ඇත.

දැනට ඔම්බුස්මන්වරයා වෙත පැමිණිලි ලැබෙන්නේ වසරකට 2500-3000ත් අතර ප්‍රමාණයකි. එහෙත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ තීරණ හරහා අපහසුතාවයට අසාධාරණයට ලක්වන පිරිස් මෙම සංඛ්‍යාවට වඩා බොහෝ වැඩිය. නමුත් මෙවන් ආයතන පිළිබඳ දැනුම්වත් නොමැතිවීම නිසාම බොහෝ දෙනා අවසානයේ නිහඬ වෙති. මෙම නිහඬ වීම හේතුවෙන් සිදුවන්නේ දූෂිත නිලධාරීන්ට තවදුරටත් රිසිසේ කටයුතු කිරීමට අවකාශය ලැබීමය. අසාධාරණයක් සිදුවන විට යුක්තිය ඉටුකර ගැනීම සඳහා මහජනයා මෙවන් ආයතනවලට පැමිණිලි කරන්නේනම් රාජ්‍ය සේවය වඩා යහපත් තැනක් බවට පත්කරගැනීමට හැකිවනු ඇත. පැමිණිලි දහසහසක් ලැබුණ ද තවත් සහ නිලධාරින් අසාධාරණයට ලක්වුවන් වෙනුවෙන් පෙනිසිටීමට සූදානම් බව ඔම්බුස්මන්වරයා සඳහාන් කරන්නේ එබැවිනි.

යුක්තිය වෙනුවෙන් වෙහෙසෙන ඕනෑම පුද්ගලයකුට ආයතනයකට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඔම්බුස්මන්වරයාට ද මහජනයාට සාධාරණය ඉටුකිරීමේ දී අභියෝග රාශියකට මුහුණ දීමට සිදුව තිබේ.

“මම ඊයේ පෙරේදා පත්තරෙන් දැක්කා. කිහිප තැනකම මේක වෙනවා. විශ්‍රාම වැටුප් එකේ විතරක් නෙවෙයි. හුඟක් තැන්වල අපි රාජ්‍ය ආයතනයකට ලිපියක් යැව්වාම අඩුගානේ සති දෙකකින් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට වගේ තැනක තුන් සැරයක් සිහිකැඳවීම් යවලත් එවන්නේ නෑ... සිහිකැඳවීම් තුනක් කියන්නේ කොච්චර කාලයක්ද? අන්තිමට මම පොඩි ක්‍රමයක් හොයාගත්තා. දැන් දෙවැනි සිහිකැඳවීම යවන තැන්වලින් අපි නිලධාරියෙක් ගෙන්වනවා උත්තරෙත් අරගෙන.”

කොමසාරිස්වරයා මෙලෙස පැහැදිලි කරන්නේ රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂම භාවයයි. ඇතැම් විට මෙම ප්‍රමාද කිරීම් සිතාමතා සිදුවෙනවා ද වියහැක. ඇතැම් ආයතනවලින් පිළිතුරු ලැබුණ ද ඒවා අතැර ඇඟ බේරාගැනීම උදෙසා ලබාදෙන පිළිතුරු ද වෙයි. මෙම සියල්ලෙන් පැහැදිලිවන්නේ රාජ්‍ය ආයතන බොහෝමයක් සමඟ ගනුදෙනු කිරීමේ දී ඇති කාර්යක්ෂම භාවයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලයලත් ඔම්බුඩ්ස්මන්වරයාටත් නිලධාරී වාද හේතුවෙන් හිස උදුම්මවාගත් ඇතැම් නිලධාරින් සමඟ ගනුදෙනුව පහසු නැත. එහෙත් සියලු අභියෝග මැද උපක්‍රමශීලීව කටයුතු කරමින් කෙසේ හෝ මහජනයාට සාධාරණය ඉටුකිරීමට ඔම්බුඩ්ස්මන්වරයා දරණ උත්සාහය පැවසිය යුත්තකි.

වෙහෙස මහන්සි වී විමර්ශන පවත්වා ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද තමන් සෑහීමකට පත්නොවන බව ඔම්බුඩ්ස්මන්වරයා පවසයි.

“අපි නිර්දේශයක් කරනවාට අවසානයේ දී අපට යවන්න තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට එක් පැත්තකට අපිට පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාවෙනුත් පැමිණිලි අපිට යොමුකරනවා. එතකොට අපි අපේ නිර්දේශ යවන්න ඕනෑ ගරු කතානායකතුමාට. ඒ තැන්දෙක තමා ඊට පස්සේ බාරඅරගෙන නිර්දේශ ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා කරන්න ඕනෑ. අපේ වැඩකටයුතු එතනින් ඉවර වෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට මම සෑහීමකට පත්වෙන්නෙ නෑ. මොකද මිනිස්සු ලොකු බලාපොරොත්තුවක් ඇතිව මෙහෙට එන්නේ පීඩනයට ලක්වෙලා. හැබැයි නවසීලන්තය, පකිස්ථානය මම හිතන්නේ සීයට සීයක් නිර්දේශ ක්‍රියාත්මක කරන රටවල් දෙකක්.”

මෙම තත්ත්වයට හේතුව වී ඇත්තේ 1994 වර්ෂයේ සිදුකරන සංශෝධනය හැරුණුකොට මේ වනතෙක් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතට කිසිදු සංශෝධනයක් එක් නොවීමයි. නිලධාරී වාදය හේතුවෙන් නිර්දේශයන් යටපත් වීම වළක්වා ගැනීමට නම් මෙම පනත සංශෝධනය කරමින් නව බලතල වෙන්ව නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පදනමක් සැකසීම ඉතා වැදගත්ය. දැනට පවතින තත්ත්වය තුළ වුවද නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැඩි බලපෑමක් ඇතිකළ හැකිය. නියෝග පිළිනොපැදීම ජනාධිපතිවරයාට සිදුකරන අපහාසයක් ලෙස සලකා පියවර ගැනීමට හැකියාවක් පවතී. තවද ස්ථාවර නියෝග අනුව කතානායකවරයාගේ නියෝග පිළිපැදීමට ද බලපෑම් සිදුකළ හැකිය. නිසි බලතල ලැබී මෙම කටයුතු නිසි පරිදි සැකසුවේ නම් වඩා විශ්වාසදැයි සේවාවක් සැපයීමට ඔම්බුඩ්ස්මන්වරයාට හැකිවෙනු ඇත.

පකිස්ථානයේ හා නවසීලන්තයේ තත්ත්වය මෙරටට උදාහරණ ගතහැකිය. මෙම රටවල නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට විරුද්ධව පියවර ගනු ලබයි. එවන් නිලධාරීන්ගේ ලිපිගොනු අසාදුලේඛන ගතකරනු ලබන අතර අනතුරුව එම නිලධාරින් වෙනම සංචිතයකට යොමු කෙරේ. මෙම ක්‍රියාවලින් තමන් අපහසුතාවයට ලක්වෙතැයි බියවන පරිපාලන නිලධාරීන් විසින් නිවැරදි නියෝග සීයට සීයයක්ම ක්‍රියාත්මක කරනු ලැබේ. මෙවන් තත්ත්වයකට අවශ්‍ය නීති ප්‍රතිපාදන මෙරට තුළ ද නිර්මාණය වේ. තව බොහෝ  අකටයුතුකම් පාලනය වනු ඇත. අවශ්‍යවන්නේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පදනමකි.

මෙවන් අඩුපාඩු රාශියක් පැවතිය ද පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය ස්වාධීනව තම කටයුතු සිදුකරයි. ස්වාධීනත්වය බිඳවැටෙන ලෙස කිසිදු බලපෑමක් තමන්ට එල්ල නොවන බව කොමසාරිස්වරයා පවසන්නේ එබැවිණි. දැනට පවතින ස්වාධීනත්වය ආරක්ෂා කරමින් තවදුරටත් මෙම තනතුර බලගැන්වීමේ අවශ්‍යතාවය අද වනවිටද තිබේ. තවද පුළුල් ප්‍රචාරණයක් හරහා බොහෝ දෙනා මෙම තනතුරේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් ද පවතී. එවිට හඬක් නැති අසාධාරණයට ලක්වන බොහෝ දෙනාට පිළිසරණක් ලැබෙනු ඇත.

ලිපිනය : පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්
(ඔම්බුඩ්ස්මන්) කාර්යාලය
පළමු මහළ, අංක: 14
ආර්.එ.ද මෙල් මාවත
කොළඹ 04
විද්‍යුත් තැපෑල: ombudssl@slthet.lk 
වෙබ් අඩවිය: www.ombudsman.gov.lk
දුරකතන අංක: 
කොමසාරිස් : 0112-588982
පරිපාලන නිලධාරි: 0112-585896
කාර්යාලය: 0112-588798
ෆැක්ස්: 0112-501126

(පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමන් සමඟ කෙරැණු සංවාදයක් ඇසුරිනි.)

►චමිඳු නිසල් ද සිල්වා