ලෝකයේ බොහෝ දියුණු රටවලට මත්ද්‍රව්‍ය එන්නේ පිටිනි. ලංකාව වෙන මොනවායින් නැතත් මතින් ස්වයංපෝෂිතය. අපේ රටට විදේශයන්ගෙන් ලැබෙන මත්ද්‍රව්‍ය තොගය ප්‍රමාණාත්මකව සුළුය. ඒද හෙරොයින්, කොකේන් වැනි වඩා ප්‍රබල මත්ද්‍රව්‍යයි. දුර්වල මත්ද්‍රව්‍ය වැඩි හරියක් අපිම නිෂ්පාදනය කර ගන්නෙමු. හැම භාණ්ඩයක්ම පිණිස මෙසේ නම් රටේ ආර්ථිකය මීට වඩා බොහෝ ඉදිරියට යනු ඇත්තේය. Cannabis හා marijuana (නිවැරදි උච්ඡාරණයි මරිජුවානා නොව මරුවානා විය යුතුයි) ඇතුළු තවත් නම් රාශියකින් හඳුන්වනු ලබන මත්ද්‍රව්‍යයේ මූලය Cannabis හෙවත් කංසා ලෙස පොදු ව්‍යවහාරයේ හඳුන්වනු ලබන එකම පැළෑටියකි. වඩා නිවැරදි වෙතොත් Cannabis sativa, Cannabis indica හා Cannabis ruderalis නම් පැලටි තුනක කුලකයකි. මේ පැළෑටි delta-9-tetrahydrocannabinol (9-THC) නම් භ්‍රාන්තිකාරක රසායනය නිපදවනු ලබයි. ශරීර ස්කන්ධයෙන් කිලෝග්‍රෑම් එකකට මයික්‍රොග්‍රෑම් 10ක් වැනි සුළු ප්‍රමාණයකින් ශරීරගත වුවද මේ රසායනිකය කෙනකුගේ මූඩ් එක වෙනස් කිරීමට හා ඉන්ද්‍රජාලික පරිසරයක් නිර්මාණය කිරීමට සමත්ය. වෙනත් මත්ද්‍රව්‍යයන්ට සාපේක්ෂව ඇබ්බැහි වීමේ ගුණය අඩු වුවද මීට ලොකු ඉල්ලුමක් ඇතිවීම මින් තේරුම්ගත හැක්කේය.
මෙරට ස්වයංපෝෂිතව තිබූ දේශීය ගංජා පැළෑටියට අභියෝගයක් වූයේ ඉන්දියාවෙන් ගෙන්වන්නට යෙදුනු කේරල ගංජාය. කංසා වගාවට එරෙහිව ආරක්ෂක අංශවල වැටලීම් සහ නීතියේ පීඩනය වැඩිවන විට ලංකාවේ කංසා වගාව කෙමෙන් කෙමෙන් අඩුවන්නට විය. ඒ වෙනුවට දකුණු ඉන්දියාවෙන් ආනයනය කෙරෙන ගංජා වර්ගයක් ලංකාව පුරා ප‍්‍රචලිත වීම ආරම්භවූ අතර මේවා කේරල ගංජා නොහොත් කේ.ජී. නමින් හඳුන්වන ලදී. ඉන්දියාවේ කේරල් ප‍්‍රදේශයේ වගාකර ලංකාවට හොර පාරෙන් එන ගංජාවර්ග කේරළ ගංජා ලෙස හැඳින්වෙන අතර ස්වදේශීයව වගාකෙරුණු ගංජාවලින් සිදුවුණ හානියටත් වඩා හානියක් ඒවායෙන් සිදුවෙන බව දැන් දැන් පෙනෙන්නට ඇත. කේරල ගංජා හා දේශිය ගංජා අතර වෙනස බොහෝ දෙනා දන්නේ නැත. ගංජා හෙවත් කංසා ශාකයේ ප්‍රභේද ගණනකි. ගංජාවල හොඳම ප්‍රභේද කුශ් හෙවත් කුජ් ලෙස හැඳින්වේ. ඉන්දියානු භාවිතය මෙරට භාවිතයට හැරවීමේදී මෙම නාම වෙනස ඇතිවේ. කේ.ජී. යනුවෙන් වහරේ හැඳින්වෙන කේරල ගංජාද මෙවන් කුජ් විශේෂයකි. සාමාන්‍ය දේශීය ගංජාවලදී ගංජා ශාඛයේ මල් පත්‍ර හා දළු භාවිතා කරන අතර ඊට වෙනත් කිසිවක් මිශ්‍ර නොකෙරේ. කේරල ගංජා සෑදීමේදී ගංජා නොවන මදුරුතලා වැනි ශාඛද කවලම් කිරීම සිදුවේ. මෑත කාලයේ අත්අඩංගුවට ගත් බොහෝ කේරල ගංජා තොගවල විශාල වශයෙන් ගංජා නොවන වෙනත් ශාඛපත්‍ර අඩංගුව තිබුණි. එසේම, එකී පත්‍රවලින් ගංජා ශාකයේ සැර හා සමාන සැරක් ලබාගනු පිණිස එම පත්‍රවලට විවිධ රසායනික ද්‍රව්‍ය එක්කිරීම සිදුවේ. එහිදී වැසිකිලි පවිත්‍රකාරකල දැවිතෙල්, මිනී එම්බාම් කිරීමේදී යොදාගන්න පෝමලින් මෙන්ම සමහර අවස්ථාවලදී බැටරි ඇසිඩ් පවා කවලම් කොට තිබී හමුව ඇත.
ගංජා මල් අයිස් වතුරෙන් සෝදා නිස්සාරණය කරන තෙල් ඝනීභවනය කිරීමේදී බබල් හෑශ් නම් නිෂ්පාදනය නිපදවේ. මේවා සම්පූර්ණයෙන් වාෂ්ප කර පරිභෝජනය කළ හැකි සුපිරිතම ටී.එච්.සී නිෂ්පාදනයයි. ටී.එච්.සී රසායනිකව පිරිසිදු කළ විට කාමර උෂ්ණත්වයේදී පැහැදිලි ස්ඵටිකයක් බවට පත් වේ. ඊට ඉහළ සුළු උෂ්ණත්වයකදී වුවද (අතින් ඇල්ලුවත්) මැලියම් වැනි උකු ද්‍රවයක් බවට පත්වේ. ඒ නියම පිරිසිදු ගංජා සාරයයි. මීට අමතරව ගංජා මල් පොඩි කර එහි රේණුවලින් සාදන රොටිය සාමාන්‍ය හශීශ් ලෙස අලෙවි කෙරෙන අතර දැනට මේ කියූ අවසන් නිෂ්පාදන ලෝකයේ සමහර රටවල මෙන්ම අමෙරිකාවේ සමහර ප්‍රාන්තවලද නිත්‍යනුකූලව අලෙවි කිරීමේ අවස්ථාව සකසා තිබේ.
ගංජා රොටිය තමයි හෂීෂ් කියන්නෙ
පසුගිය සමයේ මෙරට ගංජාවලට වඩා අත්අඩංගුවට ගනු ලැබූවේ මෙකී කේරල ගංජා ය. විල්පත්තු බටහිර මායිමේ රාත්‍රිය පුරා සිදුවන කේරල ගංජා ජාවාරම වළකන්නට දැනට විල්පත්තුවේ බලය තහවුරු කරගෙන සිටින ප්‍රජාව කිසිසේත් ඉඩක් නොදේ. මරිච්චිකට්ටුවට බටහිරින් ඉන්දියාවේ ධනුෂ්කොඩියට සමීපම ප්‍රදේශය මේ මන්නාරම් මුහුදු තීරයයි. මන්නාරම් වෙරළ යනු ඉන්දියාවේ ධනුෂ්කොඩි රාමසේතුවට ආසන්නම ස්ථානයයි. නොඑසේ නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අඩුම දුරක් ඇති ඉතාම වැදගත් වෙළඳ කේන්ද්‍රයකි. අද කන්නට බොන්නට නොමැතිව සිටියද ඉදිරි වසර කිහිපය තුළ රජයෙන් ලබාගත් මේ ඉඩම්වල වටිනාකම කොළඹ වරාය අවට ඉඩම් තරම්ම ඉහළ යනු ඇත. එපමණක් නොවේ මේ ප්‍රදේශය මේ වෙද්දී මෙරට වැඩිම හොරබඩු ජාවාරම සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ද තිබේ. ඉන්දියාවේ සිට මෙකී ප්‍රදේශයට ඇති කිලෝමීටර් 30 බෝට්ටුවෙන් ගෙවා දමනා ජාවරම්කරුවන්ට මේ පොළොව ඉතාමත් වැදගත්ය. මෙරට මත්කුඩු හා කේරල ගංජා අලෙවියේ කප්ගසා ඇති මුස්ලිම් ජාතිකයින් හට මෙකී ඉඩම් කොපමණ වැදගත්ද යන්න අලුතින් කිව යුතු නැත. එසේ මරිච්චිකට්ටු ආසන්නයට ගෙන එන කේරල ගංජා තොග එතැන් පටන් මාලු බෝට්ටු මඟින් මීගමුව, හලාවත හා පුත්තලමට ගෙන ඒම සිදුවේ. දැනට අනාවරණය කරගෙන ඇති ආකාරයට දකුණු ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පොදු කේරල ගංජා ගබඩාව බවට පත්ව ඇත්තේද මෙරට භූමි සීමාවට අයත් බත්තලංගුණ්ඩුව හුදෙකලා දූපතයි.
2009 මානුෂික මෙහෙයුම්වලින් පසුව ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් රට තුළ පැවති තත්ත්වය වසර හතකට පසු දෙදරා යන්නේ උතුරු පළාතේ ජනතාව ආරක්ෂක අංශ සමඟ විවිධ ගැටුම් ඇතිකරගන්නා වටපිටාවකය. දෙමළ ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක්ද උදාවී ඇත. එසේ තිබියදී මන්නාරම-අරිප්පු සිදුවීම රටේ ජනතාවට සන්නිවේදනය කරන්නේ එතරම් සුභදායී හෝ සාමාකාමී ප‍්‍රවෘත්තියක් නොවේය. පසුගියදා අරිප්පු ගම්වාසීන් විසින් රාත‍්‍රී කාලයේ නාවික සෙබළුන් තිදෙනෙක් අල්ලාගෙන පහරදෙන්නේ අදාළ සෙබළුන් තමන්ගේ නිවෙස්වලට හොරෙන් ඇතුළුවන්නට උත්සාහකළ බව කියමින්ය. නාවික හමුදාව පාර්ශවයෙන් සඳහන් කළේ අදාල සෙබළුන් ගම්මානය අසල රැඳී සිට ඇත්තේ වෙරළ තීරය හරහා කේරල ගංජා තොගයක් පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු නියෝග පදනම්ව බවය.
නාවික නිලධාරීන් එම තොරතුරු සනාථ කර ඇති අතර මන්නාරම වෙරළ තීරයේ කලක පටන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රටේ ඉහළම බලධාරීන් පවා දැනුවත්බව නොරහසකි. පුත්තලම කල්පිටිය අර්ධද්වීපය සීමාවේ සිට මන්නාරම හරහා ඩෙල්ෆ්ට් දක්වා මුහුදු තීරයේ මෙම මත්ද්‍රව්‍ය හුවමාරුව ඉතාමත් බහුලව සිදුවන බවට තොරතුරු ලැබෙන්නේ මීට වසර ගණනාවකට පෙරය.
යුද සමයේදී මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගියේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින්ය. ඒ ඔවුන්ගේ අරමුදල තරකරගැනීම සඳහාය. 2009දී එම සංවිධානය පරාජයට පත්වීමත් සමඟ වසරකට වැඩි කාලයක් මෙම වෙරළ සීමාවේ මත්ද්‍රව්‍ය වෙළඳාමට දොරගුළු වැසී තිබුණ නමුත් නැවත වතාවක් විවිධ කල්ලි සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් විසින් උතුරු වෙරළේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ ආධිපත්‍ය තමන් නතුකරගැනීමට සමත්ව සිටිති.
මාළු වලින් වහලා බෝට්ටුවෙන් ගේනවා
නවීන තාක්ෂණයද සමඟ දැන් මෙකී ගංජා ජාවාරම අතිශයින් භයානක තත්ත්වයක් දක්වා පැමිණ තිබේ.
ඉස්සර ඉන්දියාවේ ඉඳලා ට්‍රෝලර්වලින් මේවා ගෙනාවා. ඒවා ඇල්ලුවා. පස්සේ ට්‍රෝලර් එකෙන් මගක් ගෙනල්ලා මූද මැදදි මාළු බෝට්ටුවලට පැටෙව්වා. පටවලා කේ.ජී. ටික මාළු වලින් වහලා ගේන්න පටන් ගත්තා. නාවික හමුදාව මේවා විමර්ෂනය කරන්න ගත්තාම හමුදාවට බණින්න පටන් ගත්තා උතුරේ සුළු ජාතිකයින්ට කරදර කරනවා කියලා. කොහොම හරි දැන් කරන්නේ ඉන්දියාවේ ඉඳලා එන බෝට්ටු වෙරළේ ඉඳලා නාවික සැතපුම් තුනක් හතරක් එහායින් ගංජා තොග වතුර ඇතුළට යන්නේ නැතිවෙන්න හොඳට අසුරලා මොකක්හරි බරක් දාලා මුහුදට අතාරිනවා. ජී.පී.එස්. උපකරණයකින් ඒ තැන ලකුණු කරගෙන ඒ තැන ගොඩබිමේ ඉන්න බෝට්ටුකාරයන්ට දන්වනවා. ඊට පස්සේ මාළු බෝට්ටු හරි නිකන් බෝට්ටු හරි ගිහින් අර මුහුදට අතෑරපු ගංජා තොග පටවාගන්නේ මාළු අල්ලන අතරෙමයි. ඊට පස්සේ ගොඩබිමට ගෙනැත් බොහොම පොඩි කොටසක් පොලීසියට හරි හමුදාවට හරි අහුවෙන්න අතෑරලා යනවා. මොකද එහෙම හොයාගත්තම හිතනවනේ මුළු තොගයම අල්ලගත්තා කියලා. එහෙම හිතාගෙන ඉන්න අතරේ ලොකු ගංජා තොගයක් හොර පාරෙන්ම රට වටේ යනවා. එහෙම එන කේරල් ගංජා තොග රට පුරාම යන්නේ එක්කෝ බඩු ලොරි හරහා නැත්නම් ත‍්‍රීවීලර් හරහා.
මේ ප්‍රකාශය කරනු ලැබුවේ නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධරයෙකි. ඔවුන් මේ ආකාරයේ ජාවාරම් නැවැත්වීමට කරන දුෂ්කර ක්‍රියාව අප අගය කළ යුතුය. මේ කතන්දර රටට කියන ලියන අයත් වගකීමෙන් තොරතුරු හෙළිදරව් කළ යුතුය යන්න ඔහුගේ මතයයි.
♦ විමුක්ති රත්නමලල