2018 ජුනි 30 වන සෙනසුරාදා

මාතරට බැස්ස වේයන්ගොඩ කොස්ගොඩ පාතාල පූට්ටුව

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 539

ශ්‍රී ලංකාවේ පාතාලය අද වනවිට අතපය විහිදුවමින් හිස ඔස්වමින් සිටී. එය අද වනවිට පොලීසියට පවා මර්දනය කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇත. මේ නිසා ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් නිරායුධ වැසියන් සිටින්නේ ජීවිතයත් මරණයත් අතරය. පාරක තොටක යන්නට නොහැක. අවිගත්තෝ අපරාධ කරමින් සැරිසරන්නේ කුරුල්ලන් ලෙසය. සමහර සිදුවීම් චිකාගෝ වගේය. දවසට අපරාධයක් වරදින්නේ නැත.

පසුගිය සතියේ සිකුරාදා දහවල් එවැනිම සිද්ධියක් මාතර නගරයේදී සිදුවිය. අවිගත් එක්තරා කල්ලියක් මාතර නගරයේ රත්තරන් භාණ්ඩ කඩයක් කොල්ල කන්නට ආහ. එහිදී පොලීසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් නිසා එම ස්ථානයට පැමිණ සිදුකළ වෙඩි හුවමාරුවකදී පොලිස් කොස්තාපල්වරයකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.

ඒ අවස්ථාවේදී පොලීසිය සිදුකළ වැටලීමකදී මෙම අපරාධයට පැමිණි සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙහි හොඳම කතාව හෙළිවිය. එනම් මේ කොල්ලය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අතර නමගිය දකුණේ පාතාලයේ අයකුත් ගම්පහ පාතාලයේ අයකුත් සිටීමය. ඔවුන් දෙදෙනාම මේ රටේ අපරාධ වැලක සම්බන්ධකරුවෝය. 

එකී චරිත දෙක ගැන අප මෙසේ හෙළිදරව් කරමු. එක් අයකු වේයන්ගොඩ චාමර නම් විය. 2008-2009 වසරේදී චාමරට මිතුරකු හමුවිය. ඔහු වෙනින් කවුරුත් නොව ගම්පහ පාතාලයේ කිරුළු දරා සිට පොලීසියේ වෙඩි පහරින් මියගිය කරාතේ අජිත්ගේ ඥාති පුත්‍රයකු වූ මාකිලංගමුවේ සංජීවය. සංජීව සමඟ තවත් කණ්ඩායමක් සිටියේය. ඒ කොළඹ පාතාලයේ එවකට කිරුළු දරා සිටි ආමි සම්පත් ඇතුළු කණ්ඩායමය.

කෙසේ වෙතත් සංජිව ඇතුළු පිරිස සමඟ චාමර එකතුවීමත් සමඟ පළමු වැඩේ ලෙස බිස්කට් ලොරියක් 2009, වසරේදී කොල්ල කෑවේය. රුපියල් 65000කුත් මාල දෙකකුත් දුරකථන දෙකකුත් චාමරගේ අපරාධ ලැයිස්තුවේ පළමු වැඩේ විය. එම සිද්ධියත් සමඟ චාමර කරළියේ චරිතයක් වේගෙන ආවේය. මේ අතරතුර සංජීවලා තවත් ගේමකට සුදානම් විය. රටම ගැස්සෙන වැඩකටය. ඒ පෞද්ගලික මූල්‍ය සමාගමක ටෙලර් මැෂින්වලට මුදල් දැමීම සඳහා මුදල් රැගෙන යන ලොරි රථය කොල්ල කෑමටය. එම කොල්ලයට සංජීව චාමර සම්බන්ධ කරගත්තේය. ඒ අනුව චාමර, සජීව, සම්පත්, බිම්සර ඇතුළු කණ්ඩායම එක්ව වත්තල තෙළඟපාත ප්‍රදේශයේදී ලොරි රථය පැහැරගෙන ගොස් එහි තිබූ කෝටි හත මංකොල්ල කෑහ. ලොරි රථයේ සිටි පස් දෙනෙකුගේ අත් පා මුව ටේප් පටිවලින් බැඳ කැලයකට දමා පිරිස පැන ගියහ. ඒ 2010 වසරේදීය.

එම සිද්ධියෙන් පසුව චාමර, මාකිලංගමුවේ සංජීව, ආමි සම්පත් ඇතුළු පිරිස පොලීසියට කොටු වූහ. මේ කෝටි හතේ මංකොල්ලය නිසා නිකන්ම නිකන් චාමර මාධ්‍ය විසින් වේයන්ගොඩ චාමර බවට පත්කරනු ලැබීය. පසුව සියලුදෙනාම සිටියේ බන්ධනාගාරයේය. මෙලෙස බන්ධනාගාරයේ සිටින අතරතුර ආමි සම්පත් සහ මාකිලංගමුවේ සංජීව ඇතුළු පිරිස කොළඹ පාතාලයේ එවකට කිරුළු දරා සිටි දැන් කිරැළු වෙනුවට මරණීය දණ්ඩනය හිමිවි සිටින දෙමටගොඩ චමින්ද සමග පැටලුනේය. ඒ බ්ලුමැන්ඩල් සංඛ සහ චමින්ද අතර තිබූ හෙරොයින් ව්‍යාපාරයේ ගැටුමක් හේතුවෙනි. මේ නිසා සම්පත් ඇතුළු පිරිස සංඛ සමඟ හිතවත්කම් පෑ නිසා එම පිරිසම චමින්දට එරෙහිව නැගී සිටියහ.

චමින්දගේ කණ්ඩායමත් සංඛ ඇතුළු පිරිසට එරෙහිව සිටියේය. මේ අතරතුර චමින්ද භාරත ලක්ෂ්මන් ඝාතනයට ඇතුළට ගියේය. මේ නිසා සංඛලා රිසිසේ හෙරොයින් කොළඹ බෙදාහැරියහ. එපමණක් නොව චමින්දගේ පිරිසට පහර දුන්හ. මේ නිසා චමින්ද සංඛලා සමඟ සිටියේ නයි වෛරයෙනි.

මේ අතරතුර සම්පත්, සංජීව, චාමර, බිම්සර ඇතුළු පිරිස කෝටි හතේ කොල්ලයට ඇප ලැබී එළියට ආහ. ඊට මාස ගණනාවකට පසු දෙමටගොඩ චමින්ද එළියට ආවේය. චමින්ද එළියට පැමිණීමත් සමඟ සංඛලා චමින්ද ඝාතනයට සූදානම් වූහ. ඒ සඳහා චමින්ද රෑට එළියට බහිනතුරු සිට වැඩේ දීමට පිරිස සූදානම් වූහ. මේ සඳහා සම්පත්, සංජීව, සංඛ, චාමර, බිම්සර සහ සුජිත් නැමැති අයකුද එක් විණි. 2012 වසරේ මධ්‍යම රාත්‍රියක චමින්ද ඝාතනයට ඔවුහු ටී 56 ගිනි අවි 3 ක් ද රුගෙන ආහ. එහෙත් ඊට පෙර චමින්දගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන්ට මේ ගැන තොරතුරැ ආවේය. පිරිස චමින්දව සොයමින් සැරිසරණ දෙමටගොඩ මස් කඩය අසලදී වාහනය හරස් කොට රුවන් ඇතුළු පිරිස සංජිවලා, චාමරලා පැමිණි වාහනයට වෙඩි තැබූහ. මේ වෙඩි ප්‍රහාරයෙන් වනාතේ සුජිත් මියගියේය. අනෙක් පිරිස පැනගත්හ.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් පසුව ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ ඩුබායි බලා ගියහ. චාමර මෙරටට වී සිටියේය. ක්‍රමයෙන් චාමර සංජීව සමඟ එක්ව හෙරොයින් විකුණමින් ජීවත් විය.

මේ අතර නැවත ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ ඩුබායි සිට 2015 යහපාලන රජයත් සමඟ මෙරටට ආවෝය. ඇවිත් නැවත චමින්ද ඝාතනයට කුරැමානම් අල්ලමින් සිටියහ. එහිදී එක්වතාවක් චමින්ද රැගෙන යන බන්ධනාගාර බස්රථයට සංඛලා වෙඩි තැබූහ. ඊට පෙර චමින්ද සංඛලාට වෙඩි තබන්නට ගොස් වැඩේ ගැස්සී තිබුණේය.

කෙසේ වෙතත් බන්ධනාගාර බස්රථ සිදුවීමෙන් පසුව ආමි සම්පත්, බ්ලූ මැන්ඩල් සංඛ, මාකිලංගමුවේ සජීව ඇතුළු පිරිස රිමාන්ඩ් වූහ. එහෙත් චාමර හිටියේ සුපුරැදු පරිදි කුඩු ව්‍යාපාරවල නිරත වෙමිනි. මේ අතරතුර නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති ඝාතන සිද්ධියට සම්බන්ධව බන්ධනාගාරයේ සිටි වේයන්ගොඩ සමරේද එළියට ආවේය.

සමරේ චාමරගේ ගජයාය. දෙදෙනා සුපුරැදු පරිදි හමුවන්නට පටන් ගත්හ.

මේ අතර චාමර සමරෙගේ ගෙදර යන එනවිට සමරේ හමුවන්නට තවත් ගජයෙක් එමින් සිටියේය. ඒ දකුණේ පාතාලයේ චරිතයක් වූ කොස්ගොඩ සුජීගෙන් මිදී වෙනම කණ්ඩායමක් හදාගනිමින් ඉහළට එමින් සිටි කොස්ගොඩ තාරකය. එහිදී චාමරත් කොස්ගොඩ තාරකත් ගජ මිතුරු වූහ.

මේ අතර තුර සමරේට කනින් කොනින් චාමර වේයන්ගොඩ ප්‍රදේශයේ කුඩු විකුණන බවට තොරතුරු ලැබුණි. මේ නිසා දිනක් දෙකක් සමරේ චාමර කැඳවා එය නවතා දමන ලෙස දැන්වීය. එහෙත් චාමර එය තඹයකට මායිම් කළේ නැත. සමරේ දිගින් දිගටම චාමරට එරෙහි වෙමින් සිටි නිසා චාමර සිය මිතුරා වන සමරේ ඝාතනය කිරීමට තීරණය කළේය. මේ පිළිබඳව චාමර බන්ධනාගාරයේ සිටි සංජීව අමතා දැනුම් දුන්නේය. සංජීව ඊට තවත් සගයෙක් සම්බන්ධ කළේය. ඒ ඇප තබා ගැනීමට නොහැකිව මීගමුවේ බන්ධනාගාරයේ සිටි අජාය. අජාට ඇප තබා එළියට ගන්නා ලෙසට සංජිව දැනුම් දුන්නේය.  

ඒ අනුව චාමර රුපියල් 50000  ඇප තබා අජාව එළියට ගත්තේය. එළියට ගත් අජා සහ චාමර එකතු වී 2016 දෙසැම්බර් 24 වැනිදා ආර්ථික මධ්‍යස්ථානයේදී සමරේ වෙඩිතබා ඝාතනය කළේය. එසේ ඝාතනය කර චාමර සමරේගේ මරණ ගෙදරට ගියේය. එම ඝාතනය සිදුකර චාමරට වැඩිකල් ඉන්න ලැබුණේ නැත. චාමර පොලීසියට කොටුවී බන්ධනාගාර ගත විය. මේ අතර චාමර සමඟ නිතර සම්බන්ධ වෙමින් කොස්ගොඩ තාරක ගනුදෙනු කරන්නට අමතක කළේ නැත. ඒ වනවිටත් තාරක හිටියේ සුජී සමඟ නයි වෛරයෙනි.

තාරක යනු ඉගෙන ගත් අයෙකි. උසස් පෙළට ගණිත, විෂය හදාරා ඇති මොහු පියාගේ අකල් මරණයත් සමඟ අධ්‍යාපන වැඩකටයුතු අඩාල විය. පසුව 2001 වසරේදී අපරාධවලට අත්පොත් තබන මොහු වෑන් රථයක් කොල්ල කෑම පිළිබඳව චෝදනා ලැබ බන්ධනාගාර ගතවිය. එවිට චාමරගේ වයස 19 කි.

ඉන්පසුව මොහුට ඔහුගේම ඥාතියෙකු වන කොස්ගොඩ සුජී සම්බන්ධ වන අතර එතැන් පටන් දෙදෙනා එකට වැඩ කටයුතු කළෝය. එහෙත් ඒ ඇයි හොඳයිය වැඩිකල් තිබුණෙ නැත. තාරක, කොස්ගොඩ ලොක්කා ලොකු කරගනිමින් ඔහුට හේත්තුවිය. මේ අතර 2010 වසරේදී තාරක උකස් භාණ්ඩ මිලදි ගන්නා යුවලකට අයත් අම්බලන්ගොඩ නිවසක් කොල්ල කෑවේය. පසුව ඔහුව කොට්ටාව පොලීසිය විසින් මි.මී 9 වර්ගයේ අවියක් සමඟ අත් අඩංගුවට ගනු ලැබීය.

මේ අතර එම සිද්ධියෙන් පසුව තාරක ඇප ලබා පැමිණ තම පෙම්වතිය සමඟ කොළඹ පැන ආවේය. එලෙස කොළඹ පැමිණි තාරක බැංකු කොල්ල කන්නට පටන් ගත්තේය. මේ අතර තාරකත් කොස්ගොඩ සුජිත් යන අයියා මලෝ අතර ගැටුම උග්‍ර අතට හැරී තිබුණේය. සුජීගේ අය තාරක පසුපස පන්නන්නට වූහ. මේ නිසා තාරක සිටියේ බද්ධ වෛරයෙනි. අවසානයේ පසුගිය වසරේදී තාරක සුජීගෙන් පලිය ගන්නට තීරණය කළේය. ඒ සුජීගේ මාමා ඝාතනය කිරීමෙනි.

ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එක් දිනක් තාරක ඇතුළු පිරිස ගොස් හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වූ කොස්ගොඩ සුජීගේ මාමා කෙනෙකු වූ මහින්ද රාජා සහ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළහ. පසුව නැවත එම අවස්ථවේම මහින්ද රාජාගේ මිතුරකුගේ නිවසට ගොස් ඔහුටද වෙඩි තබා ඝාතනය කළේය. මේ ප්‍රහාරය සුජීව කඩා වැටීමට තරම් ප්‍රබල විය. තම ඥාති සහෝදරයාගේ අතින් තමන්ගේම මාමා ඝාතනය වනතෙක් වැඩක් දීමට නොහැකි වීම ගැන සුජී දුක් වුණේය. පසුව සුජී ලෙයට ලෙයක් ගන්නට පිඹුරුපත් සැකසුවේය. ඒ තාරකගේ මාමා කෙනකුට වැඩේ දීමටය. ඒ අනුව ඊට සතියකට පසුව තාරකගේ මාමාටත් පාසල් යන දරැ තිදෙනාටත් වෙඩි තැබුවේය. එහෙත් ඔවුහු බරපතළ තුවාල ලබා ජීවිතය රැක ගත්හ.

මේ අතරතුර තාරකද නිතර චාමර මුණ ගැසීමට වේයන්ගොඩට ආ ගියේය. චාමර ඒ වනවිටත් පස් ව්‍යාපාරයට අත් ගසා ඒ තුළින් ආදායමක් ලබමින් සිටියෙකි. මේ අතර චාමර ගෝලයකු ලවා කරගෙන ගිය පස් ව්‍යාපාරයක ගැටලුවක් ඇති විය. ඒ දේවප්‍රිය නැමැත්තා සමඟය. මෙහිදී මුදල් ආරවුලක් වූ නිසා චාමර මැදිහත් වී දේවප්‍රිය සමඟ පැටළුණි. දේවප්‍රිය අවසානයේ චාමරට තර්ජනය කළේය. චාමර දේවප්‍රියට මරණ වරෙන්තුව දුන්නේය. ඒ අනුව පසුගිය අප්‍රේල් 21  වැනිදා පැවති සංගීතයක ආරාධිත අමුත්තා ලෙස පැමිණි දේවප්‍රියට වෙඩි තැබුවේය. මේ සඳහා චාමර. කොස්ගොඩ තාරක, කොස්ගොඩ ඩිල්ෂාන්, චාමරගේ සහෝදරයා සම්බන්ධ වූහ. එම ඝාතනයෙන් පසුව චාමරත්, තාරකත් අතුරුදන් වූහ.

එසේ අතුරුදන් වූ තාරකත්, චාමරත් නැවත මතුවන්නේ පසුගිය සිකුරාදා මාතර නගරයේ ස්වර්ණාභරණහල කොල්ලකෑමට පැමිණි අවස්ථාවේය. අවසානයේ චාමර ගෙයක සැඟවි සිටියදීත්, තාරක කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීත් පොලීසියට කොටුවූහ. එහෙත් අවසානයේ චාමර ආයුධ පෙන්නන්නට ගොස් පොලීසියෙන් වෙඩි කැවේය. කෙසේ වෙතත් චාමරලා ඉදිරියට තව තවත් ආයුධ පෙන්නන්නට ගොස් වෙඩි කන්නට සිදුවනු ඇත. එහෙත් චාමරලා, තාරකා මේ තත්වයට ගෙන ආ මිනිස්සු තවමත් වැජඹෙති. ඔවුන් ඉදිරියේද ඔවැනි තාරකා චාමරලා බිහිකරනු ඇත.

කෙසේ වෙතත් චාමරගේ ගජයා සංජීව වුවත් සංජීව මේ වනවිට මිතුරු වී සිටින්නේ කොස්ගොඩ සුජීගේ කණ්ඩයම සමඟය. පොඩි ලැසී සමඟ සමීප සබඳකම් පවත්වන සංජීව මේ වනවිට මාන බලමින් සිටින්නේ ගම්පහ ඔස්මන් ඝාතනයටය. ඒ ගම්පහ නගරයේ කප්පම් සටන නිසාය. කෙසේ වෙතත් දැන් තාරක බන්ධනාගාර ගතවූ පසුව මීට වඩා පොලීසිය අවධානයෙන් සිටිය යුතුය. ඒ තාරක ඉන්නේ හොඳම ආරක්ෂිත තැන නිසාය. දැනට බොහොමයක් පාතාල නායකයන් ක්‍රියාත්මක වන්නේ බන්ධනාගාරයේ සිටය නැත්නම් විදෙස් ගතවය.

කෙසේ වෙතත් මෙයින් ඔබ්බට ගොස් තැන තැන මිනීමරණ තැනකට රට පත්ව තිබීම ගැන පොලීසියත් ආණ්ඩුවත් සම්පූර්ණයෙන් වගකීම භාරගත යුතුය. මහජනතාවගේ දේපළ ජීවිත ආරක්ෂා කිරීම පොලීසිය සේම ආණ්ඩුවේම වගකීමකි. එහෙත් එය හරියට සිදුවනවාද යන සැකයක් මාතර සිද්ධියෙන් පසුව මතුවෙමින් තිබේ.

 ගයාන් ගාල්ලගේ

ඉකුත් දින කිහිපය ඇතුළුව මෑත කාලය තුළදී වාර්තා වූ පාතාල ගැටුම්වල ප්‍රමාණාත්මක වර්ධනයක් පෙනෙන්නට තිබේ. වෙඩි තැබීම් හා ඝාතනය කිරීම් ඉහළය. එකකට එකක් නොදෙවැනි ඝාතන සිද්ධීන් නිසා සංවිධානාත්මක අපරාධ හිස එසවීමක් දකින්නට ලැබේ. එවැනි සිදුවීම්වල පෙළගැස්ම මෙසේය.

2018-06-25

අකුරැස්ස වල්පිට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අණ නොතකා පලා ගිය ත්‍රිරෝද රථයක් හඹා යද්දී ත්‍රිරෝද රථය තුළින් විශේෂ කාර්ය බළකා සෙබලුන්ට වෙඩි තබනු ලැබීය. නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ හොරපාවිට, කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි හේවා සුදු අකුරුගේ මානෙල් රෝහණ නොහොත් තිලක් මරණයට පත්විය. ඔහු මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ දකුණු පළාතේ සිටි ප්‍රධානතම ගෝලයෙකි.

2018-06-25

රත්මලාන චකින්දාරාම පාරේ යුද හමුදා ලුතිනන් කර්නල්වරයකුට අයත් නිවසක් ඉදිරිපිට රැඳී සිටි යුද හමුදාවේ රියදුරකු වූ ප්‍රභාත් නැමැති කෝප්‍රල්වරයෙක්ට ත්‍රිරෝද රථයකින් සහ යතුරැ පැදියකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා තිබිණි. අතකට බරපතළ තුවාල වූ ඔහු කැලණිය යුද හමුදා පොදු සේවා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකි.

2018-06-24

කොටහේන ජම්පටා වීදිය 137 වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලැබීය.

2018-06-23

චාමර ඉන්ද්‍රජිත් නැමැති නමගිය අපරාධකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී සඟවා තිබූ බෑගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ එහි තිබූ අත් බෝම්බයක් පොලීසියට එල්ල කිරීමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය. මේ සිදුවීම මාතර කිරළ කැලේ ප්‍රදේශයේදී වාර්තා විය. අපරාධකරු මාතර රන් ආභරණ සාප්පුවේ කොල්ලයට පැමිණ පොලීසියට වෙඩි තැබූ අයෙකි.

2018-06-22

මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මාතර පොලීසියේ පොලිස් කොස්තාපල් 69532 වීරසිංහ මියයෑම. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ සිවිල් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් ද තුවාල ලැබූහ.

2018-06-22

ගාල්ල, හික්කඩුව, වෑවල හන්දිය අසළ පාපැදියකින් ගමන් කළ අයකුට යතුරුපැදියක පැමිණි නාදුනන දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම. මරණකරැ ඉනාසි චමින්ද නැමැති මීටියාගොඩ පදිංචි අයෙකි.

2018-06-18

තෙලිප්පලේ පොලිස් බල ප්‍රදේශයේ පිරිසක් කලහකාරීව හැසිරෙමින් පිරිසක් කපා කොටා දමමින් සිටියදී එය මැඩලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට කඩු ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය මොහොතේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයාම.

2018-06-16

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමිනමකට වෙඩි තැබීම. මේ සඳහා පුද්ගලයන් තිදෙනකු පැමිණ සිටි අතර ඔවුන් ජීප් රථයකින් පළා ගොස් තිබුණි. මේ ගැන සැකපිට පස්දෙනකු අත්අඩංගුවට පත්වූහ.

2018-06-09

මහනුවර වත්තේගම මඩවල මාර්ගයේදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩිතැබීමේදී ප්‍රතිප්‍රහාරවලින් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් මියයාම. මියගිය අය අතර රුමල්ෂ ඉරේෂ් මධුශංක නොහොත් බයිලා නැමැත්තා පාතාල නායකයින් වන මධුෂ් හා අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකි. ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ලංකාවේ සිට මෙහෙයවන්නේ මොහුය. මියගිය අනෙක් පුද්ගලයා පොල්වත්තගේ උපාලි නොහොත් ජනා නැමැත්තෙකි. මොවුන් දෙදෙනාටම මෙරට අධිකරණවල නඩු රාශියක් පවතී.

2018-06-08

කාත්තන්කුඩි, ඩීන් පාර, අලියාර් හන්දිය අසළදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙළඳසල් හිමියාට වෙඩි තබා ඝාතනය කිරීම. මරණකරැ ආදම්බාවා මොහොමඩ් ස්මයිල් යන අයයි. 

2018-06-08

ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් යන අයට යතුරැපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තැබීමෙන් සභාපතිවරයා මරණයට පත්වීම. සිද්ධියෙන් තවත් අයෙක් තුවාල ලැබීය

2018-05-29

මාතර නූපේ පිහිටි වෙළඳ ආයතනයකට පිටතින් සවිකර තිබූ වීදුරුවලට යතුරු පැදියක පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පලා යාම. මෙහිදී සිදුව ඇත්තේ දේපළ හානියක් පමණි.

2018-05-24

නිට්ටඹුව, හත්වැඩන්න ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ මවට හා පුත්‍රයාට වෙඩි තැබීම. සිදුවීමෙන් මව (විනීතා පද්මිණී) මියගිය අතර පුතා තුවාල ලැබීය.

2018-05-13

ඌරගස්මන්හන්දිය, කළුවල ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පිරිසකට එම ගිනි අවිය පත්තු වී අයෙක් මරණයට පත්ව තිබුණි. මරණකරැ හේවා හකුරු ජයවර්ධන යන අය වේ.

2018-05-11

ත්‍රීකුණාමලය සිරිමාපුර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි තිදෙනෙක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයකට වෙඩි තැබීමෙන් එම ප්‍රදේශයේම පදිංචි හෙන්දා විතාරණ සෙලිස් කුමාර නොහොත් තෙල් කුමාර ජීවිතක්ෂයට පත්විය.

2018-05-05

සංවිධානාත්මක අපරාධකරුවකු වූ කුට්ටි මුහන්දිරම්ලාගේ දිලිප් රෝහණ රොද්‍රිගු හෙවත් දිලීප නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තැබීමේදී සිදු කළ ප්‍රතිප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වීම. සිදුවීම තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

2018-04-21

අත්තනගල්ල ප්‍රදේශයේදී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම. හෙයියන්තුඩුව පදිංචි මීගම ආරච්චිලාගේ රත්නදේවප්‍රිය යන අය ඝාතනය වීම සහ තවත් පුද්ගලයන් හතරකට සහ කාන්තාවකට තුවාල සිදුවීම. මේ අතර සිටි කාන්තාව ගැබිනියකි.

2018-04-04

කොස්ගොඩ ඉඳුරුව අකුරුවැල්ල ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කළ පිරිසකට වෙඩි තැබීම. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිදු කළ බවට වාර්තා වේ. මෙහිදී දෙදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන් මොහොමඩ් ස්මයිල් හා සමන් පෙරේරා යන දෙදෙනා වෙති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර