රට පළමු අධිවේගී මාර්ග අත්දැකීම වූ දක්ෂිණ අධිවේගී මාර්ගය පළමු අදියරේදී කොට්ටාවේ සිට ගාල්ලේ පින්නදූව දක්වා කිලෝමීටර 99ක දුර ප්‍රමාණයකින් යුක්ත වූවක් විය. කෙටි කලෙකින්ම දක්ෂිණ අධිවේගයට තවත් කිලෝමීටර 33ක් එකතු වුණේ ගාල්ලට සීමා වී තිබූ අධිවේගයට මාතර යා කරමිනි. දැනට ගොඩගම තෙක් පමණක් විහිදී ඇති දක්ෂිණ අධිවේගය නුදුරු අනාගතයේදීම හම්බන්තොට දක්වා දිගුකිරීම මෙම අධිවේගී සැලැසුමේ කොටසකි. දැනට වාර්තා වන ආකාරයට ලබන වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගය හම්බන්තොටට පිවිසෙනු ඇත. මේ ඒ පිළිබඳව ය.
මාතර ගොඩගම දක්වා දිගු කර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට, මත්තල දක්වා දිගු කිරීම කලින් පැවැති රජයේ සැලසුමක් වූ අතර 2014 අග භාගයේදී එහි මූලික වැඩකටයුතු ඇරඹිණි. නමුත් 2015 ආණ්ඩු වෙනසත් සමඟ එම සැලසුම තාවකාලිකව යටපත් විය. කෙසේ වෙතුදු නැවතත් 2015 ජූලි මාසයේදී හම්බන්තොට දක්වා අධිවේගය දිගුකිරීමේ ව්‍යාපෘතිය යළි පටන් ගැනිණි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය කොළඹ වාණිජ අගනගරය සමඟ යා කිරීම ය. නොඑසේ නම් හම්බන්තොට කර්මාන්ත කලාපය සහ කොළඹ අතර ගමනාගමන කාලසීමාව අඩු කිරීම ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පැයට කිලෝමීටර 120 ක උපරිම වේග සීමාවකට ඔරොත්තු දිය හැකි ආකාරයට මෙය නිර්මාණය කිරීම ය.
ගොඩගම සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගයේ මෙම අදියර ඉදිවන්නේ කොටස් හතරක් වශයෙනි. ඒ ගොඩගම සිට බෙලි අත්ත දක්වා (කි.මී. 30) පළමු කොටස ද, බෙලිඅත්තේ සිට වැටිය දක්වා (කි.මී. 26) දෙවැනි කොටස ද වැටිය සිට අන්දරවැව දක්වා (කි.මී. 15) තෙවැනි කොටස හා අන්දරවැව හරහා හම්බන්තොට මත්තල දක්වා (කි.මී. 25) සිව්වැනි කොටස ද වශයෙනි. ඒ අනුව ගත් කල ගොඩගම සිට මත්තල දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 96කි.
චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 2019 ඔක්තෝබර් වන විට අවසන් වීමට අපේක්ෂිත ය. මෙහි සමස්ත පිරිවැය රුපියල් බිලියන 103.2ක් වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ධාවන මං තීරු හතරක් වශයෙන් (එක් දිශාවකට මංතීරු දෙක බැගින්) මූලිකව ඉදිකෙරෙන අධිවේගී මාර්ගයට ඉදිරියේදී තවත් මං තීරු දෙකක් එකතු කොට මං තීරු හයක අධිවේගී මාර්ගයක් ලෙස දිගුකිරීමට අපේක්ෂිත ය.
මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු අන්තර් හුවමාරු සංඛ්‍යාව අටකි. ඒ ගොඩගම, අපරුක්ක, බෙලිඅත්ත, කහගල්ල, අඟුණුකොළපැළැස්ස, වැටිය, සූරියවැව සහ අන්දරවැව වශයෙනි. හම්බන්තොටින් (මත්තල) අධිවේගය නිමාවට පත්වේ.
වැටිය සිට අන්දරවැව දක්වා කොටසේ සූරියවැව නගරයට අන්තර්හුවමාරැවක් පවතින අතර ඒ හරහා දැනට හුදෙකලා වී ඇති සූරියවැය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ද පහසු ප්‍රවේශ මාර්ගයක් හිමිවනු ඇත. එමෙන්ම අන්දරවැව අන්තර් හුවමාරුව ඔස්සේ හම්බන්තොට මාගම්පුර වරාය දක්වා දිවෙන ප්‍රවේශ මාර්ගයක් ද ඉදිකෙරේ.
ව්‍යාපෘතියේ පරිසර ඇගැයුම් වාර්තාවට අනුව වෙනත් අධිවේගී මාර්ගවලට (දැනට නිමවී ඇති වැඩ සිදුකරමින් පවතින සහ ඉදිරියේදී තැනීමට නියමිත) සාපේක්ෂව අඩු පරිසර හානියකින් යුතුව මාතර සිට මත්තල දක්වා කොටස ඉදිකළ හැකි බව පෙන්නුම් කෙරේ. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ මුළුමනින්ම තැනිතලා භූමියක් දිගේ මාර්ගය ඉදිවන බැවින් ඉහළ උන්නතාංශවලට ගමන්කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතීම සහ එම ප්‍රදේශයේ ජල මාර්ගවල පිහිටීම ද ඉතා අවම බැවිනි. කෙසේ වෙතත් වලවේ ගඟ හරහා අධිවේගී මාර්ගය ඉදිවන අතර ගඟ හරහා මීටර 600ක දිගින් යුත් පාලමක් ඉදිවේ.
මෙම සමස්ත ව්‍යාපෘතියේ ඉංජිනේරු උපදේශකත්වය, චයිනා රේල්වේ ෆස්ට් සර්වේ ඇන්ඩ් ඩිසයින් ආයතනය ද කොන්ත්‍රාත්කරු ලෙස චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් සමාගම යන චීන සමාගම් ක්‍රියාකරයි.
මේ වන විට කොට්ටාව සිට ගොඩගම දක්වා දක්ෂිණ මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර 126ක් වන අතර මත්තල දක්වා දිගු කිරීමෙන් අනතුරැව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර 222ක් වනු ඇත. මේ වන විට දක්ෂිණ අධිවේගය කොළඹ පිටත වටරවුම් අධිවේගයේ කඩවත දක්වා වූ කිලෝ මීටර 24ක කොටස සමඟ යා වී ඇති නිසා කඩවත සිට හම්බන්තොට දක්වා එක් අධිවේගී මාර්ගයක් ඔස්සේ ගමන් ගැනීමේ අවස්ථාව ලබන වසර අවසාන වන විට මෙරට ජනතාවට උදාවනු ඇත.
►රෙහාන්