2018 ජුනි 23 වන සෙනසුරාදා

බෙලිගෙඩියකට වෙඩි තබා නාහිමි ඝාතනයට පුරුදු වුණා

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 399

♦ පළමු වෙඩිල්ල පත්තු වුණේ නැහැ
 කොන්තරාත්තුවේ ගණන තීන්දු කළේ අනියම් බිරිඳයි

කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමි වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සහය මේ වනවිට රටම දන්නා සිද්ධියකි. උන්වහන්සේට වෙඩි තැබීමට හේතුවත් එකී අපරාධයට සම්බන්ධ අයත් මේ වනවිට හෙළිවී ඇත. එපමණක් නොව එකී සැකකරුවන් දැනටමත් ඉන්නේ බන්ධනාගාරයේය. රටම ගිනිගත් එම සිද්ධියේ ඇත්ත කතාව කුමක්ද යන්නත් එකී ඝාතනය සැලසුම කෙසේද යන්නත් අප මෙලෙස හෙළිකරන්නේ දැනට සැකකරුවන් සහ පොලීසිය විසින් හෙළිකරගත් තොරතුරු වලට අනුවය. ඒ අනුව කතාව මෙසේය.

ධම්මින්ද හිමියන් කිරිවෙහර රජමහා විහාරයේ විහාරාධිපති වනවිට මහසෙන් දේවාලයේ කපු මහතාව සිටියේ අසේල බණ්ඩාර නැමති ප්‍රධාන සැකකරුය. කතරගම දේවාලය ඇතුළු සියලුම දේවාලවලට ලැබෙන ආධාර වලින් කොටසක් කිරිවෙහෙරට ලැබුණත් මහසෙන් දේවාලයෙන් තඹ දොයිතුවක් කිසිදිනෙක විහාරයට ලැබී තිබුණේ නැත. මේ නිසා මහනායක හිමියන් අසේල කපුවා කැඳවා දන්වා සිටියේ දේවාලයට ලැබෙන ආධාර වලින් කොටසක් අනෙක් දේවාල වලින් ලබාදෙනවා සේ ලබාදෙන ලෙස කියාය. එදින ඔහු එකඟ වී ගියත් කිසිදිනෙක සතපහක් විහාරයට ලබාදුන්නේ නැත.

විහාරාධිපති හිමියන් නැවතත් කැඳවා අසේලට අවවාද කළ අතර එසේ ආධාර ලබාදීමට, නොහැකි නම් ඔහුට ඉවත් වන ලෙස දැන්වීය. එහෙත් ඒ අවස්ථාවේ අසේල කපුවා පවසා සිටියේ ඉතිහාසයේ කවරදාකවත් එය ලබා නොදුන් නිසා එය ලබාදීමට නොහැකි බවය. මේ නිසා විහාරාධිපති හිමියනුත් අසේලත් අතර විරසකයක් ඇති විය.

අසේල ඒ විරසකය මතින් සිට, සතපහක මුදලක් ලබාදුන්නේ නැත. මෙම අසාධාරණය ඉවසිය නොහැකි නිසා මහනායක හිමියෝ අසේලව දේවලයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ. මේ නිසා අසේලගේ ආදායම් මාර්ගය හිඳී ගියේය. එය අසේල ඉවසුවේ නැත. ඔහු දේවාලයේ අයිතිය ඉල්ලා අධිකරණයට ගියේය. නඩුවාර කිහිපයක් යනවිට පරාජය වන බව අසේල දැන සිටියේය. අවසානයේ තීන්දුව ලැබුණේ අසේලට දේවාලය අහිමි කරමිනි. කෙසේ වෙතත් එසේ අහිමි වනවිට අසේල දේවාලයෙන් කෝටි ගණන් මුදල් ලබාගෙන තිබූ බව කියති.

අසේලට එකී ආදායම් මාර්ගය අහිමිවීම නිසා ඔහු නාහිමියන් සමඟ හිටියේ බද්ද වෛරයෙනි. මේ නිසා කිහිපවතාවක්ම නායක හිමියන් ඝාතනය කරන බව තැන තැන ප්‍රකාශ කරමින් අසේල පිස්සෙක් මෙන් සැරිසැරුවේය. මේ පිළිබඳ නායක හිමියන්ටද ආරංචි වුණත් ඒ ගැන තැකීමක් නොකළේ එවැනි දෙයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා නොකළ නිසාය.

අවසානයේ අසේල තීරණයකට ආවේය. ඒ නා හිමියන් ඝාතනය කිරීමටය. අසේල මේ ගැන දැනුම් දුන්නේ ඔහුගේ අනියම් බිරිඳ වන දීපිකාටය. දීපිකාද ඊට එකඟ විය. ඒ දීපිකාට අසේලගෙන් ලැබුණු මුදල් ක්‍රමයෙන් අහීමිවීමේ වේදනාව නිසාය. අවසානයේ එම, ඝාතනය මෙහෙයවීම ඇය බාරගත්තේය. ඒ සඳහා අසේල තම හිතවතකු වූ කුරුලු නැමැත්තකුත් සහෝදරයාත් කැඳවා දීපිකාත් සමඟ එක්වී සිදුවිය යුතුදේ පැවසූහ. ඒ නායක හිමියන් ඝාතනය කළයුතු බවය. දීපිකා කතාව මැද්දෙන් ලංසුවක් තැබුවාය. වැඩේ හරියට සිදුකළහොත් දෙදෙනාට ලක්ෂ 15 බැගින් ලක්ෂ 30ක් ලබාදෙන බවය. දෙදෙනා මුදල්වලට ඇති කෑදරකම නිසා ඊට එකඟ වූහ. ඒ අනුව ඝාතනය පිළිබඳ මෙහෙයුම වෙඩි තැබීමට දින  කිහිපයකට කලින් දීපිකාගේ නිවසේදී සිදුකෙරිණි.

එකී සාකච්ඡාව සඳහා දීපිකා ඇගේ ස්වාමියා, අසේල, කුරුලු, අසේලගේ සහෝදරයා සහ අසේලගේ මිතුරන් දෙදෙනකු වු නිවුන් සොහොයුරන් දෙදෙනෙක් සම්බන්ධ වූහ. එහිදී සාකච්ඡා වූයේ නායක හිමියන් රාත්‍රියේ මල්පූජාවට යන අතරතුර වෙඩි තබා ඝාතනය කිරීමටය. ඒ අනුව දිනයක්ද දා ගත්තේය. ඒ පසුගිය 12 වැනිදා අඟහරුවාදාය. ඒ අනුව එදින පිරිස විසිර ගියහ.

12 වැනි අඟහරුවාදා උදාවිය. එදින සවස සියලු දෙනා අසේලගේ නිවසට රැස් වූහ. පිරිස අරක්කුවලින් සප්පායම් වෙමින් ඝාතනය සිදුකළයුතු ආකාරය යළි සාකච්ඡා කළහ. එකී සැලසුම මෙසේ විය. ඔත්තු බැලීම සඳහා දීපිකා කිරිවෙහෙරට යන්නේය. කිරි වෙහෙරේ සැරිසරමින් සිටිමින් නායක හිමියන් මල්පූජා කොට එන වේලාව දුරකථනය හරහා අසේලට දැනුම් දිය යුතුය. එවිට පිරිස පැමිණ වෙඩි තබා ක්ෂණයකින් අඳුරේම පළායනු ඇත. වෙඩි තැබූ දෙදෙනා නිවෙස් වෙත එන අතර කපුවාත් නිවුන් සොහොයුරාත් ප්‍රදේශයෙන් පළා යන්නේ, ඝාතනයේ සැකකරුවන් ලෙසය. එසේ ගිය පසු ඔවුන් පොලීසියට බාරවෙන අතර එහෙත් ඝාතනය කළේ ඔවුන් නොවන, නිසා නඩුවෙන් ජයග්‍රහණය කර නිදහස් වීම සැලසුම විය.

මෙකී සිහින මැද අරක්කු වලින් සප්පායම් වූ පිරිස ඉදිරියට අසේල තුවක්කු දෙක රැගෙන ආවේය. එකක් බෝර 12 තුවක්කුවකි. අනෙක ෂොට්ගන් එකකි. එකී තුවක්කු දෙක අසේලගේ සහෝදරයාටත්, කුරුළුටත් ලබා දුන්නේය. ආයුධ ලැබුණත් ඉලක්කයක් ගැනීමට ඔවුන් නොදන්නා නිසා ඊට කලින් පිරිස, පුහුණුවීම්වල නිරත වූහ. ඒ සඳහා අසේලගේ වත්තෙහි බෙලිගහේ බෙලිගෙඩියකට දෙදෙනා තරගයට වෙඩිතබා පුහුණුවූහ. පසුව පිරිස රාත්‍රි 10ට පමණ පිටත් වූහ. දීපිකා කිරිවෙහෙරට ආවාය. අසේලත් නිවුන් සොහොයුරනුත්, අසේලගේ සහෝදරයා සහ කුරුළුත් කාරයේ නැගී කිරිවෙහෙර පිටුපසට ආහ.

වෙලාව රාත්‍රී 10.25 පමණ විය. දීපිකාගෙන් අසේලට ඇමතුමක් ආවේය. ඒ හිමියන් තවත් හිමිනමක් සමඟ මල් පූජා කිරීමට පැමිණි බව දන්වාය. ඒ තොරතුරත් සමඟ කුරුලුත්, අසේලගේ සොහොයුරාත් ආයුධ දෙක රැගෙන ඝන කළුවරේ වැටෙන් පැන විහාර භූමියට ඇතුළු වූහ. දෙදෙනා කළුවරේ මුවාවී නායක හිමියන් එනතෙක් රැඳී සිටියහ.

රාත්‍රී 10.40 පමණ නායක හිමියෝ අනෙක් ස්වාමින් වහන්සේ සමඟ ආරක්ෂක නිලධාරින් ද එකට පඩි පෙළෙන් පහළට එමින් සිටියහ. එකවරම කළුවරේ කෑ ගැසීම් මැද වෙඩි පත්තු විය. එහෙත් එකකු සතු ෂොට්ගන් එකේ උණ්ඩය පත්තු වුණේ නැත. බෝර 12 තුවක්කුව පමණක් පත්තු වූ නිසා නායක හිමියන්ට එහි ප්‍රහාරය පමණක් එල්ල විය. හිමියන් ඒ ප්‍රහාරයත් සමඟ පහත් වනවිට නැවත ෂොට්ගන් එකට උණ්ඩ දමා ඊළඟ වෙඩිල්ල තැබුවේය. එහෙත් එය වැදුණේ තාප්පයේ පමණි.

එයින් පසු ආරක්ෂක නිලධාරින් අපරාධකරුවන් පසුපස එළවන්නට වූ අතර කුරුළුත් අසේලගේ සහෝදරයාත් කැළේට පැන ගත්හ. කුරුලු පාර හොයාගෙන පැමිණ අසේලගේ ජීප් රථයට ගොඩ විය. අසේලගේ සහෝදරයා කැලේ සැඟ වී සිටියේය. අසේල ඇතුළු පිරිස වේගයෙන් පැමිණ වාහනය නිවෙසේ දමා සියලුදෙනාම කැළයේ කුඩා වාඩියකට වී සිටියහ.

කුරුලුත් අසේලගේ සහෝදරයාත් සුපුරුදු පරිදි නිවසට පැමිණියහ. දින දෙකකට පසු දීපිකා වාහනයක් එවන්නේ අසේලටත්, නිවුන් සොහොයුරන් දෙදෙනාටත් පැනයාම සඳහාය. ඒ අනුව 14 වැනිදා මේ තිදෙනා පැපිලියානේ අසේලගේ සහෝදරියගේ නිවසට පැමිණෙති. එහිදී තිදෙනා කතා වන්නේ පොලීසියට හෝ අධිකරණයට බාරවන්නටය. එහෙත් තංගල්ලේ පොලිස් කණ්ඩායමක් කොළඹ ආ බව දැනගත් විට තිදෙනා නැවත 15 වනදා පැපිලියානෙන් පැනගත්හ. කෙසේ වෙතත් එදින සවස දුරකථන විශ්ලේෂණ හරහා පැපිලියානේ සහෝදරියගේ නිවසට පොලීසිය පැමිණෙයි. එහෙත් ඔවුන් එහි සිටියේ නැත. 

අවසානයේ පොලීසිය සැකකරන්නේ ඔවුන් නැවත, කොයි මොහොතක හෝ පැමිණෙතැයි යන්නය. ඒ නිසා එම නිවසේ මුරකාවල්ලා පිරිස රැඳී සිටියහ. දිනය 16 වැනිදාය. අසේලත් නිවුන් සොහොයුරන් දෙදෙනාත් පැපිලියානේ නිවසට ආහ. එහිදී පොලීසිය එම තිදෙනාව කොටුකරගනී. ඒ අවස්ථාවේදීම ප්‍රශ්න කරන විට හෙළිවන්නේ අසේල හෝ නිවුන් සොහොයුරන් හෝ වෙඩි තබා නැති බවය. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ කුරැළු සහ අසේලගේ සොහොයුරා බව හෙළිවන්නේ මේ අවස්ථාවේදීය. ඒ එතෙක් පොලීසිය දැන සිටියේ මේ ඝාතනය අසේල සහ නිවුන් සොහොයුරන් දෙදෙනා සිදුකර ඇති බවය.

අවසානයේ පොලීසිය විසින් කොළඹ සිටම පණිවිඩ ලබාදී කුරුළුවත් අසේලගේ සොහොයුරත් කොටුකර ගත්තේය. අවසානයේ දීපිකාගේ සම්බන්ධයද හෙළිවීම නිසා ඇයත් ඇගේ ස්වාමියත් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේම ගිනි අවි දෙකද පොලීසියෙන් සොයාගන්නා අතර මේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවෝ මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අවසානයේ සැඟව යන්නට ගිය තවත් අපරාධයක් මෙලෙස තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම නිසා හෙළිකර ගැනීමට හැකිවිය.

♦ ගයාන් ගාල්ලගේ

කිරිවෙහෙර නාහිමි ඝාතන තැත සංඝ ශාසනයටම කළ වෙඩි තැබීමක්...
කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලය හෙළා දකී

බුදු, පසේ බුදු, මහරහත් වහන්සේලාගේ පාදස්පර්ෂයෙන් අතිශය පූජනීය තත්ත්වයට පත් වූ කතරගම පුදබිම ඓතිහාසික ස්ථානයකි. ලෝ වැසි දනන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ, අෂ්ඨබල බෝධිරාජයාණන් වහන්සේ සහ රැහුණු මහා කතරගම දේවාලය මේ මහා ගරු ගාම්භීරත්වයේ මුදුන් මලක් සේ සඳහන් කළ යුතුය. දේශීය විදේශීය දහස් ගණන් බැතිමතුන් මෙම ඓතිහාසික පුදබිමට පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ හා බෝධීන් වහන්නසේ වැඳපුදා ගැනීමටය. එසේම සියලු ජාතීන් රුහුණු කතරගම මහා දේවාලයට පැමිණෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටයි. මේ නිසා මේ පින්බිම අහිංසකත්වයේ සහ සාමයේ පිංකෙත ලෙස සඳහන් කිරීම ඉතා නිවැරදිය.

ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නායක මාහිමිපාණන් පසුගිය දා මෙම පුදබිමේදී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇත. මෙම සිද්ධිය කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලය රැස් වී තරයේ හෙළා දකින අතර විදේශීය ජාතීන්ට යටත්ව සිටි සමයේ හෝ LTTE ත්‍රස්තවාදී සමයේදී වත් මෙම පුදබිම තුළ ලේ සෙලවීමක් නොවීමට ඔවුහු වග බලා ගත්හ. එහෙත් මෙම සෝචනීය සිද්ධිය ඉතිහාසයේ සඳහන් වන්නේ මෙම යුගයේ ඉතිහාසය පුරාවට නොවූ විරූ මහා සෝචනීය සිද්ධියක් ලෙසය. වෙඩික්කරුවන් අධික ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දෙදෙනකු බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමානය වනවිට රට පුරා පැතිරී ඇති මත් ද්‍රව්‍ය ප්‍රමාණය අසීමිත තත්ත්වයට පත්ව ඇත. මත් කුඩුකරුවන්ගේ බෙදා හැරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් වීම සියලු ආගම් පවතින රටකට කිසිසේත්ම සුදුසු නැත. මත්ද්‍රව්‍ය නිසා මෙවන් අපරාධ සිදුවන වාර අනන්තය. එමෙන්ම නොහික්මුණු පිරිස් අතට අවි ආයුධ පත් වීම නිසා දිනෙන් දින සාමාන්‍ය පුරවැසියා ජීවිත අවධානමෙන් පසුවන බව ඉතා පැහැදිලිය.

එසේම ව්‍යාපාරික සමාජයේ කප්පම් ගැනීම් සහ සොරකම් ව්‍යාප්ත වී ඇත. නීතියට ගරු නොකරන බොහෝ මිනිසුන් සිටින රටක් බවට මෙම ධර්මද්වීපය පත්ව ඇත. මේ නිසා මෙම මහා අවධානමෙන් රට මුදවා ගැනීමට වහා කටයුතු කළ යුතුය.
දැනට රෝගාතුරව සිටින පූජනීය  කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මණින් තෙරුවන් සරණින් කතරගම දෙවි බලයෙන් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලය වෙනුවෙන් ලේඛාධිකාරී කතරගම අභිනවාරාමාධිපති රැහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නායක මාහිමි ප්‍රදේශයේ සියලුම සංඝරත්නය විසිනි.