රුපියල අවප්‍රමාණවීම සහ විදේශ ආයෝජන පහළ බැසීම පිළිබඳ ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයකි. මෙය එක දම්වැලක පුරුක් මෙන්ය. පසුගිය සතිය වනවිට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 161 මට්ටමට ළඟා වී ඇත. මේ අවුරුද්ද අවසන් වීමට පෙර 165 ඉක්මවා යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ සැක පළකරති. පසුගිය ජනවාරි 1දා සිට ජූනි මස 8 දක්වා වූ මාස 6කට අඩුකාලය තුළ රුපියල සියයට 3.8කින් අවප්‍රමාණ වී ඇත.
යහපාලන ආණ්ඩුව ආරම්භ කරනවිට ඩොලරයට සාපේක්ෂව 131ක්ව තිබූ රුපියලේ අගය වසර 3 ½ පමණ යනවිට 161 දක්වා 30කින් පහළ බැස තිබේ. රටේ විදේශ ආයෝජන පහළ බැසීමට රුපියල දුර්වලවීම ප්‍රධාන හේතුවකි. ඩොලරයට විශාල රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට සිදුවීම විදේශ ආයෝජකයන්ගේ ආදායම පහළ යාමට හේතුවකි. ඒ නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට මැලිකමක් දක්වන අතර පසුගිය සතියක කාලය තුළ පමණක් කොටස් වෙළෙඳ පොළෙන් මිලියන 2833ක් ඉවත් කර ගැනීමට ආයෝජකයන් පෙළඹී ඇති බව වාර්තා විය.
එසේම 2017 වසර තුළ ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන 2016 වසරට වඩා සියයට 5.4කින් පහළ වැටී තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 2016 දී සියයට 22ක්ව තිබුණු ආයෝජන 2017 වනවිට 16.6 දක්වා අඩුවිය. ආණ්ඩුව විදේශ ආයෝජන වැඩිකිරීම ගැන විශ්වාසය තබා කටයුතු කරන බව නිතර නිතර පැවසුවද ආයෝජකයන් දිරිගැන්වීම සඳහා සාර්ථක පියවර ගෙන ඇති බවක් නොපෙනේ. අලුතින් පැමිණෙනවා තබා රටේ ඇති ආයෝජන ඉවත් කර ගැනීමට කටයුතු කරන බවක් දක්නට ලැබේ. ආයෝජකයන් පැමිණි කල, ඔවුන් ඒ සඳහා දිරිමත් කරනු වෙනුවට කලකිරවන තත්ත්වයක් රට තුළ තිබේ. පසුගිය සමයේ ඇතැම් ඇමැතිවරැන් රටට පැමිණෙන ආයෝජකයන් තමන්ට මුණ ගස්වන ලෙස ආයෝජන මණ්ඩල නිලධාරීන්ට උපදෙස් දී තිබුණු බවද සැලවිය. දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් ඉටුකිරීමට නොහැකි වුණු ඇතැම් ආයෝජකයන් මුළු ව්‍යාපෘතියම අතහැර දැමූ අවස්ථා තිබිණ. පසුගිය සමයේදී ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයකුට ඉවත්ව යාමට සිදුවූ බවද අපට මතකය.
එසේම ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කර ගැනීමට ආයෝජකයන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය. විවිධ අවශ්‍යතා සඳහා නොයෙක් ආයතනවලට යා යුතු වූ අතර ඒ සඳහා දින ගණන් කල් මැරීමට සිදුවීමෙන් ඔවුහු කලකිරීමට පත්වූහ. මෙම තත්ත්වයද ඔවුන් අධෛර්යමත් කිරීමට හේතු විය. (මේ වනවිට එක වහලක් යටින් සියල්ල කරවා ගැනීමට හැකියාව ඇති කරමින් පවතී.)
විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන මහ බැංකු නිවේදනයකින් ප්‍රකාශ වූයේ විදේශ රැකියා නියුක්තිකයන් මෙරටට එවන මුදල් 2017 ජූලි වනවිට ඩොලර් මිලියන 557.6කින් හෙවත් සියයට 13.5කින් පහළ ගිය බවය. 2016 ජූනි මසදී එම ආදායම ඩොලර් මිලියන 644.5ක්ව තිබුණි. රුපියල අවප්‍රමාණ වෙමින් පවතින විට විදේශ රැකියා නියුක්තිකයන් මෙරටට මුදල් නොඑවන්නේ අනාගතයේදී එය තවත් අවප්‍රමාණ වුවහොත් තම ඩොලර් ආදායමට විශාල රුපියල් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවේ යැයි අපේක්ෂා කිරීම නිසාය. එසේම විදේශ ආයෝජකයන් උපයන මුදල්වලින් බදු අය කිරීමේ යෝජනාවක් පසුගියදා සාකච්ඡා වෙමින් පැවතුණ අතර ඒ නිසා ඔවුන් තම මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවලට නොයවා විදේශ බැංකුවල තැන්පත් කිරීමට පෙළඹුණු බවක් දක්නට ලැබුණි.
පසුගිය වසරේ වෙළෙඳාමෙන් ලැබුණු අලාභය 2017 වසරේ මුල් හය මාසය තුළ ඩොලර් මිලියන 4753.5 දක්වා සියයට 13.42කින් ඉහළ ගිය බව මහ බැංකුව වාර්තා කළේය. අපනයන සුළු වශයෙන් මේ වනවිට වර්ධනය වී තිබුණද, හිතුවක්කාරී ලෙස අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක්ම ආනයනය කිරීම නිසා ආනයන වියදම විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය කළමනාකරණය නොකිරීම නිසා අපේ විදේශ විනිමය පිටරටට ඇදී යාමෙන් රටට අපනයනයෙන් ලැබිය යුතු වාසි නොලැබී ඇත.
එසේම පසුගිය සමයේ අපේ අපනයන ආදායම ක්‍රමයෙන් පහළ වැටී ඇත.
ඒ මෙසේය.
වසර ඩොලර් බිලියන
2012 9.8
2013 10.4
2014 11.1
2015 10.5
2016 10.3
2017 10.0
2014 පමණක් සුළු වර්ධනයක් පෙන්නුම් කළද සැලකිව යුතු වෙනසක් සිදුව නැති බව පෙනේ.
එසේම රුපියල තවදුරටත් දුර්වලවීමට තවත් හේතුවක්ව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලදී ගැනීමය. මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසන්නේ සාමාන්‍යයෙන් මහ බැංකුව මසකට අමෙරිකානු ඩොලර් කෝටි 20ක් පමණ මිලදී ගන්නා බවය. 2017 වසර තුළදී මේ අන්දමට ඩොලර් කෝටි 165ක් මිලදී ගෙන තිබේ. මෙලෙස විදේශ ඩොලර් මිලට ගෙන මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කරයි. සංචිත මුදලට ගන්නා නිසා රැපියල් වැඩි වී ඩොලර් සැපයුම අඩු වේ.
මහ බැංකුව පවසන්නේ විදේශ සංචිත බිලියන 9 දක්වා ඉහළ නංවාගෙන ඇති අතර ඉදිරියේදී තවත් වැඩිකරන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසාන වාරිකයද ලැබුණු පසු සංචිත තවත් වැඩිවනු ඇත.
මෙයට පෙර සිටි මහ බැංකු අධිපතිවරුන් වැඩියෙන් රුපියල අවප්‍රමාණ වූ විට විදේශ සංචිත වෙළෙඳ පොළට මුදාහැර රුපියල යම් පමණකට ශක්තිමත් කිරීමට කටයුතු කළ බව දක්නට ලැබුණි. එහෙත් වර්තමානයේ එසේ සිදුනොකර රුපියල පා වීමට ඉඩහැරීම නිසා දේශීය හා විදේශීය භාණ්ඩ හා සේවා මිල අසීමිතව ඉහළයාම හේතුවෙන් පොදු මහජනතාව විපතට වැටී ඇත. එසේ වුවද මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව පියවර නොගෙන සිටින අතර සෙසු දේශපාලන බලධරයෝද නිහඬ පිළිවෙතක් අනුගමනය කරති.
දැනට මතුව ඇති අහිතකර තත්ත්වය නිසා රටේ ආර්ථික සංවර්ධනය පසුගාමී වන බවක් පෙනෙන්නට තිබේ. මෙය සමස්ත රටටද ජනතාවටද අහිතකර වේ. මේ පිළිබඳ ගතහැකි පියවර කුමක්ද යන්න පිළිබඳ විද්වත්හු විවිධ මත ප්‍රකාශ කරති.
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය හා ආර්ථික ලේඛක ඩැනී පී. අතපත්තු මහතා ඒ පිළිබඳ මෙලෙස විග්රහයක යෙදේ.
මේ වනවිට පැති කිහිපයකින් රටේ ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පවතිනවා. විදේශ වෙළඳාම අයහපත් තත්ත්වයට පත්ව ඇති අතර විදේශ ආයෝජන ලැබීම පහළ ගොස් තිබෙනවා. නිසි පාලනයකින් තොරව ආනයන කිරීම නිසා ආනයන වියදම් ඉහළ ගොස් තිබෙනවා. වෙළෙඳ ශේෂයේ හිඟය හෙවත් ආනයන අපනයන අතර වෙනස ඩොලර් බිලියන 10ක් වී තිබෙනවා. ආනයන ඩොලර් බිලියන 21ක් වී ඇති අතර අපනයනවල අගය බිලියන 11ක් තරම් පහළ මට්ටමකයි තියෙන්නේ.
ආයෝජන අපේ රටට නොපැමිණීමට දේශීය හා ජාත්‍යන්තර සාධක දෙකම බලපානවා. දේශීය වශයෙන් සලකා බලන විට රටේ ඇති අස්ථාවර ආර්ථික හා දේශපාලන තත්ත්වය නිසා ආයෝජකයන් පැමිණීම අවම වී තිබෙනවා. රටේ ආර්ථික තත්ත්වය නිතර වෙනස් වන සුළුයි. බදු පැනවීම ආයෝජකයන්ට පහසුකම් සැලසීම ආදිය පිළිබඳ නිසි ප්‍රතිපත්තියක් නැහැ. බදු පිළිබඳ ස්ථාවරත්වයක් තිබිය යුතුය. ජාතික ආදායම ලබාගැනීමේ දුර්වලතා නිසා වැඩි වශයෙන් ණය මත යැපීමට සිදුව තිබෙනවා.
එසේම රටේ දේශපාලන තත්ත්වය අස්ථාවරයි. ආණ්ඩුව බල අරගලයක නිරතව සිටිනවා. ගන්නා නොයෙක් තීරණ දේශපාලන අස්ථාවරභාවය නිසා වෙනස් කිරීමට සිදුවෙනවා. ආණ්ඩුව පවත්වාගෙන යාමට දරන උත්සාහයට ප්‍රමුඛත්වය ලැබී තිබෙන අතර සෙසු සියලුම දේවල් යටපත් වෙලා. මෙවැනි තත්ත්වයක් මත ආයෝජකයන්ගේ පැමිණීම දුර්වල වී තිබෙනවා. ඔවුන් මේ රට මගහැර දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය පවතින රටවල් කරා යනවා. සෑම අතින්ම ගැටලු ඇති රටක මුදල් යොදවා ආයෝජනය කිරීමට කවුරුවත් කැමැති වන්නේ නැහැ. මේ නිසා දැනට ආයෝජනය කර තිබෙන අයද ඒවා ඉවත් කරගෙන යාමේ ප්‍රවණතාවක් දක්නට තිබෙනවා. ඔවුන් දිරිමත් කිරීමට ආණ්ඩුව කිසිදු පියවරක් අරන් නැහැ. එසේ නොකර ආරාධනා කළ පමණින් ඔවුන් එන්නේ නැහැ. ආයෝජනය අලුතෙන් ඇතිවෙනවා තබා තිබෙන ආයෝජන ඉවත් කර ගැනීමටයි පෙළඹී ඇත්තේ.
එසේම ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස බාල්දුවීමද ආයෝජන පහළ බැසීමට හේතුවෙනවා. අද වනවිට රුපියලේ අගය 161 දක්වා පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය නිසා විදේශිකයන් ගෙනෙන ඩොලර්වල වටිනාකම පහළ යනවා. එය ඔවුන්ට ආයෝජනයේදී හානිකරයි. ඩොලරයේ ඉල්ලුම වැඩියි. සැපයුම අඩුයි. මේ තත්ත්වය නිසා තමා රුපියල දුර්වල වෙන්නේ.
කලින් වසරට වඩා අපනයනයේ සුළු වර්ධනයක් තිබුණද එය ප්‍රමාණවත් නැහැ. ආනයන පිළිබඳ කිසිදු සීමා කිරීමක් දක්නට නැහැ. අපට නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතියි. 2015 සිට දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට කටයුතු කර නැහැ. කෙටිකාලීන මැදිහත් වීමක්වත් දක්නට නැහැ.
අද පවතින තත්ත්වය මත ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල අනාගතයේදී තව තවත් පහළ යා හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඩොලරයට සාපේක්ෂව රැපියලේ මිල වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම අනුව තීරණය විය යුතු බවයි. එය යහපත් කර ගැනීමට නම් රටට ඩොලර් ලැබීම වැඩිවිය යුතුය. එහෙත් ආණ්ඩුව ඒ පිළිබඳ එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. 2000 සිට ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කළේ පාවෙන විදේශ විනිමය අනුපාතික ප්‍රතිපත්තියක්. එය දිගටම පවත්වාගෙන යාමේදී රුපියල අවප්‍රමාණ නොවීමට ප්‍රතිකර්ම කළ යුතු වෙනවා. එහිදී අපනයන ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගෙන නැහැ. නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට රටේ ජනතාව විරුද්ධ වෙනවා. අද ජාත්‍යන්තර තත්ත්වය මත නිදහස් වෙළෙඳ ගිවිසුම් නොමැතිව ජාත්‍යන්තර වෙළෙඳාම් දියුණු කළ නොහැකියි. ඉන්දියානු වෙළෙඳ ගිවිසුමේ ප්‍රතිපාදන අනුව බොහෝ භාණ්ඩ ඉන්දියාවට දිය හැකි නමුත් එවැනි භාණ්ඩ අපට නැහැ. අප ඒ ගැන දක්වන උනන්දුව අඩුයි. සිංගප්පූරැ වෙළෙඳ ගිවිසුම ගැනත් දැන් කතා වෙනවා. එහි ඇති නරක පැත්තට වඩා එමිගින් අප යහපතක් කර ගන්නේ කෙසේද යන්න ගැනයි සාකච්ඡා කළ යුතු වන්නේ.
දැනට ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජන ආපසු යන්නේ අපේ රට ගැන විශ්වාසයක් නොමැති නිසයි. මෙරට ආයෝජන කරන්නේ රුපියල් ශතවලින්. එම මුදල් යළි ඩොලරයට පරිවර්තනය කරන විට ඒ අයට අවාසියි. ඒ නිසයි මුදල් ආපසු ගන්නේ. එය වළක්වා ගන්න නම් අපේ රුපියල ශක්තිමත් විය යුතුයි.
අපේ ආයෝජන අඩුවීමට තවත් හේතුවක් තිබෙනවා. එය තමා අමෙරිකානු ඩොලරය මේ දිනවල ශක්තිමත් වීම. ඒ නිසා ඔවුන් ගෙවන පොලී අනුපාත ඉහළයි. එය අපට පමණක් නොව ලොව දියුණුවෙමින් පවතින බොහෝ රටවලට අහිතකර වෙනවා. මේ තත්ත්වය අපට පාලනය කළ හැක්කක් නොවෙයි. ඒ නිසා ආයෝජකයන් අමෙරිකාවට ඇදෙන ප්‍රවණතාව වැඩිවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන අය පොලිය වැඩි නිසා අමෙරිකාවේ ආයෝජනයට යනවා. එය නවත්වා ගැනීම අසීරුයි.
අනෙක් කාරණය අප ගෙන ඇති ණය ප්‍රමාණය ඇත්තටම අපට ගෙවන්න පුළුවන්ද යන්න සැකයයි. ලොව රටවලට අනතුරැ ඇඟවීම් කර තියෙනවා. ණය දීම පිළිබඳ. ලොව ඇතැම් රටවල් අද වෙනවිට ඒ තත්ත්වයට පත්ව තිබෙනවා. අප අද ණය ගන්නා විදියට අපටත් අනාගතයේ එම ඉරණම අත්වේ යැයි සැකයක් තිබෙනවා. මෙම තත්ත්වයද ආයෝජනවලට බලපානවා.
විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම මගින් රුපියලේ අගය අවප්‍රමාණ කිරීම වළක්වා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක්. අතීතයේදී එහෙම මැදිහත්වෙලා තියෙනවා. එහෙත් අද වනවිට රුපියල අවප්‍රමාණ වීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා නොකරන්නේ ඇයිද යන්න ගැටලුවක්. අද මහ බැංකුව උත්සාහ කරන්නේ විදේශ සංචිත ඉහළ නැංවීම ගැන පමණයි. ඇතැම් වෙලාවට ලංකාවට ණය දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව මෙලෙස කටයුතු කරනවාදැයි සැක මතු වෙනවා. කෙසේ වුණත් රැපියල දුර්වලවීම වළක්වා ගෙන දැනට රට තුළ ඇතිව ඇති ආර්ථික පීඩනය අඩු කිරීමට කෙටිකාලීන විසඳුම් හෝ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු වෙනවා.
යසවර්ධන රුද්‍රිගු