2018 ජුනි 23 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

1. තැපෑල දවස් ගණනක් තිස්සේ වර්ජනයේ. තවත් වර්ජන ගණනාවක්ම රටේ දකින්නට තියෙනවා. මොකද මේ වෙන්නේ?

2. රුපියලේ අගය මේ වෙනකොට 161ක් තරමට බාල්දු වෙලා තියෙනවා. මේක රටේ ආර්ථිකයට විශාල රතු එළියක් නෙවෙයිද?

3. රටේ තියන ප්‍රශ්න මැද්දේ පළාත් සභා කල් දාන එක සාධාරණයිද?

4. මැතිවරණවලට මන්ත්‍රීවරුන් මුදල් වියදම් කරන එකේ සීමාවක් නොමැති වීමේ තත්ත්වය වෙනස් කළ යුතු නැද්ද?

මේ වර්ජන රැල්ල දේශපාලන ගුණ්ඩුවක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

1. මේ රටේ වර්ජනය කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස හිමිවෙලා තියෙන්නේ මේ යහපාලන රජය බලයට පත් වුණාට පස්සේ. පසුගිය ආණ්ඩුව යටතේ එවැනි නිදහසක් තිබුණේ නෑ කියල එක කවුරුත් දන්න කාරණයක්. හැබැයි මේ වර්ජනවල ඉල්ලීම්වලට රජයක් විදිහට අපි සාධනීය පිළිතුරු ලබාදීලා තියෙනවා. ඇතැම් වර්ජකයන් විසඳුම් ලබා දුන්නත් ඒ වර්ජන ඉදිරියට ගෙනියන්නේ යම් දේශපාලන බලවේගයක්ද කියලා සැකයක් තියෙනවා.

2. මෙහෙමයි රුපියලේ අගය වැඩිවීම පිළිබඳව තිබෙන ගැටලුවට අපි ආර්ථික සහයෝගීතාවයක් ඇති කරගෙන උත්තර හොයන්න ඕන රජයක් විදිහට. ඉතින් මේ රුපියල අවප්‍රමාණය වීම අඩු කරන්න ඕන පියවර ගන්නවා අපි රජයක් විදිහට.

3. පළාත් සභා කල් දාන්න හේතු වුණේ පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වපු ක්‍රමය තුළ තිබෙන දුර්වලතා එක්ක. ඒ වගේම පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී මේ මැතිවරණ ක්‍රමයේ තිබෙන අඩුපාඩු එක්ක මේ මැතිවරණ පවත්වන්න බැහැ කියලා තීරණය කරලා තිබුණා. ඒ වගේම බහුතර ප්‍රශ්න පක්ෂ ප්‍රමාණයක් තීරණය කරලා තියෙනවා නැවත වතාවක් පරණ ක්‍රමවේදයටම පළාත් සභා තිබිය යුතුයි කියලා. ඉතින් අපි හිතනවා ෆයිසර් ඇමැතිතුමා මේ සංශෝධන අරගෙන ඇවිත් ඉක්මනට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි දෙසැම්බර් මාසය වනවිට පළාත් සභා මැතිවරණය තියයි කියලා.

4. මේ රටේ මැතිවරණවලට මුදල් වියදම් කිරීමේ පාලනයක් කොහෙවත් නැහැ. සල්ලි තියෙන වෙන වෙන ක්‍රමවේදයන් තුළ මුදල් ලබාගන්නා අපේක්ෂකයන් සමහර අවස්ථාවල පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු එනවා අපි දැකලා තියෙනවා. ඒ නිසා එම මුදල් සම්බන්ධව නියාමනයක් කරලා තිබුණානම් මීට වඩා හොඳ විනයක් තියන අපේක්ෂයන් මේ මේ ආයතනවලට තේරී පත්වෙයි.

 

ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුවට කටඋත්තර නෑ

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා (ඒකාබද්ධ විපක්ෂය)

1. පසුගිය අවුරුදු 3 ඇතුළත වැඩ කරන ජනතාවට තමන්ගේ ප්‍රශ්න ගැටලු වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට නිසි බලධාරියෙක් නොමැති වීමත් ඉන්නා අය පිළිතුරු නොදීමත් නිසා මෙවැනි උද්ඝෝෂණ වර්ජන කරන්න ඔවුන් පෙළඹී ඉන්නවා. ඒ වගේම තමයි මේ වර්ජන කිසිම එකකට පිළිතුරු ලබා දේනන ආණ්ඩුව කටයුතු කරලා නැහැ.

2. ඕනෑම රටක තමන්ගේ මුදල් අගය අවප්‍රමාණය වීම කියන්නේ ඒ රටේ ආර්ථිකයට බලපාන ප්‍රශ්නයක් බවට පත්වෙනවා කියන එක. නමුත් රජයේ ඇතැම් පාර්ශවවලින් ප්‍රකාශ කරනවා මේ රුපියල අවප්‍රමාණය වීම ලංකාවට ඉතා වාසිදායක තත්ත්වයක් කියලා. රටේ ජනතාවගේ ජන මතය මොවුන් අවුල් කරමින් ඉන්නවා. රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් මේ වනකොට නිර්මාණය වෙලා තියෙනවා. මෙයට විසඳුම් හොයන්න තවමත් ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා.

3. මේ වෙනකොට ඇතිවෙලා තියෙන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුවට ගත හැකි එකම ක්‍රියාමාර්ගය තමයි මැතිවරණ කල් දමමින් ජනතා විරෝධය ප්‍රකාශ කිරීම යටපත් කිරීම. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පසුගිය මාර්තු 31ට පෙර පළාත් සභා මැතිවරණ පවත්වනවා කියලා. නමුත් දැන් ජූනි මාසයේ අන්තිම වෙනකම් මේ ආණ්ඩුවට මැතිවරණය පවත්වගන්න බැරිවෙලා තියෙනවා. මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි කියලා තමයි අපිට පේන්න තියෙන්නේ.

4. මේ තියන මැතිවරණ ක්‍රමය එක්ක ඒ මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් මුදල් යොදවනවා. සමහර අය මුදල්වලින්ම මේ ජයග්‍රහණ අත්කරගන්නවා. එහෙම මන්ත්‍රීවරු පත්වුණාම ඒ අයට උදව් කරන කලාවක් රට තුළ තියෙනවා. මුළු රටම කතාවෙන බැඳුම්කර වංචාවත් ඒ වගේම අවස්ථාවක්.

 

ස්ට්‍රයික්වලින් පේන්නේ ආණ්ඩුවේ බැරි කමයි

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත

1. පාලකයෝ හැමදේටම අසමත්. මේ කාරණයේදීත් අසමත්. වැඩ වර්ජනයක් සිද්ධ වෙන්නෙත් ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න ආණ්ඩුවකට බැරි වුණාම. මේ ආණ්ඩුවේ බැරිකම ප්‍රකාශය වන තවත් එක පැත්තක් තමයි වැඩ වර්ජන කියලා කියන්නේ.

2. අනිවාර්යයෙන්ම ආර්ථිකයට දැවැන්ත බලපෑමක් වෙනවා. විදේශ ආයෝජකයන් ලංකාවට එනකොට ඒ අය කැමතියි අපි රුපියල් වැඩි ප්‍රමාණයක් දෙනවට. ඒ අයට ඒක වාසියක්. මේ අය ඒක එහෙමම කරගෙන යනවා. නමුත් ආපු ආයෝජකයෙක් නැහැ. අන්තිමට අපිට වැඩි වැඩියෙන් ගෙවන්න වෙලා තියෙන්නේ. මේක රටේ ජනතාවට බරපතළ ප්‍රශ්නයක්. මොකද අපි ආනයනය කරලා ජීවත් වෙන රටක්. අපේ අපනයනය කඩා වැටිලා තියෙන්නේ. ඉතිං ජනතාවගේ බඩට ගහලා ඔවුන් මේක කරගෙන යනවා. ඒකත් නොහැකියාවක්. මේ ආණ්ඩුවට තියනවනේ රෝගයක් නොහැකියාව කියලා.

3. කිසිම මැතිවරණයක්වත් කල් දාන එකේ සාධාරණයක් නැහැ. මැතිවරණ කල් දාන්න ඕනෙත් නෑ. කලින් තියන්න ඕනෙත් නෑ. මැතිවරණවල ක්‍රමය තමයි නිසි කලට මැතිවරණ පැවැත්වීම. මේ විදිහට නිසි කලට මැතිවරණ නොතියන්නේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රතිඵලවලට බය නිසා.

4. මේකට නීතිමය ප්‍රතිපාදන සකස් කරන්න ඕන. ඒකට නිසි නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් නැහැ. ඒ වගේම දේශපාලනමය සංස්කෘතියක් හදන්න ඕන. ඒ දෙකම නැති රටක මේ සියල්ල මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ.

රට විකිණිල්ලට ජනතාව ඉන්නෙ තරහින්

ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ

1. රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම වැඩ කරන ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි මේ වර්ජනවලට මූලික හේතුව. ඒ වගේම මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න රජය කටයුතු කරන්නේ නැහැ. ඒ හේතුව නිසාත් වැඩ කරන ජනතාව මේ වගේ ක්‍රියාමාර්ගවලට යනවා.

2. අනිවාර්යයෙන්ම. මේ විදිහට රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ රජයට නිසි ආර්ථික වැඩපිළිවෙළක් නැහැ කියන එක. නිසි ආර්ථික වැඩපිළිවෙළක් හඳුන්වා දෙනකම් මේ රුපියල අවප්‍රමාණය වීම නවත්තන්න බැහැ.

3. නැහැ. එහෙම ප්‍රශ්න තිබුණා කියලා මැතිවරණ කල් දාන එක සුදුසු නැහැ. ඒ වගේම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තමයි මැතිවරණය කියන එක. ඉතින් පසුගිය රජය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා මැතිවරණ තිබ්බා කියලා චෝදනා කරන නමුත් මේ ආණ්ඩුව මැතිවරණ තියන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව යුද්ධය තියෙද්දිත් ඡන්ද තිබ්බා. නමුත් මේ ආණ්ඩුවේ තවමත් එහෙම එකක් පේන්න නැහැ.

4. අපේ සම සමාජ පක්ෂය මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ සටන් ගෙන ගිහින් තියෙනවා. නමුත් මේ මැතිවරණ සඳහා අපේ පක්ෂය කිසිම දිනක මුදල් විසිකරලා නැහැ.

 

වර්ජනවලට රජය විසඳුම් දීලා තියෙනවා

කම්කරු ජාතික පෙරමුණ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා

1. යහපාලන ආණ්ඩුව මගින් ලබා දීලා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා තමයි මේ වර්ජනය කරන්න, උද්ඝෝෂණය කරන්න පුළුවන් වෙන්නේ. අද තැපෑල පාඩු පිට තමයි යන්නේ. එහෙම තියෙද්දී මේ අයට විසඳුම් ලබා දුන්නත් ඔවුන් මේ විදිහට ක්‍රියා කරන එක ගැන අපේ පැහැදීමක් නැහැ. අපි ඕනෑම වර්ජන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීලා තියෙනවා.

2. මේ තත්ත්වය ඉතා බැරූරැම් එකක් කියලා අපි පිළිගන්නවා. රජය ඉතා ඉක්මනින් මේ වැඩ පිළිවෙළ මේ ආර්ථිකය ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙයි ඉක්මනටම.

3. මැතිවරණ කල් දාන්න ප්‍රධාන හේතුව පසුගිය පළාත් පාලන මැතිවරණය තියපු ඒ ක්‍රමය වෙනස් කළ යුතු නිසායි. ඒක පක්ෂ නායකයන් තීරණය කරපු නිසා මේ ක්‍රමය වෙනස් කරලා හෝ මෙහි තිබෙන අඩුපාඩු හදාගෙන හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දයකට මේ රජය යයි කියලා අපේ විශ්වාසයක් තිබෙනවා.

4. මේ සම්බන්ධව නිසි වැඩපිළිවෙළක් තියෙනවානම් හොඳයි කියන එක තමයි අපේ මතයත්.

යහපාලනේ නිදහස නිසා වර්ජන අැතිෙවනවා 

සමස්ත ලංකා මහජන කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

1. මේ යහපාලන ආණ්ඩුව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා තමයි රටේ හැම තැනම මේ විදිහට වර්ජන, උද්ඝෝෂණ සිදුවෙන්නේ. මේ ආණ්ඩුව පවතිනකම්ම මේ තියෙන නිදහස නිසා වර්ජන රුල්ල නතර වෙන එකක් නැහැ. හැම ප්‍රශ්නයකටම වගේ නිදහස ලබා දුන් නිසා තමයි මේ විදිහෙ වර්ජන ඇතිවෙන්නේ. ඒකනේ යහපාලන ආණ්ඩුව කියන්නේ.

2. ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ආණ්ඩුව නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි මේ තත්ත්වය පාලනය කිරීම සඳහා.

3 නැහැ. ඕනෑම මැතිවරණයක් කල් දාන එක සුදුසු ක්‍රියාවලියක් නෙවෙයි. නමුත් අපි හිතනවා ඉක්මනටම මේ යහපාලන ආණ්ඩුව මැතිවරණ පවත්වයි කියලා.

4 මැතිවරණ කාලවලදී සීමාවක් නැතුව මුදල් වියදම් කරන අයත් ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා. කොහොම වුණත් මැතිවරණ කාලවලදී මුදල් වියදම් කරන එක පාලනය කරන්න ඕන කියන එක තමයි අපෙත් අදහස.

 

සංස්කරණය : 
හසිත් අංජන 
සේයාරූ / අන්තර්ජාලයෙනි