2018 ජුනි 16 වන සෙනසුරාදා

දේශපාලකයන්ටත් කොකා ගස්සන කොස්ගොඩ පාතාලය

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 663

මෙරට සක්‍රීයම පාතාලය ක්‍රියාත්මක වන්නේ දකුණේ පාතලය තුළය .ගෝඩ් ෆාදර් වීමට හීන දකින මාකඳුරේ මදූෂ්ගේ, කොස්ගොඩ සුජී, පොඩි ලැසී, කොස්ගොඩ තාරක, දෙවුන්දර තමිල් ආදී සියලු කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ බෙන්තර ගඟෙන් එහා සිටය. මේ දකුණේ පාතාලය නිසා ඉතිහාසය සිට ගත් කළ ඝාතනයට ලක්වූ පිරිස 500 කට වඩා අධිකය. ඒ සෑම ඝාතනයක්ම කොන්ත්‍රාත්ය. නැත්නම් හිතවත්කම් මත සිදු වූ ඒවා විය. එකී පාතාලය කෙතරම් දරුණු දැයි කියයොත් මළ මිනියට පවා ටී56 ගිනි අවියෙන් වෙඩි තැබූ අවස්ථා ඇත.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ එකී දකුණේ පාතාලය තවත් බිල්ලක් ගැනය. මේ බිල්ල ගැනෙන්නේ දකුණේ පාතාලයේ නිතර මිනී මරාගන්නා කල්ලි දෙකක් වන කොස්ගොඩ සුජීගේ සහ කොස්ගොඩ තාරක කණ්ඩායමේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙසය. මෙලෙස ඝාතනයට ලක්වන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී උප සභාපති වූ රංජිත් ඩොනල්ඩ් රණවීර මහතාය. මේ කතාව පටන් ගන්නේ මීට වසර ගණනාවක සිටය.

දැනට පිටරටට පැන සිටින කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක සහ මියගිය ඩොනල්ඩ් යන අය මිතුරෝ වූහ. ඒ කලකට පෙරය. එහෙත් කොස්ගොඩ සුජී විදේශගත වීමත් සමඟ තාරක සුජීගෙන් වෙන්වන්නේ දකුණේ වෙනම කණ්ඩායමක් ද සමඟය. ඒ සුජීට විරුද්ධවය.

මේ විරුද්ධ වීම තුළ තාරක සුජීට පාතාලයේ න්‍යාය වන රිටන් එකක් දීමට තීරණය කළේය. ඒ අනුව පසුගිය වසරේ තාරක ඇතුළු පිරිස මහ රාත්‍රියේ ගොස් සුජීගේ මාමා කෙනකු වන මහින්ද රාජාට වෙඩි තැබුවේය. ඔහු ද හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකි. ඔහුට වෙඩි තබා නිකම් සිටියේ නැත. ඔහුගේ දරුවන් දෙදෙනකුට ද එදිනම වෙඩි තබා ඝාතනය කළහ. ඔවුහු පාසල් දරුවෝ වූහ. එම ඝාතනයෙන් පසු පිරිස මහින්ද රාජාගේ හිතවතකු සොයා ගියහ. ඔහුට වෙඩි තබා ඝාතනය කළහ. මේ සියලු මරණ ගෙවල්වල බරපැන දැරුවේ සුජීගේ මිතුරකූ ඝාතනය වූ ඩොනල්ඩ්ය. ඒ සුජීගේ දිවට දිව ගෑ මිත්‍රකම නිසාය.

එම ඝාතන නිසා සුජීට ඉන්න හිටින්න තැන් නැති විය. ඒ දකුණේ පාතාලය හොල්ලා සිටි සුජීට එල්ල කළ ප්‍රහාරය නිසාය. මේ නිසා සුජී තාරකට රිටන් එකක් ලෑස්ති කළේය. ඒ පොඩි ලැසී හරහාය. ඒ අනුව තාරකගේ ඥාතිවරියක් ඇතුළු කාන්තාවන් දෙදෙනකුට වෙඩිතබා තුවාල කෙරිණි.

ඊට අවනත නොවූ තාරක සුජීලාට සමීප හිතවතුන්ට මරණ තර්ජන, වෙඩි තැබීම් සිදු කළේය. මේ පිළිබඳ සුජීට තොරතුරු ගියවිට ඔහුට යකා වැහෙන්න ඇත. එහෙත් කරන්න දෙයක් තිබුණේ නැත. 

මේ අතර සුජීගේ කප්පම් ලබාගැනීමත් යමරෙට සිදුකරගෙන ගියේය. සුජී කාලයක සිට කප්පම් ඉල්ලමින් සිටි රෝයල් බීච් සමන්ට මරණ වරෙන්තුව දීමට තීරණය කෙරෙන්නේ සමන් කප්පම් නොදීම නිසාය. ඒ අනුව සුජීගේ දෙදෙනෙක් ගොස් සමන්ව ඝාතනය කරන්නට උත්සාහ ගත්හ. එහෙත් වැඩේ වැරදී ගිය අතර එල්ල කළ වෙඩි ප්‍රහාරය සමන් සමඟ හවුලේ ව්‍යාපාර කළ විදේශිකයකුට වැදුණේය. ඔහුට තුවාල සිදුවිය.

පසුව පොලීසිය විසින් පරික්ෂණ ආරම්භ කළේ මේ විදේශිකයාට වෙඩි තැබීම ගැනය. එහිදී වෙඩි තැබීමට පැමිණි පිරිස කොටුකර ගැනීමට හැකිවිය. පිරිස සැඟවී සිටියේ සුජීගේ හොඳම හිතවතකු වූ ඝාතනය වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වූ ඩොනල්ඩ්ගේ නිවෙස ආසන්නයේය. කෙසේ වෙතත් මේ කොටු වීම සුජීට සැක සිතුණේය. ඒ පාතාලයේ හැටිය. පොඩි දේටත් සැක වීම. ඒ අනුව සුජී සිතුවේ මේ පිරිස ගැන තොරතුරු ලබා දුන්නේ තමන්ගේම මිතුරා වූ ඩොනල්ඩ් බවය. මේ නිසා ඩොනල්ඩ්ට රිටන් එක දීමට සුජී තීන්දු කළේය.

ඩොනල්ඩ් සුජීගේ හිතවතකු බවට පළාතම දන්නා නිසා සුජී එය වාසියට ගත්තේය. ඒ ඩොනල්ඩ්ට වෙඩි තබා ඒ අවනඩුව ද තාරකගේ ගොන්නට දැමීමටය. මේ නිසා සුජී සිය ගෝලයන් දෙදෙනකුට කතා කොට කීවේ ඩොනල්ඩ් පොලීසියට ඔත්තු දෙන නිසා ඝාතනය කරන ලෙසය. 

ඒ අනුව ටී 56 අවියක් ගත් දෙදෙනෙක් පසුගිය සතියේ සිට ඩොනල්ඩ් පසුපස වැටී සිටියහ. මාරයා ඩොනල්ඩ් සොයාගෙන පැමිණියේ රාත්‍රියේය. ඩොනල්ඩ් තම හිතවතකුගේ මංගල උත්සවයක් සඳහා ඌරගස්මංහන්දියේ කොරකින ප්‍රදේශයට යමින් සිටියේය. ඔහු යන වෙලාවේ ජනාකිර්ණ වැඩි නිසා ඔහු මංගල උත්සවය නිමාවී පැමිණෙන තෙක් වෙඩිකරැ ඇතුළු දෙදෙනා යතුරු පැදියට වී සිටියහ. එකවරම ඩොනල්ඩ් මතුවුණේය. ඒත් සමඟ ක්‍රියාත්මක වූ දෙදෙනා වෙඩි තබන්නට වූහ. හතර අතේ වෙඩි තැබූ ඔවුහු යතුරු පැදියේ නැගී පලායන්නට සුදානම් වූහ. වෙඩි වරුසාව මත ඩොනල්ඩ්ගේ රි‍යැදුරා ක්‍රියාත්මක වුණු අතර ඔහු යතුරැ පැදිය පසුපස පැන්නුවේය. පන්නා ගොස් අතරමඟ යතුරු පැදිය හප්පා දැම්මේය. දෙදෙනා හැප්පෙන විට ඩොනල්ඩ් එකවර රියදුරුගේ ඇඟට කඩා වැටුණේය. රි‍යැදුරු බිය වී ඩොනල්ඩ් රුගෙන රෝහල වෙත ගිය අතර එසේ යනවිට ඩොනල්ඩ් මියගොස් සිටියේය.

කෙසේ වෙතත් මෙම ඝාතනය ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී යතුරු පැදිය වැටුණු තැන තිබී ටී56 උණඩ හයක් සහිත මැගසිනයක් හමුවිය. මේ අතර පොලීසියට තොරතුරක් ආවේය. ඒ ඌරගස්මංහන්දිය රෝහලේ පුද්ගලයකු ‍යතුරු පැදි අනතුරක් වී ප්‍රතිකාර ගන්නා බවය. පසුව ඔහුව වෙත ගොස් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ ඒ ඩොනල්ඩ් ඝාතනයට පැමිණිය යතුරු පැදියේ පැදිකරු බවය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ බෑගයක තිබී ටී56 ගිනි අවියට දැමිය හැකි උණ්ඩ තිහක් සොයා ගැනීමට හැකිවිය. ඔහු අසේල නැමති අයෙකි. හොරකම් සම්බන්ධයෙන් චෝදනා ඇති අයෙකි.

පසුව වෙඩික්කරු සෙව්වත් ඔහු පැනගොස් සිටියේය. මේ වනවිට වෙඩික්කරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත. කෙසේ වෙතත් සුජීගේ මාමා වන මහින්ද රාජාගේ මළ ගෙදර පවා කිසිදු අඩුපාඩුවක් නොකර සිදු කළ ඩොනල්ඩ්ට අවසානයේ සැකය නිසා සිය මිතුරා අතින්ම ජීවිතය අහිමි විය. සුජී එය තාරකගේ කල්ලියට දැමීමට උත්සාහ කළත් අවසානයේ ඇත්ත හෙළිදරව් වුණේ ඩොනල්ඩ්ගේ රි‍යැදුරු පස්සෙන් පන්නා සිදු කළ අනතුර නිසාය. එසේ නොවන්න මෙය තාරකගේ ලැයිස්තුවට යාමට තිබූ ඝාතනයක් විය. කෙසේ වෙතත් මෙයින් එක දෙයක් ගම්‍ය වනු ඇත. එනම් පාතාලය සමඟ ලැගි ඕනෑම කෙනකුට ඕනෑම විටක මේ ඉරණම අත් වන බවය. එය ස්වභාවික මරණයක් නොව ඝාතනයක් වනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05