2018 ජුනි 16 වන සෙනසුරාදා

කඳ සුරිඳු පුදබිම ලෙයින් තෙත් කළ මරු පහර

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 225

කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තූවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමි හා වීදාපොළ සෝභිත හිමියන්ද සුපුරුදු පරිදි පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කිරිවෙහෙර වැඳ නමස්කාර කිරීමට පැමිණ සිටියහ. එදිනෙදා දිනචර්යාවේ කොටසක් වූ මෙය පන්සලේ කිසිවකුට විශේෂ සිද්ධියක් නොවුණේය. හිමි දෙපළ මල් පූජාකොට පහළට එමින් සිටියහ. හිමියන් පසුපස ආරක්ෂාවට සිටි පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ කිහිප දෙනෙක්ද සිටියෝය.

විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස පඩිපෙළ දිගේ පහළට බසිනවාත් සමඟම අඳුර ඉරාගෙන වෙඩි වරුසාවක් කිරිවෙහෙර දෙසට ඇදී අවේය. එම වෙඩි ප්‍රහාර හේතුවෙන් හිමිදෙනම එම ස්ථානයේම ඇද වැටුණාහ. ශුද්ධ භූමියම දෙදරුම් කා ගිය එම වෙඩිප්‍රහාරයෙන් කතරගම දේවාල භූමියද ගැස්සී ගියේ මොකක්ද ඒ ශබ්දය කියා ප්‍රශ්න ගන්වමිනි.

ඒ වනවිටත් වේදනාවෙන් උදරය අල්ලා වැටී සිටි විහාරධිපති හිමියන් ඉක්මනින් රෝහල වෙත රැගෙන යාමට අවට සිටි පිරිස්ද ක්‍රියාකළහ. උන්වහන්සේ සමඟ සිටි සෝභිත හිමියෝ පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් නිසා වේදනාවෙන් සිටියහ. ඒ අනුව හිමි දෙපළම කතරගම රෝහල වෙත රැගෙන යනු ලැබූහ. පසුව තත්ත්වය තරමක් බරපතළ නිසා දෙදෙනාවම හම්බන්තොට රෝහල වෙතට රැගෙන ගියහ.

එම වෙඩිතැබීමත් සමඟ කතරගම කිරිවෙහෙර භූමිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින්ට විහාර භූමියෙන් වේගයෙන් ඇදීයන ජීප් රථයක් දැක ගැනීමට හැකිවිය. එය සැකසහිත වුවත් එය නතර කර ගැනීමට නොහැකි වේගයෙන් ගියත් එයට වෙඩි නොතැබුවේ ඒ වනවිටත් පූජා භූමියේ සිටි පිරිස නිසාය. එහෙත් ඔවුහු ජීප් රථයේ අංකය ලියාගත්හ.

මේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ඒ වනවිටත් සියලු අවට පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීහු ඇදී එමින් සිටියහ. උසස් පොලිස් නිලධාරීහුද සිටියහ. නීතිය සාමය අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ උපදෙසින් පොලිස්පති හරහා සෘජුව උපදෙස් ලැබුණේ හැකි ඉක්මනින් සැකකරුවන් හෝ ඔවුන් පිළිබඳ තොරතුරු සොයාගන්නා ලෙසය. ඒ අනුව UP CAG 8531 යන ජිප් රථ අංකයත් සමඟ පොලිස් නිලධාරින් මහ රෑ විසිර ගියේ කෙසේ හෝ සැකකරු පිළිබඳ තොරතුරු ලබාගැනීමට පියවර ගනිමිනි.

මේ අතර තවත් පිරිසක් විහාරයේ සිටි හිමිවරුන්ගෙන් ප්‍රකාශ ලබාගත්හ. ඒ මෙයට සැක කවුරුද යන්න ගැන සෙවීමටය. ඒ අතර කනින් කොනින් එක් අයකු ගැන තොරතුරු ගලාගෙන අවේය. කතරගම මහසෙන් දේවාලයේ හිටපු කපු මහතකු ගැනය. කෙසේ වෙතත් එම සාක්ෂි රැගෙන පොලීසිය මහ රෑම සෝදිසියක නිරත විය. එහිදී සැකසහිත ජිප් රථය එහා මෙහා යන ආකාරය සීසීටීවි කැමරා වලින් දැකීමට හැකිවිය. පසුව පොලීසිය ජිප්රථය ගමන් කළ ප්‍රදේශයට ගියේය.

කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විට සැකකාර කපුවාගේ නිවසෙහි සීසීටීවී කැමරාවල දුටු ජිප් රථය නවතා තිබුණේය. එය වසා දමා තිබුණු අතර පොලීසිය එය පරීක්ෂා කරන්නට විය. නිවසෙහි වූ අයට කියා විවෘත කරගත් අතර වාහනය පරීක්ෂා කිරීමේදී එහි එන්ජිම රත්වී තිබුණේ ඊට ස්වල්ප වෙලාවක පෙර වාහනය ධාවනය කළ බවට සාක්ෂි සපයමිනි. එසේම වාහන අංකයද පරීක්ෂා කළේය. සැකය නිවැරදිය. වාහන අංකය නිවැරදිව ගැලපුණි. ඒ අනුව සැකය මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර වෙත දිගුවිය. එහෙත් ඔහු ඒ අවස්ථාවේ නිවසේ සිටියේ නැත. පොලීසිය ඔහුව, සෙව්වත් ඔහු නිවසෙන් පැනගොස් සිටියේය.

පොලීසිය පරීක්ෂණ පුළුල් කරමින් ඊට පසුදිනද නිවසේ සෑම ස්ථානයක්ම පරීක්ෂා කළේය. එහිදී අසේලගේ නිවසේ දරමඩුවෙහි තිබී බෝර 12ක ගිනි අවියක් සොයා ගැනීමට හැකිවිය. එසේම ඊට යොදන උණ්ඩ දහයක්ද පොලීසිය විසින් සොයාගත්තේය. පොලිසිය සැකකරන්නේ එම ගිනිඅවිය නායක හිමියන්ට වෙඩි තැබීම සඳහා යොදාගත් අවිය ලෙසය. කෙසේ වෙතත් පොලීසිය තව තවත් පරීක්ෂණ පුළුල් කරමින් සැකකරැවන් පසුපස පොලිස් කණ්ඩායම් 8ක් යෙදවීමට ක්‍රියා කළේය.

මෙහිදී පොලීසියට වෙඩිතැබීමට සම්බන්ධ කෝන්තරය ගැන තොරතුරු දැනගැනීමට හැකිවිය. මීට වසර කිහිපයකට පෙර මහසෙන් දේවාලය බාරව සිට ඇත්තේ අසේලය. අසේල එම දේවාලයට ලැබෙන මුදල් අයථා ලෙස රැස්කර ඇති බවටත් ඉන් විහාරස්ථානයට හිමි ආධාර පවා මගහැර තිබූ බවටත් චෝදනා එල්ල විය. මේ පිළිබඳව නායක හිමියන් විසින් අසේල දැනුවත් කළත් තඹයකට මායිම් කර නැත. පසුව නායක හිමියන් විසින් දේවාලය පවරා ගැනීමට උත්සාහ දරා ඇතත් ඊටද අසේල ඉඩ ලබානොදී සිය කටයුතු සිදුකරගෙන ගොස් ඇත.

නායක හිමියන් මෙම ප්‍රශ්නය අධිකරණය වෙත රැගෙන ගොස් ඇත්තේ ඉන්පසුවය. ඒ අනුව පසුගිය වසරේදී අධිකරණය මගින් විහාර දේවාල ගම් පනත යටතේ දේවාලය නායක හිමියන්ට පවරා දී ඇත. මේ තීන්දුව සමඟ දැඩි කෝපයෙන් සිට ඇති අසේලත් අසේලගේ පිරිසත් කිහිපවතාවක්ම ධම්මින්ද හිමියන්ට තර්ජන කර ඇත. වෙඩි තැබීමට දින තුනකට පෙරද එලෙස තර්ජනය කර ඇත. එහෙත් නායක හිමියන් එය එතරම් ගණන් ගෙන නැති බව කියති.

කෙසේ වෙතත් දේවාලය නැවත පවරා ගැනීමේ අදිටනින් අසේල නායක හිමියන් ඝාතනය කිරීමට සූදානම් වූ බව සැකකෙරේ. ඒ සඳහා ඔහුගේ සහෝදරයකුත්, යුධ හමුදාවේ හිටපු අයෙකුත් තවත් පුද්ගලයකුත් යොදාගෙන ජීප් රථයේ නැගී කිරි වෙහෙරට පැමිණ ඇත්තේ නායක හිමියන් සුපුරුදු පරිදි චෛත්‍ය වන්දනාවට පැමිණෙන අවස්ථාව එළඹෙන තුරුය. එම කාලය අල්ලා වෙඩි තැබීමට පිරිස කළ තීරණය ක්‍රියාවට නැංවිණි. 

ඊට පසුදිනම මෙම සිද්ධියට සම්බන්ධ යුධ හමුදා සෙබලා සොයා ගැනීමට හැකි වූ අතර ඊට අමතරව අනෙක් පුද්ගලයාද පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. එහෙත් අසේලත් අසේලගේ සොහොයුරත් සොයාගැනීමට අදටත් හැකි වී නැත.

කෙසේ වෙතත් කතරගම දේවාල තුළ ඇතිව තිබෙන ප්‍රශ්න එන්න එන්නටම ඉහළ යමින් තිබේ. පසුගිය කාලයක කපු මහත්වරු 16ක් ඉවත් කරනු ලැබූහ. එක් වතාවක් මහ දේවලයේ යතුරට සටනක් ඇවිලිණි. තවත් අවස්ථාවක කඩවර දේවාලයේ කපු තැන දඩමස් සමඟ කොටු වුණේය. දැන් කිරිවෙහෙර නායක හිමියන්ට වෙඩි තැබුවේද එකී කපු මහත්මයකු විසින්ම බව කියති. එසේනම් දෙවියන් සමඟ කතාබහ කරන බව කියන, දෙවියන් සමඟ, ජීවත්වන බව කියන, දෙවියන්ගේ අඩවියේ සිටින මෙවැනි කපුවන්ට දෙවියන් දී ඇති දඬුවම කුමක්ද? ඔවුන් දෙවියන්ගේ මිනිසුන් නම් ඔවුන් මෙවැනි අපරාධකරුවන් වුණේ කෙසේද? එය අපට ගැටලුවකි.

කෙසේ වෙතත් තවත් දෙයක් කීමට ඇත. රටේ එන්න එන්නට සිදුවන අපරාධ ප්‍රමාණය සංඛ්‍යාත්මක ලෙස ඉදිරියට පැමිණ තිබීමය. සෑම සතියකට වරක් වෙඩිතැබීම් දෙකක් තුනක්, කොල්ලයක් දෙකක්, පහරදීමක්, ඝාතනයක් ඇසෙන තැනට පැමිණ ඇත. ඒ විතරක් නොව සෑමතැනම අවිගත් කණ්ඩායම්ය. එකී කණ්ඩායම් නිසා මේ වනවිට රට තුළ සාමකාමී වාතාවරණයටද බාධා එල්ල වෙයි. ඒ අවදානම මකාලීමට පුළුවන්කම ඇත්තේ රජයටත් පොලීසියටත් පමණි. එකී වගකීම මහහැරීදෝ යන්න කාටත් සැකයක් ඉපදී ඇත. එසේ වී ඇත්තේ මෙවැනි සිද්ධීන් නිසාය. ඒ නිසා, දැන්වත් මෙවැනි වරදවල් නිවැරදි කළ යුතුව ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමියන් මෙසේ පැවසූහ.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට ලක් වූ මෙම පුදබිම තුළ වෙඩිපත්තු වීම පිළිබඳව සියලු ජනයා දැඩි කම්පනයකින් පසු වෙන්නේ. මෙම වෙඩි ප්‍රහාරය මහ සඟරුවන හැටියට අපි තරයේ හෙළා දකිනවා. උන්වහන්සේ කිරිවෙහෙර වැඳ පුදාගෙන නැවත ආවාසගෙය දෙසට වැඩම කරමින් සිටින අවස්ථාවේ පහත මළුවේදී තමයි වෙඩි ප්‍රහාරයට ලක්ව තියෙන්නේ. විශේෂයෙන්ම අපි මේ පිළිබඳව රජයෙන් ඉල්ලීමක් කරන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් කල්නොමරා විධිමත් පරීක්ෂණයක් සිදුකරලා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කියලයි. ඒ වගේම දෙනොදහසක් ජනතාව යන එන පූජා භූමියක් කතරගම කියන්නේ. ඒ නිසා මේ පූජා භූමියේ ආරක්ෂාව මීට වඩා වැඩි කරන්න කියලා අපි ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වෙලාවේ ධම්මින්ද හිමියන්ගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න මැදිහත් වෙලා කටයුතු කළ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. උන්හවස්සේ අද රැගෙන ගියේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙතයි. උන්වහන්සේගේ තත්ත්වය තරමක් බරපතළයි. කෙසේ වෙතත් උන්වහන්සේට අවශ්‍ය මූලික ප්‍රතිකාර හම්බන්තොට මහ රෝහලෙන් ලබාදීමෙන් පසුවයි කොළඹට රැගෙන ගියේ.

කතරගම කිරිවෙහෙර හිමිදුම සුගතවංශ හිමියානෝය

නායක හාමුදුරුවො හැමදාම කිරිවෙහෙර වහන්සේ වඳින්න යනවා. ඒ වගේ 12 වෙනිදත් උන්වහන්සේ කිරිවෙහෙර වහන්සේ වැඳ පුදාගෙන ආවාසගෙට වැඩම කරමින් ඉන්න අවස්ථාවේ පහත මළුවේදී උන්වහන්සේ මේ වෙඩි ප්‍රහාරයට ලක් වුණා. උන්වහන්සේ ගුවන් මඟින් කොළඹ පුද්ගලික රෝහලකට රැගෙන ගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා. විහාරස්ථානය හා පූජාභූමිය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම උන්වහන්සේට නොයෙක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා. හැබැයි එම අවස්ථාවන්වලදී උන්වහන්සේ නොබියව දැඩි තීරණ පවා ගත්තා. පූජා භූමිය සංවර්ධනයේ දී උන්වහන්සේ එඩිතරව ගත්ත තින්දු තීරණ හේතුවෙන් උන්වහන්සේට කළ ප්‍රහාරයක් විදියටයි අපි මෙය සලකන්නේ. කෙසේ වෙතත් උන්වහන්සේට එල්ල වුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙය කවුරුන් විසින් කුමන අරමුණක් උදෙසා කළාද කියලා දැනගන්න වගේම ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකුත් සිදුකෙරේවි කියලා. වැරදිකරැවන්ට නිසි දඬුවම් දිය යුතුයි.

♦ ගයාන් ගාල්ලගේ
(පසුබිම් සටහන සහ ඡායාරූප: සූරියවැව නුවන් ජයසේකර)

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05