මෙන්න මෙතන තමයි මම පොඩි කාලේ පාඩම් කළේ... තල් ගහක් ළඟ තිබූ කළු ගලක් පෙන්වමින් මාර්ටින් වික්‍රමසිංහයන් පැවසුවේ වසර ගණනාවකට පසු කොට්ටව සිරිසේනයන් සොයාදුන් කොග්ගල නිවෙසේදීය. වික්‍රමසිංහයන්ගේ ළමාවියේ බොහෝ මතක ඒ ගම්පියසේ ගහකොළ අතර රැඳී තිබුණි. වික්‍රමසිංහ මහත්තයා කොලුකාලේ ගමේ ගතකරපු ජීවිතේ ගැන මට හුඟාක් දේවල් කියලා තියෙනවා. දඩෝරි වැඩම තමා ඒ කාලේ කරලා තියෙන්නේ.
සිරිසේන මම ඉගෙන ගත්තු විශ්වවිද්‍යාලය තමයි මගේ ගම. මට පොඩි කාලේ ඉඳන්ම හොඳට පීනන්න පුළුවන්. මම ඒ කාලේ ගඟේ නාන්න යනවා. ගඟේ මුල් කොහෙද ගල් කොහෙද කියන්න මම හොඳට දන්නවා. ඒ විතරක් ද සිරිසේන ඒ කාලේ අපි කොල්ලො රෑන හැංගිලා ඉඳන් ගමේ ගෑනු වතුර අරන් යද්දී කලේට කැටපෝලෙන් විදිනවා. ගෑනු එතකොට හූ තියාගෙන දුවන්නේ. අපේ තාත්තා හරි සැරයි. ඕවට මම අනන්තවත් තාත්තාගෙන් බැණුම් අහලා, ගුටිකාලත් තියෙනවා. ඉස්සර ගම්වල ආප්ප හදන තාච්චිහෙම තියලා තියෙන්නේ ගෙයින් පිටනේ. ගෑනු ඒකාලේ මූණ හැඩට තියාගන්න පවුඩර් උලන එක තමා කරේ. අපි කොල්ලො ටික තාච්චියේ යට අතගාලා මුකුත් නෑ හොඳ එකා වගේ යනවා. ගිහින් අර තාච්චියේ යට අතගාපු දැලි ගෑවිව්ච අත ගෑනුන්ගේ මූණේ උලනවා. ඉතින් පහුවදා තාත්තාගෙන් නඩු. මාර්ටින් වික්‍රමසිංහගේ ඒ අතීත මතක තම අපූරු මිත්‍රයා හමුවේ වදන් බවට පෙරළුවේ එලෙසිනි.
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා මුහුදට පුදුම විදිහට ආදරේ කරපු කෙනෙක්. වරද්දන්නේ නැතුව සතියකට දවසක් දෙකක් හරි හිරිගල තියෙන හරියේ මුහුදේ නෑවා. ඒ වගේම හිරිගල තියෙන හරියෙන් දණහිස ළඟට එනකම් කරිජ්ජ පාගන්නත් යනවා. වික්‍රමසිංහ මහත්තයා නිතර කියපු දෙයක් තමයි කරිජ්ජ පාගද්දී ඇඟේ තියෙන සියලුම රෝග නැතිවී යනවා. මුහුද කියන්නේ සොබාදහමෙන් දෙවියන්ගෙන් ලැබුණු මහා දායාදයක්. ඒත් ඒ දායාදය අපේ මිනිස්සු බාර ගන්නේ නෑ. නිකම් තියෙන මුහුදු වතුර ටික නාගෙන සුවපත් වෙන්නෙ නෑ. සුමානයකට වරක්වත් මේ කරිජ්ජ වතුර ටික හොඳට නාගත්තා නම් මොන තරම් සනීපයක් ද? මොන තරම් බෙහෙතක්ද?
මම ඇත්තටම වික්‍රමසිංහ මහත්තයා බත් කාපු දවසක් මතක නෑ. කොක්ගල ඇවිත් මාත් එක්ක ගතකරපු එක දවසක්වත් මට මතක නෑ එතුමා බත් කනවා. බත් කන්නෙම නෑ. කකුළුවෝ ඉස්සෝ දන්දිල අල, ගහල, කොස්, මයියොක්කා වගේ දේවල් තමා ආසාවෙන් කෑවේ. එතුමා කන්න ආසම කළ දෙයක් තමයි කලටි පොල් සහ හොඳටම තෙත ගතිය වේලපු මාළු ඇඹුල් තියල්.
ස්පර්ශයෙන් තොරව රාගික හැඟීම් හදසන්තකයේ උච්ච ස්ථානයටම විඳි අපූරු රාගික මිනිසෙක් ද වික්‍රමසිංහයන්ගේ ඇතුළාන්තයේ ජීවත් වූයේය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතුවෙච්ච සංවේදී හැඟීම් හරි අපූරුයි. හැබැයි කවදාවත් ගැමි ළඳකගේ අතින්වත් ඇල්ලුවේ නෑ. මනසින් තමා ඔක්කොම වින්දේ. දවසක් රෑ හඳපානේ අපි ඔරු පැදගෙන යද්දී ගැමි කෙල්ලො දෙතුන් දෙනෙක් යනවා ඔරුවක. ඒ ගැමි කෙල්ලන්ගේ කොණ්ඩ හුළඟට ගසාගෙන යනවා. මම දැක්කා මාර්ටින් වික්‍රමසිංහයන් හරි ආසාවෙන් හුළඟට ගහගෙන යන ඒ කොණ්ඩ දිහා බලාගෙන ඉන්නවා. අපි ඔරුව අල්ලන පැත්තට නෙවෙයි ඒ ගැමි කෙල්ලො ඔරුව ඇල්ලුවේ. සිරිසේන අර ඔරුව පදින ගැමි කෙල්ලො දිහා බලන්නකො. අර කොණ්ඩ යන හැටි බලන්නකෝ. සිරිසේන බලාගෙන හිටියෙත් ඒක නේද? මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ඇහුවා. ඇත්තටම මම ඒ කෙල්ලන්ගේ කොණ්ඩ දිහා බලන්න ගියේ නෑ. ඒත් මම දැක්කා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා. දැන් සිරිසේන මේ අපේ ඔරුව කොහාටද යන්නේ. අපි යන පැත්තට නෙවෙයි මේ පැත්තට යමු. කෙල්ලන්ගේ ඔරුව පැත්තට.
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා එහෙම කිව්වම අපි ඔන්න කෙල්ලො තුන් දෙනා ඔරුව පැදගෙන යන පැත්තට ඔරුව ඇල්ලුවා. ඒ කාලේ ගම්පති හැටියට මට කොග්ගල හොඳ ගෝලබාලයෝ ටිකක් හිටියා. ඔරුව පැද්දෙත් මගේ ගෝලයෙක් වෙච්ච සිරිල් මම සිරිල්ට කීවා සිරිල් අල්ලන්න අර පැත්තට ඔරුව කියලා.
මේ ගැමි ළඳුන් කොහේද
ඔරුව ගැමි යුවතියන් තිදෙනා ළඟට ළං වූ පසු මාර්ටින් වික්‍රමසිංහයන් එසේ විමසුවේය.
අපි ගංදූවේ ජෝන් අය්යාගේ දූලා.
හා... හා... එහෙමද... එසේ විමසන අතරතුර මාර්ටින් වික්‍රමසිංහයන් ඒ ගැමි කෙල්ලන්ට විහිළු තහළු ද කළේය.
මොනවද ළමයිනේ කන්න තියෙන්නේ.
අපි මේ කෑම ගේන්න තමයි එගොඩට යන්නේ... දැන් නම් මොකවත් නෑ. හැබැයි වත්තේ ඉදවපු කෙසෙල් ගෙඩි නම් අපි ගාව ඇතෙයි.
ආ... කෙසෙල් ගෙඩි හොඳට ඉදිලා තියෙයි?
ඔව් ඉදිච්ච තමා
ආ... එහෙනම් දෙන්න
කෙල්ලො අපට කෙසෙල් ඇවරියක් දුන්නා. මාර්ටින් වික්‍රමසිංහයන් හරි ආසාවෙන් ඒ කෙසෙල් ගෙඩි කෑවා. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හැඟීම් එකපාරටම තමා මතුවෙන්නේ. කොහොම හරි ඔය ගැමි ළඳුන් තුන්දෙනා මාර්ටින් වික්‍රමසිංහයන්ට අමතක කරන්න හරි අමාරු වුණා. මම ඊට පස්සේ කළේ ඒ ගැමි කෙල්ලො තුන්දෙනා දවසක ගෙන්නුවා. ගෙන්වලා අර විදිහටම ඔරුවේ ඉන්දාලා ෆොටෝ එකක් ගත්තා. අරගෙන ඒක ලොකු කරලා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට තෑග්ගක් විදිහට දුන්නා. ඒක මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා හැමදාමත් අසාවෙන් ගෙදර රාමු කරලා ගහගෙන හිටියා.
එතුමාගේ තිබුණු තවත් අමුතු පුරැද්දක් තමයි පැයකට ග්‍රෑම් කාලක් විතර වගේ පොල් අරක්කු බොන එක. ඒ කාලේ ගල් අරක්කු නෑ. සිරිසේන ඔන්න ඔය කුණු කූඩේ ඇති පොල් අරක්කු බෝතලේ ඒකෙන් පොඩ්ඩක් වත් කරන්නකෝ කියනවා. අනෙක් පැත්තට වීදුරුව හරවලා තමයි වීදුරුවට අරක්කු පුරවන්නේ. කොග්ගල තවත් දූපතක හිටියා. සුරබියෙල් අය්යා කියලා මනුස්සයෙක්. එයාගේ දුව හරිම හැඩකාර ළමිස්සි. සුද්දි කියලා තමා ඒකිට සුරබියෙල් කීවේ. කොණ්ඩෙ හරියට වට්ටියක් වගේ බූස කොණ්ඩයක්. වික්‍රමසිංහ මහත්තයා හරි ආසයි සුද්දිගේ ඔය කොණ්ඩෙට. මම ඒකාලේ ගැටවරයානේ. මගෙන් අහනවා සිරිසේන අර ළමයාගේ කොණ්ඩෙ දකිද්දී සිරිසේනට මොකුත් හිතෙන්නේ එහෙම නැද්ද කියලා. මට ඉතින් ඒ කාලේ ගම්පති නිසා කාගේ කාගෙනුත් හරි සැලකිලි.
මිනිහෙක් පොලිසියෙන් අරන් යනවා නම් මට පුළුවන් මට ඔන්න ඔය මිනිහව දෙන්න කියලා ඒ මිනිහාව බේරගන්න. පොලිසිය වුණත් මම කියනවට වඩා දෙයක් කළේ නෑ. තරුණයොත් ඔක්කොම මට වහවැටිලා. වික්‍රමසිංහ මහත්තයත් මාත් එක්ක ඕන තැනක බය නැතුව යන්න එන්නෙ ඒකයි. ඔරු දෙක දෙක එකට බැඳලා ඔරු හතරක් පැදගෙන ගෝල බාලයොත් එක්ක තමා අපි ඇවිදින්න ගියේ. වික්‍රමසිංහ මහත්තයා ඔරුව මැදින් පකිස් පෙට්ටියක් තියලා කොට්ටයක් දාගෙන තමා ඉඳගෙන යන්නේ. අපේ ඔරුවට පිටුපසින් පරිවාර ඔරු දෙක තුනකුත් එනවා. ගමේ කොල්ලෝ ඒ කාලේ හරි ආසයි මාත් එක්ක යන්න. ඒ කාලේ කොග්ගල, මැදින් දූව, ගං දූව, මඩොල් දූව, කොක්දූව වගේ දූපත් විසි ගාණනක් තිබිලා තියෙනවා. කොක්දූවේ තිබුණේ තනිකරම කිතුල් ගස්. අපි කොක්දූවට ගියේම හොඳ කිතුල් රා බොන්න. සුරබියෙල් අය්යා විතරයි ඒ කොක්දූව දූපතටම හිටිය එකම නිවැසියා. එයාට අපි යන්න කලින් කොල්ලෙක් අතේ පණිවිඩයක් යවනවා අහවල්දා අපි එනවා කියලා. එතකොට සුරබියෙල් අය්යා ඉස්සෝ, කකුළුවන් හදලා අල ජාතී තම්බලා ඔක්කොම ලෑස්ති කෙරලා තියනවා.
සිරිසේන මේ සුරබියෙල් අය්යා ළඟ පැණි එහෙම තියෙනවානේ...
ඔව් සර්...
අර මලක් තියෙන මුට්ටියකුත් තියෙනවානේ. නරකද අපට මීරා ටිකක් බොන්න තිබ්බොත්.
මී රා කියන්නේ පැහෙන්න ඉස්සර රා ටිකක්. සුරබියෙල් අය්යාට ඔය කතාව ඇහුණ ගමන් ටක් ටක් ගාලා ගිහින් මුට්ටිය ගේනවා. අපට කලින් වික්‍රමසිංහ මහත්තයා මුට්ටිය අතට ගන්නවා. ඒ කාලේ රා බීවේ යටදාර තිබුණ රවුම් ලොකු වීදුරු වගයකට.
සර් අපිට ඕන නම් පැහිච්ච රාත් තියෙනවා.
ආ සිරිසේනට ගන්න ඕන කමක් තියෙනවා නම් අපි ගමු ඒකෙනුත්. ඒක නෙවෙයි සිරිසේන අර හිටියනේ ගෑනු ළමයෙක්. ඒ ළමයට කියන්නකෝ ඕක පොඩ්ඩක් වත් කරලා දෙන්න කියලා.
වික්‍රමසිංහ මහත්තයා එහෙම කියපු ගමන් මම සිරිල්ට කනට කරලා කියනවා සුරබියෙල් අය්යාගේ දුවට කියපන් මයියොක්කා තම්බපුවා ටිකක් අරන් එන්න කියන්න කියලා. සුරබියෙල් අය්යත් ඕන්න ඉතින් හිමින් සැරේ පැත්තකට යනවා. සුරබියෙල් අය්යාගේ දූව සුද්දි ටිකකින් සුදුයි දම්පාටයි කොච්චි කරල් පොල් උලුප්පලා දිගට ගලවගත්ත පොල් කෑලි එක්ක මයියොක්කයි ගහලයි තම්බපුවා ගේනවා.
මේ මේ නංගී ඕකට ඉස්සරලා අර මුට්ටියෙන් අර වීදුරුවට මී රා ටිකක් වක් කරලා මේ මඩොල් දූව ලියූ මහත්තයට පොඩ්ඩක් දෙන්නකෝ කියලා ඔන්න ඉතින් මම කියනවා. මඩොල් දූව ලියපු මහත්තයා කියපුවාම තමා ඒ අය දන්නේ. වික්‍රමසිංහ මහත්තයා කීවට එච්චර හුරු නෑ. කෙල්ල මී රා වත්කරලා වීදුරැව අත්දෙකින්ම දෙනවා.
ෂා සිරිසේන මගේ ජීවිත කාලය තුළදීම හරිම වටිනා දෙයක් තමා මට මේ දුන්නේ. ගෑනු ළමයකුගේ අතින්. ඔය වේලාවට මම මගේ කොල්ලන්ට කියලා තියෙන්නේ උඹලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙයන් කියලා.
හරිම රසවත් සිරිසේන. මේ සුන්දරත්වය තමා ගමේ තියෙන්නේ. මේක මම ඉහළින්ම විඳපු කෙනෙක් මේ බලන්න අර ගෑනු ළමයාගේ අතින් දීපූ මී රා වීදුරුව කොච්චර වටිනවද කියලා.
හරි සතුටකින් තමා වික්‍රමසිංහ මහත්තයා එහෙම කියන්නේ. ටික වේලාවකින් තම්බපු විශාල කකුළුවන් සුද්දී අරගෙන එනවා. වික්‍රමසිංහ මහත්තයාට ඉතින් හරි අගෙයි. විහිළුවක් තහළුවක් කරලා මතුපිටින් ස්පර්ශ නොකර මනසින් එයා එහෙමයි සංවේදී හැඟීම් විඳගත්තේ හරිම සම්භාව්‍ය විදිහකට.
මාර්ටින් වික්‍රමසිංහයන් හාබැඳි අපූරු මතක ගොන්නක් සමඟ එන සතියෙත් හමුවෙමු.
► සංජු
සේයාරූ:- චන්න කස්සප කෝරළේආරච්චි