2018 ජුනි 09 වන සෙනසුරාදා

ගුවන් යානයේ මඟුල් නටන්න ගිය ලාංකිකයා

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 218 දරන ගුවන් යානයට, කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟාවීමට තිබුණේ තවත් විනාඩි 20ක කාලයක් පමණි. ඉකුත් 6/02 දින අලුයම වේලාව 5.30 බව ගුවන් යානයේ සඳහන්ව තිබුණි. ගුවන් යානය තවත් විනාඩි 20කින්, එනම් අලුයම 5.50ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිවිසෙන බැවින් සියලු මගීන්ට තම ආසන පටි තද කරගෙන සූදානම් වන ලෙස නිවේදිකාව සිත් ගන්නා සුළු මධුර ස්වරයෙන් පවසන්නට වූවාය. ඒ අනුව එම යානයේ වූ සියලුම මගීන් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික තන්ඩ්‍රොෆ් කිරියානා මහත්මියත්, ශ්‍රී ලංකාවේ මොහොමඩ් හිල්මිත් අවදි වන්නට විය. එහෙත් එතෙක් මොහොමඩ් හිල්මිගේ සන්සුන්ව පැවැති ඉඳුරන් ද ඒ මියුරුසරින් අවදි වන්නට පටන් ගෙන තිබුණි.

මොහොමඩ් හිල්මි අබ්දුල් සලීම් කොළඹ, මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 30 හැවිරිදි අවිවාහකයෙකි. ඔහු පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව, යොමුවූයේ කාර්මික අධ්‍යාපනය කෙරෙහිය. ඒ අතරින් වායු සමීකරණ කාර්මිකයකු ලෙස කටයුතු කිරීමට සිතා ගත් හිල්මි, ශ්‍රී ලංකාවේ ආයතන කීපයකටම ගොස් ඒ පිළිබඳව වැඩිදුර පුහුණුවක්, පරිචයක් ලබා ගත්තේය.

ඒ අනුව තම අනාගතය වායු සමීකරණ ක්ෂේත්‍රය මත පදනම් වෙමින් සිදුකිරීමට ඔහු පියවර ගනිමින් සිටියේය. වසර කීපයක් මෙරට විවිධ  ආයතන තුළ වායු සමීකරණ කාර්මිකයකු ලෙස කටයුතු කළ හිල්මි, ඒ පළපුරුද්ද සහ හැකියාව මත, මැදපෙරදිග කටාර් රාජ්‍ය  වෙත පිටත්ව යන්නේ ඒ වෘත්තීය තුළ තවදුරටත් නියැලීම සඳහාය.

වසර 04 ක පමණ කාලයක් කටාර් රාජ්‍යයේ වායු සමීකරණ කාර්මිකයකු ලෙස සේවය කළ මොහොමඩ් හිල්මි ඉකුත් 6/02 දින දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේ යළිත් ශ්‍රී ලංකාව වෙත පැමිණීමටය. ඒ වනවිට දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකාව බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 218 දරන ගුවන් යානය සුදානමින් පැවතුණි. එයට මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හිල්මි මෙන්ම බ්‍රිතාන්‍යයේ තන්ඩ්‍රොෆ් කිරියානා මහත්මියත්, ඇයගේ දරුවන් දෙදෙනාත්, තවත් සිය ගණනක් ගුවන් මගීන් පිරිසක් ද එක් වී සිටියහ.

තන්ඩ්‍රොෆ් කිරියානා 37 හැවිරිදි රූමත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය. ඇය සිය දරුවන් දෙදෙනා සමඟ මෙම ගුවන් යානය වෙත පිවිස සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ, ඉන්දියාව වෙත යෑමේ බලාපොරොත්තුවෙනි.

බොහොමයක් මැද පෙරදිග රටවල සිට ඉන්දියාවට ඍජු ගුවන් ගමන් සේවා නොමැති නිසා, බොහෝ ඉන්දීය ගුවන් මගීන් මගීන් සිය ගමනාන්ත සඳහා සංක්‍රමණික ගුවන් මගීන් ලෙස ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යොදා ගනිමින් තිබේ. අලුයම 1.50 ට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් 
ශ්‍රී ලංකාව බලා පිටත්විය.

කිරියානා මහත්මිය සහ ඇගේ දරුවන් දෙදෙනා ඇය අසලින්ම අසුන් ගෙන සිටි අතර, හරියටම ඇයට පිටුපසින් මොහොමඩ් හිල්මි අසුන් ගෙන සිටියේය. එය මධ්‍යම රාත්‍රිය ගෙවී යමින් තිබූ මොහොතක් බැවින්, ගුවන් යානය වෙත ගොඩ වූ සැවොම, යානය ගමන් ආරම්භ කිරීමත් සමගම නින්දට වැටී සිටියහ. ගුවන් යානයේ වූ සුව - පහසු ආසන එම නින්ද තවත් දැඩිව සමීප කර තිබුණි.

කාලය පැය හතරකට ආසන්න වෙත්දී සැවොම අවදි වූයේ, ගුවන් යානය කටුනායකට සමීප වී ඇති බව නිවේදනය කිරීමත් සමගය. එහෙත් කිරියානා තවදුරටත් තම ආසනයේ විවේකීව වැතිර සිටි අතර, ඇයගේ පිටුපස ආසනයේ වූ මොහොමඩ් හිල්මි ඇය දෙස ආසන අතරින් ගිජු බැල්මක් හෙලන්නට විය. ඔහුට කිරියානා දෝහා ගුවන් තොටුපොළේ දී මුලින්ම දුටු අවස්ථාවේදීත් තිගැස්මක් ඇති වූවා මතකයට නැගුණි. ඔහු හෙමින් සීරුවේ, ඒ වනවිටත් ඉදිරිපස ආසනයේ වැතිර සිටි කිරියානාගේ උස් වූ ලැම දෙසට තම දෑත යොමු කළේය.

සැනෙකින් මෙම නුහුරු අත්දැකීමට ලක් වූ කිරියානා, පසුපසට හැරී මේ පිළිබඳව විරෝධය දක්වමින්, හිල්මිට මෙම ක්‍රියාව නතර කරන ලෙස දැන්වූවාය. මඳ වේලාවක් නිහඬව සිටි හිල්මි යළිත් වතාවක් සිය ඉදිරිපස ආසනය වෙත අත් යවමින්, කිරියානාගේ ළැමද ස්පර්ශ කරන්නට විය. එවර මෙම කටයුත්ත පිළිබඳව මහත්සේ කෝපයට පත්ව සිටි කිරියානා, මේ පිළිබඳව තම කෝපය අප්‍රසාදය මෙන්ම නොකැමැත්තද ප්‍රකාශ කරමින් හිල්මිට බැණ වදින්නට වූවාය.

ඒ වනවිට නින්දේ පසු වූ ඇයගේ දරුවන් දෙදෙනාද අවදි වී මේ පිළිබඳව කිරියානාගෙන් විමසන්නට වූහ. ඒ මොහොතක වනවිට ගුවන් යානය කටුනායක ධාවන පථයට සමීප වෙමින් තිබුණි.

මෙම සිදුවීම්වලින් අධික ලෙස ලැජ්ජාවට, කම්පනයට සහ තැති ගැනීමට ලක් වී සිටි කිරියානා, වහාම ශ්‍රීලන්කන් ගුවන් සේවිකාවක් අමතා තමන්ට විඳීමට සිදු වූ මෙම ලිංගික අතවරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරීන් වෙත ලිඛිත පැමිණිල්ලක් කිරීම සඳහා, අවශ්‍ය කඩදාසි සහ පෑනක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.

6/02 දින අලුයම 5.50 වනවිට ශ්‍රීලන්කන් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, කිරියානා විසින් තමන්ට ගුවන් යානය තුළදී සිදු වූ ලිංගික අඩන්තේට්ටම පිළිබඳව ලිඛිතව පැමිණිල්ලක් ලියා, එය ගුවන් යානා කාර්යය මණ්ඩලයට භාර දී ගුවන් යානයෙන් බැස ගියාය. ඉන්පසු කටුනායක ගුවන් තොටුපොළ තුළ වූ වෙනත් ගුවන් යානයකින් ඇය සහ ඇයගේ දරුවෝ ඉන්දියාව බලා පිටත්ව ගියහ.

මේ අතර වහා ක්‍රියාත්මක වූ ගුවන් යානා කාර්ය මණ්ඩලය, මෙම ලිඛිත පැමිණිල්ල, ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් බලධාරීන් මගින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන්, ඒ වනවිටත් ගුවන් තොටුපොළෙන් බැහැරට යමින් සිටි මොහොමඩ් හිල්මි අත්අඩංගුවට ගනු ලැබීය. ගුවන් තොටුපොළ පොලිසිය වෙත රුගෙන ආ හිල්මිගෙන් මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.

එහිදී තමන් අධික නිදිමත ස්වභාවයකින් පසු වූ බවත්, ඒ සමඟම දැඩි හිසරදයක් වැළදුණු බැවින්, තමන් ඉදිරිපස ආසනය මත හිස තබාගෙන සිටිය බවත්, මේ පැමිණිල්ල පිළිබඳව කිසිවක් නොදන්නා බවත් මොහොමඩ් හිල්මි පොලිසිය හමුවේ ප්‍රකාශ කරන්නට විය. පසුව පොලිස් නිලධාරීන් මොහු ගුවන් යානය තුළ බීමත්ව සිටියාද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ද යොමුකර තිබුණි.

දණ්ඩ නීති සංග්‍රහය , සිවිල් ගුවන් සේවා පනත සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා පනත යටතේ මේ ආකාරයට ගුවන් යානයක් තුළ අශෝභන ලෙස හැසිරීම, කාන්තාවකගේ හිරිඔතප් බිඳීම, මෙම සිද්ධියෙන් රටේ කීර්තිනාමයට සිදු වූ හානිය ආදිය පදනම් කර ගනිමින් මෙම පුද්ගලයා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා හමුවට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු මෙම ජූනි මස 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි. ඊට අමතරව මෙම කරුණු සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ගතයුතු ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ද කටයුතු කර තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ ද සිල්වා, පොලිස් කොස්තාපල්වරුන් වන (38226) දිසානායක, (6109) ජගත්, (12881) රත්නායක සහ (2159) ප්‍රියදර්ශන යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.

► කටුනායක ටී.කේ.ජී. කපිල