2017 ජනවාරි 21 වන සෙනසුරාදා

විගණකාධිපති එළියට ඇද්ද රට හාල් මගඩිය

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 03:00 202

සියලු වර්ගවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ පාරිභෝගික ජනතාව වෙත විකිණීමේ හා බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම ලංකා සතොසේ මූලික අරමුණයි. ඊට අමතරව එය සතු වෙළෙඳසල්වලින් දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාවට මිලදීගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩ පවතින බවට තහවුරු කිරීමද ඔවුන්ට පැවැරුණු රාජකාරියකි. එහෙත් පසුගිය කාලය පුරාම ලංකා සතොස කටයුතු කර තිබෙන්නේ සිය අරමුණුවලට පටහැනිව අයාලේ යමින් පාරිභෝගිකයා මෙන්ම ගොවියාද තලා පෙළමින් මහජන ධනය උලා කමින් බව දැන් තහවුරු වී තිබේ. ඒ  ලංකා සතොස 2014 හා 2015 වසරවලදී සිදුකරන ලද සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ වාර්තාවක් සමඟිනි. නව ආණ්ඩුව යටතේද සතොස ගැන ගැයුණු උදාරම් ගී ප්‍රශ්නකාරී වන්නේ මේ පසුබිමේය.

 මීට පෙරද සතොස කමිටු දෙකක් මේ සම්බන්ධයෙන් වාර්තා සකස් කර තිබුණි. ඒ, සතොස ගබඩාවල ඇති සහල් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කරන ලද පංචපුද්ගල කමිටු වාර්තාව හා සතොස ආයනික සහල් සම්බන්ධයෙන් එහි සභාපතිවරයාම විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාවයි. කෙසේ වෙතත් විගණකාධිපති වාර්තාවෙන් මේ වනවිට හෙළිදරව්වන්නේ මෙම කමිටු වාර්තාවල සඳහන් දත්ත හා විගණකාධිපති පරීක්ෂණයෙන් හෙළි වූ දත්ත අතර විශාල වෙනස්කම් තිබෙන බවයි. අවාසනාවට සතොස සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි සෘජු විගණනයක් කිරීමට විගණකාධිපතිවරයාට අවස්ථාවක් හිමි නොවිය. ඊට හේතුව වූයේ 19 වැනි සංශෝධනය සම්මත වනතෙක් රාජ්‍ය සමාගම් විගණනයට ඔහුට බලතල නොලැබීමය.  

ශ්‍රී ලංකා රේගුවට අනුව 2015 වසරේදී ලංකා සතොස මෙට්‍රික් ටොන් 1,67,265 ක්ද 2014 දී 90214 ක් ද ආනයනය කර තිබුණි. එනම් වසර දෙකේදී මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් හත්දාහකි. කෙසේ වෙතත් විගණන පරීක්ෂාව කරන සමය වනවිට සහල් ගෙන් වූ කාලයේ සතොස ඉහළ කළමනාකරණයේ සිටි වැඩි දෙනකු ආයතනයෙන් ඉවත්ව ගොස් තිබීමත් මූල්‍ය අපරාධ පරීක්ෂා කිරීම් සඳහා පත්කර ඇති ආයතන විසින් අවශ්‍ය තොරතුරුවල මුල් පිටපත් රැගෙන යනු ලැබ තිබීමත් නිසා පරීක්ෂකයන් වැටී තිබුණේ අලි අමාරුවකය. මීතොටමුල්ල, වේයන්ගොඩ, මැකලම් හා ඒකල ගබඩා පරීක්ෂා කරද්දී එම සහල් තොගවලින් බොහොමයක් පරීක්ෂා කළ නොහැකි පරිදි හානි වී තිබී ඇත.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව රුපියල් ලක්ෂ පහ ඉක්මවන භාණ්ඩ හෝ සේවා සැපයුම්වලදී විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹිය යුතුය. එහෙත් 2014 අප්‍රේල් 22 සිට දෙසැම්බර් කාලයේදී රුපියල් කෝටි එකසිය දහනවයක මුදලක් වැය කරමින් දේශීය වෙළෙඳපොළින් ආනයනික සහල් මිලදී ගැනීමේදී මේ කිසිදු සංග්‍රහයක් තුට්ටුවකට මායිම් කර නැත. එහි ප්‍රතිපලය වී ඇත්තේ සැපයුම්කරුවන් 14 දෙනකු විවිධ මිල ගණන් ඉදිරිපත් කිරීමය. තවද පසු ගෙවුම් ක්‍රමය යටතේ සහල් මිලදී ගැනීම් සිදුව ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරවය. මෙම මිලදීගැනීම් ගැන යාන්තම් හෝ සාක්ෂියකට පවතින්නේ සභාපතිවරයා විසින් සහල් ආනයනය කිරීමට උපදෙස් දුන් බව ට නාම මාත්‍ර ඉන්වොයිසිවල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු තැබූ සටහනකි. පෙට්ටි කඩයකවත් සිදු නොකරන අන්දමේ සැහැල්ලුවට සිදුකළද මේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් කෝටි 185කි. ඉන්දියානු සැපයුම්කරුවන් හත් දෙනකු අතරේ මේ මුදල බෙදී තිබුණේද කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවමය. මහා පරිමාණයෙන් සිදුවන මෙවැනි ගසාකෑම්වල අනිටු පලවිපාක මහජනයා මත පතිතවන්නේ වට දෙකකිනි. එකක් නම් මහජන ධනය නාස්තිය හා හොරකමයි. අනෙක් නම් හාල්වල මිල අස්වාභාවික ලෙස ඉහළ පහළ යාමයි. උදාහරණයකට 2014 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා කාලයේදී පොන්නි සම්බා කිලෝවක මිල රුපියල් 58 සිට 70 දක්වා ද නාඩු කිලෝවක මිල රුපියල් 50 සිට 60 දක්වා ද ඉහළ ගිය ආකාරය දැන් ඔබට මතක නැතිවාට සැක නැත. එහෙත් ඒ මිල ඉහළ යාම් පසුපස තිබුණු කාලකන්නි කතාව මේ ගනුදෙනුවයි.

තවත් මෙබඳු ගනුදෙනුවකට පාර කපාතිබුණේ එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයාව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් 2014 ජූලි 9 ඉදිරිපත් කර තිබූ අංක 14/0940/540/005 දරණ කැබිනට් සංදේශයෙනි. එම සංදේශයට කැබිනට් අනුමැතිය හිමිව තිබුණේද විකාර සහගත ආකාරයටය. විශේෂත්වය නම් එකී විකාර සහගත අනුමැතින්ටවත් අවනත නොවී සහල් මිලදීගැනීම් කර තිබීමය. උදාහරණයකට මෙට්‍රික් ටොන් 50,000ක් වූ අවශ්‍ය සහල් තොග මිලදී ගැනීම් සිදුකිරීමට අනුමැතිය හිමිව තිබුණේ පන්දහස බැගින් කොටස් වශයෙනි. එහෙත් එය එකවර ඇණවුම් කර තිබීම නිසා එය ගබඩා කිරීමට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු ගබඩාවලට අමතරව පෞද්ගලික අංශයේ සරණ යෑමටද සිදුව තිබිණ. මෙහිදී ද කිසිදු ගිවිසුමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර නොතිබූ අතර සියල්ල සිදුව තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ කැමැත්ත අනුවය. අනෙක් අතට ඔහු මෙම මිලදීගැනීම් සිදුකර තිබුණේ ඇමැතිවරු දෙදෙනකු එම මිලදීගැනීම් අධෛර්යමත් කිරීමට නිර්දේශ නිකුත් කර තිබියදීය. ඒ මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති වශයෙන් විමල් වීරවංශ මහතාය. ගබඩා පහසුකම් නොමැතිකම නිසා ඒ වනවිටත් සහල් තොග සත්ව ආහාර ලෙස විකිණීමට සිදුව ඇති බව විමල් වීරවංශ මහතා එහිදී  පෙන්වා දී තිබූ අතර යල කන්නයේ ගොයම් කැපීම ආරම්භ කර ඇති අවස්ථාවක මෙම මිලදීගැනීම් නිසා වී මිල පහත වැටී ගොවීන් අසහනයට පත්වනු ඇති බව ද අවධාරණය කර තිබේ. එහෙත් වීරවංශ හිටපු ඇමැතිවරයාගේත් හිටපු ජනාධිපතිවරයාගේත් නිර්දේශ මෙම මිලදීගැනීම් නතර කිරීමට තරම් බලවත් වී නැත.

තවත් ගනුදෙනුවක් සිදුව තිබෙන්නේ 2015 ආණ්ඩු වෙනසට ඔන්න මෙන්න කියා තිබියදී 2014 ඔක්තෝම්බරයේය. ඒ සහල් මෙට්‍රික් ටොන් අනූ දහසක් ණයවර ලිපි මඟින් ආනයනය කිරීමෙනි. ප්‍රසම්පාදනයක අයනු ආයනුවත් නොමැතිව ACP Industrial Ltd නමැති ඉන්දීය සමාගමක් එවකට ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටි බැසිල් රාජපක්ෂට එවූ එකඟතා ලිපියක් මත පදනම්ව භාණ්ඩාගාරය ලංකා සතොසට කළ නියෝගයක් මත මෙම අස්වාභාවික ගනුදෙනුව සිදුව ඇත. විසිළු සහගත තත්ත්වය වන්නේ අදාළ මිලදීගැනීම කරන්නැයි ඔක්තෝම්බර් 19 වැනිදා සතොස අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග කළ භාණ්ඩාගාර ප්‍රධානීන් විසින්ම ඔක්තොම්බර් 17 හෙවත් ඊට දින දෙකකට පෙර අදාළ සහල් තොගය ඇණවුම් කරනු ලැබ තිබීමයි. එහෙත් යහපාලන රජයටද මෙම මිලදීගැනීමෙන් ඇඟ බේරාගත නොහැකිය.

අලුත් ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මේ ගනුදෙනුවට අදාළව කල් ඉකුත්වීමට තිබූ ණයවර ලිපි සංශෝධනය කර ඉතිරි වටිනාකම්වලට සරිලන සේ පොන්නි සම්බා ආනයනයට තීන්දු කළේ 2015 පෙබරවාරියේය. එහෙත් මහ කන්නයේ වී අස්වනු ඒ වනවිටත් වෙළෙඳපොළට ලැබෙමින් පැවතුණු අතර සතොසේ හා පෞද්ගලික අංශයේ ගබඩාවල ද තවත් සහල් තොග තිබුණේය. රිෂාඩ් ඇමැතිවරයා ද පැරැණි පාරේ ගියේ මේ කරුණු කිසිවක් නොසළකමිනි.  අනෙක් අතට ඉවක් බවක් නොමැතිව මෙසේ හාල් ආනයනය කිරීමෙන් දේශීය කෘෂි ආර්ථිකයට එල්ලවන්නේද සුළුපටු තර්ජනයක් නොවේ. එහෙත් තීන්දු ගත් පිරිස් ඒ සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් දක්වා නැති වග විගණකාධිපති වාර්තාවේ පැහැදිලිව සඳහන් වේ. මෙවැනි කූට ගනුදෙනුවලදී බොහෝවිට සිදුවන්නේ ප්‍රසම්පාදනයේදී තීරණ ගැනීම සඳහා අදාළ වැදගත් තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශවලට ඇතුළත් නොකිරීමයි. මෙම නාස්තිකාර සහල් ගනුදෙනුවලදී ද සිදුව ඇත්තේ ඒ සන්තෑසියමය.

තවද යහපාලන රජය යටතේ ද සහල් වෙළෙඳාමේ ගඳ ගසන දේ සිදුව තිබේ. ඒ ණයවර ලිපි මඟින් ආනයනය කළ සහල් අඩංගු බහාලුම් 809 ක් වසරකට ආසන්න කාලයක් වරායේ රඳවා තබාගෙන සිට ඉන්පසුවත් (2016 ජනවාරි සිට) තාවකාලික පෞද්ගලික බහාලුම්වල රඳවා තැබීමයි. මේ සඳහා එක් බහාලුමකට දෛනිකව රුපියල් 150ක බිම් කුලියක් ගෙවිය යුතුවේ. මාස 19ක් තිස්සේ අවිධිමත් ලෙස ගබඩා කිරීම නිසා මෙම සහල් තොග මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නොවන තත්ත්වයට පත්ව තිබූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. ඉතාම අවාසනාවන්ත කරුණ නම් එසේ කාටත් වැඩක් නැති හාල් තොගයකට 2016 සැප්තැම්බර් වනවිට රුපියල් කෝටි එකහමාරක බිම් කුලියක්ද ගෙවීමට සිදුවීමයි. ආරංචි මාර්ගවලට අනුව දෙසැම්බරය වනවිටත් එම පව ගෙවා අවසන් කර නොතිබිණ. 

සහල් තොගවලට අදාළ ලේඛන නඩත්තු කිරීමේ දී සතොසේ ක්‍රියාකාරිත්වය අතිශය නරකය. එමෙන්ම ඇතැම් අවස්ථාවල සිනහ උපදවන ද සුළුය. එහෙත් මේවා ඇස් රතු වන විහිලුය. ඊට එක් උදාහරණයක් නම් මාසයක අවසානයේදී පවතින හාල් තොග ප්‍රමාණය ගණන් හිලව් බැලීමේදීය. ඊට අනුව ලක් සතොස සතුව 2015 මුල් මාස අට පුරා මෙට්‍රික් ටොන් දස දහක ඉක්මවන නාඩු හාල් තොග තිබී ඇති අතර සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාසවලදී ද පිළිවෙලින් මෙට්‍රික් ටොන් 9352ක් හා 7830 ක් තිබී ඇත. එහෙත් නොවැම්බර් මාසයේදී නාඩු සහල් මෙට්‍රික් ටොන් 29000 කට අධික අඩුවක් වාර්තා වී තිබේ. එනම් පළමු මාස දහයේදීම මෙට්‍රික් ටොන් දහස් ගණනින් තොග ඉතිරිව පැවැති නාඩු සහල්වලට කිසිදු විශේෂයක් නැති නොවැම්බරයේදී හිතාගත නොහැකි ඉල්ලුමක් පැමිණ ඇති බවයි. වඩාත් ප්‍රහසනාත්මක කරුණ නම් නත්තල යෙදෙන දෙසැම්බරයේදී මෙට්‍රික් ටොන් තුන් දහසක ඉතිරියක් නැවත වාර්තාවීමයි. මෙසේ බලද්දී සතොසේ සංඛ්‍යාලේඛන ගැන පවා සැක පහළ වීම පුදුමයට කරුණක් නොවේ. 

මෙම මිලදී ගැනීම් සිදුකර තිබූ ඉන්දීය සමාගම් වන්නේ omwishkar exports, ACP Industrial Ltd, United Foods (Pvt) Ltd හා Trident Chempar Ltd යන ඒවාය. ACP Industrial Ltd සමාගම තමන්ට අයත් වගාබිම්වලින් නිෂ්පාදිත සහල් සපයන බව ප්‍රකාශ කර තිබුණ ද පැවැරිය හැකි ණයවර ලිපිවලට මුවා වී දිගින් දිගටම රඟදක්වා තිබුණේ අතරමැදි වෙළෙන්ඳෙකුගේ භූමිකාවයි. ප්‍රසම්පාදන ක්‍රියාවලියක මූලික අරමුණ වන්නේ උසස් ගුණාත්මකභාවයක් සහිතව අවම පිරිවැයක් දැරීමයි. එහි ප්‍රතිපලය නම් උපරිම ආර්ථික වාසි සලසාගැනීමයි. ඒ සඳහා නියමිත ප්‍රමිතීන්ට නීතිරීතිවලට සහ රෙගුලාසිවලට අනුව කටයුතු කළ යුතුය.  එමෙන්ම සුදුසුකම් ඇති පාර්ශ්වයන් අතර සාධාරණ තරගය ඉතාම වැදගත්ය. එසේ වුවද සියල්ල සම්පූර්ණවන්නේ ඇගයීමේ හා තේරීමේදී විනිවිදභාවයෙන් යුතුව කටයුතු සිදුවීමෙනි. 

එහෙත් විගණකාධිපතිවරයාට අනුව 2014 හා 2015 වසරවල ලංකා සතොස සහල් ආනයන ක්‍රියාවලිය සිදුව ඇත්තේ එසේ නම් නොවේ. මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් සහල් ආනයනය කිරීමට වැය කර ඇති මහජන මුදල රුපියල් කෝටි 1569 කි. විගණකාධිපති වාර්තාවෙන් හෙළි වන හද පාරවන කතාව නම් එයින් රුපියල් කෝටි 1515 කට අධික අලාභයක් සිදුව ඇති බවයි. මේවා කජු ඇට කොස් ඇට නොවේ. හාල් ගෙන්වන ආණ්ඩුම හාල් ඇටයේ සිට ගෙදර දොර අත්‍යවශ්‍ය සියල්ලට ගසන බදු මුදලින්ම මහජනයාගෙන් සූරාගන්නා බදු මුදල්ය. ඉතින් මේ තරම් අලාභයක් සිදුවන තෙක් ප්‍රතිපත්ති සම්පාදකයෝ ඇස් කන් පියාගෙන සිටියෝද? දෙවියන්ගේ හාල් කෑ වුන් මෙන් තීන්දු ගත් ලැයිස්තුවේ භාණ්ඩාගාර නිලධාරින්ගේ තනතුරේ සිට ඇමැතිවරු දක්වා වූවෝ වෙති. මහ බැංකු බැඳුම්කර සිදුවීමේදී මෙන්ම මේ අත යට ගනුදෙනුවේදී ද විගණකාධිපතිවරයා තම රාජකාරිය ඉටු කර තිබේ. ජනතාව වික්ෂිප්තව බලාසිටින්නේ මෙවැනි නාස්තිකාර ආර්ථික තීන්දු ගත්තවුන්ට සිදුවන්නේ කුමක්ද කියාය. 

♦ බිඟුන් මේනක ගමගේ