විටින් විට ඇදහැලෙන වැස්ස තරමකට අඩුවී තිබුණේ රාත්‍රිය උදාවූ පසුවය. වැසි වතුර හා හිරිපොද නිසා එළියට පහළියට නොගිය බොහෝ දෙනෙක් ඒ මොහොතේ නිවෙස් තුළ රැඳී සිටියහ. රත්මලාන මුහුදු වෙරළත් දුම්රිය මාර්ගයත් අතර පිහිටි නිවෙසේ වටකළ තාප්පයෙන් පිටත වූ හිස්බිමේ බංකුවකට බරවී හිතවතුන් දෙදෙනකු සමඟ කෙනෙක් කතා බහක නිරතව සිටියේය. විදුලි පහන දල්වාගත් යතුරු පැදියක් අන්ධකාරය මැදින් වේගයෙන් එහි පැමිණියේය. හෙණ හඬ නංවන වෙඩිවරුසාවක් ඒ බංකුවේ උන් රන්ජන් ද සිල්වා මහතාට එල්ල වෙද්දී ඔහු දිවගියේ උණ්ඩවලින් බේරීමටය.
එහෙත් යතුරුපැදියෙන් පැමිණි නාඳුනන තුවක්කුකරැවන් රන්ජන් ද සිල්වා මහතාට බේරීයාමට ඉඩක් තැබූවේ නැත. යතුරුපැදියේ පසුපස උන් වෙඩික්කරැ ක්ෂණයකින් බිමට පැන පන්නාගොස් එකපෙළට වෙඩි පිට වෙඩි තැබුවේය. කපාහෙලූ කඳන් සේ රන්ජන් ද සිල්වා බිම ඇද වැටෙද්දී ඔහු අසළ සතුටු සාමීච්චියේ යෙදී සිටි දෙන්නා ද ඈතට දිවගොස් සිටියහ. එහෙත් ඔවුන්ටද වෙඩි පහරින් තුවාල වී තිබිණි. තවත් මොහොතක් හෝ ප්‍රමාද නොවූ වෙඩික්කරුවන් රැගත් යතුරුපැදිය රත්මලාන වෙරළ පාර ඔස්සේ නොපෙනී පලා ගියේය.
පසුගිය බ්‍රහස්පතින්දා (24) රාත්‍රී 8.30ට පමණ වූ වෙඩි තැබීමේ ශබ්දයෙන් තැතිගත් අසල්වාසී පිරිස් වෙරළ පාරෙන් දුම්රිය මාර්ගය දෙසට එන විටත් දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා ලේ පෙරෙන තුවාල සහිතව බිම වැටී සිටියේය. වහා ක්‍රියාත්මක වූ අසල්වැසි පිරිස ඒ මහතා සමඟ තුවාල ලබා වැටී සිටි සෙසු හිතවතුන් දෙන්නා රෝහල් ගතකරන්නට පියවර ගත්හ. නමුත් ඒ වනවිටත් රන්ජන් ද සිල්වා මහතා වෙඩිපහර වැඳීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටියේය. තුවාල ලැබූ සෙසු පුද්ගලයන් දෙන්නා තවදුරටත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති.
මේ අයුරින් නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන ධනංජය ද සිල්වාගේ ආදරණීය පියා වූ දෙහිවල - ගල්කිස්ස නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ රංජන් ද සිල්වා (62) නැමැත්තාය. ඔහු මීට ඉහතදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කර තිබූ අතර ඉකුත් මැතිවරණයේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරීපත් විය. ඒ මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නට පෙර ඔහුගේ පුතකු වූ අමල් ද සිල්වා නැමැත්තා දේශපාලනයට පිවිසි සිටි අතර ඔහු නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කර ඇත. ඔහු දේශපාලනයෙන් ඉවත් වූ පසුව රන්ජන් ද සිල්වා දේශපාලනය පිවිස ඇතැයි කියන අතර රත්මලාන ප්‍රදේශයේ පාර්ශව කීපයක් අතර කාලයක් තිස්සේ පවතින ගැටුම් මේ මරණයට හේතුවක් වන්නේ යැයි සමහරු සැක කරති.
මේ අතර පවතින ගැටුමට ප්‍රධාන හේතුව වන්නේ රත්මලාන ප්‍රදේශයේ සිදුකෙරෙන මත්කුඩු ජාවාරමෙ. එම කුඩු ජාවාරම දෙපාර්ශවයක් අතර සිදුකෙරෙමින් පවතින අතර ඔවුන්ගේ බලය බෙදාගැනීමේ අරගලයක ඵලයක් වශයෙන් වෙඩිතැබීම වූ බව එක් මතයකි.
මීට අමතරව වාර්තා වන තවත් තොරතුරකිමේ ඉකුත් වෙසක් පෝය දිනයේ දී රත්මලාන ආසන්නයේ. පවත්වා තිබූ දන්සලකි. එහිදී දෙපාර්ශවයක් අතර වචන හුවමාරුවක් අතරතුරදී එක් කණ්ඩායමක පිරිසක් අනෙක් පාර්ශවයේ අයට පහර දී තිබේ. එම පහරදීම සිදුවූ අවස්ථාවේදී මිය ගිය රන්ජන් ද සිල්වා මහතා ද එහි රැඳීසිටි ඇත. එබැවින් මෙම වෙඩි තැබීම පහර කෑ පාර්ශවය විසින් පළිගැනීමේ අරමුණෙන් සිදුකළ එකක්ද යන්න පොලීසිය සැකකරයි.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය රන්ජන් සිල්වා මහතාගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් තිබෙන බවට පොලීසිය සඳහන් කරන අතර ප්‍රහාරය සඳහා ටී. 56 ගිනිඅවියක් යොදාගෙන තිබෙන බවට ද සනාථවී තිබේ. සිය පියාගේ හදිසි අභාවය හේතුවෙන් කොදෙව් ක්‍රිකට් සංචාරයට සූදානම්ව සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ඉන් ඉවත්ව සිටින බවද සඳහන්ය.
බස්නාහිර පළාත් දකුණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර පළාත දකුණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ, සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීෂක රෝහන් පුෂ්පකුමාර සහ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර ඇතුළු පිරිසක් විමර්ශන සිදුකරති.
►සමන්ත ප්‍රදීප් විල්තෙර