2018 මැයි 26 වන සෙනසුරාදා

නායකයො දෙන්නෙකුට රට පාලනය කරන්න බැහැ

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 271

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
♦ යූ. ඇන්. පීයෙන් ජනාධිපතිවරණයට එන්න තරම් සංගක්කාර මෝඩ නැහැ 
♦ වියත් මඟට ආපු විද්වතුන්ට, ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය වෙලා 
♦ දුප්පත්කම වැඩි නිසා තව ලක්ෂ 5කට සමෘද්ධිය දෙන්න වෙලා 
♦ බැඳුම්කර ප්‍රශ්නය අපි ආයෙත් එළියට අදිනවා

පළාත් පාලන මැතිවරණයට කලින් ඒකාබද්ධ විපක්ෂය කීවා අපි මේ ඡන්දය දිනනවා. දිනලා ආණ්ඩුවත් අල්ලාගන්නවා කියලා. කෝ දැන් ඒ සටන?

අපි ඒ සටනේ පළවෙනි පියවර තියලා තියෙනවා. අපි හිතුවේ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව දෙවැනි පියවරට යයි කියලා. පළාත් සභා මැතිවරණය තියලා නෑ. පරක්කු කරලා තියෙන්නේ. අපි ප්‍රජාතන්ත්‍රවාදීව එපැයි ආණ්ඩුවක් පෙරළන්න. මේ යන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතුවෙන්න ඕනෑ.

16 දෙනාගේ කණ්ඩායම මෑත දවසක ඔබ හමුවෙන්න ආවා. ඒ හමුවීම ගැන මොකක්ද ඔබේ ප්‍රතිචාරය?

ඒ හමුවීම මම දකින්නේ හරිම ධනාත්මක විදිහට.

ධනාත්මක විදිහට කියන්නෙ?

ඒ කවුරුත් මට අමුත්තෝ නෙවෙයි. ඒ අයට මාව අමුත්තෙකුත් නෙවෙයි. 

ඒ සාකච්ඡාවෙදී මොකුත්ම විශේෂ තීරණයක් ගත්තෙ නැද්ද?

නෑ ඇත්තටම විශේෂ තීරණයක් ගන්න නෙවෙයි අපි හමුවුණේ. පළවෙනි දව‍ෙසම තීරණයක් ගන්න තරම් අපි කවුරුත් හදිස්සි නෑ.

සන්ධානගතවීමක් ගැන එහෙම යෝජනාවක් ආවද?

ඒක තීන්දු කරන්න ඕන ඒ අය. ඒත් ඒක දැන් මම තීරණය කරන්න ඕනෙත් නෑ. දැනට ඒ අය අපි එක්ක වැඩ කරනවා. එච්චරයි. මූලිකවම වෙන්න ඕනෑ වැඩ කිරීමනෙ.

වෙසක් පෝය දෙකෙන් පෙරළනවා කියපු ආණ්ඩුව දැන් අවුරුදු 3 ½ක් විතර ගිහින් තියෙනවා. ඒකෙන් පේන්නෙ ඔබලට නියම අභියෝගයක් දී ගන්න බැරිවුණා කියන එක නේද?

එක වෙසක් පෝයක් ඉවරයි. ඊළඟ වෙසක් පෝයෙන් පස්සෙ ආණ්ඩුව ඉවරයි. තව එක වෙසක් පෝයයි මේ ආණ්ඩුව තියෙන්නෙ. සමහරවිට ඒ වෙසක් පෝයටත් ඉස්සරම ආණ්ඩුව ඉවරවෙන්න පුළුවන්.

සමහරුන්ගේ මතයක් තියෙනවා අයවැය අවස්ථාවේ ආණ්ඩු පෙරළියක් වෙන්න පුළුවන් කියලා. ඒ කතාවෙ ඇත්තක් තියෙනවද?

මට පෙනෙන විදිහට යූ.එන්.පී.ය තුළින් යම් බලපෑමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒත් අපි ඒ ගැන වැඩි විශ්වාසයක් තියන්නෙ නෑ. ඒත් මට පේනවා මේ යන විදිහට ගියොත් එයාලා තුළින්ම මේ ආණ්ඩුව පෙරළගන්න බලවේගයක් මතුවෙයි කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබට තැනක් නොලැබීම නිසා පොහොට්ටුව හැදුවා. හැබැයි ඔබ එක්ක ඉන්න සමහර හවුල්කාර පක්ෂ පොහොට්ටුව පිළිගන්න සූදානම් නෑ. එතැන ගැටුමක් තිබෙන බවයි පේන්නෙ?

එක එක්කෙනාගේ එක එක මත තියෙනවනෙ. පොහොට්ටුව කියන්නේ පක්ෂයක්. සන්ධානයක්. ඒ පක්ෂය සන්ධානය ගැනත් ඒත් එක්ක ඉන්න අය තුළ පවා සමහර සමහර කාරණා ගැන විවේචන මතගැටුම් තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් විතරයි.

පොහොට්ටුව හදන්න හුඟක් මහන්සි වෙච්ච බැසිල් රාජපක්ෂ මහතාට පවා හවුල්කාර පක්ෂවලින් විවේචන එල්ල වෙනවා?

බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ සංවිධායකවරයා විදිහට කටයුතු කරගෙන යනවා. මෙතෙක් පොහොට්ටුවේ සියලු සංවිධාන කටයුතු කළේ එයානේ. මතගැටුම් නැතිවෙන්නෙ කොහොමද පක්ෂ කිහිපයක එකමුතුවක් වුණාම.

ඔබේ අතිජාත මිත්‍ර අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර යද්දිත් ඒ පක්ෂය හා රැඳුණු ඔබ කොහොමද අද තව පක්ෂයකට නායකත්වය දෙන්නෙ?

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලෙව්වනේ. ඉතින් මට යන්න තැනක් තියෙන්න එපායැ. මැතිනියගේ කාලයටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව තිබුණේ මගේ කාලයේ. මන්ත්‍රීවරු 127 ක් අපිට හිටියා. ප්‍රාදේශීය සභා 99%ක්, කාලයක් පළාත් සභා 100%ක් අපට තිබුණා. ඒ තත්ත්වයට අපි හදපු ගොඩනඟපු පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ආවට පස්සෙ මට පලා නොකියා පලා බෙදලා අයින් කළා.

ඒත් තවම ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක කියලා තනතුරක් තියෙනවනේ?

නමට තියෙනවා. ඒත් සහභාගි වෙන්න කියලා ලියුමක්වත් එන්නෙ නෑ.

ජී.එල්. පීරිස් මහතා කියන්නේ පොහොට්ටුවේ අපේ නායක මහින්ද රාජපක්ෂ කියලා?

එතුමා තමා සභාපති. ඒක ඉතින් මට ජනතාව හදලා දුන්න නායකත්වයක්. මාව ඒ නායකත්වයේ තියලා තියෙන්නෙ මේ රටේ ජනතාව.

මේ දවස්වල බොහෝදෙනා කතාවෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය ගැන. ඒ ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ තවමත් අපේක්ෂකයෝ නම්කරලා නැතත් තමුන්නාන්සේලාගේ පැත්තෙන් හුඟාක් දෙනා කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්න යනවා කියලා. ඒක හරිද?

මමත් බලාගෙන ඉන්නවා මහජන මතය මොකක්ද කියලා. මොකද අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා ශක්තිමත් අපේක්ෂකයෙක් වෙන්න ඕනැනෙ. ඒ කාලෙට ගැලපෙන ශක්තිමත්ම අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මඟ සම්මන්ත්‍රණය ආණ්ඩුව හඳුන්වන්නේ විපත් මඟ කියලා. මේ සම්මන්ත්‍රණයෙන් පස්සෙ ආණ්ඩුවේ ප්‍රකාශකයෝ ගෝඨාභය රාජපක්ෂට අවලාද නගන්න පටන් අරගෙන. මොකක්ද මේ වෙන්නෙ?

මම පළමුවැනි වතාවට දැක්කේ වියත් මඟට ආව විදිහේ වියතුන් පිරිසක් එක තැනකට ඒකරාශි වෙනවා. ව්‍යාපාරික අංශය එකතු වී රටේ ආර්ථික ප්‍රතිපත්තිය, වගකීම් පිළිබඳව මේ තරම් සැලසුමකින් ඒකරාශිව මීට පෙර සාකච්ඡා කරලා නෑ මේ ආණ්ඩුව එක්කවත්. මගේ යුගයේ තමයි රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර සඳහා හොඳම වාතාවරණයක් සැකසුණේ. ඒත් එයාලා මට ඡන්දය දුන්නෙ නෑ. එයාලා ඡන්දය දුන්නේ යූ.එන්.පියට. ඒත් ඒ යූ.එන්.පියට ඡන්දය දුන්න ඒ ව්‍යාපාරිකයන්ම අද තේරුම් අරන් තියෙනවා යූ.එන්.පියට මේ ගමන යන්න බෑ කියලා. රටේ ආර්ථික කඩාවැටීම් හා යූ.එන්.පියේ නොහැකියාව ඔවුන් හොඳින් තේරුම් අරගෙන තියෙනවා. ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙළක් නෑ කියන එක මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන් හොඳින් තේරුම් අරගෙන ඉන්න බව එදා වියත් මඟින් හොඳට පැහැදිලි වුණා.

කිසිම දවසක එවැනි හමුවකට නොඑන පිරිස් එදා පැමිණ සිටි බවත් කියැවුණා. ඒක ඇත්තක්ද?

ඔව්. සෝලි කැප්ටන් වගේ චරිත කවදාවත් එවැනි දේට සහභාගි නොවන චරිත. එයත් ආවා. එවැනි තව හුඟාක් චරිත එදා එතන හිටියා.

ඔබ කියන්නේ කොළඹ ප්‍රධාන ව්‍යාපාරිකයන්ට සහ එවැනි බලවතුන්ට පැහැදිලිවම වුවමනා වෙලා තියෙනවද රටට අලුත් දර්ශනයක් හා වැඩපිළිවෙළක්?

පැහැදිලිවම රටට අලුත් දර්ශනයක් හා වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔවුන් තේරැම් අරගෙන තියෙනවා. රට අයාලේ යන වැඩපිළිවෙළක් නෙවෙයි ක්‍රමවත් දූරදර්ශී වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔවුන් තේරුම් අරන් තියෙනවා. අද තියෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්. මේ අවුරැදු තුනට විදේශ ආයෝජන කොච්චර අඩුවෙන්ද ආවේ. ඔය මෙයාලා කළා වගේ ගණන් පෙන්වන ෂැංග්‍රිල්ලා අරවා මේවා අපි ආරම්භ කරපු ඒවා. ඒවායේ එන සල්ලි තමා මෙයාලා ඔය මෙයාලාට ආව ආයෝජන වගේ පෙන්වන්නේ. රට අස්ථාවර වුණාම විදේශ ආයෝජන එන්නෙ නෑ. රටක ආයෝජන කරන්නේ රටක් ස්ථාවරනම් විතරයි.

රට බාරගත්තොත් මේ මේ සැලසුම් වැඩපිළිවෙළ ඔස්සේ රට ගොඩනගනවා කියලා ඔබට තියෙන සැලැස්ම මොකද්ද?

ඒ සැලසුම් වැඩපිළිවෙළ අපි වෙලාවට ඉදිරිපත් කරන්නම්. අපි ඒ ප්‍රධාන සැලසුම් වැඩපිළිවෙළ ගැන දැන් සාකච්ඡා කරමින් යනවා බුද්ධිමතුන් සමඟ. මේ යන්නේ එවැනි සැලසුම් වැඩපිළිවෙළ ගොඩනගන්න තමයි.

වරක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අපේ පුවත්පතට ප්‍රකාශ කළා ඉදිරියේදී රට භාරගත යුත්තේ රාජපක්ෂ කෙනෙක් නොව මහින්ද රාජපක්ෂ කියලා. ඒ කියන්නේ ඔබ?

ඇත්ත කතාව. මම තමා එන්නේ. මම ඉන්නකම් දේශපාලනයේ ඒ නායකත්වය මම දරනවා. ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයද වෙනත් කෙනෙක්ද කියන එක එළියේ ප්‍රශ්නයක්. තීරණය තියෙන්නෙ අපේ අතේ.

ඒ කියන්නේ අදටත් ඔබ හිතන්නේ ඡන්ද බැංකුව තියෙන්නෙ ඔබේ අතේ කියලා?

ඔව්.. 19 ව්‍යවස්ථාව අනුව ආරක්ෂක ඇමැතිවරයා තමා සර්වබලධාරියා වෙන්නේ. ජනාධිපතිවරයාත් යොදාගෙනයි ඒක වෙලා තියෙන්නේ මට තේරෙන විදිහට. රාජපක්ෂලාට ගහනවා කියලා පෙන්නලා ජනාධිපතිගේ ඇස් වහලා රනිල් හරි ලස්සනට මේ ව්‍යවස්ථාවෙන් ගහලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට.

මෑතකදී පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් ඒකාබද්ධ විපක්ෂය කරගත්තේ දේශපාලන වැරැද්දක් නෙවෙයිද?

ඔය ගැන එක එක මත තියෙනවා. ඔය විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහට පාඩුවක් වුණේ නෑ. එයා ඡන්ද බලය යොදලා ඒක දිනාගත්තා. හැබැයි අපිට පාඩුවක් වුණේත් නෑ. ඒකෙන් අපිට තව 16 දෙනෙක් එකතු වුණා. එහෙම බලද්දී ඔය විශ්වාසභංගයෙන් අන්තිමට පාඩු වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට. පොල්ලෙන් රනිල්ගෙ ඔළුවට ගැහුවා. ඒත් පොලුපාර වැදුණේ ජනාධිපතිගේ ඔළුවට.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩුවේ ඉහළම ඉන්න ප්‍රධානීන් සමඟ ඔබ සාකච්ඡා කළ බව මාධ්‍යයෙන් කියවුණා. එහෙම කරලත් මෙහෙම වුණේ ඇයි?

එහි දිනුම පැරදුම දෙකම තිබුණේ ජනාධිපතිගේ අතේ. ජනාධිපතිට වුවමනාව තිබුණේ මොකක්ද ඒ වුවමනාව ඔහු කළා.

ඒ කියන්නෙ ඩීල් එකක් දැම්මා. පාවාදුන්නා. එහෙමද?

එහෙම පාවාදීමකුත් නෙවෙයි. මම පාවාදීම කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. ඒ තමා එයාගේ හැටි. ස්වභාවය. 

ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය කරන එකම දේ ප්‍රකාශයක් නිකුත් කරන එකයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන එකයි. ඇයි ඊට වඩා දෙයක් නොකරන්නේ. අතීතයේ ඔබ ජනඝෝෂා පා ගමන් ශබ්ද පූජා නොයෙක් දේ කළා?

ඔව් ඇත්ත. ඉන් එහා ගිය වැඩපිළිවෙළකට අපි යන්න ඕනෑ. එහෙම යන්න ඕනෑ කියන එක ගැන අපි සාකච්ඡා කරලත් තියෙනවා.

ඔබ ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ වීදි සටන්කරුවෙක් විදිහට. කෝ දැන් ඒ වීදි සටන්, නලා පිඹිලි, සද්ද බද්ද නැවතිලා?

89 – 90 මම කරපු වැඩ දැන් අලුත් තරුණ පිරිස බාර අරගෙන කරන්න එපැයි. ඒ අයට ඒ වගකීම අපි බාරදෙන්න ඕනෑ. මම එයාලට මේ ළඟදී කීවා ඔයාලා රටට දැනෙන විදිහට වැඩ පටන්ගන්න කියලා.

යුද්ධය ඉවරවෙලා යුද ජයග්‍රහණයේ 9 වැනි වසර සමරද්දී කොටි සමරන්න ගිය උතුරේ ජනතාවට හමුදාව ලව්වා සිසිල් පැන් පිළිගන්වන ආකාරය ජනතාව දැක්ක. කෝ ඒගැන ඒකාබද්ධ විපක්ෂයෙන් කිසිම හඬක් ප්‍රකාශයක් ආවේ නෑනේ?

හමුදාව හෑල්ලු කිරීම්වලට එරෙහිවත් අපි නිහඬව හිටියේ නෑ. අපි විතරක්ද? ජනතාවත් සමාජ මාධ්‍ය මගින් ඔය ඔක්කොටම හොඳට පිළිතුරැ දීලා තිබුණා.

බැඳුම්කර සිද්ධිය ගැන දැන් ඒකාබද්ධ විපක්ෂය හඬ නඟලා ඉවරද? 

ඕකනේ විශ්වාසභංග යෝජනාවල තියෙන සෙල්ලම. විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා පැරදුණොත් එයාලා අනිත් ඔක්කොම යටගහනවා. ඒකනේ ඉතින් වුණේ. අපි බැඳුම්කර සිද්ධියට විරුද්ධව හඬක් නඟන්න දැන් ඒකාබද්ධ විපක්ෂය යළිත් සූදානම් වෙනවා.

ඔබේ දේශපාලනය ගැන හොඳින් දන්න උදවිය කියන එක කතාවක් ගැන ඇසිය යුතුයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන්නට වඩා විපක්ෂ නායකකමට දක්ෂයිලු. ඇයි එහෙම කතාවක් නිර්මාණය වුණේ?

දන්න කට්ටිය දන්නවා එදා මගේ ඒ වැඩ හැකියාව.

අදටත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කැමතියි ඔබ පොහොට්ටුව අතහැරලා ඔබේ ලේ උරුමයක් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවනම්?

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑනේ. මම ශක්තිමත්ව ගොඩනඟපු ඒ පක්ෂය දැන් දියාරුවෙලා. යූ.එන්.පියත් ශ්‍රීලනිපයත් එකට එකතු වී යන පසුබිමක තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑනේ. ඔක්කොටම ඉස්සර ඒක තේරැම්ගත යුතුයි. කැඩිච්ච ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක වැඩ කරන්න පුළුවන් වුණාට මේ ආණ්ඩු පක්ෂයත් එක්ක අපිට ගනුදෙනු කරන්න බෑ.

මධ්‍යම කාරක සභා රැස්වීමෙදී ජනාධිපතිවරයා කීවා කැමති කෙනෙක් ඕනනම් යන්න කියලා?

කැමති අය එනවා. සමහරුන්ට රටට වඩා ඇමැතිකම් ලොකු හින්දා ඒක අල්ලගෙන ඉන්නවා.

ආව 16 දෙනාට අමතරව ශ්‍රී.ල.නි.පයේ තව කවුරුත් ඔබට කතා කළේ නැද්ද?

එහෙම කට්ටිය කතා වෙනවා. මම කාටවත් බලෙන් ගිහින් කතා කරන්නෙ නෑ. දොර ඇරලා තියෙන්නේ. කැමති කෙනකුට යන්නත් පුළුවන්. එන්නත් පුළුවන්.

රටේ දූෂණ, බැඳුම්කර ප්‍රශ්නවලටත් වඩා අද මිනිස්සුන්ට දැනෙන්නේ බදු බර, ආර්ථික ප්‍රශ්න, ජීවන බර, බස් ගාස්තු වැඩිවීම්. මේ දේවල් ගැන රටේ තියෙන සංවාදය ප්‍රමාණවත් නෑ නේද?

මේ ආණ්ඩුවට එරෙහි මතවාද හුඟාක් තියෙනවා. ආණ්ඩුව හැමදාම කතා කරන්න මාතෘකා දෙනවනේ. බොන්ඩ් ඉෂු, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම්, ටෙන්ඩර් ප්‍රශ්න. සාම්පූර් හැදුව නම් මේ ආණ්ඩුව විදුලිබල ප්‍රශ්නයට මුහුණදෙන්නෙ නෑනේ. තියෙන සම්පත් ටික විකුණනවා. රාජ්‍ය දේපළ විකුණනවා. මහජනතාවට තුන්වේල තියා වේලක් කන්න බැරි තත්ත්වයක් අද තියෙන්නෙ.

ආණ්ඩුව නැවත ඡන්දය කල් දාන්න හැදුවොත් ඔබ කුමක් හෝ පියවරක් ගන්නවද?

මැතිවරණය කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක්. අපි ඡන්දයට ඕන වෙලාවක සූදානම්. ආණ්ඩුවට බයක් නැත්නම් ඡන්දය තියන්න කියන්න.

ඔබේ බලාපොරොත්තුව ඊළඟ මැතිවරණයෙන් පසුව ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති වෙන්නද? නැත්නම් අගමැති වෙන්නද?

මගේ බලාපොරොත්තුව මේ රට ආයෙත් ගොඩනගන එක.

සමහර අයගේ මතයක් තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ සුළු ජාතීන්ගේ නියෝජනය අඩුයි කියලා?

ඔව්. අපි සුළු ජාතීන් එකතු කරගන්න වැඩපිළිවෙළකට යනවා. සැලසුම්සහගතව සුළු ජාතීන් අපිත් එක්ක තරහ කරන වැඩත් සමහරු කරගෙන ගියා.

දැන් කතාවක් යනවා ඊළඟ ජනාධිපතිවරණයේදී සංගක්කාර වගේ ජනප්‍රිය චරිතයක් පොදු අපේක්ෂකයා ලෙස ගේන්න ආණ්ඩුව කටයුතු කරගෙන යනවා කියලා?

මමනම් හිතන්නෙ නෑ යූ.එන්.පියත් එක්ක එකතුවෙන්න තරම් සංගක්කාර එච්චර මෝඩයෙක් කියලා.

මේ ආණ්ඩුවෙ ඉන්න රටේ ලොකුම පක්ෂ දෙක. ඒත් රට ගොඩගන්න යන ගමන තවමත් ඉබි ගමනේ කියලා චෝදනාවක් එනවා?

මේ ආණ්ඩුව තව තවත් ඉඳීම තුළ රට දවස ගාණේ පල්ලෙහාට වැටෙනවා. නායකයෝ දෙන්නෙකුට රට පාලනය කරන්න බෑ. රටට ඉන්න ඕනෑ එක පාලකයයි. ප්‍රතිපත්තියක් තියෙන දර්ශනයක් තියෙන කොන්දක් තියෙන එක නායකයකුට රට ගොඩනගන්න පුළුවන්.

ඔබ හිතන්නෙ නැද්ද ඡන්දෙ කිට්ටුවෙන කොට මර්දනයක් එයි කියලා?

මර්දනයක් එයි. ඒත් ජනතාව ඒ මර්දනයට පිළිතුරු දෙයි එළියට ‍බැහැලා. මේ යන විදිහට ජනතාව හැංගෙන්නෙ නෑ. මේ ආණ්ඩුව හදන්නේ මෙයාලා සැකකරන හැමකෙනාටම නඩුදාලා හිරේ දාන්න. ලලිත් වීරතුංග මහත්තයාගේ සිල්රෙදි නඩුවෙන් පසුව රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න බයවුණා. මිනිස්සුන්ට සමෘද්ධිය ලබාදීම, ප්‍රාදේශීය සභාවලට යකඩ කණු දීම, උපසම්පදා උත්සවයකදි හාමුදුරැ නමකට වාහනයක් ලබාදීම වගේ දේවලට නඩුදානවා. මොනවද මේ නඩු? ඔන්න ආණ්ඩුවේ තත්ත්වය.

සමෘද්ධිලාභීන් සෑහෙන ගණනකට අලුතෙන් සමෘද්ධිය දෙන්න ආණ්ඩුව සූදානම්ලු?

තව ලක්ෂ පහකට සමෘද්ධිය දෙන්න ඕන. ඒ තරම් රටේ දුප්පත්කම වැඩිවෙලා. මම කියන්නේ කැපිල්ල පැත්තක තියලා තව ලක්ෂ 5කට සමෘද්ධිය දෙන්න කියලා.

රාජිත සේනාරත්න ඇමැතිතුමා කියනවා ජූනි 01ට පෙර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඩුබායිවල හංගලා තියෙන සල්ලිවලින් කොටසක් ලංකාවට ගේනවා කියලා?

ගේන්න කියන්නකො. හැබැයි අපි ආවම ඔය කියන අයගේ හංගලා තියෙන සල්ලිත් අපි ගේනවා. නාමල් හංගලා තියෙන සල්ලි කියලා ඒ ඒ අය හංගලා තියෙන සල්ලි ගේනවද දන්නෙ නෑ.

► සංවාද සටහන I සංජීවිකා සමරතුංග
සේයාරුව I සුමුදු හේවාපතිරණ