තාරුණ්‍යය වූ කලී ජීවිතේ ස්වර්ණමය යුගයයි. මෙකී කාලය තුළ විනෝද වීමට, රංචු ගැසීමට, චණ්ඩිකම් පෑමට ඕනෑම අයකු කැමතිය. ඒ නිසාම මාපියන් මේ සමයේදී තරුණ දූ පුතුන්ට දැඩි රුකවල් ලා සිටින්නේ කොයි මොහොතක හෝ නිවැරදි මාර්ගයෙන් පිට පැන වැරදි මාර්ගයේ යතැයි බියෙනි. මේ නිසා ඒ සමයේදී බොහෝ තරැණ තරුණියන්ට නිවෙස සිරගෙයකි, ඔවුන්ට වැඩිහිටියන් වහක් වැනිය.
කෙසේ වෙතත් අතීතයේ තරුණ පිරිස්වලට වඩා වර්තමානයේ තාරැණ්‍යය එකකට එකක් වෙනස්ය. ඔවුන්ගේ සිතුම් පැතුම්, අඳුම් පැළඳුම්, තාක්ෂණය අතීතයට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ නිසා අවශ්‍යතා හා වුවමනා ද අධිකය. මේ හේතුවෙන් තවත් අයකුට ඔවුන්ව ඉක්මනින් වරදේ පටලවා හැනීමට හැකියාව ඇත.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ අද වසංගතයක් ලෙස පැතීරී යන තාරැණ්‍ය විනාශ කරන සූක්ෂම ජාවාරමක් ගැනය. මේ ජාවාරම නිසා අද වන විට බොහෝමයක් තරැණ තරැණියන් සිටින්නේ අසරණ මට්ටමකිනි. ඒ නිසාම මේ ගැන හෙළිදරව් කරන්නට යන්නේ තරැණ තරැණියන් රැසකගේ ජීවිත රුකදීමේ අරමුණෙනි.
මේ කතාව පටන් ගන්නේ ෆේස් බුක් සහ වට්ස් ඇප් ගෲප් හරහාය. එකී සමාජ මාධ්‍යවලට රංචු ගැහෙන තරැණ තරුණින් දැනුම, අධ්‍යාපනය සේම වෙනත් වෙනත් ගනුදෙනු කරන්නේ විවිධ යාළු මිත්‍රකම් හරහාය. එකී කණ්ඩායම්වල කංසා පානයට, මත්පැන් පානයට සහ වෙනත් ඕනෑ මත්ද්‍රව්‍යකට ඇලුම් කරන්නෝ සිටිති. මොවුන් විසින් FB Group Party නමින් සාදයක් සූදානම් කරන්නේ මෙකී ඇයි හොඳය සමඟය. මේ සඳහා නායකත්වය ගන්නේ එකී කණ්ඩායමක එක් තරුණ යුවළකි. මෙලෙස යුවළක් ලෙස පෙරමුණ ගන්නේ මෙකී සාදය සඳහා පිරිමි ළමුන් සේම ගැහැනු දරුවන් ද කැඳවීමේ අරමුණු ඇතිවය.
කෙසේ වෙතත් මේ පසුපස සැබෑ මෙහෙයුම්කරුවන් ඔවුන් වන්නේ නැත. සැබෑ මෙහෙයුම්කරැ තිරෙන් පිටුපස සිටින හෝටල් හිමිකරුවෙකි. ව්‍යාපාර කඩා වැටුණු, බංකොලොත් වුණු හෝටල් හිමිකරුවෙක් නියත වශයෙන් මෙකී සාදය පසුපස සිටින බව අනාවරණය වී ඇත. මොහු සාදය සූදානම් කරන අතර ඒ සඳහා සාමාජිකයන් එකතු කර ගැනීම සිදුකරන්නේ ඉහත කී යුවළ විසිනි.
ඒ අනුව එම යුවළ අහම්බයෙන් හමුවන්නන් ලෙස අදාළ පේජයේ පණිවිඩයක් පළ කරයි. මෙවැනි සාදයක් පැවැත්වෙන බවත් ඕනෑම අයකුට සහභාගි විය හැකි බවත්, ඒ සඳහා යම් මුදලක් අය කරන බවත් එම පණිවිඩයේ සඳහන් වේ. විශේෂයෙන් යුවලවල් සඳහා ද ආරාධනා සඳහන් වේ.
ඒ අනුව මෙම සාදය බොහෝ විට යොදාගන්නේ සිකුරාදා රාත්‍රියේය. නැතිනම් සෙනසුරාදා උදෑසනය. ඒ අනුව අදාළ හෝටල් හිමිකරැ විසින් මේ සඳහා ටිකට් පතක් මුද්‍රණය කරනු ලබයි. එම ටිකට් පත රැපියල් දෙදාහක් හෝ තුන්දාහක් වන අතර එයට බීම වීදුරුවක් සහ කෑමවේලක් අයත් වේ. අනෙකුත් අමුද්‍රව්‍ය ලබාගත හැක්කේ මුදල් දීමෙන් පමණි.
ඒ අනුව අදාළ දිනය දා හෝටල් හිමිකරු විසින් අරක්කු සහ බියර් රුගෙන විත් තබන අතර එහිදි බියර් වීදුරැවක් රුපියල් 400කටත්, අරක්කු වීදුරුවක් රුපියල් 300කටත් ලබාදෙයි. කෙසේ වෙතත් මෙම මත්පැන්වල සැර සාන්ද්‍රණය වැඩි කිරීම සඳහා විවධ දෑ එකතු කර තිබේ. මේ අතර මෙම සාදය සඳහා විවිධ පෙති, මත් කුඩු, ගංජා ව්‍යාපාර කරන්නන් ද සහභාගි වන්නේ කාටත් හොරාය. එහෙත් ඔවුන්ව ගෙන්වන්නේ සංවිධායකවරැන් විසිනි. විශේෂයෙන් LSD මුද්දරය වැඩිපුර මෙම ස්ථානවලදී අලෙවි වේ. එය රුපියල් 2500කට පමණ විකිණෙයි. ගංජා කැටයක් රුපියල් 1000කි. එසේම ටැබා නැමති පෙත්ත රුපියල් 500කි. ඈෂ් නැමති මත්ද්‍රව්‍ය 1500කි. කොකේන් 2500කි. හොරෝයින් 2000කි. සිගරට්ටුවක් 70කි. සෝඩා බෝතලයක් 100කි. බයිට් පිඟානක් 250කි. මේ එවැනි සාදවල ආහාර සහ මත්ද්‍රව්‍ය විකුණන පිළිවෙළයි. ගණන් සහ ද්‍රව්‍ය මීට වඩා වෙනස් වන අවස්ථා ද තිබේ.
මේ අතර ඇතැම් හෝටල් හිමිකරුවන් ලිංගික ශ්‍රමික කාන්තාවන් ද කැඳවයි. ඔවුන්ට නර්ථන අංගයක් ලබාදී පැමිණ සිටින තරුණයන්ගේ ඇඟේ ගතේ වෙලී ඔවුන් සමඟ යහන් ගතවන තැනට පත්කරන අවස්ථා ද ඇත. එවිට හෝටල් හිමිකරු විසින් කාමරයක් ලබාදෙන අතර ඒ කාමරයට රුපියල් 1000 ලබාගනී. එසේම ඒ අවස්ථාවේ හමුවන ඇතැම් යුවළවල් ද එම කාමරවලට යන්නේ කිසිදු හැඳුනුම්කමක් නොමැතිවය. කෙසේ වෙතත් අවසානයේ මෙය මත්ද්‍රව්‍ය සහ ලිංගික ආශාවන් සන්තර්පනය කරන සාදයක් බවට පත්වන්නේය. කෙසේ වෙතත් නව යොවුන් වයසේ සිටින තරුණ තරුණියන්ට ඇතිවන ආශාවන් සහ කැමැත්‍ත නිසා මේ සඳහා නොදැනුවත්වම ඔවුහු මේ වැඩේට වහ වැටෙති.
ඇතැම් තරුණ තරුණියෝ ගංජා, කුඩු පානය කරති. ඇතැම් අය එළිපිට ලිංගික ක්‍රියාවන්වල නිරත වෙති. අඩ අඳුරේ මත් වූ ඇස්වලට අසුවන ඕනෑම අයකු සමඟ වරදේ බැඳෙන්නට හයි ස්පිරිට් එකේ සිටින විට දෙවතාවක් සිතන්නේ නැත. එසේම මේ අතර තවත් පිරිසක් ද වෙති. ඒ සමලිංගිකයන්ය. ඔවුන් ද පැමිණ තමන්ගේ ආසාවන් පිරිමසා ගනිති. විශේෂයෙන් පිරිමි ළමුන් ඔවුන්ගේ ප්‍රධාන ගොදුර වී ඇත. මේ තත්ත්වය බරපතළ ලෙස පවතින්නේ රාත්‍රී සාදයන්වලය.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් පළමු ආරම්භය ගත් පසු ඉතිරි සාද මාස තුනකට සැරයක් සූදානම් කරන්නේ එකී කණ්ඩායම විසිනි. එවිට විවිධ මට්ටමේ පහත් ක්‍රියාවන් එම සාදය අලෙවිය සඳහා සංවිධායකවරු යොදා ගනිති. විශේෂයෙන් රාත්‍රී සමාජ ශාලාවක හුරුවක් එහි ඇති නිසා තරැණ තරැණියන් එයට වශී වන්නේ ඉතාමත් සීඝ්‍රයෙනි. කෙසේ වෙතත් මෙහි ලොකුම ඛේදවාචකය නම් මේ සාදයන් සම්බන්ධයෙන් ඇතැම්විට පොලීසිය පවා දැනුවත්ව සිටීමයි. එසේ දැනුවත්ව සිටියත් කිසිදු මොහොතක වටලන්නේ නැත. ප්‍රදේශයේ ජනතාවගෙන් විශල බලපෑමක් පැමිණියොත් එදිනට පමණක් වටලන අතර එවිට එම තරුණ තරුණියන්ට අවවාද කොට මුදාහරී. කෙසේ වෙතත් එලෙස ඔවුන් මේ පිළිබඳව සොයා නොබලන්නේ එකී හෝටලයේ හිමිකරු ගමේ පොලීසියේ හිතවතා වීම නිසාය. මේ නිසා හිතවත්කමට ඔවුන් අත්අඩංගුවට පත්වන්නේ නැත.
කෙසේ වෙතත් එම සාදයෙන් පසුව බොහෝ දෙනෙක් මේ සොමියට ඉබේම ඇබ්බැහි වෙති. ඔවුහු එතැන් පටන් මේ සාද නිතර නිතර පැවැත්වීමට සුදානම් කරති. කෙසේ වෙතත් දැනට ඇතැම් ස්ථානවල මෙම සාදය සෑම සිකුරාදාවක පවත්වන අතර මේ සඳහා විශාල පිරිසක් සහභාගි වෙති. කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර, ගාල්ල ආදී දිස්ත්‍රික්කයන් තුළ මෙම ෆේස් බුක් සාද ඉහළ ගොස් තිබෙන බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ.
කෙසේ වෙතත් මෙය එකවර වැටලීමට ද හැකියාවක් නැත. එසේ වැටලුවහොත් පොලීසිය සාද වටලනවා කියා සමාජයේ කතාබහක් ඇතිවනු ඇත. මේ නිසා උපාය දූතයන් යොදවා මේවා වැටලීමට සිදුවීමට ඇත. එහෙත් එය ලෙහෙසි පහසු නැත. එනම් මේ සාද සඳහා එක්කරගන්නේ දන්න හඳුනන අය පමණි. හඳුන්නේ නැති අයකු පැමිණියොත් ඔහුව සොයා ගැනීමට ද ඔවුන් ක්‍රමයක් සලසා ඇත. ඒ ඔවුන්ට රහස් අංකයක් ලබාදීම හරහාය. එම රහස් අංකය විවිධ අයට විවිධ අංක ලබාදී ඇති අතර එම අංකය නොමැති අයකු ඇතුළට ගන්නේ නැත. මේ නිසා මේ සාද තුළට හොර රහසේ රිංගා ගැනීම අපහසුය.
කෙසේ වෙතත් මෙය වර්තමානයේ සමාජ පිළිලයක් වී ඇති අතර එය නැවතීමට ක්‍රමයක් නීතියට හැකියාවක් නැත. ඒ මෙය සාදයක් නිසාය. නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිත කරන බවට ඒ අවස්ථාවේ ලැබෙන පණිවිඩයකට ඇරෙන්න ඊට කලින් කිසිදු පියවරක් ගැනීමට හැකියාවක් නැත. එහෙත් ඇතැම් පොලිස් ස්ථාන මේ බව දැන දැනත් ඉන්නේ මර නින්දේය. ඒ නිසා මෙම ජාවාරම තව දුරටත් ඉදිරියට යන්නේ තරුණ තරුණියන් මේ අපායේ දිගින් දිගටම රඳවාගනිමිනි. ඒ නිසා තමන්ගේ දරුවන් කෙරෙහි මව්පියන් මීට වඩා වගකීම් සහගතව සොයා බැලිය යුතුය. ඒ හරහා පමණක් මෙවැනි සමාජය වනසන පිළිලයන්ගෙන් තරැණ දරුවන් ආරක්ෂා කර ගත හැකි වනු ඇත.
අසංක කළුබෝවිල