2018 මැයි 19 වන සෙනසුරාදා

ඔංචිලි පැද පැද පොත් කියවූ මාර්ටින් වික්‍රමසිංහ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

අහස් ගඟේ කිමිදී වලාකුළු අස්සේ හැංඟෙන තනි තරුවක හැඬ විඳන අතරේ රූ හඳපානේ හීන් හඬින් ගීයක් මුමුණමින් ඔරු පැද්ද, කරකර හැදූ මාළු ඇඹුල් තියල්, ඉස්සන්, කකුළුවන් සුකුමාල ගෑනු අතකින් වත් කළ ළා කිතුල් රා සමඟ රහ බැලූ මඩොල් දූවේ අයිතිකාරයා සමඟ මිත්‍ර ස්නේහයෙන් වෙළී උන් තවත් කෙනෙක් අද ජීවතුන් අතර ඇතැයි ඔබ විශ්වාස කරනවාද? 

ගෑනුන්ගේ ලස්සන හැඩ මතුවෙලා පේන්න ගන්නේ විලුඹ පේන්න ගනිද්දි. විලුඹ වැහෙන්න සපත්තු දැම්මම ගෑනු කැතයි. විලුඹ හොඳින් පේන සපත්තු තමා ගෑනු දාන්න ඕනේ. ඒ විතරක් ද සිරිසේන.. කොණ්ඩය බැඳලා ඉද්දිත් ගෑනුන්ගේ ලස්සන පේන්නේ නෑ. ගෑනු ලස්සන කොණ්ඩය කඩා දමාගෙන ඉද්දි.. හොඳට ඝනකම්ව වැවිච්ච කොණ්ඩ කඩා දාගෙන ඉද්දි ගෑනු හරි ලස්සනයි...

අනිත් එක සිරිසේන.. ගෑනු ලස්සන ඉස්සරහා පැත්තෙන් බලද්දි නෙවෙයි. ගෑනුන්ගේ හැබෑ ලස්සන දකින්නනම්, විඳින්නනම් ගෑනු පිටිපස්ස හරවලා යද්දි ගෑනු දිහා බලාගෙන ඉන්න ඕනෑ. ගෑනුන්ගේ ලස්සන තියෙන්නේ ඉස්සරහා නෙවෙයි පිටිපස්සේ. බලන්නකෝ සිරිසේන.. ගෑනු තට්ටම් නලව නලවා පද්ද පද්දා ඇවිදිද්දි කොච්චර ලස්සනද කියලා..... ඉනට තදවෙන්න චීත්තය ඇඳලා හැට්ටය ඇඳලා ඉන්න ගෑනු කොච්චර හැඩද? ගෑනියෙක්ගේ ලස්සන දකින්න ඕන නම් එහෙම ගෑනියක් පිටිපස්ස හරවලා යන හැටි බලන් ඉන්න සිරිසේන....

භවතරණය වැනි විවාදාසම්පන්න දාර්ශනික ග්‍රන්ථයක් ලියවුණේද, ස්පර්ශයෙන් නොව මනසින් සහ මසැසින් ගැහැනු සිරුරක සුන්දරත්වය ලාලිත්‍යය මටසිලිටි හැම ඉසව්වකම හැඩතල සංයමයෙන් උපරිමයටම විඳගත් ඒ සොඳුරු, ඒ ගැඹුරු සාහිත්‍යවේදියාගේ පන්හිඳින් හා සමාජ ජීවන දැක්මෙනි. ඉඳින් ඔහු හා කොග්ගල කලපුවේ ඔරු පැදි කොට්ටව සිරිසේන සන්තකයේ ඇති ඒ මතක සියල්ල අවුස්සා බලන්නට ලෝභ සිත් ඇති නොවේනම් පුදුමයකි. මාර්ටින් වික්‍රමසිංහ සහ කොග්ගල අතර පැවති වෙන් කළ නොහැකි තරම් දැඩි බැඳීමේ මතක අක් - මුල් වදන්වලට එකතු කරන්නට පෙර කොට්ටව සිරිසේනගේ අතීත ජීවිතය හරහා චාරිකාවක් ගොසින් එන්නට මට සිත්විය.

එකල කොට්ටව ගම්මානය එතරම් කල එළි වැටී තිබුණේ නැත. ගම්මානය කරා පාර වැටී තිබුණේ මහා ඝන වනාන්තරයක් මැද්දෙනි. කොට්ටව ආරණ්‍යය පිහිටා තිබුණේ ගම කෙළවරය. මුළු ගම්මානයම ඒ රූස්ස වනාන්තරය විසින් වටකොටගෙන තිබුණි. ආරණ්‍යය කෙළවරකින් ගැලූ දොළ පාර ගලා බැස්සේ ගම් දනව්ව මැද්දෙනි. නිල්වන් ගහ කොළින් වට වී සිහිලස දැනවූ ගම් දනව්ව සෞම්‍යය ගුණයෙන් නහවාලූයේ ඒ සීත දියවරය. දොළ පාර දෙපසින් ඈතට ඈතට විහිද ගියේ කුඹුරු යායයි.

මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ මහා ගත්කරු සමඟ තිබුණු අපූරු යාළුකම කියන්න ඉස්සර අපි කතා කරමුද සිරිසේන මහත්තයා ඒ ගමේ ජීවිතය ගැන. 

“මට මතකයි ඔය ගම මැද්දෙන් ගලා ගිය දොළ පිරෙන්න එක එක ජාතියේ මාළු මහ හුඟක් හිටියා. උඩහා ඉන්න මාළුන් සමහරදාට පහළට බහිනවා. ගමේ කොල්ලෝ රංචු ගැහිලා මේ මාළු පැටවු අල්ලන්නේ. කොල්ලෝ කුරුට්ටෝ එකතු වෙලා වෙල් ඉපනැලිවල දුවලා පැනලා නටනවා. ගඩා ගෙඩි කඩාගෙන කනවා. දාඩිය උතුරනකම් දවල් තිස්සේ නටලා නටලා හැන්දෑකරේ දොළට පැනලා හිතේ හැටියට සීතල වතුර ටික නානවා. රූ කළුවර වැටෙද්දී තමා ගෙවල්වලට රිංගන්නේත්. එහෙමයි කියලා අපේ අම්මා නම් කවදාවත් මට රැව්වේ, ගැහුවේ, බැන්නේ නෑ. මෙන්න මෙච්චරයි අපේ අම්මා මට කිව්වේ.

“අන්න බත් බෙදලා ඇති. කාලා ඉස්කෝලේ වැඩ කරපන්.”

ඒ කාලේ ටී.වී, කැසට් නෑනේ. දවල් තිස්සේ මොන නාඩගම නැටුවත් රෑට ඉතින් පැය දෙක තුනක් ඉස්කෝලේ වැඩ කරනවා. ඒ විතරයැයි... මට ඒ කාලේ පතේ පොතේ වැඩවලට වඩා කරන්න ලොකු රාජකාරියක් තිබුණා. පුංචි කාලේ ඉඳන් මගේ ඇඟ ඇතුළේ හොඳ කලාකාරයෙක් හිටියා කියලා මට හිතෙනවා. මම රෑ නාලා එද්දි ඇලෙන් කිරි මැටි ලොකු ගුලියක් ගේනවා. ඉතින් ඒකෙන් රෑ දෙගොඩහරිය වෙනකම් එක එක විදිහේ සත්ත්ව රූප, මිනිස් රූප හදනවා.”

සිරිසේන කොලු ගැටයාගේ මේ හපන්කම් ගමේ උදවිය දැන සිටියත් ගමේ උත්සවයක් මඟුලක් පැවතියහොත් සිරිසේනටත් ඒ කවරක වුවත් වැඩ කොටසක් පැවරී තිබුණේය.

“සිරිසේන දක්ෂයා.. පුතේ උඹ මේක අඳින්න. අරක කරන්න ඕන..” කොලුවාට මේ ඉල්ලීම් ඇගයීම් හරි ඉහළය. “හරි හාමුදුරුවනේ.” “හරි මාමේ..” “හරි නැන්දේ..” සිරිසේන උත්තර දුන්නේ හරි උජාරුවෙනි. 

ජ්‍යෙෂ්ඨය සමත් වෙන්නට තරම් හපනෙක් වූ සිරිසේනට විතාන ඉස්කෝලේ මහත්තයා හොඳ උපදෙසක් දුන්නේය.

“සිරිසේන ඔයා දක්ෂ කලාවට.. ඔයා යන්න රජයේ කලායතනයට.. එහෙ තමයි ඔයාගේ පසුබිම තියෙන්නේ.” 1957 අවුරුද්දේ කොට්ටව සිරිසේන තරුණයා රජයේ ලලිත කලායතනයේ චිත්‍ර හා මූර්ති අංශයේ ඉගෙනීමට බැඳුණේ ඒ ගුරු උපදෙස් කරණ කොට ගෙනය. කළු, උස, කෙට්ටුත් නැති මහතත් නැති සිරිසේනගේ පෞර්ෂය ඔහු කෙල්ලන් කොල්ලන් රැලකගේ හොඳ මිත්‍රයෙක් බවට පත් කළේය. එසමයේ එහි අධිපතිවරයා ලෙස කටයුතු කළේ ජේ. ඩී. පෙරේරා විද්වතාය. අධිපතිවරයා ද කළුවන් සිරුරැති ශක්තිවන්ත ගෝලයාට සමීපතමයකුට සේ සැලකුවේය. විශේෂයෙන්ම ඒ සිරිසේන පින්සලත්, වර්ණත් මනාව හසුරුවන්නට නිසඟයෙන්ම ලබා තිබූ හැකියාව කෙරේ දැක්වූ ප්‍රසාදය නිසාමය.

“ඔය කොල්ලා කාලේ මට හරි ආසාවක් තිබුණේ ප්‍රසිද්ධ පුද්ගලයන්ව දැන හඳුනගන්න. ප්‍රසිද්ධ ලේඛකයන්, නාට්‍යවේදීන් ඔය වගේ අය හම්බුණාම ඒ අයගේ අත්සන ලබා ගන්න මම ඔටෝග්‍රාෆ් එකක් හැමතිස්සේම මගේ ළඟ තියාගෙන හිටියා.
ඔය හුඟක් කලාකාරයෝ ඒ කාලේ රජයේ කලායතනයට එනවා. ඔන්න ඔය කාලේ එදිරිවීර සරච්චන්ද්‍ර සිංහබාහු නාට්‍යයේ පසුතලය නිර්මාණය කරන්න බාරදීලා තිබුණේ ජේ. ඩී. පෙරේරා අපේ ගුරුතුමාට. ජේ. ඩී. පෙරේරා සර් මොකද්ද කළේ මාව එදිරිවීර සරච්චන්ද්‍ර සර්ට හඳුන්වලා දීලා සිංහබාහු නාට්‍යයේ පසුතල නිර්මාණය කරන එක මට පැවරුවා. ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කිව්වලු. මගේ ඔළුවේ මල් දාහක් පිපුණා හා සමානයි සතුට. ජේ. ඩී. පෙරේරා සර් ඇඳලා ඉවර චිත්‍ර වර්ණවත් කරලා සරච්චන්ද්‍ර සර්ගේ උපදෙස් අනුව මට ඒ වැඩේ බොහොම ලස්සනට කළා.
 

එදා එදිරිවීර සරච්චන්ද්‍රයන් දැන හඳුනාගන්නට ලැබීම සිරිසේනයන්ගේ ජීවිතයේ තවත් අපූරු මිත්‍රත්වයකට මඟ කීවේය. ඒ ගැන කියන්නට පමා වෙමින් එකල සිරිසේන කියවූ ප්‍රියතම පොතක් ගැන දැන් කියන්නට මට සිතේ. 

ඉඩක් ලැබෙන හැම සැරේකම පොතක් කියවන එකත් මගේ ලොකු පුරුද්දක්. ඔය පොත් කියවිල්ලේදී තමා මම මඩොල් දූව කියෙව්වෙත්.. ඒ කාලේ මඩොල් දූවේ ජින්නා තමයි මගේ ලෝකේ ලොකුම වීරයා.. මඩොල් දූව කියවපු දවසේ ඉඳන් මගේ හිත පෙළපු ආසාව තමයි මඩොල් දූව ලියපු මහත්තයාව හම්බවෙන එක... සැබැවින් දැකලා ඒ මහත්තයා එක්ක වචනයක් දෙකක් කතා කරන එක.

මට වයස අවුරුදු 25දී විතර තමා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාව අඳුරාගත්තේ. කලායතනයේ චිත්‍ර හා මූර්ති අංශයේ ඉගෙන ගත්තත් වේදිකා නාට්‍ය, නැටුම් සාහිත්‍යය වගේ විෂයන්වලටත් මම හරිම ආසයි. රටේ නමක් ගත්තු විද්වතුන් එක්ක පුංචි හරි ඇසුරක් ගොඩනගාගන්න මම ඒ කාලේ හරියට මුදල්, කාලය කැප කරනවා. පුංචි කාලේ ඉඳන්ම අපට කවදාවත් සල්ලි හිඟයක් තිබිලා නෑ. ඒ කාලේ කොළඹ ජීවත් වෙන්න දවසට සත තිහක් තිබුණම හොඳටම ඇති. උදේටත් කාලා, දවල්ටත් කාලා, රෑටත් කන්න ඒ ගාණ හොඳටම සෑහෙනවා.

ඒ කාලේ අපි කොල්ලෝ කට්ටිය එකතු වෙලා කන්න යන්නෙම තෝසෙ කඩවලට. තෝසේ කඩේකට උදේම කන්න ගියාම සත දහයෙන් මුළු දවසෙම බඩගින්න නිවාගන්න පුළුවන්. තෝසේ දෙකක් කෑවම බුදු අම්මෝ... දවසම බඩ පිරිලා. අනිත් එක අද මේ තියෙන තෝසේ වගේ නෙවෙයි. කෙසෙල් කොලේට දාලා උණු උණුවෙම නියම තෝසේ මිශ්‍රණයෙන් හදාපු තෝසේ තමා දෙන්නේ. තෝසේ කඩේකින් කිරි කාලක් ගන්න පුළුවන් සත 5කට. ලොකු උස වීදුරුවකට සුරුස් ගාලා වක්කරලා දෙනවා. උකු කහට රහට පංකාදු පහයි සත පහේ කිරි වීදුරුව. රුපියල් දහයකින් හොඳ සූට් එකක් මහගන්න පුළුවන්. යට මේස් බැනියමයි, සරමයි, කමිසයයි ඔක්කොටම යන්නේ රුපියල් දහයයි. ඉතින් ජීවත් වීම කවදාවත් බරක් විදිහට දැනුණේ නැති හින්දා නාට්‍ය හා සාහිත්‍ය, චිත්‍ර, මූර්ති එක්ක හරි සැහැල්ලුවෙන් ගෙවපු කොලු කාලයක් තමා මට තිබුණේ. හිතේ නලියෑව ලොකුම ආසාවක් තමා අර කීව විදිහේ විද්වතුන් එක්ක පුංචි පහේ හැඳුනුම්කමක් හරි ඇතිකරගන්න එක...

දවසක් මට ආරංචි වුණා එදිරිවීර සරච්චන්ද්‍ර සර් සිංහබාහු නාට්‍යයේ වැඩකට කලායතනයට එනවා කියලා. මම ඉතින් ඔය දවස එනකල් බලාගෙන ඉඳලා බොහොම ගෞරවයෙන් භක්තියෙන් එතුමා ළඟට ගිහින් කීවා “අනේ ඔබතුමා මට මගේ ඔටෝග්‍රාෆ් එකේ අත්සන් කරලා දෙන්න” කියලා. අනේ මට දිනෙත් දාලා අත්සන් කරලා දුන්නා. මම කලින් කීවනේ ජේ. ඩී. පෙරේරා සර් මට සිංහබාහු නාට්‍යයේ පසුතල නිර්මාණය කරන්න ලබා දුන්න අවස්ථාව ගැනත්. අන්න එදාම තමා මේ සියලු සිදුවීම් වුණේ. එදා සරච්චන්ද්‍ර මහත්තයා නිසා තමයි මට මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා හඳුනාගන්න ලැබුණේ.

මම එදා සරච්චන්ද්‍ර මහත්තයාට කීවා “අනේ සර් මට හරි ආසයි අර මඩොල් දූව ලියපු සර්ව අඳුරගන්න... ඒ සර් එක්ක වචනයක් දෙකක් කතා කරන්න.” කියලා.

“ආ.. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාද... ඕක සුළු දෙයක්නේ...”

සරච්චන්ද්‍ර සර් ඔහොම කියද්දී මට ඉතින් ඊට එහා දෙයක් නෑ. මේ කට්ටිය ඔක්කොම වෙලාවකට කලායතනයට එනවා. ඔන්න දවසක් කලායතනයට ආව වෙලාවක මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාව මට මුණගැහුණා. මම හරිම ආසාවෙන් එතුමා ළඟට ගිහින් ආයුබෝවන් සර් කියලා මගේ ඔටෝග්‍රාෆ් එක දුන්නා. “ඔටෝග්‍රාෆ් ඕන නෑ. අපි පස්සේ වෙලාවක හමුවෙමු.” කියලා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවේ කීවා. ඇත්තටම ඔටෝග්‍රාෆ් එක දුන්නට අත්සන් කළේ නෑ. මම ඊට පස්සේ මොකද දන්නවද කළේ.. ඒ කාලේ හරි වේගයෙන් පින්සල හසුරවන්න, දිය සායම් චිත්‍ර අඳින්න මම හරි දක්ෂයා. මම ඉතින් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ චිත්‍රයක් ඇන්දා. අඳලා ඒකත් අරන් බස් එකේ ගියා නාවල මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර. මම ගියේ උදේ පාන්දරම. උදේ යද්දී ගෙදර මිදුලේ තිබුණා ඔන්චිල්ලාවක් වගේ එකක්. ඒකේ ඉඳගෙන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා පැද්දි පැද්දි පොතක් කියව කියවා ඉන්නවා. එතකොට වෙලාව උදේ 6.30ට විතර ඇති. ගෙදරට එන්න තිබූ ලෑලි ගේට්ටුව ඇරගෙන මම ඔන්න ගෙදර මිදුලටම ගියා. මම ගිය ගමන් එක පාරටම මම ඇඳපු පිංතූරය පෙන්නුවා. මාර්ටින් වික්‍රමසිංහ සර් පොත් ලිව්වා විතරක් නෙවෙයි චිත්‍රත් ඇන්දා. ඒක හුඟක් අය දන්නැති දෙයක්. චිත්‍රය දැක්ක ගමන් වික්‍රමසිංහ සර්ට දැනුණ සතුට කොච්චරද කියනවා නම් අර වාඩි වී හිටපු ඔංචිල්ලාවෙන් නැගිටලා මට කතා කළා. 

“පුතා කවුද මේක ඇන්දේ?”

“මම ඇන්දේ සර්..”

“ෂා... බොහොම හොඳයි..” 

මට ඉතින් වචන නෑ සතුට ගැන කියන්න. 

මට එතුමා පොත් තියන්න මිදුලේ ගෙනත් තිබ්බ ලෑලි පෙට්ටියක්  පෙන්වලා  ‍කීවා ඔන්න ඔතනින් වාඩිවෙන්න කියලා. මම ඉතින් වාඩි වුණා. මම කීවා මම පුදුම ආසාවකින් හිටියේ ඔබතුමා දකින්න කියලා.

සිතුවමින් ඇරඹි ඒ දැනහැඳුනුම්කම කොග්ගල කලපුවේ ඔරු, පාරු, සඳ එළිය දක්වා ගිය දුරෙහි රැඳි මතක අපමණය. ඒ මතක සමුදායක් රැගෙන කොට්ටව සිරිසේනයන්ගේ ගාල්ලේ ගෙදර සිට එන සතියෙත් අපි මුණගැසෙමු.

► සංජු
    සේයාරූ - චන්න කස්සප කෝරලේආරච්චි

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05