ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරිය
රේඛාව යනු සිංහල සිනමාවේ ප්‍රථම කැරැල්ලය. ලෙස්ටර් යනු ඒ කැරැල්ල මෙහෙයවූ ත්‍රස්තවාදියාය. මහැදුරු සුනිල් ආරියරත්න එදා එසේ කියුවේ ලාබ බොළඳ පාට ඇතිල්ලූ සිනමාව අල්ලා පොළොවේ ගසන්නට හයියක් තිබූ රේඛාවේ තාත්තා ගැනය. සිංහල සිනමාවනම් දරු පරම්පරාව අතරට වෙහෙස මහන්සියෙන් විලිලා බිහිකරගත් අලුත් ජාන උරුමයක් සහිත දරුවෙකු දායාද කරන්නට සිනමාවේදී ලෙයින් පීතෘත්වය දුන් ඒ තාත්තා ඒ දරුවත් අනෙක් දරුවනුත් අපත් හැර ගොසිනි. ස්වර්ගයේ සඳළුතලය මත හිඳ ලෙස්ටර් එහි යන්නට කලින් එහි පැමිණි සගයන් හා සොඳුරු සල්ලාපයකය. රේඛාවෙන් නිධානයෙන් දෙලොවක් අතරෙන් ගම්පෙරළියෙන් සිංහල සිනමාවනම් මහපොළොව අස්වද්දන්නට දරදිය ඇදි මතක මහමෙර ස්වර්ගයේ සඳළුතලයේ හිඳ ඔහු වචන බවට පෙරළවනවා වන්නට ඇත. බොහෝ දේවල් ඉවසීමෙන් දරාගත් නිර්දය විවේචනය අත්හල ඒ සොඳුරු මානවවාදියා තමන් සුව නින්දේ සැතපෙන සඳ තමන්ගේ රනමයුර සම්මානයත් හොරකම් කරන්නට තරම් අධම වූ මිනිසුන්ගේ කැත වැඩවලට සමාව දෙන්නට කල්පනා කරනවා වෙන්නට ඇත.
ලෙස්ටර්... ඒ අප දන්නා ඔබය. ඒ ඔබ ගැන අසන්නට ඔබ ගියත් ඔබ හැර නොගිය ඔබේ සුමිතුරෙක් අපි සොයා ගියෙමු. ලෙස්ටර්... අපි කියමු... අපි ලියමු...
හිඳින තැනක හිඳ අසනු මැනව...
ලෙස්ටර්...! තිස්ස ලියනසූරිය... පුංචි බබා හැදූ තිස්ස ඔබට මතකද? බොහෝ වේලාවක් බොහෝ දේවල් කතා කරද්දී ඔහුගේ දෑස් හා ඔහුගේ හඬ අපට නොපෙනෙන්නට ඔහු හඬන වග අපට ඉඟි කළේය. කවදා කොතැනකදී කෙසේ ඔබට ලෙස්ටර් හමුවීදැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.
“මට ඉස්සරෝම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයව අඳුරගන්න ලැබුණේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්තයාගේ මාර්ගයෙන්. මුලදී මම පාසල් යන කාලෙදී 1952 දී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්තයා එක්ක සම්බන්ධවුණා. එතකොට එතුමා ලංකා ගුවන් විදුලියේ බාහිර නාට්‍ය දෙබස් රචකයෙක් විදිහට කටයුතු කළා. මම ඒ කාලේ එතුමා මුණගැහිලා එතුමාගේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඔහොම ඉන්න අතරවාරෙදී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්තයා ලෙස්ටර් මහත්තයා එක්ක සම්බන්ධ වී රේඛාවේ දෙබස් ලිවීමේ කාර්යය කළේ. 1957 වගේ කාලයෙදී එතුමා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ සංදේශය චිත්‍රපටයේ දෙබස් හා කතාව ලියන්නට සම්බන්ධ වුණා. ඔහොම ඉන්න අතරවාරයේ ලෙස්ටර් මහත්තයට අවශ්‍ය වී තිබුණා සංදේශය චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂකවරයෙක්ව සම්බන්ධ කරගන්න.”
දිනක් ලෙස්ටර් කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගෙන් මෙසේ විමසුවේය.
“ඔබ දන්න කෙනෙක් ඉන්නවද මට සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්.” කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ මතකයට මොහොතකින් පැමිණියේ තමන් හොඳින් දන්න අඳුරන අවුරුදු 21 ගැටවරයාය. “ඔව් ඉන්නවා හොඳ තරුණ හාදයෙක්. මම එයාගෙන් අහලා බලලා ඔබතුමාට කියන්නම්”
තිස්ස කැමතිද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා සමඟ එකතුවෙලා එතුමාගේ සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන්න...“ ඉබ්බා දියේ දාද්දී ඇන්නෑවේ කීවේලු. ගැටවර තිස්ස ඒ යෝජනාවට එකපයින් කැමති විය.
“ඔයාගේ කැමැත්ත ලැබුණටම මදි. ඔයාගෙ අම්මගෙනුත් අහන්න ඕන.”
රස්සාවකුත් නැතිව සිටි තරුණ ඉලන්දාරි පුතා ඒ මඟ යනවාට ඒ අම්මාගේ විරුද්ධත්වයක් තිබුණේ නැත. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ලෙස්ටර් ජේම්ස් පීරිස්ට තිස්ස ලියනසූරිය හඳුන්වා දුන්නේ එලෙසය.
තිස්ස - ලෙස්ටර් දිනක් හමුවිය.
“හා හොඳයි. දැනට මට අහවල් වැඩක් කියලා පවරන්න අමාරුයි. ඒ හින්දා හෙට එන්න.” “කීයටද සර්”
“පාන්දර 6.00ට විතර එන්න පුළුවන්ද?” පාන්දර 6.00ට නොව පාන්දර තුන-හතරේ කණිසමට වුවත් යන්නට සූදානම්ව සිටි තිස්ස හා පුළුවන් සර් යැයි කීවේය.
“හා එහෙනම් ඒ වෙලාවට එන්නකෝ”
සතුට වැඩිකමට පාන්දර නොඇහැරේවියැයි හිතේ දැල්වුණු බියට තිස්ස ලියනසූරියට එදා රෑ හරිහැටි නින්දක් නොවීය. කාසල් වීදියේ ගෙදර සිට පාන්දර 5.00 බස් රථයෙන් තිස්ස දෙහිවල පදිංචිව සිටි ලෙස්ටර් ජේම්ස් පීරිස් සොයා ගියේය. හයට මිනිත්තු ගණනක් ඉතිරිය. වටපිටාව මඳ අඳුරකය. ද්වාරයත් වැසූ ගමන්මය. තිස්ස නිහඬවම ඉදිරිපස තිබූ පුටුවේ වාඩිවී ලෙස්ටර් සර් එනතුරු බලාසිටියේය. ටික වෙලාවක් යද්දී බ්‍රාස්... හඬින් ඉස්සර දොර ඇරුණා, කෙනෙක් එළියට ආවා. මම ඔළුව හරවලා බලද්දී ඒ ලෙස්ටර් සර්.
“හා... ඔය ළමයා ආවද?” “ඔව් සර් මට හයට එන්න කීවනේ. ඒ නිසා කියපු වෙලාවට මම ආවා.” “ඔය ළමයා බලාපොරොත්තු වෙච්ච වැඩේ අද උදේ වරුවේ කෙරෙන්නෙ නෑ. හවසට එන්න.” “හවස කීයටද සර්” “හවස 4.00ට විතර...”
ගෙදර පැමිණි තිස්ස හවස හතර වෙද්දී යළිත් එහි ගියේය.
“මේ වෙලාවේ කරනවට වඩා හෙට කරන්න තියාගමු ඒ වැඩේ. එහෙනම් හෙට උදේ 6.00ට එනවද?” “ඔය විදිහට ලෙස්ටර් මහත්තයා තිස්ස මහත්තයව දවස් කීයක් රස්තියාදු කළාද?” අපි කතාව මැද්දට පැන්නෙමු. ඔය විදිහට දවස් තුන හතරක් මම එන්න කීවාම එනවා. යන්න කීවම යනවා. එතුමා මට වැඩක් දුන්නෙ නෑ. මම හිතුවා මේ වැඩේ හරියන්නෙ නෑ... කමක් නෑ කියලා දවසක් හිතුවා අද ගිහින් බලනවා කියලා. හිතලා ගියා.
“ගියාම ආ ආවද මේ ළමයා. හා එහෙනම් මම පොඩි වැඩක් දෙන්නම්. සංදේශයේ රිහසල්වලට අරගත්තු නළු නිළියන්ගේ කොස්ටියුම් ටික හැමතැනම දාලා තියෙනවා. දැන් මේ ළමයට තියෙන්නේ ඒ කොස්ටියුම් ටික අරගෙන ඒවා මිදුලට දාලා හොඳට වේලන්න...” ලෙස්ටර් සර් තිස්සට දුන්න පළමු රස්සාව එයය.
අද ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන තිස්ස ලියනසූරියගේ ගමන් මඟේ ඇරඹුම සංදේශයේ රෙදි වේලිල්ලය. ඒ වේලිල්ල තිස්ස කී ලෙසම කළේය. ඊළඟට ලෙස්ටර්, තිස්සට තවත් රාජකාරියක් පැවරැවේය. ඒ සංදේශය තිරපිටපත ගෙන ඒ චරිත පෙනීහිඳිනා ජවනිකා අනුව අංක යොදා ඒ රෙදි හොඳින් පැක්කර තැබීමය.
“හා සර්... යැයි කියමින් රෙදි කට්ටඅව්වේ වේලෙනතුරු පැත්තකට වී බලාසිටි තිස්ස පැවරූ කාරිය මැනවින් ඉටුකළේය.
“හොඳයි එහෙනම් අපි හෙට අනිද්දට යනවා බෙලිහුල් ඔයේ.. එහෙ තමා චිත්‍රපටයේ හුඟාක් වැඩ කරන්නේ. සෑහෙන කාලයක් ඉන්න වෙනවා වැඩේට ගියාම. කැමතිද පුළුවන්ද මේ ළමයට එච්චර දුර එන්න.” “කිසි ප්‍රශ්නයක් නෑ මට පුළුවන් සර්...”
තිස්ස ලියනසූරිය සංදේශයේ කොටස්කරුවෙකු වූයේ එලෙසය. විලී බ්ලේක් එහි නිෂ්පාදන අංශයේ කටයුතු බලාකියා ගත්තේය. විලී බ්ලේක් සිනමාස් ආයතනයේ ගුණරත්නම් මහත්තයාට කීවේ තිස්ස සංදේශයේ සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස බඳවාගන්නා බවත් ඔහුට වැටුපක් ලබාදිය යුතු බවත්ය. තිස්ස ලියනසූරියගේ සිනමා ආගමනයේදී ඔහු ලද මුල්ම වැටුප එයයි. රුපියල් එකසිය විසිපහක වැටුපක් ඒ අනුව ඔහුට මසකට හිමිවිය. විජේ අබේදේව, සුමිත්‍රා ගුණවර්ධන, තිස්ස ලියනසූරිය සංදේශයේ සහාය අධ්‍යක්ෂවරු වූහ.
“මට බෙලිහුල් ඔයේ ඇවිත් මාස හත අටක් ඉන්නටනම් පුළුවන්කමක් නෑ. මට ගුවන් විදුලියේ ස්ථිර රස්සාවක් ලැබුණා විතරයි. ඒක දාලා කොහොමද එන්නේ...” ඒ දුක් ගැනවිල්ල රැගෙන ආවේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාය. “පිටපතේ දෙබස් ලියලා තියෙන්නේ ඔයානේ. දැන් ඉතින් ඔයා නැතුව කොහොමද මේක කරන්නේ... ඒක ප්‍රශ්නයක්නේ.” “ලෙස්ටර් මහත්තයා ඒ වැඩේත් මේ තරුණයාට බාරදෙන්න. තිස්ස ඒක හොඳින් කරයි. මම ඒක වගකීමකින් පවරන්නේ... ඔහු ඒක ප්‍රශ්නයක් නැතුව කරයි. ඒ නිසා පිටපත ඔහුට දෙන්න. දෙබස් මෙහෙයවීම ඔහු අතින් කෙරෙයි. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයක් ඇතිකරගන්න එපා..”
“ඒ අට මාසය හමාර වෙද්දී ඔබ දැන හඳුනාගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් කොයිවගේ මනුස්සයෙක්ද?”
“හරිම සුන්දර මනුස්සයෙක්. හරිම කරුණාවන්ත, හරිම ඉවසීමෙන් කටයුතු කරන ලේසියෙන් තරහ නොගන්න යම්දෙයක් කියලා දෙද්දී හිමීට ළඟට ඇවිත් කියන්න ඕන කෙනාට එය හිමින් කියාදෙන, කෑකෝගහලා හඬ නඟලා කාටවත් අණදෙන්නෙ නැති කෙනෙක්. තරහ ගිය අවස්ථා එකක් දෙකක් තිබුණා. ඒත් තරහ හිතේ තියාගෙන හිටියේ නැති කෙනෙක්...” “හරිම ලස්සනට පිළිවෙළට එතුමා ඇන්ඳා වගේම හරි තේජවන්ත ගතියක් තිබුණා. ලෙස්ටර් සර් සෙට් එකට එද්දී අපි නිකම් ගල්ගැහිලා වගේ බලන් හිටියේ. දුම් පයිප්පයයි තොප්පියයි කවදාවත් එතුමා ළඟ නැති නොවුණු දෙයක්...” “අපි බෙලිහුල් ඔයේදී නැවතී හිටියේ පොල්අතු සෙවිලි කළ මඩු දෙකක. ප්‍රධාන නිළිය කාන්ති ගුණතුංග, එඩී ජයමාන්න වගේ කීපදෙනෙක්ට බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එකේ ඉන්න සලස්වා තිබුණා. ජීවරාණි, ශාන්තිලේඛා වගේ අයට අපේ ලොජ් එක උඩ පොඩි ගේ අපි ලෑස්ති කරලා තිබුණා. ලෙස්ටර් මහත්තයයි, විලී බ්ලේක් දෙන්නා හිටියෙත් අපි හිටිය ලොජ් එක ළඟම වෙන කුටියක. ලෙස්ටර් කියන්නේ වැඩිය සිංහල හුරු නැති “හයික්ලාස්” විදිහට ඉන්න කෙනෙක්. ලෙස්ටර් හරියටම නොදන්න නොහඳුනන බොහෝ අය ලෙස්ටර් ගැන සිත්තම් කළ ප්‍රතිරූපය එයයි.
“නෑ... ඒක වැරදියි... එතුමා එහෙම අහංකාර විදිහට හිතපු හයික්ලාස් විදිහට ජීවත්වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. හරි සරලයි. නිරහංකාරයි. එතුමට සිංහල කතා කරන්න ටිකක් අපහසුයි. ඒත් සිංහල හොඳට තේරුම්ගන්න එතුමට පුළුවන්. සිංහලෙන් දෙබස් කියද්දී ඒ දෙබස් හොඳද නරකද කියලා කියන්න එතුමට පුළුවන්කම තිබුණා. සමහර තැන්වලදී එතුමාගේ ඔළුවට අලුත් යමක් ආවම අලුත් ජවනිකාවක් ලියන්න ඕන වුණාම මට කතා කරලා කීවා මෙන්න මේ වගේ සීන් එකකට දෙබසක් ඕන කියලා. මාත් ඉතින් ලියාගෙන යනවා. ඒ වගේ එක අවස්ථාවක මට කීවා මේ අවස්ථාව ඇවිත් සිංහල කැරලිකාරයෝ ඉන්නේ කැලේ. ඒ කැරලිකාරයෝ රාත්‍රියේ බලකොටුවට පැනලා බලකොටුවෙ තියෙන තුවක්කු ඔක්කොම රැගෙන යනවා. වෙච්ච වැඩේට පෘතුග්‍රීසි කපිතාන්ට හොඳටම කේන්ති යනවා. මේ වෙච්ච වැඩේට තරහ ගිය කපිතාන්වරයා සොල්දාදුවන් පෝලිම් ගස්සවලා ඔවුන්ට හොඳටම බණිනවා. ඒකට ගැලපෙන දෙබස් ලියන්න කියලා මට කීවා. මම එදාම රාත්‍රියේ දෙබස් ලියලා පහුවදා උදේම ගිහින් දුන්නා. ඒ යද්දී ලෙස්ටර් මහත්තයා එයාගේ ලොජ් එක ඉස්සරහා තිබුණ පොඩි ගහේ කණ්ණාඩියක් එල්ලගෙන රැවුල බබා ඉන්නවා.
“ආ ලිව්වද?” “ඔව් මම ලියාගෙන ආවා.”“කියවන්නකෝ බලන්න” ඒ මොහොතේ එතැනට කපිතාන්වරයාගේ චරිතයට පණදෙන ආතර් නම් නළුවාද පැමිණියේය. “ආ කියවන්නකො එහෙනම් ආතර්ටත් ඇහෙන්න ඔයා ලියපුවා.” තිස්ස කියවාගෙන කියවාගෙන ගියේය. ඒ දෙබස් ලෙස්ටර්ටත් ආතර්ටත් කදිමට ගැලපී ගියේය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් අපූරු සිනමාවේදීයාට, පෙර නොවූ විරූ යන අරුත් ඇති අපූර්ව යන වචනය සැබැවින්ම ගැලපුණේය. ඒ සිනමාවනම් මාධ්‍ය හැසිරවීමේදී ඔහු කැමරා අධ්‍යක්ෂකගේ භූමිකාවේද අසහාය නිපුණයෙක් වූ නිසාමය. කැමරා කෝණ ගැන කතා කරන කොට රූපගත කරන ස්ථානයේදී ඒ ජවනිකාවට අවශ්‍ය කැමරා කෝණය තෝරාබේරාගැනීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාට වඩා හොඳින් කරන්න පුළුවන් කෙනෙක් ගැන මම නම් දන්නෙ නෑ. ඔහු කැමරාව මේ තැන තියලා දර්ශනය ගන්න කීවොත් ඒ තැන තමා හරිම තැන. ආය කාට බැලුවත් ඊට වඩා හොඳ තැනක් හොයන්න බෑ. සිංහල සිනමාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ කැමරා කෝණ ගැන අවබෝධයක් තිබුණ වෙනත් අධ්‍යක්ෂකවරයෙක් නෑ. මම ලෙස්ටර් මහත්තයා එක්ක වැඩ කළේ සංදේශය චිත්‍රපටයේ පමණයි. මම ලෙස්ටර් මහත්තයාව හඳුන්වන්නේ පන්සලේ සිනමා අධ්‍යක්ෂක කියලා. එතුමාගේ සමහර චිත්‍රපට ඔස්සේ බෞද්ධ දර්ශනය, බුදු දහමේ පදනම දිගහැරුණා. රේඛාව චිත්‍රපටය නරඹද්දී මතකයට නැගෙනවා නන්දා මාලිනියගේ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ කියන ගීතය. අටලෝ දහම ගැන ඉන් කියවෙනවා. තමන් දන්න දේ ලෙස්ටර් මහත්තයා වචනවලින් කීවේ නෑ. එසේ නොකියා අපට වටහා ගන්න ඉඩ හැරියා.
ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් පරිණත සිනමාවේදියා ඇසුරේ ලද අත්දැකීම් සමුදාය මෙන්ම නෙක සිනමා කියවීම් ඇසුරේ ලද සියලු උද්දීපන ඔස්සේ බිහිකළ තිස්සගේම පළමු සිනමා සඳ පුංචි බබාය. සල්ලි මෙතෙක් ඕනැයි නොඉල්ලමින් දුන් රුපියල් එක්දහස් හත්සිය පනහට, පළමු ප්‍රධාන චරිතය රඟපෑ මාලිනි ෆොන්සේකාගේ සිනමා සම්ප්‍රාප්තියේ ඇරඹුමද එතැනය. සංදේශයේ සහාය අධ්‍යක්ෂ ගැටවරයා තිස්ස සිනමා ලෙයින් තමන්ගේම දරුවන්ට පණ දෙද්දී ගුරු ලෙස්ටර් අප්‍රමාණ සන්තුෂ්ටියට පත්වූයේය. තිස්සලා වැනි භක්ත්‍යාදර ශිෂ්‍යයන් මෙන්ම මූසිලලා වැනි සිසුන් මුණගැසුණද ලෙස්ටර් මාස්ටර් කවදාවත් ගුත්තිල සම්ප්‍රදායේ ඇඳුරෙක් වූයේ ද නැත.
සංදේශයෙන්, බෙලිහුල් ඔය නවාතැනෙන් සහාය අධ්‍යක්ෂකකමේ කටයුතු අවසන්ය. එහෙත් ජීවිතයේ ඇතැම් බැඳීම් අහම්බයක් නොව, සංසාරගත බැඳීම්යැයි හදවතින් කොතැනකදෝ ගැඹුරටම දැනෙන සඳ තනතුරු හමාර වූ පමණින් බැඳිම් කෙළවර කළ හැකිද?
තිස්ස - ලෙස්ටර් හමුවට ගියේ එහෙයින් විය යුතුය.
“ලෙස්ටර් මහත්තයා... සහාය අධ්‍යක්ෂකකම ඉවරවුණා. ඒත් මම ඔබතුමා එක්ක දිගටම වැඩ කළාට කමක් නැද්ද?”
“හා කමක් නෑ... කමක් නෑ... ඔබ දිගටම වැඩ කරගෙන යන්න. දැන් ගෙවන ගෙවීමත් ඒ විදිහටම ගෙවන්න මම කටයුතු සලස්වන්නම්... ආ වැඩ කරන්න තිස්ස.”
තිස්ස ටයිටස් තොටවත්තයන් ඇසුරේ සහාය සංස්කාරකවරයකු ලෙස සංදේශය සංස්කරණයට උරදුන්නේ එලෙසය. එතෙකිනුත් නොනැවතී වර්ණ රසායනාගාරයටද තිස්ස රිංගුවේය. සැබැවින්ම සංදේශයේ සියලු ලේ නහර තිස්ස ලෝභ සිතින් සිම්බේය. පුංචි බබා, සාරවිට, නාරිලතා, හොරුන්ගෙන් හොරු, ගැටවරයෝ වැනි සිනමා සිත්තම් තිස්ස ලියනසූරියගේ ගමන් මඟ සිත්තම් කරද්දී, ඒ ඇතැම් සිනමා ඇගයීම් වෙනුවෙන් සම්මාන ලෙස්ටර් අතින්ම තිස්ස වේදිකාව මතදී දෑතට ගනිද්දී ලෝබ සිතින් තොර ස්නේහ සිතින් සංදේශයෙන් සිනමා අහස සරන්නට විවරණ ලද තම ගෝලයාට ඔහු සැබෑ ගුරුවරයෙකු ලෙසින් ගුරුහරුකම් දුන්නේය. දිව්‍යමය හදවතින් ආශිර්වාදය පිරිනැමුවේය. ලෙස්ටර්... ජීවිත පුස්තකයේ පරිච්ඡේද 99 ක් කියවූයේ වර්ෂයන්ගෙන් පමණකැයි මට සිතේ. හදවතින් ඔහු මියැදෙන මොහොත දක්වාම තරුණයෙක්ව සිටියේය. විමුක්ති ජයසුන්දරලාගේ, අශෝක හඳගමලාගේ, ප්‍රසන්න විතානගේලාගේ පරම්පරා සමඟ කොන්දේසි විරහිතව මුහුවෙන්නටත් ඔවුන්ගේ සිතුවිලි අවකාශ නිදහස් මානයක හිඳ සිඹ බලා විඳගන්නටත් 99 වියැති ලෙස්ටර්ට හැකිවූයේ එනිසායැයි මම විශ්වාස කරමි.
යම් සිනමා කෘතියක අඩුපාඩුවක් තිබුණානම් එතුමා කීවේ මට හිතෙනවා මේක මේ විදිහට තිබුණානම් හොඳයි කියලා. ඒක කීවේ හරිම මානුෂීය විදිහට. අනිත් එක කිවයුත්ත කීවේ කිවයුතු කෙනාටමයි. මේක මෙහෙම කළානම් හරි. ඔයා කරලා තියෙන විදිහ හරි නෑනේ වගේ වචන කවදාවත් එතුමා පාවිච්චි කළේ නෑ. මම හිතන්නේ මේක මෙහෙම වුණානම් හොඳයි ඔයා පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා බලන්නකෝ. අන්න එහෙමයි එතුමා කාට වුණත් දෙයක් කීවේ. එහෙත් අසාධාරණ තීරණාත්මක අවස්ථාවල එතුමා දැඩිව කතා කළ අවස්ථා තිබුණා. ඒත් මම සියල්ල දන්න මිනිහෙක් කියන පුහු අහංකාරයක් අධිමානසිකත්වයක් එතුමා ළඟ තිබුණෙ නෑ. ඒත් ඒ සුන්දර මිනිසාව හුඟාක් අය ඒ සුන්දර විදිහට දකින්න නැතුව ඇති. ඔහු විටෙක පුංචි දරුවෙක් තරමට සංවේදියි. ඔහුගේ ගෙදර දොර ඕනෑම පරාසයක නිර්මාණවේදියෙක් වෙනුවෙන් ඔහු විවෘත කළා.
සංදේශය චිත්‍රපටය කරද්දී මුලදි මමත් එතුමා ළඟට කතා කරන්න යන්න බයවුණා. ඒ එතුමාගේ ප්‍රතාපවත් ගතිය නිසා. මට මතකයි සංදේශය කරන කාලේ හවසට වැඩ කටයුතු ඉවර වුණාම හවසට ඔහු හාංසිපුටුවක් තිබුණා, ඒකේ නිදහසේ ඉඳගෙන තේකක් බිබී ඉන්නවා. ඒ වෙලාවට අපට ප්‍රශ්න තියෙනවනම් අපි ඒවා ගැන කරනවානම් එතුමා හරි කැමතියි. කිසිම කරදරයක් කියලා නොහිතා එතුමා ඒ ප්‍රශ්න අපට ලස්සනට ලිහලා දෙනවා.
රේඛාව චිත්‍රපටයෙන් පසුව ලෙස්ටර්ට ආපු ලොකුම විවේචනය තමා ඒ වගේ කලාත්මක චිත්‍රපට ලංකාවට වැඩක් නෑ. ඕනෑ වාණිජ චිත්‍රපට කියන එක. ඒ අපූරු විවේචනයට ඔහු දුන්නෙ අපූරු උත්තරයක්. වසර තුන හතරක නිහඬතාවයකින් ඔහු ඊට දුන්න උත්තරය තමා සංදේශය. සංදේශය අතිසාර්ථක වාණිජමය චිත්‍රපටයක් වුණා. මට මතකයි සිනමාස් එකෙන් ඒ චිත්‍රපටයේ පිටපත් එකසිය ගණනක් ගැහුවා. මුල් ප්‍රදර්ශනය චිත්‍රපට ශාලා හයක දින 100 ක් දිවුවා. ඒ අවධියේ සිනමාස් සමාගමට වැඩිම ආදායමක් උපයා දීපු චිත්‍රපටය වුණේ සංදේශය. ලෙස්ටර් සර් එහෙමයි විවේචනවලට උත්තර දුන්නේ.
අපි බලන්නෙ ඉංග්‍රීසි චිත්‍රපට විතරයි. සිංහල චිත්‍රපට කසිකබල් කියන මතයේ හිටපු ප්‍රේක්ෂකයෝ එතුමා සිංහල චිත්‍රපට බලන ප්‍රේක්ෂකයන් බවට පරිවර්තනය කරගත්තා. ඔහු සිනමාවේදියෙක් වගේම සිනමා පර්යේෂකයෙක්. ලෙස්ටර් සිනමාවේදියෙක් කරන්න මුල්ම කැක්කුම ආවේ ක්‍රිස්ටෝපර් කියන එයාගේ ඥාති සහෝදරයට. ලෙස්ටර් මහත්තයාට වෘතාන්ත චිත්‍රපටයක් හදන්න මුලින්ම බලකළේ එයා. “මට කියන්න එපා මට බෑ බෑ බෑ වෘතාන්ත චිත්‍රපට හදන්න” ලෙස්ටර් මුලින්ම එහෙම උත්තර දෙද්දී එහෙම කියන්න එපා කිය කියා පෙරැත්ත කරපු ක්‍රිස්ටෝපර් අන්තිමේදී ලෙස්ටර්ව චිත්‍රපටයක් හදන්න කැමති කරවාගත්තා.
ඒ සිතැඟි එසේ නොඉපදුණේනම් රේඛාවට, නිධානයට, රන්සළුවට, දෙලොවක් අතරට, ගම්පෙරළියට උපදින්නට තාත්තා කෙනෙක් නැතිවෙන්නට තිබුණි.
එහෙත් සිනමාවේදියෙක් වීම ගැන ඔහු කෙදිනකවත් පසුනොතැවුණේය.
රේඛාවට, නිධානයට, ගම්පෙරළියට, රන්සළුවට තාත්තා වූ ලෙස්ටර්, සුමිත්‍රාට සස්වාමික වූ ලෙස්ටර් තම ලෙයින් සුජාතක දරුවෙකුට තාත්තෙක් නොවුණේ ඇයි?
“ලෙස්ටර් කවදාහරි දවසක් තිබුණද ඊට හේතුව ජීවිතය බෙදාහදාගත් ළඟම මිතුරෙක් එක්ක කතා කළ..”
“නෑ.. කවදාවත් ඒ ගැන මාත් එක්කනම් කතා කරලා නෑ. හැබැයි ලෙස්ටර් මහත්තයා පුංචි දරුවන්ට හරි ආදරෙයි. පුංචි අය දැක්කම ඔළුව අතගාලා කතා කරනවා. ඒ වගේම පුංචි අයත් ලෙස්ටර් මහත්තයට ඉක්මනින් ආකර්ෂණය වෙනවා. ඔඩොක්කුවේ ඉඳගෙන ඇඟේ දැවටි දැවටි කතා කරනවා.”
සියක් ආයු ලබන්නට සියක් ආයු විඳින්නට තිබූ අවකාශයේ ලෙස්ටර්ට අතහැරුණේ දින තුන්සිය හැටපහකටත් අඩු කාලයකි. කොතෙක් කල් ආයු විඳ හැරගියද ජීවිතයේ කොතැනක හෝ සිටි ආදරණීයෙක් සමුගැනීමේ වේදනාව නොදැනෙන්නට හැටියක් නැත.
“කොහොමද ඒ වේදනාව වචනවලට එකතු කරන්නේ.” කඳුළු නොඑන්නට තිස්ස ලියනසූරිය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයා අප ඉදිරියේත් ඉකිගැසුවේයැයි මට සිතුණි. “මම සංසාර බැඳීම් විශ්වාස කරනවා. එතුමා මට සංසාර මඟ පුරා හමුවූ මිත්‍රයෙක් ගුරුවරයෙක් කියලා මම විශ්වාස කරනවා. එතුමා අසනීපව සිටියදී මම නිතරම එතුමා බලන්න ගියා. මට එතුමා මගේ ජීවිතයේ කොටසක්. ඒ තමා ඒ බැඳීම හඳුන්වන්න පුළුවන් හොඳම වචනය.
චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ කරද්දී මට එතුමා කරපු උදවු උපකාර මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම රජයේ චිත්‍රපට අංශයට බැඳිලා කටයුතු කරන කාලයේ මට ලොකු පඩියක් නෑ. එතුමා මට ආර්ථික ප්‍රශ්න තියෙන බව දැනිලා හැමවිටම උත්සාහ කළා සිනමාවේ මට තැනක් හදලා දෙන්න. එතුමාට ලැබෙන චිත්‍රපට කරන්න ලැබුණු අවස්ථා තිස්ස ඒක හොඳට කරයි කියලා මට බාරදුන්නා. මට මුදල් අමාරුකම් තියෙන අවස්ථාවල එතුමා මට අවස්ථා හදලා දීලා උදවු කළා. අද මම මෙහෙම පොළොවේ පයගහලා ඉන්නේ එතුමා නිසා. 1991 මම විශ්‍රාම යද්දී ලංකාවට ආව ජර්මන් චිත්‍රපට සමාගමට ලෙස්ටර් මහත්තයා මාව සම්බන්ධ කළා. මට ආර්ථිකව ශක්තිමත් වෙන්න ඒ අවස්ථාව ලොකු පිටිවහලක් වුණා. ඒ තමා කවුරුත් නොදුටු එතුමාගේ බෝධිසත්ව ගුණ. මම එතුමාට තිබුණු ඒ ණයගැති බව නිසාම තමා මට පුළුවන් හැමවෙලේම එතුමාව බලන්න ගියේ. මම එතුමා හමුවී නැවත එන්න හැරුණු හැම දවසකම එතුමා මගේ අත්දෙක අරන් ඒ අත්දෙක ඉම්බා. එතුමා හරි සංවේදියි. විශේෂයෙන්ම සංදේශය චිත්‍රපටය කරද්දී වෙච්ච දේවල් මතක් කළා. තිස්ස ඔයා මෙහෙම කළා, අරහෙම කළා කියලා කිය කියා ඒ අතීතය වින්දා.
ලෙස්ටර් මහත්තයා වයසට ගියේ වයසින් විතරයි. හදවතින් ඔහු හැමදාම තරුණයි. අන්තිම කාලයේ මම හමුවෙන්න ගියාම ලෙස්ටර් මහත්තයා මට කීවා, තිස්ස මම දැන් හුඟක් දුර්වලයි, මට කන්නත් බෑ, නිදාගන්නත් බෑ, මට හිතෙනවා දැන් මට යන්න කාලය ඇවිත් කියලා...
මම හිතුවා ලෙස්ටර් මහත්තයා අවුරුදු 100 ක් ජීවත් වෙයි කියලා. මම අන්තිමට යැවුව උපන් දින කාඩ්පතේ 99 ලොකුවට ලීවා අවුරුදු 100 උපන් දිනයත් අපිට සමරන්න ඕන කියන ඉඟිය දෙන්න...
තිස්ස ලියනසූරිය ප්‍රවීණ සිනමාවේදියා, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ජීවන සුවිසැරියේ ළඟින්ම උන් ආදරණීය මිත්‍රයා එසේ කියද්දී දවසක් දා මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර මෙසේ කියා තිබුණේය.
ආවොතින් යා යුතුය
නොගොසින් යළි එන්නට බැරිය
ලොව ඇත්තේ
යාම් ඊම් පමණි
► සංජු
සේයාරුව I සුමුදු හේවාපතිරණ