2018 මැයි 05 වන සෙනසුරාදා

ලෙස්ටර් අභාවයේ කම්පාවෙන් පස්සේ අවමානය?

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

බල්ලන් මරා හෝ සල්ලි හොයන්නට සිතන මිනිසුන්ට තැනක් නොතැනක් නැත. තමාගේ අරමුණ ඉටුවන්නේ නම් ඕනෑම පහත් වැඩක් කරන්නට ඔවුහු පෙළඹෙති. ඇතැමුන්ගේ හැදියාව, චර්යාව කොතරම් ගෝත්‍රිකවාදීදැයි කියා පාන්නට ආසන්නතම සිදුවීමකි මේ. හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අතරතුර ඔහුට ඉන්දීය නවදිල්ලි සිනමා උළෙලේදී රණමයුර සම්මානය ලැබීමෙන් පසුව පිදුණු රන් පදක්කම සොරා ගැනීම එතරම් පිළිකුල් සහගතය.

ලෝකයේ අද්විතීය සිනමාවේදියකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම සම්මානය ලෙස්ටර් සිනමාවට කළ මෙහෙවර අගය කරනුවස් ඉන්දියාවෙන් ප්‍රදානය කෙරිණි.

ආචාර්ය ලෙස්ටර් පේම්ස් පීරිස් මහතාගේ දේහය නිවසේ තබා තිබියදී ඔහුට අවසන් බුහුමන් දක්වන්නට පැමිණි ජනතාව බොහෝය. ඔවුන්ට පෙනෙන පරිදි ලෙස්ටර් මහතාට ඉන්දියාවෙන් ලැබුණු පදක්කම දේහය පසෙකින් තබා තිබුණි. ඒ එතුමාගේ කලා ජීවිතයට උපහාරයක් ලෙස සහ රටක් වටින සම්මානයක් නිසාය. ඉකුත් 2 වැනිදා පෙරවරුවේ ලෙස්ටර් මහතාගේ දේහය අවසන් වරට නිවසේ තැන්පත් කර තිබුණු අතර, එදින පෙරවරු 10.30ට පමණ දේහය නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යන්නට  සූදානම් කෙරිණි. ඒ අවස්ථාවට විශාල ජනතාවක් එහි රැඳී සිටි අතර එම මොහොතේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව අදාළ පදක්කම තිබූ ස්ථානයෙන් අතුරුදන්ව තිබිණ.

මේ පිළිබඳ දැනගත් වහාම ලෙස්ටර් මහතාගේ ඥාතියෙක් වන යදාමිණී ගුණවර්ධන විසින් දුරකථන මාර්ගයෙන් ඒ පිළිබඳව පැමිණිල්ලක් බම්බලපිටිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කළේය. ඒ මොහොතේම සිදුවීම පිළිබඳ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතාටත් දන්වා තිබුණි. ඒ වනවිටත් අතුරුදන් පදක්කම සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායමක් කොළඹ 05 පිහිටි  ඒ මහතාගේ නිවසට ගොස් තිබූ අතර, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා එම සංස්ථාව භාර අමාත්‍යවරයා මෙන්ම නීතිය සාමය සහ රාජ්‍ය පරිපාලය හා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබංඩාර මහතාට ඒ බව දන්වා තිබුණි. එහිදී වහාම පියවර ගත් අමාත්‍යවරයා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණේ සිදුවීම පිළිබඳව වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙසය. ඒ අනුව වාර්තා වන්නේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ අදාළ විමර්ශන කටයුතු කෙරෙන බවය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා පැවසූ ආකාරයට දේහය නිවසින් රැගෙන යන්නට මත්තෙන් විශාල පිරිසක් නිවසේ රැඳී සිට ඇති අතර පෙරවරු 10 – 10.30 අතර කාලයේදී යම් අයෙක් විසින් මෙකී සොරකම සිදු කරන්නට ඇති බවට සැක කෙරේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙම පදක්කමේ මූල්‍යමය වටිනාකමකටත් වඩා ඇත්තේ සමරු තිළිණයක් වශයෙන් ඇති වටිනාකමක් බවය. මේ හේතුවෙන් ලෙස්ටර් මහතාගේ ඥාතීන් හා ප්‍රවීණ නළු නිළියන් මෙන්ම පොලීසිය ද ඉල්ලා සිටින්නේ අතුරුදන් පදක්කම පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් නොපමාව ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කරන ලෙසය.

පදක්කම අතුරුදන් වීම සමඟ තවත් වාර්තා වූ කරුණක් වන්නේ නිවසේ තිබූ ලෙස්ටර් මහතාගේ වටිනා ජංගම දුරකථනයක් සහ මුදල් පසුම්බියක් ද සොරාගෙන ඇති බවය. ලොවක් පිළිගත් ආදරණීය ලෙස්ටයර් මහා සිනමාවේදියා ලොවින් සමූගත් මොහොතේ කළ මේ අවමානය සමස්ත කලාවටම වූ මහා විනයකි. අවමානයකි. රටක් ලෙස ලද අපකීර්තියකි. 

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05