2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

මේක යක්ෂයාගේ කම්හලක්... හොරණ බැල්ලපිටිය ජනතාව කියති

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

සිත් සනසන ලස්සන ගීත, ටෙලිනාට්‍ය, චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් මෙන්ම නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම් රාශියක සුන්දර පසුබිම ඈත එපිට නොව කොළඹට නුදුරින් පිහිටි ලස්සන ඉසව්වකි. කොළඹ නගරයේ සිට පැයකටත් අඩු කාලයකින් යා හැකි සොබාදහමේ අපූරු ගහකොළ, ඇළ දොළ, කුඹුරුයාය පිරුණු සුන්දර පරිසරය හොරණ ප්‍රදේශයට ආගන්තුක නැත. මේ සුන්දරත්වය යටකරගනිමින් එම ගම් පළාතෙන් ඉකුත් දා අසන්නට ලැබුණේ අවාසනාවන්ත කතා පුවතකි. හොරණ බැල්ලපිටිය ප්‍රදේශයට ගිය අපට ඒ අවාසනාවන්ත කතාව මැදින් අසන්නට ලැබුණු තවත් පුදුම සහගත සැඟවුණු තොරතුරක් අනාවරණය කළේ එහි ගම්වාසීන්ය.

ඔවුන් පැවසූ කරුණු අනුව අප්‍රේල් පළමු වැනිදා රාත්‍රියේ එම ස්ථානයේ දෙවොල් මඩු ශාන්තිකර්මයක් පැවැත්වෙමින් තිබූ අතරතුර එක් පුද්ගලයෙක් හදිසියේ ජීවිතක්ෂයට පත්වූ බවට ලැබුණු ආරංචියක් ලැබී තිබේ. එසේම ඔවුන් අතර සිටි නර්තන ශිල්පීන්ට පවා හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයක් ඇතිවූ බවද දැනගන්නට ලැබී තිබේ. මේ සිදුවීම් වී තිබුණේද ඉකුත් දා ජීවිත පහක් එකට බිලිගත් ඇමෝනියා වළ පිහිටි ස්ථානයේදී බවද කියති.

මේ ඛේදවාචකයෙන් පසුව බැල්ලපිටිය ප්‍රදේශයේ සංචාරය කළ අපට දකින්නට අසන්නට ලැබුණු ජනතා ගැටලු, පාරිසරික ගැටලු මෙන්ම බරපතළ පාරිසරික විනාශය පිළිබඳව මෙසේ අනාවරණය කරමු.

පස් දෙනකුට ජීවිත අහිමි කළ අනාරක්ෂිත ඇමෝනියා ටැංකියක් සහිත අවිධිමත් අයුරෙන් පවත්වාගෙන ගිය රබර් කර්මාන්ත ශාලාව හේතුවෙන් මියගිය අය අතර දෙදෙනෙක් වන ආරියපාල සහ රසික යන අය කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වූහ. සිද්ධියෙන් මියගිය සෙසු තිදෙනා කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවෝ වෙති. බැල්ලපිටිය සුසාන භූමිය ඉදිරිපිට නිවස තවමත් සුදුකොඩි හා ශෝක ප්‍රකාශ සහිත බැනර්වලින් වැසීගෙනය. එහි ගිය අපට මියගිය දිලිප් කසුන් ලොකුපතිරගේ (33) යන අයගේ මෑණියන් ඇඬූ කඳුළින් කීවේ මෙවැන්නකි.

මම මේ කතා කරන්නේ මගේ පුතා වෙනුවෙන් විතරක් නෙවේ. අහිංසක දරුවෝ හැමෝම වෙනුවෙන්. අපට දේශපාලනය අවශ්‍ය වැඩක් නෙවේ. මනුස්සකමයි තියෙන්න ඕනෑ. මේ තරම් විනාශයක් සිද්ධවෙලා තියෙනවා. කවුද ඔය නරක වැඩවලට උදව් කරන්නේ? කවුද මේකට අවසර බලපත්‍ර දුන්නේ? මට මගේ පුතා රත්තරන් පුතෙක්. එයා එයාගේ වයසට තනිවමයි දියුණු වුණේ. අමාරුවෙන් මහන්සි වෙලා හරිහම්බ කළේ. ණයවෙලා තියෙනවා. තරැණ බිරිඳ සහ අවුරුදු 3ක දරැපැටියා දැන් බලාගන්නේ කවුද? මේ සිද්ධිය ටික දවසකින් රටේ මිනිස්සුන්ට අමතක වෙයි. ඒත් මැරුණු මිනිස්සුන්ගේ ගෑනු, දරැවෝ, පවුලේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? පුංචි පුතාට කනත්තෙදී තාත්තට වඳින්න කීවාම බෑ එතැන ඉන්නෙ තාත්තා නෙවේ වෙන කෙනෙක් කියලා වැන්දේ නෑ. දරැවා කැමති නෑ තාත්තා මැරුණා කියලා පිළිගන්න. ඒ අයගේ හිත හදන්නවත් අපට පුළුවන්ද? මේ වගේ අනාරක්ෂිත ආයතන තව රටේ ඇති. සේරම තහනම් කරවන්න ඕනෑ. ඒකට මුලින්ම මේ ආයතනය වහලා කටයුතු කරන්න ඕනෑ.

මේ ආයතනය නිසා ගමේ කුඹුරු ටික ඉවරයි. ගලන දොළ පාර විනාශ වෙලා. නාන්න සෝදන්න තිබුණු දොළ පාර ගන්න දෙයක් නෑ. මිනිස්සු මීට කලින් ඔය ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළා. අවට ගෙවල්වලට ගඳ එනවා. හුස්ම ගන්න අමාරුයි. දැන් නැතිවුණු මිනිස්සු නැතිවුණා. මේ අසරණ මිනිස්සුන්ට දරුවන්ට මොනවා හරි සුබසාධනයක් කරන්න වුවමනායි. අනුන්ගේ ජීවිත බේරන්න ගිය මේ දරුවෝ බෝධිසත්ත්වවරු.

දමයන්ති සිංහබාහු මහත්මියට සමුදුන් අප පෙර කී සිදුවීමෙන් මියගිය ලාල් පුෂ්පකුමාර මහතාගේ නිවසට ගියෙමු. එහිදී මියගිය අයගේ බිරිය මෙසේ පැවසුවාය.

එදා අපි හොරණ ගිහින් බයිසිකලයෙන් එන ගමන් ගේට්ටුව ළඟ මිනිස්සු කෑගහලා උදව් ඉල්ලුවා. මහත්තයා බයිසිකලය අතෑරලා මට ඉන්න කියල දිව්වේ. මාත් පස්සෙන් ගියා. ගේට්ටුව ඇරලා තිබුණෙ. සිකුරිටිලා නෑ. මහත්තුරැ කවුරුත් හිටියේ නෑ. මම ඇමෝනියා වළ ළඟට යද්දී  මහත්තයයි තව දෙන්නකුයි වළට වැටිලා හිටියා. දෙන්නෙක් ගොඩට අරගෙන තිබුණා. කර්මාන්ත ශාලාවේ වාහන තිබුණා. ලෙඩ්ඩු ගෙනියන්න ඒ වාහන දුන්නේ නෑ. පිට වාහනවල තමයි ලෙඩ්ඩු අරන් ගියේ. සුවසැරිය ගිලන් රථය ආවා. ඒ වෙනකම් ආයතනයේ වාහනයක් දෙන්න එතැන පාලකයන් හිතුවේ නෑ. එයාල කපටිකමට නඩු කටයුතුවලින් ඉවත් වෙන්න තමයි එහෙම කරලා තියෙන්නේ.

ඒ වාහනවල අරන් ගියා නම් එයාල අහුවෙනවා. මේක නීතියෙන් තහනම් තැනක්. අනාරක්ෂිත ආයතනයක්. එතැන ටොන් ගාණක් ඇමෝනියා ඇති. සිද්ධිය වෙලාවෙ සුවසැරිය ගිලන් රථයේ ආපු නර්ස්ලා තුන්දෙනකුටත් විෂ වායුව වැදිලා සිහි නැතිවුණා. අල්ලපු වත්තේ ගාමන්ට් එකක් තියෙනවා. එතැන වැඩ කරපු ළමයි හතරකටත් සිහි නැතිවෙලා. විෂ වායුව ගම පුරා පැතිරෙනවා. මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි ගමක් වෙනවා මෙතැන. ළිඳක වතුර බොන්න බයයි. කුඹුරැ ටික පුරන් වෙනවා. ගමේ මිනිස්සුන්ට වකුගඩු රෝග හැදිලා. සමහරුන්ට පිළිකා ඇතිවෙලා. ඔයට ගිහින් නාන්න බෑ. ඇඟ කසනවා. පළු දානවා. අක්‍රමවත් විදිහට අපද්‍රව්‍ය බැහැර කරනවා. වෙලේ සහ ඔයේ ගෙම්බෙක් මාළුවෙක් නෑ. වෙලේ වතුර බීපු හරක් හතර පස් දෙනෙක් මැරිලා තියෙනවා. කුඹුරු වැඩ කරන්න යන්න මිනිස්සු බයයි. දැන් යාය පුරන්වෙලා තියෙන්නේ. යැයි චන්ද්‍රිකා දමයන්ති (39) මහත්මිය පැවසුවාය.

ඇමෝනියා වළේ ඛේදවාචකයෙන් ලාල් පුෂ්පකුමාර මියගිය බැවින් ඔහුගේ බිරිය සිය දරුවන් සිව්දෙනා සමඟ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති. ස්ථිර ආදායමක් නැති නිවැසියන්ට ජීවත් වීම අසීරැය. මියගිය අය වෙනුවෙන් යම් සාධාරණයක් වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු සහගතව සිටිති.

මේ අතර පරිසර බලපත් රහිතව පවත්වාගෙන යන බව කියන මෙම රබර් කර්මාන්ත ශාලාව අසළ පදිංචි කාන්තාවක මෙසේ පැවසුවාය.

මේ ෆැක්ටරිය නිසා ගමේ මිනිසුන්ට ළිඳේ වතුර ටික බය නැතුව බොන්න බෑ. පරීක්ෂා කළොත් වතුර බොන්න සුදුසු නෑ කියයි. මේ ආයතනය මිනිස්සු ගැන හිතන්නේ නෑ. හිතුමතේට වැඩ. අපද්‍රව්‍ය ඇළට හරවනවා. වැහි දවසට එකතු කරලා තියාගෙන අතාරිනවා. ගමේ පළාතම ගඳ ගස්සනවා. වෙලක, ඇළක මාළුවෙක් තියා ගෙම්බෙක්වත් නෑ. රෑට රෑට බවුසර්වලින් සමහර අපද්‍රව්‍ය ගෙනියනවා. කොහේ හලනවද දන්නෙ නෑ. දේශපාලන බලය අල්ලාගෙන මේක ගෙනියන්නේ. කලින් මිනිස්සු විරුද්ධ වෙලා උද්ඝෝෂණය කළා. එහෙම දෙයක් කළාම ආයතනය කරන්නේ ටික දවසකින් ආයතනයේ නම වෙනස් කරලා ඒ බිස්නස් එකම කරගෙන යන එක. උන් සල්ලි හොයනවා. ගම විනාශ කරනවා. ආයතනයේ හිමිකරැවන් අවිහිංසාවාදී සංගමය කියලා එකක් හදාගෙන වැදිබණ කියනවා. හැබැයි මෙහේ ඇවිත් ගමේ මිනිස්සු මරාගෙන ගම විනාශ කරනවා. උඩින් ඔපේ යටින් හපේ වගේ මේකෙ අයිතිකාරයෝ වැඩ කරන්නේ. මේ වගේ තව පළාත්වලත් ඔවුන්ගේ ආයතන තියෙනවලු. ඇය කීවේ ආවේගයෙනි.

ගමේ පදිංචි තරුණයෙක් වන මහේෂ් ප්‍රභාත් (29) ඇමෝනියා වළේ ඛේදවාචකය සියැසින් දුටු රෝගීන් මුදාගැනීමට දායක වූ අයෙකි. මේ ඔහුගේ අදහසය.

කට්ටියක් වළට වැටිලා කියපු නිසා මමත් දිව්වා. ඇමෝනියා කතාවක් කවුරැත් කිව්වේ නෑ. අන්තිමට මාත් ඉස්පිරිතාලෙ නැවතුණා. ඇස් ඉදිමුණා, රතුවුණා, ඔළුවේ කැක්කුම ආවා. ගිනි නිවන ඒකකයේ අය කීවා ඉක්මනට නාන්න කියලා. මම ඉක්මනට නාපු නිසා මට වැඩි අපහසුවක් වුණේ නෑ.

ඔය ආයතනය ගමට හිරිහැරයක්. එතැන පරිපාලනය අන්තිම අසුන්දරයි. අනාරක්ෂිතයි. අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීම අවට ගම් සේරටම හිරිහැරයක්. විෂ වතුර කලවම් වෙලා තියෙද්දී වතුර බීලා හරක් කීපදෙනෙක් මැරුණා. ඔයේ මාළුවෙක් නෑ. මිනිහකුට නාන්න බෑ. වතුර ගෑවුණොත් කහනවා. පළු දානවා. පළාතෙ ගෙම්බෙක්වත් ඉතුරැවෙලා නෑ. අපි දැකලා තියෙනවා කෙමිකල් වතුර දාපු දවසට ඔයේ මාළුවෝ මැරිලා පාවෙනවා. උන්ගේ ඇස් පිපිරිලා උඩබැලි අතට හැරිලා තියෙනවා. මේ ෆැක්ටරිය ගමට විතරක් නෙවේ පළාතටම විනාශයක්. මේ අපද්‍රව්‍ය පිරුණු විෂ සහිත වතුර නාරගල ප්‍රදේශයෙන් කළු ගඟට වැටෙනවා. කළුතර මිනිස්සු බොන්නේ මේ ජරා වතුර. මේ ෆැක්ටරිය නිසා මහ ඔයේ කිලෝමීටර් හතරක පහක ප්‍රදේශයක් ගන්නම දෙයක් නෑ.

මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලාල් තඹවිට මහතා ගැටලුව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

මේ අනවසර ෆැක්ටරිය නිසා ප්‍රදේශයේ පරිසරය විනාශයි. අක්කර 35, ශ්‍රීපාලි ටෙරස්, මංගල සිරිපුර, හල්වත්ත ගොඩැල්ල, බැල්ලපිටිය, බොරළුගොඩ, පින්නකොළේ කියන ගම්වලට බරපතළ පාරිසරික ගැටලු මතුවෙලා තියෙනවා. අක්‍රමවත් විදිහට අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මහ ඔය දිගට පිච්ච මල් ගාර්ඩ්න්, සහනපුර, මංගලසිරිපුර ප්‍රදේශ විනාශ වෙලා. ගෙවල්වල මිනිස්සුන්ට ගඳ ඉවසන්න බෑ. පොඩි ළමයින්ට ලෙඩ හැදෙනවා. ස්වසන  රෝග ඇතිවෙනවා. ඇළේ වතුර කළුවෙලා. කිසිම සතෙක් ඇළේ නෑ.

ඉස්සර මිනිස්සු නාන්න, රෙදි සෝදන්න භාවිත කළ ඔය අද ගඳ ගහන ඉසව්වක් වෙලා. ස්වභාව ධර්මයේ එක සතෙක් නෑ. මේ හානිය හින්දා පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයන් එකතුවෙලා ඉන්නවා. නමුත් සල්ලි බලයට ෆැක්ටරිය දුවනවා. මුදල් බලයෙන් පරිසර බලපත්‍ර අරගෙන තියෙනවා. මිනිස්සු උද්ඝෝෂණය කළා. අයිතිකාරයෝ කරන්නේ ආයතනයේ නම වෙනස් කරලා පරණ ව්‍යාපාරයම කරන එක.

පෑවිල්ලක් ආපුවාම මහ ඔය බලන්න බෑ. කළුම කළු පාටයි. අවට වැලි පස් කළුවෙලා. මෙතැන සපත්තු කම්පැණියක නම දාලා තිබුණට කරන්නේ රබර් කිරිවලින් ඉවත් කරපු වතුර හංවැල්ල ෆැක්ටරියකින් ගෙනත් නැවත පිරිසුදු කරලා ඉතිරිවුණු රබර් කිරි ගන්න එක. බවුසර්වලින් ගේන වතුරවලින් 5%ක් විතර අරගෙන ඉතිරි කෙමිකල් අඩංගු වතුර පරිසරයට අතාරිනවා. ඒක මිනිස්සුන්ට පරිසරයට විසයි. ආයතනය ඇතුළෙ භූගත ටැංකි තියෙනවා. ඒවා පුරවලා වැහි දවසට එළියට දානවා. මේකට විරැද්ධව කතා කරන අයට ඔවුන් නඩු දානවා. බොරැ චෝදනා යටතේ. මටත් එහෙම නඩුවක් තියෙනවා.

සමහර අය එහෙම වුණාම මේකට කතා නොකර මඟහරිනවා. සමහර ඉහළ නිලධාරීන් පගාව ගන්නවා. ඒකයි මේ වගේ අක්‍රමවත්ව ආයතන පවතින්නේ. ගමේ ළිං වතුර බොන්න බෑ. වෙලේ ගොයම් හැදුණට වී සේරම බොල් වෙනවා. මේ ආයතනය මේ පළාතට ඔබින්නෙ නෑ. ක්‍රමවත් පිළිවෙළකට කෙරුණානම් ගැටලු නෑ. මේ විනාශය නිසා කෙත්හේන ජල පවිත්‍රාගාරයට ගැටලු මතුවෙලා ඇති. කළුතර මිනිස්සු බොන්නෙ මේ වතුර.

එදා ඇමෝනියා වළ නිසා ජීවිත 5 ක් ඉවරයි. තවත් වක්‍ර විදිහට ජීවිත කීයකට හානි වෙනවද? අවිහිංසාවාදී සංගමය කියලා එකක් හදාගෙන මේ අය කරන්නෙම මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන එක. ඒ අයට මුදල් විතරයි. මෙච්චර ජීවිත විනාශයක් වෙලා සුදුකොඩියක් ෆැක්ටරිය ඉස්සරහ දාන්න බැරි තරම් අධර්මිෂ්ඨ ආයතන හිමිකරැවෝ. මේ ව්‍යවසනය ඉවරකරන තෙක්ම ගමේ අප එකට වැඩ කරනවා.

රංජිත් කුමාර ප්‍රදේශයේ පදිංචිකරැවෙකි. මේ ඔහුගේ අදහසය.

මේ ඛේචවාචකය නිසා ගමේ අහිංසක ජීවිත තුනක් විනාශ වුණා. ඒ තාත්තලා තුන්දෙනාගෙ අහිංසක දරුවො අට දෙනෙක් අද අසරණ වෙලා. ඔවුන්ට සුදුසු වන්දියක් සමඟ සාධාරණයක් ඉටුකරන්න අවශ්‍යයයි. ආයතනය වහන්න කියන්නෙ නෑ. ක්‍රමවත්   විදිහට හරියට කරගෙන යන්න මිනිස්සුන්ට කරදරයක් නැති විදිහට. අප්‍රේල් පළමුවැනිදා රෑ ඔය ආයතනයේ දෙවොල් මඩු ශාන්තිකර්මයක් තිබිලා. එදා රෑ ඒකට ආපු කෙනෙක් වාහනය නතර කරලා තියෙන්නේ ඇමෝනියා වළ ළඟලු. ඒ මනුස්සයා මැරිලා තියෙනවා. ඒක අභිරහසක් කියලා ගමේ අය හිතනවා. තොරතුරු වසං කරලා පාලන අධිකාරිය වැඩ කරනවා. ශාන්තිකර්මය කරන්න ආපු අයට මහන්සියි කරන්න බෑ කීවත් බලෙන් කරවගෙන තියෙනවා. එදාත් සමහරවිට ඇමෝනියා විෂ එළියට එන්න ඇති කියලා මිනිස්සු හිතනවා. ඒ වගේ ශාන්තිකර්ම කරද්දී ප්‍රබල දේශපාලනඥයන් ඔතනට එනවලු. ඒ අයගේ හයියෙන් වෙන්න ඇති අපරාධ සිද්ධ වෙන්නේ

බැල්ලපිටිය ප්‍රදේශය අවට ජනතාවට මේ කම්හල හේතුවෙන් ගැටලු රාශියකි. පරිසරය විනාශ වීම බරපතළ ගැටලු රාශියකට හේතුවකි. වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් වාර්තා වී තිබීම ගැටලුවේ ප්‍රතිඵලයකි. මෙවැනි අදිසි දේශපාලන හස්තයන් යට සිදුකෙරෙන අක්‍රමවත් ව්‍යාපාර බරපතළ සමාජ පරිහානියකි. මෙහි වැරදිකරුවන් වහාම නීතියේ රැහැනට හසුකිරීම අවශ්‍යය. මරණයට පත්වූවන්ගේ දරුපවුල්වලට වන්දි ගෙවීම අවශ්‍යය. සිදු වන්නේ කුමක්දැයි අපි අවධානයෙන් බලා සිටිමු.

 කතාව හා සේයාරූ I සමන්ත ප්‍රදීප් විල්තෙර