2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

අවුලකට යන්න හදන තැපෑල

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා කරයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳීමට යැයි කියමින් එය භාණ්ඩාගාර පාලනයෙන් මිදුණු පාලක මණ්ඩලයක් යටතට පත්කර ඒ මගින් පාලනය වන සංස්ථාපිත ආයතනයක් බවට පත්කිරීමට රජය උපක්‍රමශීලීව කටයුතු කරමින් සිටින බව වෘත්තීය සමිති කියයි.

වසර 220ක් පමණ පැරැණිම දෙපාර්තමේන්තුවක් වන තැපෑල සංස්ථාවක් හෝ මණ්ඩලයක් කළහොත් එය සේවකයන්ට අහිතකර ලෙස බලපාන අතර ඔවුන්ගේ උසස්වීම්, වැටුප් සහ විශ්‍රාම වැටුප් සහ වෙනත් වරප්‍රසාදවලට හානිදායක වන බව වෘත්තීය සමිතිවල මතයයි. සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ආර්. වර්ණකුල සහ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් යන වෘත්තීය සමිති නායකයන් ආණ්ඩුවේ වෑයමට එරෙහිව මේ වනවිටත් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කර තිබේ.

කෙසේ වුවද සාම්ප්‍රදායික රාමුව තුළ තවමත් ක්‍රියාත්මක වන තැපැල් දෙපාර්තමේන්තුව වර්තමාන විශ්ව ගම්මාන සංකල්පයට ඔබින ලෙස නවීකරණය කළ යුතු බව සත්‍යයකි. වෙනස්වන ලොවට ගැලපෙන ලෙස දෙපාර්තමේන්තුවේ බොහෝ අංශ ඉදිරියට යායුතුය. එසේ සිදු නොවුණහොත් එයට එක තැන පල්වීමට සිදුවන අතර ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුකූල නොවීම නිසා ඔවුන් අතරින් ප්‍රතික්ෂේප වනවා ඇත. අද පවතින තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු රැසකි. ඒ නිසා මහජනතාව නිරතුරුවම හිරිහැරයට පත්වේ. මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් වැඩි කොටස ආචින්ණ කාල්පික සිතුම් පැතුම් කර පින්නාගෙන සිටින අයයැයි බොහෝ දෙනෙක් සිතති. ඔවුන් නවීන ලොවට ඔබින පරිදි හැඩගැසෙන්නේ ඉතා සෙමිනි.

චිරාත් කාලයක සිට පැවතගෙන එන මුදල් රෙගුලාසි, ආයතන රෙගුලාසි, චක්‍රලේඛ ආදිය නිසා සේවකයෝ සිරවී සිටිති. එයින් ඔබ්බට ගොස් අවදිවන ලොවට ගැලපෙන පරිදි රාජකාරි සකස් කරගත යුතුව ඇත. ඒ සඳහා පවතින නීතිරීති අවහිරයක් වන්නේ නම් ඒවා සංශෝධනය කළ යුතුය. මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උසස්වීම් ලබාගැනීමට සීමා පැනවී තිබේ. ඒ නිසා කාර්යක්ෂමව සේවය කරන නිලධාරීහු කලකිරී සිටිති. පුරප්පාඩු රාශියක් දිගු කලක් නොපුරවා තබා ගැනීම නිසා ඉහළට යාමට අපේක්ෂා කරන නිලධාරීන්ගේ බලාපොරොත්තු සුන්ව තිබේ. අඩු වැටුපකට සේවය කරමින් වසර ගණනාවකට පසු පැරණි තනතුරෙන්ම විශ්‍රාම යාමට ඔවුන්ට සිදුව ඇත. ඒ නිසා විශ්‍රාම වැටුප ද පහළ ගොස් ඇත. සේවකයන්ට පහසුකම් නොමැත. තවමත් තැපැල් සේවකයන්ට ලිපි බෙදීමට සිදුව ඇත්තේ පාපැදිවල ගොස්ය. නැතිනම් පා ගමනින් ගිරි දුර්ග, වන දුර්ග තරණය කරමිනි. මෙම තත්ත්වය වෙනස් කිරීමට බලධරයන්ට අවශ්‍ය නැත. කොතරම් ඇමැතිවරුන් පත්වූවත් දෙපාර්තමේන්තුව ඉබි ගමනෙන්ම යයි.

තැපැල් කාර්යාල ස්ථාපිත කර ඇත්තේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල නොවේ. නගරය පසුකර මයිල ගණන් දුර යායුතුය. අමාරුවෙන් එතැනට යන පාරිභෝගිකයාට තම සේවක හිඟය නිසා කාර්ය කරගැනීමට පැය ගණන් පෝලිමේ සිටින්නට සිදුවේ. ලිපියක් තැපෑලට දැමූවිට එය අවශ්‍ය කරන පුද්ගලයාට ලැබෙන විට සියල්ල සිදුවී හමාරය. ලියාපදිංචි ලිපියක් යාමට තවත් වැඩි කාලයක් ගතවේ. බොහෝ විට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය සීමාවී ඇත්තේ රාජ්‍ය අංශයේ ලිපි බෙදීම සඳහා පමණය. මැතිවරණ කාලයට සමහර සේවකයෝ ඡන්ද පත්‍රිකා ළිංවලට දමා යති.

මෙම තත්ත්වය නිසා දෙපාර්තමේන්තුවේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව ගැන වාදයක් නොමැත. එහෙත් එය කළයුතුව ඇත්තේ සේවකයන්ටත් ජනතාවටත් හානියක් නොවන අයුරිනි.

තැපැල් නිලධාරීන් හා සේවකයන් 21,000කගෙන් හා වෘත්තීය සමිති 27කින් යුක්ත ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු සහ ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර:
&තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ආයතනික සහ පරිපාලන ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට අංක 6/2006 දරන චක්‍රලේඛය අනුව එම ගැටලු ව්‍යාප්ත කර විශාල අර්බුදයක් ඇති කිරීමේ ප්‍රයත්නයක් පෙනෙන්නට තිබෙනවා.
තැපෑලේ දැනට විශාල වශයෙන් සේවක පුරප්පාඩු පවතිනවා. තැපැල් අධිකාරී තනතුරු 56ක්, මාණ්ඩලික ශ්‍රේණිවල 75කට අධික ප්‍රමාණයක් හා නිලධාරී තනතුරුවල 1000කට ආසන්න ප්‍රමාණයක පුරප්පාඩු පවතිනවා. දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය වූ නිලධාරීන් 5166 ප්‍රමාණයෙන් දැනට සේවයේ නිරත වෙලා ඉන්නේ 4000කට ආසන්න ප්‍රමාණයක් පමණයි. 3 ශ්‍රේණියේ නිලධාරියකුට 2 ශ්‍රේණියට යන්නට වසර 10ක් ද 1 ශ්‍රේණියට යාමට තවත් වසර 10ක් ද, නියෝජ්‍ය තැපැල්පති තනතුරකට තවත් වසර 20ක් ද බලා සිටිය යුතුය. මෙලෙස වසර 40ක් ඉන්න පුළුවන් ඉතාම සුළු සංඛ්‍යාවකටයි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තනතුරු වර්ග 18කින් සමන්විත වූවා. එයට අමතරව තැපැල් තෝරන නිලධාරීන් 1000ක් ද සිටිනවා. 2006 දී මේ තනතුරු සියල්ල අහෝසිකර තැපැල් සහායක යනුවෙන් ශ්‍රේණි 4ක් ඇති තනතුරක් ඇති කළා. තනතුරු වර්ග 18 සිටින 17,000ක සේවකයන් මෙම තනතුරට අනුයුක්ත කළා. මෙම තනතුරුවලට වෙන්වෙන්ව සුවිශේෂ රාජකාරි තිබුණා. මේ සියලු දෙනාම එකතුව එකම ජාලයක් වගේ තමා රාජකාරී ඉටු කළේ. දැනට ශ්‍රේණි 4ක් හැදුවට තනතුරු නාම නැතත් ඒ අය මුල් කාලයේ වගේ එකිනෙකාට අදාළ රාජකාරිවල යොදවලා තමයි මේ වැඩ කරගෙන යන්නේ. මේ අයට මුලින් වගේ කිසිදු උසස්වීමක් නැහැ. 2006 වසරේ සිට මේ දක්වා අවුරැදු 12ක් කිසිදු දිරිගැන්වීමක් හෝ උසස්වීමක් නොමැතිව දැඩි මානසික කලකිරීමකින් තමා වැඩ කරන්නේ.

මෙම ක්‍රමවේදය අපේ දෙපාර්තමේන්තුවට නොගැලපෙන නිසා වෙනත් ක්‍රමවේදයකට අප අනුගත කරන ලෙස ඉල්ලුවා. මෙම කාර්ය පටිපාටිය අප සකස් කරලා කෙටුම්පත එයට අනුමැතිය ලබාගත යුතු ආයතනවලට යොමු කළා. එහෙත් එය සලකා බලා නැහැ. උසස් නිලධාරීන්ගේ කිසිදු නම්‍යශීලී ප්‍රතිපත්තියක් නැහැ. අප ඉදිරිපත් කළ කෙටුම්පතට රාජ්‍ය සේවා කොමිසම හා වැටුප් කොමිසම  එරෙහි වෙලා. එය අතරමඟ හිරවී තිබෙනවා.

මේ පිළිබඳව විසඳුම් දීමට අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ලේකම් කමිටුවක් පත් කළා. එම කමිටුවේ නිර්දේශ ප්‍රකාරව අප දෙපාර්තමේන්තුව සඳහා වෙනම බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කිරීමට කටයුතු කරන බව පැවසුවා. එහෙත් එහිදී මුලදී තිබුණ ලෙස තැපැල් ස්ථානාධිපති සේවයට ශ්‍රේණි 2ක් පමණක් ඇති කරලා අලුතෙන් ඇති කළ  3 ශ්‍රේණිය අහෝසි කළ යුතු බවට අප කළ යෝජනාව කමිටුව ප්‍රතික්ෂේප කළා. එහෙත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තනතුරු නාම 18 යළි ලබාදුන් නමුත් වැටුප් ගෙවීමේදී වැටුප් හා සේවක කොමිසන් සභාවේ අනුමැතිය ලබාගත යුතු යැයි නිර්දේශ කර තිබෙනවා. ඒ නිසා තවමත් ලේකම් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකියි.

නැවතත් අපි ඉල්ලීමක් කළා දැනට සංයුක්ත දෙපාර්තමේන්තු ලෙස පවතින දුම්රිය, සෞඛ්‍ය ආදී දෙපාර්තමේන්තු සමඟ සැමටම ගැලපෙන එකම පරිපාලන ක්‍රමවේදයක් ඇති කරන ලෙසට. ආණ්ඩුව ද මෙයට කැමතියි. සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ඇමැති අනුකමිටුවට මේ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට තවත් ලේකම් කමිටුවක් පත් කළා. මෙහි සභාපති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වන අතර තවත් ඇමැතිවරුන් 10 දෙනකුගෙන් සමන්විතයි. මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඉදිරිපත් කෙරෙව්වා. එය අමාත්‍ය මණ්ඩලයේ ද සාකච්ඡා කරන අතරතුර අපට දැනගන්නට ලැබුණ මෙම ඇමැති කමිටුවට අනුබද්ධ ලේකම් කමිටුව විසින් තැපැල්, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී සංවෘත දෙපාර්තමේන්තුවල සේවාවලට සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ නිර්දේශ අඩංගු කෙටුම්පතක් සකස් කර ඉදිරිපත් කර ඇති බව.

මෙහි එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ ව්‍යූහාත්මක වෙනස්කමක් කිරීමට අපහසු නිසා එය පාලනය කිරීමට පාලක මණ්ඩලයක් ඇති කළ යුතුය යන්නය. ඒ පාලන මණ්ඩලය තැපැල් සේවකයන් සංඛ්‍යාව, තනතුරු, වැටුප් ආදිය ගැන තීරණය කළ යුතුයැයි සඳහන් වෙනවා. එසේම දෙපාර්තමේන්තුවේ සියලු වත්කම් එම පාලක මණ්ඩලයට පැවරිය යුතුයැයි සඳහන් වෙනවා. ආයතනයේ ආදායම හා වියදම පාලනය කළ යුතු අතර සීමිත කාලයක් සඳහා පමණක් භාණ්ඩාගාරයෙන් මුදල් දිය යුතු බව සඳහන්. සේවකයන් සඳහා පෙර පැවැති විශ්‍රාම වැටුප් ක්‍රමය දායකත්ව විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කළ යුතු බවද කියනවා. එසේම සේවක අර්ථසාධක අරමුදලට දායක කර ගැනීමක් ගැනද සඳහන් වන අතර මෙම නව ආයතනය සංස්ථාවක් හෝ අධිකාරියක් ද යන්න පිළිබඳ පැහැදිලිව සඳහන්ව නැහැ. සමිති දැනුවත් කර නැහැ. 

දැනට පාර්ලිමේන්තුවෙන් තීරණය වන තැපැල් ගාස්තු තීරණය කිරීමේ බලය ද මෙම අභිනව පාලක මණ්ඩලයට දී තිබෙනවා. එසේම දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම හා බඳවා ගැනීම, උසස්වීම්, වැටුප් තල ආදිය පිළිබඳවද සෙසු පාර්ශවවල අදහස් ගැනීමට කමිටුවක් පත්කරන ලෙසද නිර්දේශවලට ඇතුළත්.

මෙම නව ආයතනය ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අප සංගම් පසුගිය 18 වැනිදා අමාත්‍ය ලේකම් හා තැපැල්පති සමග සාකච්ඡා කළ අතර මෙම ක්‍රමවේදයට හා වෙනස්කම්වලට විරෝධය පළ කර තිබෙනවා. ආයතනය වෙනස්විය යුතුය යන මතයේ අප සිටින නමුත් එය සේවකයන්ට මහජනතාවට හා රටට සුබවාදී විය යුතුය යන්න අපගේ අදහසයි. අලුත් වෙනස්කම් පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුයි. අපේ සාකච්ඡා ඵලදායී නොවුණහොත් එතැනින් එහාට ගොස් වෘත්තීය ක්‍රියා මාර්ගවලට ළඟදීම යාමට අප කටයුතු කරනවා.

අද වනවිට තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 3000ක පමණ පාඩුවක් වසරකදී ලබනවා. එසේ පාඩු ලබන්නේ අප කළ යුතු ලාභදායී බොහෝ විෂයන්වලින් කර ඇර තිබීම නිසයි. වෙනස්වන ලෝකයට අනුව අපේ සේවා ගලපා ගත යුතුයි. ඒත් අපි තවමත් පරණ රාමුව තුළයි ඉන්නේ. අපේ සේවකයන් තමා රටේ හැම නිවසකටම යන එකම අය. මෙම ජාලය නිවැරදිව හසුරුවන්න පුළුවන් නම් වෙනත් ආයතන අභිබවා විශාල දියුණුවක් ලැබිය හැකියි. එහෙත් අපි තවමත් පරණ ගමනේ තමා යන්නේ. තැපැල්කරුවන් පවා තවම යන්නේ “පුෂ් බයිසිකලයෙන්”. මෙම තත්ත්වය වෙනස් කළ නොහැකි නම් මොන ආයතන මණ්ඩල පිහිටවූවත් වැඩක් වෙන්නේ නැහැ. එයින් වෙන්නේ තවත් ආපස්සට යාමයි.

► යසවර්ධන රුද්‍්රිගු

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05