2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

වශී ඉල්ලගෙන ප්‍රබලම දේශපාලනඥයකුගේ බිරියක් එයි

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 574

මොහොතක් මොහොතක් පාසා සියල්ල මරණයට පත් වෙයි. සියල්ලෙහි ස්වභාවය වෙනස් වී යයි. ලොව සියල්ලට පොදු වූත් ගැඹුරුවූත් ධර්මතාවය එයයි. ඒ වෙනස භෞතික දේවල්වලට මෙන්ම අධ්‍යාත්මික කාරණා විෂයෙහි ද අදාළ වෙයි. කෙනෙක් කෙරේ පවතින ස්නේහය ප්‍රේමය සැළකිල්ල ද එසේ එක් මොහොතක එක් හේතුවක් හෝ හේතු කාරණා ගණනාවක් නිසා විනාශ වී යා හැකිය. ඇතැම් අය ජීවිතේ යථාර්ථය අවබෝධ කරගත් නිසංසල මනසින් ඒ වෙන්වීම් වෙනස්වීම් දරාගත්තත් ඇතැම් අය වශී බන්ධන කරමින් හෝ ඒ බැඳීම් රැක ගැනීමට උත්සාහ කරයි. වශී බන්ධන ගැන ඉකුත් සතියේ කතා කළ අප අද කතා කරන්නේ වශී බන්ධන කරගැනීමට හිඹුටානේ සාදු වෙත පැමිණි විශාල සංඛ්‍යාවක් අතරින් අප තෝරාගත් කිහිපදෙනෙක් සම්බන්ධ අත්දැකීම් කිහිපයකි.

ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාධිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණ නම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන් හෝ වරම් ලද හිඹුටානේ සාධු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

ඇය නිසංසලාය.

මේ නිසංසලා ගැන හිඹුටානේ සාදු කී කතාවයි.

මේ තරුණ ගෑනු ළමයා මගේ ළඟට ආවේ වශී බන්ධනයක් කරලා ඇගේ පෙම්වතාව තමන් වෙතම රඳවා දෙන්න කියන ඉල්ලීම කරමින්. මම පෙර සතිවලදීත් කියූ පරිදි මා ආරෑඪයෙන් සිටින අවස්ථාවල මම කියන දේවල් මම දන්නේ නැහැ. පසු අවස්ථාවල ඒ ඒ පුද්ගලයන්ම තමා මා හමුවට ඇවිත් ඔවුන්ට කළ කී දෑ ගැන කියන්නේ. එදා මම ඇයට ඇගේ නම කියලා කතා කර තියෙනවා. ඇගේ සිත තබාගෙන සිටි  කාරණයත් මම කියලා තියෙනවා. ඇය ඇගේ පෙම්වතා ආර්ථික අතින් වැටිලා ඔහු ප්‍රශ්න රැසක පැටලී සිටි කාලයේ ඔහුට ඔහුගේම ව්‍යාපාරයක් පටන් ගන්න උදවු කරලා තියෙනවා. සල්ලි පවා ඔහුට දීලා තියෙනවා සැළකියයුතු තරම්. කොහොමහරි ඔහු ඔළුව ඉස්සුවා. දැන් ඔහු වෙනත් තරුණියක් සමඟත් සම්බන්ධතා පවත්වනවා. මා මේ සියල්ල පවසා ඇයට කියා තිබෙනවා ඔහු හා විවාහ වුවත් ඇයට අනාගතයේත් ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවෙන බව. ඒ වගේම ඔහු වැනි අවස්ථාවාදී රැවටිලිකාරයෙක් අත්හැරීම කළ යුතු නුවණැති ක්‍රියාව බව. එසේ අතහැරියොත් ඇයට අනාගතයේ ඉතා හොඳ විවාහයකට අවස්ථාව ඇති බව. මම කෙනෙක්ගේ කේන්ද්‍රය බලනවා වගේ විවාහය වැනි දේ ගැන අහන්න ආවම විස්තර සියල්ල පවසනවා. එහෙත් ඇය එකහෙලාම මගෙන් ඉල්ලා සිටියේ වශී බන්ධනයක් කර හෝ ඔහුවම ලබා දෙන ලෙස. දෙවියන් උදවු කරන්නේත් සුදුසු දෙයකට පමණයි. සමහර අය ඒ දේ තේරුම් ගන්න තරම් ප්‍රායෝගික නෑ. තමන් විසින්ම තමන් අමාරුවේ වැටෙන්න උත්සාහ කරනවා.

තව වතාවක් අවුරුදු 19 ක් වයස තම දුවණියගේ ප්‍රේම සම්බන්ධයක් නවත්වා දෙන ලෙස ඉල්ලමින් ඇගේ මවුපියන් මගේ ළඟට ආවා. එවැනි අවස්ථාවල මම ඒ ප්‍රේම සම්බන්ධය නොගැලපෙනවානම් ඒ නිසා අනාගතයේ ඇයට හෝ ඔහුට යහපතක් නොවෙනවානම් විතරයි ඒ ප්‍රේම සම්බන්ධය කඩා දාන්න උදවු කරන්නේ. එය ඇයට නොගැලපෙන නිසා එයින් ඇයව මුදා ගත්තා.

වරක් තමන්ගේ මුඛරිකම නිසාම ප්‍රසිද්ධියට පත් එක්තරා දේශපාලනඥයකුගේ බිරිඳක් ආවා මගේ ළඟට. ඇයට මා අරූඪයෙන් පවසා තිබෙනවා ඇගේ සැමියාගේ එවැනි සබඳතා කිහිපයක් ගැනම. අනේ සාදු වෙන කරන්න දෙයක් නෑ. මට වශී බන්ධනයක් කර හෝ මේ සබඳතා නැති කර දෙන්න. සාදු ආරූඪයෙන් කීව සබඳතා සියල්ල සත්‍යයක් කියලා ඇය කීවා. මේ රටේ ඉන්න ඉහළම පෙළේ ප්‍රභූවරයකුගේ බිරිඳකුත් මගේ ළඟට ආවා සැමියාගේ අනියම් සබඳතාවය නවත්වා දෙන ලෙස ඉල්ලමින්. ඔහුත් ප්‍රබලම දේශපාලන චරිතයක්. ඔහුගේ අනියම් බිරියට ඔහු නිසා දරුවෙක් ලැබෙන්නට සිට එයත් නැතිකරගෙන තියනවා. මා මේ සියලු විස්තර පැවසූ බව ඇය කීවා. මම ඇයට මුලින් සුළුවෙන් කරන වශී බන්ධනයක් කර දුන්නා. මුලින් මම බලන්නේ එවැනි වශී බන්ධන මඟින් ප්‍රශ්න විසඳා දෙන්න. මොකද සංකීර්ණ වශී බන්ධන සිරැරින් පසුකාලීනව අයින් නොකළොත් වෙන හානි මම ගිය සතියේ කීවා. ඒත් ඒ වශියෙන් ඔහුගේ සම්බන්ධය කඩන්න බැරි වූ නිසා ඔහුට අර වගේ වශී බන්ධනයක් කරන්න සිදු වුණා.

මනුෂ්‍ය ප්‍රකෘතිය තුළ අප සියල්ලෝම සමානයෝ වෙමු. හිඹුටානේ සාදු වෙත එන බොහෝ දෙනාගේ ප්‍රශ්න අපට පසක් කරන එක සත්‍යයක් වන්නේ එයයි.

වරක් කලා ක්ෂේත්‍රයේ සිටින රෑමත් නිළියක් වගේම නිරූපිකාවකුත් වෙන කෙනෙක් මගේ ළඟට ආවා. මම ඇයට කියලා තිබුණා උඹ දැන් ඉන්නේ අහවල් ප්‍රසිද්ධ නළුවත් එක්ක. ඒත් ඒ මිනිහට ඉන්නේ උඹ විතරක් නෙවෙයි තවත් ගෑනු කිහිපදෙනෙක්ම ඉන්නවා. (නම් කිහිපයක් සඳහන් කරමින්) උඹට ඒ මිනිහා හින්දා ළමයෙක් ලැබෙන්නත් ගිහින් (කොළඹට සම්බන්ධ ප්‍රදේශයක් සඳහන් කරමින්) උඹ එහෙදි නැති කර ගත්තා... නේද කියලා

මේ සියල්ල නිවැරදි බව කියමින් ඇය පසුව හිඹුටානේ සාදු වෙත පැමිණියේ තම නළු පෙම්වතා රුකගන්නට තමන්ට වශී බන්ධනයක් කරදෙන මෙන් ඉල්ලමිනි. හිඹුටානේ සාදු ඇයට සුළඟිල්ලේ ලේ දමා වශී බන්ධනය කර දුන්නේය.

ගණනින් කිව නොහැකි තරමේ කතා හිඹුටානේ සාදු සන්තකයේ පවතී. මිනිසුන්ගේ ඇතැම් ප්‍රශ්නවලට දුප්පත් පොහොසත් භේද නැත. ජීවිතයේ හැඟීම් පදනම් කරගත් බොහෝ සංසිද්ධීන්වලදී මිනිසුන් මිනිසුන් වශයෙන් බෙදා වෙන්කළ සියලු නිර්ණායකයන් තම තමන්ට වලංගු නොවී ඇති කාලෙක මෙන් සියල්ලෝම සමානයෝ වෙති. කඳුළු සංවේදනාවන් සියල්ලන්ගේම ජීවිතවල පොදු සාධකයක් බව අප හිඹුටානේ සාදු වෙත පිළිසරණ සොයා එන මිනිසුන් අභිමුවේ තේරුම්ගත් තවත් එක් සත්‍යයකි. ඒ සත්‍ය සමඟින් එන සතියේත් අපි ඔබ හමුවෙමු.

 සංජු
සේයාරූ I චන්න කසස්ප කෝරළේආරච්චි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05