වර්ෂ 1970 දී සමසමාජ මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසි අතාවුද සෙනෙවිරත්න මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු, කැබිනට් ඇමැතිවරයකු මෙන්ම සබරගමුවේ මහ ඇමැති වශයෙන්ද කටයුතු කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ඔහුගේ පාර්ලිමේන්තු අතීතයේ රසබර මතක සටහනක් අප සමඟ පැවසුවේ මේ අයුරිනි.
මම 1970 පාර්ලිමේන්තුවට එනවිටත් සමසමාජ පක්ෂයේ වැඩවලට පිටරටවලට ගිහින් අත්දැකීම් ලබාගෙන තිබුණා. සුදු ඇඳුම ඒ කාලෙත් පිරිමි හුඟදෙනෙක් උත්සවවලට ඇන්දා. සිල් සමාදන් වනවිට ඇන්ඳා. ඒක හරිම පහසුයි.
මේ රට ශීතල රටක් නොවෙයි. මහා උෂ්ණ රටකුත් නොවෙයි. ඉතින් ටයිකෝට් දාගෙන දාඩිය දාගෙන ඉන්නෙ මොකටද කියලා මම කල්පනා කළා. ඒ කාලෙ කාර්යාලවල තිබුණෙ විදුලි පංකා. දැන් වගේ වායු සමීකරණය කරල තිබුණෙ නැහැ. මේ හින්දා ටයිකෝට් දාගෙන පාර්ලිමේන්තු පැමිණීම මහ හිරිහැරයක් විදිහටයි මම දැක්කේ. ඔහු පැවසුවේ සිනහව මුව රඳවාගෙනය.
1970 වනවිට පාර්ලිමේන්තුවේ පිරිමි මන්ත්‍රීවරුන්ට සභා ගර්භයට ඇඳගෙන යා හැකිවූයේ සුදු සිංහල ජාතික ඇඳුම හෝ වේට්ටිය සමඟ බැනියමය. කලිසම අඳිනවානම් ටයිකෝට් සහිත අංගසම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසිය යුතුවිය. පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අනුමත කර තිබුණේ එම ඇඳුම් පමණි. විප්ලවීය අදහස්වලින් යුත් සමසමාජ පාක්ෂිකයෙක් වූ රුවන්වැල්ලේ තරුණ මන්ත්‍රී අතාවුද සෙනෙවිරත්නට මේ ටයිකෝට් ඇල්ලුවේ නැත. ඔහු එයට පෙරදීත් ඇඳුම් සම්බන්ධ පෙරළිකාරයෙක් විය. 1948 පෙබරවාරි 4 නිදහස් දා එවකට ශිෂ්‍යයෙක් වශයෙන් අතාවුද තමා ඉගෙනගත් තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ගියේ ජාතික ඇඳුමෙන් සැරසීගෙනය. එදා පාසලම කතාවුණේ අතාවුදගේ රෙදි බැනියම් ඇඳිල්ල ගැනය.
සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු රජයේ මන්ත්‍රීවරයකු වූ අතාවුදට පාර්ලිමේන්තුවේ යටත්විජිත සම්ප්‍රදාය වෙනස් කිරීමට අවශ්‍ය විය. එහෙත් ඔහු ඒ ගැන වේගවත් කතා පවත්වමින් පෙරළි කිරීමට ගියේ නැත. හුදෙකලා සටනක් ආරම්භ කළා පමණි.
“මම පාර්ලිමේන්තුවට යන විට කතානායක වශයෙන් හිටියේ ස්ටැන්ලි තිලකරත්න. ඔහු ටයිකෝට් අඳින කෙනෙක්. ටික කාලයක් යන විට මට හිතුණා මේ ඇඳුම වෙනස් විය යුතුයි කියලා. මම දවසක් කලිසමට උඩින් සුදු අත්දිග කමිසය (Long Sleeves Bush Shirt) ඇඳගෙන පාර්ලිමේන්තු රැස්වීමට ගියා. එතකොට කනානායකවරයා ඉංග්‍රීසියෙන් කියනවා “ගරු මන්ත්‍රීතුමනි, ඔබ එළියට යා යුතුයි. ඔබේ ඇඳුම පාර්ලිමේන්තු කමිටුව විසින් අනුමත කර නැහැ. ඔබට සභා ගර්භයේ ඉන්න අවසරයක් නෑ කියලා.”
මම ඒ ඉල්ලීමට හිස නමමින් සභා ගර්භයෙන් පිටතට යනවා. හැබැයි පසුවදාත් ඒ ඇඳුමම ඇඳගෙන එනවා. කතානායකතුමා පරණ කතාවම කියලා මාව පිටතට යවනවා. පහුවදාත් ඒකම ඇඳගෙන එනවා. මේ විදිහට සුමානයක් විතර මම කළා.
අතාවුදගේ හැසිරීම කතානායක ස්ටැන්ලි තිලකරත්නට හිසරදයක් විය. ඔහුගේ ඇඳුම සම්බන්ධ සිද්ධිය පාර්ලිමේන්තු කමිටුවට යොමු කළේය. එහි සාමාජිකයන් වශයෙන් කතානායක, පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු ලේකම් ආදීහු සිටියහ. කමිටුව තීරණය කළේ මෙම ඇඳුම පාර්ලිමේන්තු රැස්වීම් සඳහා මන්ත්‍රීවරුන්ට සුදුසු බවයි. අතාවුද සෙනෙවිරත්නගෙන් ආරම්භ වූ මෙම සැහැල්ලු ඇඳුමෙන් ඊට පසු මන්ත්‍රීවරු බහුතරයක්ම සැරසී පැමිණෙන්නට වූහ.
අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙස බලනවිට එහි බහුතරයක් සැරසී සිටින්නේ කලිසම සහ සුදු බුෂ් සර්ට් එකෙන් බව පෙනේ.
සමසමාජ දේශපාලනඥයකු වූ අතාවුද 1965 දී මුලින්ම පාර්ලිමේන්තුවට තරග කළේ රුවන්වැල්ල ආසනයටයි. එවර ඔහු පී.සී. ඉඹුලානට පැරදුණි. ඊට පසු 1970 දී මහ මැතිවරණයෙන් සමසමාජයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඔහුත් සමඟ පාර්ලිමේන්තු ආ පිරිසෙන් සිටින්නේ වාසුදේව නානායක්කාර, මහින්ද රාජපක්ෂ සහ දි.මු. ජයරත්න පමණි.
පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයකි. මේ නිසා එයට පැමිණීමට නියමිත ඇඳුම් අනුමත කර තිබේ. කාන්තාවන් නම් සාරිය හෝ ඔසරියෙන් සැරසී සිටිය යුතුය. පිරිමි නම් අප පෙර සඳහන් කළ ඇඳුම් පමණි. විජයානන්ද දහනායක අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිදුවූ අලකලංචිය ඉතා ප්‍රසිද්ධය. එදා සිට ඔහුට අමුඩ මාමා යන නමද පටබැඳිණි. ඔහු අමුඩයකින් සැරසී පාර්ලිමේන්තු ආවේ 1962 දී හටගත් රෙදි හිඟයට විරෝධය පළ කිරීමටයි.
වරක් ෂල්වාර් ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරියකට සභාවෙන් ඉවත් වීමට නියෝග කෙරිණි. 2016 ඔක්තෝබර් 27 දා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අරවින්ද කුමාර් ද තැඹිලි පාට කමිසයක් සහ කළු සරමකින් සැරසී පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය. ඔහුටද පාර්ලිමේන්තුවෙන් ඉවත්වන ලෙස එහි නිලධාරීන් පැවසූ නිසා පිටවීමට සිදුවිය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නිල ඇඳුම අවසාන වරට වෙනස් වී ඇත්තේ 1973 දීය. ඊට පසු එය වෙනසකට ලක්වී නැත. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇඳුම සම්බන්ධයෙන් ඇත්තේ ලිහිල් පිළිවෙතකි. අතාවුද වැනි පෙරළිකාරයෙක් සිටීනම් දැන් තිබෙන යටත්විජිතවාදී ඇඳුම් වුව වෙනස් කිරීම එතරම් දුෂ්කර නොවේ.
විශේෂ උත්සව අවස්ථාවන්හි කතානායකවරයා සැරසෙන හිස්වැසුම සහ නිල ලෝගුව යටත්විජිත සමය සිහිපත් කරන සංකේතයකි. 1948 නිදහස ලැබීමෙන් අනතුරුව සියලුම කතානායකවුර සැරසුණේ එම නිල ඇඳුමෙනි. නමුත් 1970 දශකයේදී හිටපු කතානායක ස්ටැන්ලි තිලකරත්න හිස්වැසුම සහ ලෝගුව භාවිත කළේ නැත. ඔහු ඇන්ඳේ යුරෝපීය ඇඳුම් කට්ටලයයි. යළිත් එම නිල ඇඳුම භාවිතයට පැමිණියේ 1978 ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟය.
► කුසුම්සිරි
සේයාරුව :- සුමුදු හේවාපතිරණ