හොරණ බැල්ලපිටිය පිහිටි පාවහන් නිෂ්පාදනය කරන රබර් කර්මාන්ත ආයතනය සිංහල අවුරුදු නිවාඩුවෙන් අනතුරුව නැවත ආරම්භ කර තිබුණේ රැකීරක්ෂා සඳහා පිටත්වීමට නැකත් යෙදුණු පසුගිය 19 වැනිදාය. දින කීපයකට පසුව නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන කම්හලේ උදෑසන චාරිත්‍රවලින් අනතුරුව කම්හලේ යන්ත්‍ර හතරකින් පිටවන අපද්‍රව්‍ය රැස්වන භූගත ටැංකිය පවිත්‍ර කිරීම සඳහා සේවකයෙක් යොදවනු ලැබ සිටියේය. සිංහල අවුරුද්දේ උණුසුම යන්නටත් මත්තෙන් ජීවිත පහක් බිලිගත් ඛේදවාචකයේ ආරම්භය එය විය.
වෙලාව පස්වරු 1.20ට පමණය. රබර් කර්මාන්ත ආයතනයේ සේවකයෙක් වූ ආරියපාල සූදානම් වූයේ කර්මාන්තශාලාවේ යන්ත්‍රවලින් පිටවන අපද්‍රව්‍ය රැස්වන භූගත ටැංකිවලින් එකක් පළමුව ශුද්ධ පවිත්‍ර කිරීමටය. ඒ සඳහා මූලිකත්වය ගත් ඔහු ටැංකියක දොර විවෘත කර වළට බැසීමට සූදානම් වූවා පමණය. ආරියපාලට නොදැනෙන යමක් සිදුවූයේ ඒ මොහොතේය. එක් නිමේෂයකින් සිහිසුන් වූ ආරියපාල අපද්‍රව්‍ය වළටම ඇදවැටුණේය. මෙය දුටු අසල රැඳීසිටි තවත් සේවකයෙක් කෑ ගැසුවේ ආරියපාල බේරාගන්නට උදවු ඉල්ලමිනි. ඒත් සමඟ ආයතන පරිශ්‍රයේ රැඳීසිටි පිරිස එතැනට පැමිණ අතර ඔවුන් අතරින් අයෙක් ආයතනයේ ගේට්ටුව අභියසට පැමිණ කෑගසා තිබුණේ තම හිතවතා බේරාගන්නට අසල්වැසියන්ගේ උදවු ඉල්ලීමටය. ඒ වනවිටත් එතැනට රැස්වූවන් කීපදෙනෙක් ආරියපාල බේරාගැනීම සඳහා ටැංකියට බසිමින් සිටියහ. තවත් මොහොතක් ගතවන්නට මත්තෙන් ඒ පිරිසද සිහිසුන්ව අපද්‍රව්‍ය වළට ඇදවැටුණේ බලාසිටියවුන් තැති ගන්වමිනි. සිදුවූයේ කුමක්දැයි එතැනට රැස්වූ කිසිවෙකුටත් වැටහීමක් තිබුණේ නැත. හැකි උපරිමයෙන් ඔවුහු සිය හිතවතුන් බේරාගැනීමට උත්සභා කළෝය... ඊට ගම්වාසී තරුණ කීපදෙනෙක් ද සහාය වී සිටියහ. ඔවුන්ගේ මැදිහත් වීමෙන් අපද්‍රව්‍ය වළට වැටුණු පිරිස් ගොඩට ගෙන වහාම රෝහල් ගත කරන්නට පියවර ගනුලැබීය. ඒ අතරතුර ඔවුන් සියලු දෙනාට ද හුස්ම ගැනීමේ අපහසුතාවක් සහ සිහිසුන් වන තරමේ අපහසුතාවයක් දැනෙමින් තිබුණි.
සිද්ධිය අතරතුර සුවසැරිය ගිලන් රථ සේවාව එම ස්ථානයට කැඳවන්නට රැස්වූවෝ කටයුතු කළහ. එමගින් සහ තවත් වාහන කීපයකින් වහාම රෝගීන් රෝහල් ගත කරන්නට කටයුතු කර තිබුණි. පිරිස රෝහල් ගතකරන විටත් අවාසනාවන්ත අයුරෙන් ඔවුන්ගෙන් පස්දෙනෙක් මරු වැළඳගෙන සිටියහ. එම පිරිස අතර කර්මාන්තශාලාවේ සේවකයෙක් වන ආරියපාල (40), ප්‍රියන්ත කුමාර (41), දිලිප් කසුන් ලොකුපතිරගේ (32), ලාල් ප්‍රියන්ත කුමාර (28) සහ වරුණ චන්ද්‍රසේකර යන අය වූහ.
මෙසේ අනතුරට පත්වූ පිරිස බේරාගැනීමට පැමිණි අයවලුන්ගෙන් බහුතරයක් ද හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ අතර එසේ ප්‍රතිකාර ගන්නා 34 දෙනෙක් සිටින බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ ඛේදවාචකයෙන් මියගිය පිරිස කර්මාන්තශාලාවේ සේවකයන් මෙන්ම අසල්වැසියන් බවට වාර්තා විය. සිදුවීම හේතුවෙන් ප්‍රකෝප වූ ඥාතීන් හා ගම්වාසීන් කර්මාන්තශාලාව පරිශ්‍රයට පැමිණ කෑකෝ ගසමින් නොසන්සුන් ආකාරයට හැසිරී විරෝධතාවය පළකරන්නට වූ අතර ඔවුන් පාලනය කර විසුරුවා හැරීම සඳහා පොලීසියට අමතරව විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ද යොදවන්නට පියවර ගෙන තිබුණි.
මරණවලට හේතුව මෙන්ම එහි රැස්වූවන්ගේ ශ්වසන ආබාධවලට හේතුව අපද්‍රව්‍ය වළෙන් පිටවූ ඇමෝනියා වායුව ආඝ්‍රානය වීම බව පැවසෙයි. අපද්‍රව්‍ය වළ පිරිසිදු කිරීමට ගිය ආරියපාල නැමැත්තා වළට වැටී මිනිත්තු 20ක් පමණ එහි සිරවී සිට ඇති බවටත් සෙසු පුද්ගලයන් සිව්දෙනා ඊට අඩු කාලයකින් ගොඩට ගත් බවටත් කර්මාන්තයේ සේවකයෝ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හොරණ පොලීසිය ක්‍රියාත්මක වී රබර් කර්මාන්තශාලාවේ කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට වගකිව යුතු කර්මාන්තශාලා හිමිකරු සහ ප්‍රධාන කළමනාකාරීත්වයට අයත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වරදකරුවන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවය.
සිදුවීම සම්බන්ධයෙන් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය එරන්දි කුලතිලක මහත්මිය ප්‍රකාශ කළේ අදාළ කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය මුසු ජලය පිටකිරීමේ දී ක්‍රමවත් නියමයන් අනුගමනය කළයුතු බවට කම්හලේ කලමනාකාරීත්වයට ලිඛිතව හා වාචිකව උපදෙස් ලබා දී තිබූ බවය. එහි වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඒ මහත්මිය පැවසුවාය. එමෙන් ඇය පැවසුවේ අදාළ අපද්‍රව්‍ය ටැංකි හේතුවෙන් ප්‍රදේශවාසීන්ට බලපෑමක් ඇතිවේද යන්න සොයාබලන බවය.
සිදුවීම සමඟ ප්‍රතිකාර ගැනීමට හොරණ මූලික රෝහලට පැමිණි පිරිස අතර අයෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. තවත් 18 දෙනකු නේවාසික ප්‍රතිකාර ලබන අතර 16 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටවගොස් ඇතැයි වාර්තා විය.
සිදුවීම පිළිබඳව පානදුර කොට්ඨාස බාර පොලිස් අධිකාරී පී.ආර්.පී. සේනානායක යටතේ සහකාර පොලිස් අධිකාරී පී.ජේ. නන්දසේන මහතාගේ උපදෙස් මත හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිගල මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන පවත්වති.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර