2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

අමු සොහොනක එළිවෙනකම් කරන වශී

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1188

ප්‍රසාදය, ආකර්ෂණය, බැඳීම, බන්ධනය මේ හැඟීම් වඩාත්ම සුන්දර වන්නේ සසර පුරුද්දකට මෙන් නිසඟයෙන්ම හද සන්තානයේ ජනිත වූ විටය. එහෙත් හදවත් හදවත් අතර ජීවිත ජීවිත අතර ඇති ඒ බැඳීම් වෙනස් වී යන මොහොතක අපි වරෙක හඬා වැටෙන්නෙමු. කවර හෝ පරිත්‍යාගයක් කැපවීමක් කර ඒ බැඳීම් තිර ලෙස පවත්වා ගන්නටද යත්න දරන්නෙමු. එසේත් කළ නොහැකි අවස්ථාවල වශී බන්ධන ගුරුකම් හෝ කර ඒ බැඳීම් එලෙසම පවත්වා ගන්නටද වෑයම් කරන්නෙමු. වශී බන්ධනයක් යනු කුමක්ද? එයින් සත්‍ය ප්‍රතිඵල ලබා ගත හැක්කේ කවර පිළිවෙත් අනුවද? වශී බන්ධනයකින් බන්ධනයට ලක්වෙන තැනැත්තාට හෝ තැනැත්තියට සිදුවෙන පසුකාලීන හානිකර ප්‍රතිවිපාක මොනවාද? මේ ආදී වශී බන්ධන පිළිබඳව පාඨක ඔබ අපෙන් විමසා සිටි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සපයමින් වශී බන්ධන ගැන කතා කරන්නට අපි අදහස් කළෙමු.

ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාධිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණනම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන් හෝ වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

වශී බන්ධනයක් කර ගැනීමට වශීය අදාළ පුද්ගලයාට කැවිය යුත්තේ වශීය කර තුන් වරුවක් යාමට පෙරය. තුන් වරුව ඉක්ම ගිය ඉනික්බිති ඒ වශීය කැවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබී යා හැකිය. එමෙන්ම වශිය කවා දින හතක කාලයක් යන තුරු මස් මාළු ආදී පුළුටු ආහාර ආහාරයට ගැනීමෙන් නොවැළක්වුවහොත් එයින්ද වශිය කැවීමේ ප්‍රතිඵල නොලැබේ. කැවූ වශියෙන් අපේක්ෂිත ප්‍රයෝජනය ගත හැක්කේ එය අදාළ කාල වේලාව තුළ ශරීර ගත කිරීමෙන් හා අදාළ පිළිවෙත් පූරණය කිරීමෙන් පමණි. කාන්තාවක් පුරුෂයකුට කැවීමට වශිය සාදා ගෙන යෑමෙන් පසු ඇයට මාසික ඔසප් වීම සෑදුණොත් ඒ වශිය කිල්ලට ඇසුවේ. එවන් කිලි ලෙස ගැනෙන කවර කිල්ලකට අසුවුවත් එසේ කිල්ලට අසුවීමෙන් පසු ඒ වශිය ලබාදීමෙන් ප්‍රතිඵල නොලැබේය යන්න වශී බන්ධන කරන අය පවසන කාරණයක් මෙන්ම එය සත්‍ය කාරණයක් වුණත් කිල්ලකට අසුවුවත් බල නොබිඳෙන අයුරින් වශී බන්ධනය සාදා ගැනීමේ සුරක්ෂිත ක්‍රමයක් හිඹුටානේ සාදු අනුගමනය කරයි. එක් එක් ක්‍රමවලට සාදන වශී මෙන්ම එක් එක් අරමුණු සාක්ෂාත් කිරීම උදෙසාද වශී සාදන අතර වශී බන්ධන වර්ග වශයෙන් ගත් කල රාශියකි. උදාහරණයක් ලෙස රාජ වශී බන්ධනය කරගන්නේ ජනාධිපති වැනි ප්‍රභුන්ය. ජනතා ප්‍රසාදය ආකර්ෂණය වැනි අරමුණු ඉටුකරගනු වස් ඒ ආකාරයෙන් රාජ වශිය කරගනු ලැබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ඇත්තේ ප්‍රේම සබඳතා වෙනස් වීමේදී අනියම් සබඳතා මත පවුල් කැඩී බිඳී යද්දී ඒ සබඳතා රැක ගනු වස් කරන වශී ගුරුකම්ය.

එහිදී වැඩි වශයෙන්ම කරනු ලබන්නේ රතු සීනිවලට ලේ දමා කරන වශී බන්ධනයයි. රතු සීනිම ඒ සඳහා ගන්නේ රතු පැහැයට යක්ෂ ප්‍රේත ආදී ආකර්ෂණය වැඩි හෙයිනි. එමෙන්ම බන්ධනය සඳහා ගෙන එනු ලබන සීනි ඒ මොහොතේ කඩයකින් ගනු ලබන සීනි නොවිය යුතු අතර නිවෙසේ පාවිච්චි කරමින් තිබූ සීනි විය යුතුය. ගැහැනියක පිරිමියෙකුට වශී බන්ධනය කරයිනම් ඇගේ වම් අතේ සුලඟිල්ලේ ලේද පිරිමියෙකු ගැහැනියෙකුට වශී බන්ධනය කරයිනම් පිරිමියාගේ දකුණු අතේ සුළඟිල්ලේ ලේද සීනිවලට දමා එකී වශී බන්ධනය කරනු ලබයි.

වශී බන්ධනයකදී දුෂ්කරම කාර්ය වන්නේ වශී බන්ධනය කරනු ලබන්නේ අදාළ පුද්ගලයාට නොදන්වා රහසේ නිසා අදාළ පිළිවෙත් අනුව පරිස්සම් කිරීමය. ඔබ විසින් කරගත් වශී බන්ධනයකින් බලාපොරොත්තු වූ ප්‍රතිපල නොලැබී යන්නේනම් ඊට හේතුව  පිළිවෙත් අනුව පරිස්සම් කරගැනීමට නොහැකි වීම විය හැකිය.

බලගතු වශී බන්ධන සියල්ලම පාහේ කරනු ලබන්නේ කනත්තේය. මුලදී පවුලක් සමඟි කිරීමට හෝ ප්‍රේම සම්බන්ධතා රැක දීමට සුළු වශී බන්ධනයක් කර ප්‍රශ්නය නිරාකරණය කිරීමට උත්සාහ කරයි. එයින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබුණොත් පමණක් බලවත් වශී බන්ධන කරදෙයි. අනියම් සබඳතා නිසා පවුල් සංස්ථාව බිඳී යන අසාධාරණ හේතු මත ප්‍රේම සම්බන්ධතා බිඳ දමන්නට සැරසෙන අවස්ථාවල මිස බලහත්කාරයෙන් කෙනෙක් තමන් වෙත නතු කරගැනීම වැනි අරමුණු සාක්ෂත් කරගැනීම උදෙසා කිසිඳු විටෙක වශී බන්ධන හිඹුටානේ සාදු විසින්  කරනු නොලැබේ.

“මම කනත්තේ වශී බන්ධන කරන්නේ තනියෙන්. උදව්වට එන අය දුරකින් තියලා අමු සොහොනක් උඩ අවශ්‍ය කළමනා තියලා තමයි වශී ගුරුකම කරන්නේ. මධ්‍යම රාත්‍රියේ පටන් ගත්තම පාන්දර ජාමය වෙන තුරු වශී ගුරුකම කරන්න කාලය යනවා. පිදේනි දී මහසෝනට සොහොන් කාලිට රීරි යකාට අඬගසමින් මතුරමින් වශිය කරනු ලබයි. ස්ත්‍රී පුරුෂ වශී සඳහා යක්ෂයන්ගෙන් ගනු ලබන සහාය ගැනීමට කනත්තට ගියත් රාජ වශී ආදිය කරන්නේ දෙවියන් මඟින් වන බැවින් එවැනි වශී ගුරුකම් කිරීම සඳහා කනත්තට යන්නේ නැත. යකෂයන්ට දොළ පිදේනි දෙද්දී දෙවියන්ට කැවිලි පලතුරු ආදිය දීමෙන් එවන් වශී ගුරුකම් කරගනියි.

ප්‍රභූන් අතේ තබා ගෙන සිටින විශේෂ දේවල් මුදු ආදිය එසේ වශී බන්ධනයට ලක්කොට ජන ආකර්ෂණයට පාත්‍ර වීම සඳහා භාවිත කරනු ලබයි.

ස්ත්‍රී පුරුෂ වශී බන්ධනයක් කර එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත් පසු වශිය කැවූ පුද්ගලයාගේ සිරුරින් ඒ වශිය ඉවත් කිරීමද අනිවාර්යෙන් කළ යුතුය. එසේ නොවුණහොත් ඒ පුද්ගලයාට පසුකාලීනව සුව නොවන බඩේ කැක්කුම් වැනි අවදානම් පවා ඇතිවිය හැකිය. එහෙයින් ඉතා සාධාරණ හේතු මත මිස අන් කිසිඳු අවස්ථාවක හිඹුටානේ සාදු වශී බන්ධන නොකරයි. වශී බන්ධනයකින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු බඩ විරේක කොහිල කැඳ රතු ලූනු ආදිය දී ඒ වශියේ විස සිරුරින් අයින් කරනු ලබයි.

(ප්‍රභූන්ගේ, රටම දන්නා දේශපාලනඥන්ගේ බිරින්දෑවරුත්, නළු පෙම්වතුන් රැක ගන්නට සුරූපිනියොත් වශී ගුරුකම් කරගන්නට හිඹුටානේ සාදු ළඟට පැමිණි සත්‍ය තොරතුරු අපි ඊළඟ සතියේ ඔබට කියන්නෙමු)

♦ සංජු
සේයාරූ I චන්න කස්සප කෝරළේආරච්චි

බොහෝ පාඨක ඉල්ලීම් මත හිඹුටානේ සාදුගේ පත්තිනි දේවාලයට යන මාර්ගය අපි නැවත සඳහන් කරමු.
හිඹුටාන හන්දියට පැමිණ අඹතලේ ජල පවිත්‍රාගාරය කිට්ටුව ඇති හිඹුටාන වැව පාර දිගේ ටික දුරක් ගියවිට හිඹුටාන සාදුගේ පත්තිනි දේවාලය  හමුවේ
 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05