2018 අප්‍රේල් 13 වන සිකුරාදා

අනුන්ගේ බිරියකට පෙම්කළ ජයසේනගේ ඉරණම

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 1609

යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ, මේ අමනුෂ්‍ය බලවේග ඇත්තක්ද? මේ ලෝකයේ දෙවිවරු ඉන්නවා කියන එක ඇත්තක්ද? දෙවියෝ ඉන්නවනම් මේ ලෝකයට මේ මිනිස්සුන්ට වෙන විපත් දෙවියන්ට පෙනෙන්නෙ නැද්ද? ඇයි එහෙනම් මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටක් නැත්තේ... මෙවැනි දාහක් ප්‍රශ්න ඇතැම්විට ඔබේ සිතේ නලියනවා වෙන්නට පුළුවන. මාස ගණනක් මුළුල්ලේ අපි ඒ ප්‍රශ්නවලට සහේතුකව හා සාධනීය උදාහරණ ගෙනහැර පාමින් සත්‍ය කතා ඇසුරෙන්ම පිළිතුරුද සැපයුවෙමු.

ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ ද අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාවිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණ නම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන්ගෙන් වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

මහසෝනා... ඒ මේ සමාජය විශ්වාස කරන තවත් බලගතු යක්ෂයෙකි. සොහොනකදී මහසෝනා කියන නමවත් කියන්න එපා මහසෝනා නම කියද්දී ළඟට එනවා... ඒ තරමට මහසෝනා අතීතයේ සිට මේ දක්වා මේ සමාජය භීතියටත් ත්‍රාසයටත් පත් කර ඇත. මේ තරම් භයංකර මේ මහසෝනා යක්ෂයා කවුද? මේ සමාජයේ පිළිගැනීම් අතරට මහසෝනා යක්ෂයා පැමිණියේ කෙසේද? මහසෝනා ගැසුවේයැයි කියන, මහසොහොන් දිෂ්ඨිය වැටුණේයැයි කියන ආතුරයන් එදා ඈත ගම්වලින් හමුවුවත් එසේ මහසෝනා ගැසුවේයැයි කියන, මහසෝන් දිෂ්ඨිය වැටුණේයැයි කියන ආතුරයන් අදත් හමුවේද? පාඨක ඔබේ දැනුම්වත් වීම උදෙසා අද මහසෝනා ගැන කතා කරන්නට අපි අදහස් කළෙමු.

මහසෝනා ආවේ කොහොමද?

ගෝඨයිම්බර කතා වස්තුව සමඟ එන මහසොහොන් යක්ෂයා පිළිබඳ උත්පත්තිය රිටිගල ජයසේන හා බැඳුණු උත්පත්ති කතාවකි.

දුටුගැමුණු සේනාවේ සිටි යෝධයකු වූ ගෝඨයිම්බර යෝධයාගේ බිරිය වූ සෝනා කෙරේ රිටිගල ජයසේනට සිතක් උපන්නේය. රිටිගල ජයසේන සෝනා කුමරිය දුටුවේ දුටුගැමුණු රජුගේ ජයපැන් උත්සවයකදීය. සෝනා කුමරිය කෙරේ සිත් පහළ කරගත් රිටිගල ජයසේනට අවසානයේ ගෝඨයිම්බර යෝධයා අත්කළ ඉරණම වූයේ මරණයයි.

ගෝඨයිම්බර යෝධයා තමාගේ සුළැඟිල්ලෙන් රිටිගල ජයසේනට එල්ල කළ පහරේ වේගයට ඔහුගේ බෙල්ල ගැලවී විසිවී ගොස් කරඳ ගසක් මුදුනත රැඳුණේය. සෙනසුරු ඒ මොහොතේ පැමිණ වලස් හිසක් රිටිගල ජයසේනගේ කඳට සවිකළ අතර කලබලය නිසා ඒ හිස සවි කළේද ඉදිරිය පිටුපසටත් පිටුපස ඉදිරියටත් සිටින පරිදිය. මහසෝනා යක්ෂයා ලෙස උත්පත්තිය ලද්දේ ඒ රිටිගල ජයසේනයැයි ජනප්‍රවාදයේ එන කතාවෙන් කියැවේ.

කවුද මේ මහසෝනා

මහසෝනා යනු යක්ෂයෙකි. ඒ යක්ෂයාගේ දිෂ්ඨිය සිරුරකට ඇතුළු නොවන අතර මහසෝනා යක්ෂයා දැකීමෙන් බියවීමක් පමණි සිදුවන්නේ. එහෙත් මහසෝනා දැක බියවූ කෙනෙකුගේ ශරීරයට මහසෝනා දිෂ්ඨි කර ඇතුළු කළ හැකිය.

එය නිපුණ යකැදුරෙකුට කළ හැකි කාර්යයකි.

වැඩිපුරම බියවෙන්නේ පිරිමින්

මහසෝනා යක්ෂයා ගැහැනුන් දැක බියට පත්වූ අවස්ථා නැති තරම්ය. මහසෝනා යක්ෂයා වැඩිපුර ඇස ගැටී බියට පත්ව ඇත්තේ පිරිමින්ය. සමහරවිට පිරිමින්ගේ සිරුරේ නිල්පැහැ ගැන්වී ඇඟිලි සලකුණු පහ සිටින්නේ මහසෝනා ගැසූ අවස්ථාවලදීය.

කෝ දැන් මහසෝනා

වෙසමුණි රජුගෙන් විවරණ ලද මහසෝනා යක්ෂයාටද අනෙක් එවැනිම බලගතු යකුන්ට මෙන් ඒ යක්ෂ ආත්මයෙන් ගැලවීමක් ලැබෙන්නේ මෛත්‍රී බුදුන් දවසකය. ඒ පව්කාර යක්ෂ ආත්මවලින් බුදුවරයකු ලොව පහළ වී ඔවුන් මුදවාගන්නා තුරුම ඔවුන්ට ගැලවිල්ලක් නැත. නොයෙකුත් යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ දෝෂ වැටී, ශරීරගත වී මිනිසුන් පැමිණියත් මහසෝනා දැක බියවී හෝ මහසෝනා ගසා ඇඟ නිල් වූ මිනිසුන් දැන් හමුනොවන තරම්ය. එහෙත් එයින් කියවෙන්නේ මහසෝනා යක්ෂයා හුදු සංකල්පයක් පමණක්ය නොවන බව මෙන්ම ඒ යක්ෂයා ඒ යක්ෂ ආත්මයෙන් මිදී ඇති බවක් නොවේ. මහසෝනා දැක ඈත ගම්දනව්වල ජනතාව බියට පත්වූයේ මහ රාත්‍රියේදී හා පාන්දර ජාමේදීය.

පරිසරය මෙන්ම මිනිසුන්ගේ ජීවන රටාද වෙනස්වීම හා සිදුවී ඇති සමාජ හා මානව පරිණාමය තුළ මහසෝනා ඇස ගැටෙන ප්‍රවණතා නැත්තටම නැතිවී යාම ඊට හේතුවය. ඒවා අප සලකන්නේ යුග පරිවර්තන ඔස්සේ සිදුවන වෙනස්කම් හැටියටය.

මහසොහොන් සමයම

මහසෝනා දැක බියවූ මිනිසුන් වෙනුවෙන් එදා යකැදුරන් කළේ මහසොහොනාට පිදේනි දී මහසොහොන් සමයම නැටීමය. යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ ශරීරගත වූ අවස්ථාවල ඒ ආත්ම නූලකට ගෙන ගැටගැසිය හැකි වුවත් මහසෝනා වැනි බලවත් යක්ෂයන් එසේ නූල් තුළ සිරකිරීමට නොහැකිය. මහසොහොනාට දැඩිව බියවූ මහසොහොනා ගැසූ පුද්ගලයෙකු සෙම දමා වැටී ඒ ත්‍රාසයෙන්ම මියයා හැකි අතර අතීතයේ මහසොහොනා නිසා එවැනි මරණ වාර්තා වූ අවස්ථාද තිබේ. මහසොහොන් සමයම නටන්නේ එවැනි රෝගීන් වෙනුවෙන් වුවත් එවැනි අවස්ථාවල රෝගීන් මියයාමේ අවදානමක්ද පවතින බැව් අතීතයේ සාක්ෂි සහිතව ඔප්පු වූ කරුණකි.

භයානකයි - බලගතුයි

මහසොහොන් යක්ෂයාට අවතාර පහක් ඇතිබව විශ්වාස කෙරේ. මරු මහසෝනා, ලේ මහසෝනා, අමු මහසෝනා ආදී අවතාර පහක් සතුයැයි කියන මහසොහොනා භෂ්මසුරයා ලෙසද හඳුන්වයි. භෂ්මසුරයා යනු ඊශ්වර දෙවියන්ගෙන් ශිල්ප උගත් ඊශ්වර දෙවියන්ගේ ගෝලයෙකි. ඊශ්වර දෙවියන් ගුරුමුෂ්ටියකින් තොරව භෂ්මසුරයාට සියලුම මන්ත්‍රශාස්ත්‍ර ඉගැන්වූයේය. අතට මතුරා ඒ අත කෙනෙකුගේ සිරස මත තැබූ ඉනික්බිති ඒ පුද්ගලයා දැවී අළු වී යන බලගතු මන්ත්‍ර ශාස්ත්‍රයක්ද ඊශ්වර දෙවියන් විසින් භෂ්මසුරයාට උගන්වන ලදී. ඊශ්වර දෙවියන් පමණක් දැනසිටි ඒ බලගතු මන්ත්‍රය උගන්වන ලද්දේද භෂ්මසුරයාට පමණි. එහෙත් අවසානයේ ගුරු ගෞරවයත් මිත්‍රත්වයත් පසෙක තැබූ භෂ්මසුරයා කළේ ඒ බලගතු මන්ත්‍රය භාවිත කර ඊශ්වර දෙවියන්ම මරණයට පත්කිරීමට උත්සාහ කිරීමය.

භෂ්මසුරයාගෙන් බේරී ඊශ්වර දෙවියන් පැන දුවද්දී වෙන්නට යන විපත්තිය විෂ්ණු දෙවියන් දුටුවේය. ඊශ්වර දෙවියන් කැලය මැදින් දුව යද්දී ඊශ්වර දෙවියන්ගේ පිහිටට පැමිණි විෂ්ණු දෙවියන් ඔංචිල්ලාවක් පදින රූබර ගැහැනු රුවක් මවාගත්තේය. භෂ්මසුරයාගේ ඇස ගැටෙන්නට ඔංචිල්ලාව පදිමින් සිටි ඒ කාන්තා රුව දුටු සැණින්ම භෂ්මසුරයා ඒ රුවට වශී වී ගියේය. වශී වී ගොස් තමා හා විවාහ වෙනවාදැයි ඇගෙන් විමසීය. ඒ වෙද්දිත් භෂ්මසුරයා විවාහකයෙකු වූ බැවින් තවත් කතක් විවාහ කරගන්නවාට බිරිය කැමතිදැයි ඇගෙන් විමසා පැමිණෙන ලෙස පැවසුවේය. භෂ්මසුරයා බිරියගේ කැමැත්ත ලබාගෙන පැමිණ ඒ බව දැන්වූ විට කාන්තා රුවෙන් සිටි විෂ්ණු දෙවියන් මෙසේ පැවසීය.

“එහෙනම් ඔබ ඔබේ සිරස මත ඔබේ අත තබා මට පොරොන්දු වෙන්න මුළු ජීවිත කාලයම මාව බලාගන්නවා කියලා”

ස්ත්‍රිය කෙරේ වශී වී සිටි භෂ්මසුරයාට තමා සිටින්නේ මන්ත්‍රය මතුරාගෙන බවද අමතකව ගියේය. භෂ්මසුරයා මතුරාසිටි අත තමාගේ සිරස මත තබද්දීම භෂ්මසුරයා දැවී අළු වී ගියේය. ඒ අළුවලින් මහසෝනා උත්පත්තිය ලද බව ද මහසොහොන් උත්පත්තිය ගැන තවත් කතාවකි.

ජනප්‍රවාද හා සාහිත්‍ය විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ හා සත්‍ය අතර පරස්පරතා තිබෙන්නට පුළුවන. එහෙත් මෛත්‍රී බුදුන් ලොව පහළවන දවසක් දක්වා මේ යක්ෂ ආත්ම ඒ යක්ෂ ආත්මයේම සැරිසරන බව සත්‍යයකි. යුග පරිවර්තනයන්ට සමගාමීව පාරිසරික වෙනස්වීම් හා මානව ජීවන රටාවේ වෙනස්කම්වලට අනුව ඒ යක්ෂ බලපෑම් මානවයා වෙත එල්ලවීමේ අවකාශය ලිහිල් වුවත් ඒ යක්ෂ බලයන්වල අඩුවක් සිදුවන්නේද නැත. එමෙන්ම යහපත් ජීවන පැවැත්මක් සහිත ත්‍රිවිධරත්නය හා දෙවියන් කෙරේ භක්ත්‍යාදර සිත් ඇතුව පිළිවෙත් පුරන මිනිසුන් කෙරේ ඒ බලපෑම් එල්ලවීමේ අවකාශය ඉතා අඩු වගද අවසන් වශයෙන් සඳහන් කරනු වටී.

► සංජීවිකා සමරතුංග
සේයාරූ I චන්න කස්සප කෝරළේආරච්චි