2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

අපිට ඉතින් අවුරුද්දටත් සියඹලයි එළබටුයි විතරයි

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 243

දොළොස් මහක් ගෙවී තවත් දොළොස් මහක් උදාවීමට නියමිතව ඇත. මෙරට ප‍්‍රමුඛතම සංස්කෘතික මංගල්‍යය ලෙස පිළිගැනෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව කිසිවකු නිකරුණේ ගතවී යන්නට ඉඩ දෙන්නේ නැති තරම්ය. අතමිට යමක් කමක් ඇතත් නැතත් රෙදි පිළි, බඩු මුට්ටු ආදිය ටිකක් වැඩියෙන් නිවසට ගෙන යාමට උත්සුක වීම මෙසමයෙහි කාගෙත් සිරිතය. එහෙත් වැව් අමුණු සිඳී, කෙත්වතු පුරන් වී අහේනිය මැද උදාවන මෙවර අවුරුද්ද රජරට කාටත් එතරම් සරැ නැති බව මෙහි ගැමියෝ පවසති. ඇති පෑවිල්ල හේතුවෙන් අනුරාධපුරයේ වැව් ගම්මාන රැසක ජනයා දැඩි ආහාර අහේනියකට මැදිව සිටින අතරම, පානීය සහ අනෙකුත් සනීපාරක්ෂක කටයුතු සඳහා ජලය ප‍්‍රමාණවත් ලෙස සපයාගැනීම ඔවුනට ගැටලුසහගත වී ඇත. ගොවීන් පමණකුදු නොව, ධීවරයන් මෙන්ම නෙළුම් මල් කඩා විකිණීම ආදි කුඩා ව්‍යාපාරවල නියැලෙමින් වැව මගින් දිවි සරිකළ බොහෝ දෙනකුට මෙසමයෙහි සිය ජීවනෝපාය අහිමි වී ඇත. 

අනුරාධපුරයේ පිට පිට කන්න කිහිපයක්ම පුරන් වූ කෙත් යායවල් මුකලන් වැහී ඇත. ඉඩෝරයට මැදිවූ ගම්මැදි බොහෝ වැව් අමුණු අඩියටම සිඳී ඉරිතලා ගොසිනි. හේන් කුඹුරු වගාවන් ද අහිමි වී, අතමිට හිඟ වී ඇති මොහොතක උදාවන අලුත් අවුරුද්ද පිළිබඳව ගැමියනට ඇත්තේ සතුට දනවන හැඟීමක් නොවේ. අස්වනු කපා පාගා ගෙට ගත් කලක් ගැන ඔවුනට මතක නැත. බොන වතුර ටිකට ද අතේ ඇති මුදල් වැයකිරීමට සිදුව ඇති කලෙක අවුරුදු සැමරීමට ඉඩක් නැති බව ඔවුන්ගේ හැඟීමයි. මුකලාන පීරා කඩාගත් කරපිංචා අතු කිහිපයකින් දවස සරිකිරීමට වෙහෙසෙන හැටහත් වියැති එස්. රොසලින් මහත්මිය අනුරාධපුරයේ, තලාව ප‍්‍රදේශයේ ගැටදිවුල නැමැති වන මායිම් ගමේ වෙසෙන්නියකි. උදාවී ඇති අභාග්‍යය පිළිබඳව ඇය පැවසුවේ මෙබන්දකි.

හේනක් කුඹුරක් කරගන්න නැතිව අපිට මොන අවුරුදුද? මම මේ කරපිංචා අතු ටිකක් කඩාගත්තේ පොළටවත් ගිහිල්ලා විකුණලා කීයක් හරි හොයාගන්න. කොහොම හරි කන්න බොන්න හොයාගන්න ඕනනේ. දන්න කාලෙක මෙහෙම එකදිගට කන්න පහ හයක් මඟහැරිච්ච කාලයක් මට නම් මතක නෑ. මේ ගම් මණ්ඩිවල මිනිස්සුන්ට කුඹුරක් හේනක් කරගන්නෙ නැතිව වෙන මොන ආදායමක්ද? කැත්තට, උදැල්ලට හුරැවෙච්ච අපි එකපාරටම වෙන මොනවා කියලා කරන්නද? මේක දේව සාපයක් වගේ. අවුරුද්දට කියලා පොඩි දරැවකුට ඇඳුම් කෑල්ලක් අරන් දෙන්න තරම්වත් හයියක් නෑ කාටවත්. ඒත් පොඩි උන්ට අපිට තියෙන අමාරුකම් තේරෙන්නේ නෑනේ.

අනුරාධපුරයේ ප‍්‍රධාන වාරි ජලාශ යටතේ සමස්ත භූමිය වගාකිරීමේ ඉඩකඩ කන්න කිහිපයක් තිස්සේ උදාවූයේ නැත. මහවිලච්චිය සහ මහකනදරාව මහ වැව් යටතේ මේ වන විට අඛණ්ඩව වගා කන්න හයක් මඟහැරී ඇති බව එහි ගොවීහු පවසති. නුවර වැව, හුරුළු වැව, වාහල්කඩ වැව, නාච්චාදූව වැව, මගින් ද කන්න කිහිපයක් තිස්සේ සමස්ත භූමිය වගාකිරීමට ඉඩ නොලැබුණු බව වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. කන්න කිහිපයකට පසුව මෙවර මහ කන්නය පදවිය වැව යටතේ සාර්ථක වුවද පැවති අහේනිය මඟහැරවීමට එය ප‍්‍රමාණවත් වූයේ නැත. 

කලා වැව කේන්ද්‍රීයව පවතින මහවැලි එච් කලාපය තුළ පමණක් අනෙකුත් ප‍්‍රදේශවලට සාපේක්ෂව වැඩි බිම් ප‍්‍රමාණයක වගාව සිදුවිය. එහෙත් එහි ද ඉකුත් කන්න හතරෙහිම සමස්ත භූමිය වගා කළ නොහැකි විය. ග‍්‍රාමීයව පවතින සුළු වාරිමාර්ග හා කුඩා වැව් අමුණු යටතේ ඉකුත් කන්න හතරට සාපේක්ෂව මෙවර මහ කන්නයේ වැඩි බිම් ප‍්‍රමාණයක් වගා කළ හැකි වුවත් එයින්ද සැලකිය යුතු වගා බිම් ප‍්‍රමාණයක් පෑවිල්ලෙන් පාළු වී ඇත. මෙසේ විනාශ වූ වී වගාව හෙක්ටයාර් දස දහසකට ආසන්න බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. වැසි දියෙන් සහ ග‍්‍රාමීය කොටු වැව් ආශ‍්‍රිතව ජීවනෝපාය සරිකළ කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දිගිලිය, මැදවච්චිය, මහවිලච්චිය, කැකිරාව, ගලෙන්බිඳුණුවැව, තිරප්පනේ, පලුගස්වැව, තලාව, නොච්චියාගම, පලාගල ආදී වන මායිම් වැව් ගම්මාන රුසක ජනයා ගිනි ගහන පෑවිල්ලෙන් පීඩාවට පත්ව සිටිති. 

නියං සායට අභියෝග කොට ඵල දැරූ සියඹලා ගස් මෙහි පොඩිත්තන්ට මහෝඝයකි. ඔවුහු තැන තැන දිවයමින් ගස් යට වැටී ඇති සියඹලා ඵල අහුලති. යන්තමින් දළු ලා ආ කරපිංචා, එළබටු ආදිය සොයා මුකලන් පීරන ගැමි ළඳුන් මේ ගම්මැදිවල දුලබ නොවේ. සියලු විපත් මැද අකම්පිතව ඔවුහු තවමත් ජීවිතය සොයති. ගෙවතුවල ඇති කෙසෙල් යායවල් මැලවී ඇත. වේලීගිය වෙල් ලියැදි එළුවන්ට, ගවයන්ට පිහිටකොට පවතී. එළුවන්, ගවයන් මේච්චල් කොට කීයක් හෝ උපයා සපයාගැනීමට මෙහි සමහර ගම්මැදිවල වැඩිහිටියන්ට සිදුව ඇත. එහෙත් එය ද පහසු නොවනුයේ සතකුට හෝ බීමට වතුර පොදක් ගම්මැදි සමහර වැවක නැති බැවිනි. අතේ පයේ සවිය ඇති බොහෝ දෙනකු ගමෙන් බැහැරව ඇත. ඒ වැසි නැති කල මේ වන මායිම් ගම්වල සිට කළ හැකි කිසිවක් නොවන බැවිනි. මුකලානෙන් කඩාගත් එළබටු ගෙඩි කිහිපයක් නිවසට ගෙන යන අතරමඟ දී හමුවූ තලාවල කැලේකුඹුක්වැව ගම්මානයේ හැත්තෑ තුන් වියැති ආර්. පොඩි මැණිකේ මහත්මිය මෙසේ පැවසුවාය.

මේ ගමේ ඉන්න මිනිස්සු සීයට අනූ පහක් විතරම ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. දැන් කන්න පහ හයක් තිස්සේ මිනිස්සුන්ට කුඹුරැ වැඩත් නෑ. හේන් වැඩත් නෑ. වැවේ වතුර අඩියටම හිඳිලා ඉරි තලලා තියෙන්නේ. ඉතින් කොහොමද ගොවිතැනක් කරන්නේ. වැව දිහා බලනකොට පපුව පිච්චිලා යනවා. ප‍්‍රාදේශීය සභාවෙන් ප්ලාස්ටික් ටැංකි දෙකක් ගෙනත් දැම්මා ගමට. ඒත් දැන් මාස දෙකක් විතර තිස්සේ ඒවට වතුර ගෙනත් දාන්නෙ නෑ. ගමේ කිසිම ළිඳක වතුර පොදක් නෑ. මේ දවස්වල හැමෝම වගේ සල්ලිවලට වතුර අරගෙන බොන්නේ. තියෙන අමාරැකම් එක්ක වතුර බොන්නත් මාසෙකට ගාණක් වියදම් කරන්න අමාරැයි මිනිස්සුන්ට. බොන්න වතුර සල්ලි දීලා ගත්තත් අනිත් දේවල්වලට වතුර ගන්නේ කොහෙන්ද? මං මේ එළබටු ගෙඩි ටිකක් කඩාගත්තේ. ඒවත් නෑ දැන්. පෑවිල්ලට ඔක්කොම වේලිලා.

මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියඟයෙන් අනුරාධපුරයේ වැඩිම ආපදාවට ලක්ව ඇත. තන්තිරිමලය ආදී ප‍්‍රදේශවල වන මායිමේ බොහෝ ගම්මානවල ජනයාට පානීය ජලය මෙන්ම ස්නානය සහ අනෙකුත් සනීපාරක්ෂක කටයුතු සඳහා ජලය සපයා ගැනීම ගැටලුසහගත වී ඇත. ස්නානය සඳහා සැතපුම් ගණන් දුර ගෙවන්නට සමහර ගැමියකුට සිදුව තිබේ. හේන් ආශ‍්‍රිතව සිදුකොට ඇති උඳු වගාව මෙහි ගැමියන්ගේ ප‍්‍රධානතම ආදායම් මාර්ගයක්ව පැවැත ඇත. එහෙත් කන්න කිහිපයක් තිස්සේ නිසි ලෙස වැසි නොවැටීමෙන් හේන් බිම් මුකලන් වැහී දැඩි දාහයෙන් දැවෙමින් පවතී. කළ හැකි කිසිත් නොවන හෙයින්ම මෙහි බොහෝ දෙනා ගමෙන් බැහැර වී සිටිති.. පෑවිල්ලෙන් වියරැ වැටුණු වනඅලි ගම් වැදීම ගැමියන් මෙසමයෙහි මුහුණදෙන තවත් බරපතළ ගැටලුවකි. බීමට වතුර, කෑමට යමක් සොයා වනඅලි ගම් වදිති. මහවිලච්චිය, බෝගස්හන්දිය ගම්මානයේ යූ.ඒ. ගාමිණි මහතා මෙසේ පැවසීය.   

ආයේ ඉතින් කොයි කාලෙක මේ වැවෙන් කුඹුරක් කරලා ආදායමක් ගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. ඔක්කොම කුඹුරු පුරන් වෙලා මුකලන් වැහිලා තියෙන්නේ. දැන් අවුරුද්දකින් හමාරකින් ගොඩ ගොවිතැනක්වත් කරගන්න ඉඩක් ලැබුණේ නෑ. ගෙවල්වල වී පුරෝගෙන හිටපු අපිට දැන් කන්න වී ඇටයක්වත් නෑ. ගමේ හැමකෙනාටම කඩෙන් හාල් කන්න වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට කුලී වැඩක්වත් නෑ. පුදුම අමාරුවකින් ජීවත් වෙන්නේ. ගොඩක් මිනිස්සු මොනවා හරි වැඩක් හොයාගෙන පිටට ගිහිල්ලා ඉන්නේ. එහෙමත් මනුස්සයෙක් තමයි ගම්වල ඉන්නේ. හොඳට කාල බීල කාටවත් බරක් නැතිව හිටපු මිනිස්සු දැන් මේ විදිහට අසරණ වෙලා ඉන්නේ

අහස දිහා බලාගෙන හූල්ලන්න වෙලා තියෙන්නේ. හේන්, කුඹුරු කරන කාලෙට හොඳට කාල බීල කීයක් හරි ඉතුරැ කරගන්නවා. දැන් මේ ගිනිගහන අව්වේ මොන හේන් කෙරිල්ලක්? පහුගිය කාලේ හේන් සුද්දකරගෙන බලාගෙන ඉඳලා නිකම්ම අතහැරලා දැම්මා. කුඹුරු යායවල් පිටින් මුකලන් වැහිලා තියෙන්නේ. ආයේ කොයි කාලෙක මේ කුඹුරු කරලා අස්වැන්නක් ගන්න පුළුවන් වෙයිද කියන්න බෑ. ණය වෙලා අවුරුදු කෑවට පස්සේ ණය පියවන්න ක‍්‍රමයක් තියෙන්නත්  ඕනනේ. මේ යන විදිහට මෙදා යල් කන්නේ ගැන මිනිස්සු ලොකු අවිශ්වාසෙකින් ඉන්නේ. එහෙම එකේ ඇත්තටම ණය වෙන්නැති එක තමයි වඩාම හොඳ. ආණ්ඩුවේ රස්සා කරන මිනිස්සුන්ටයි, දේශපාලනේ කරන අයටයි ප‍්‍රශ්නයක් නෑ. ඇත්තටම කොයි අතින් බැලුවත් පොඩි මිනිහට තමයි අමාරු.

අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා වෙතින් කළ විමසීමකදී පැවසුවේ වගාවන් අහිමි වූ අනුරාධපුරයේ ප‍්‍රදේශ ගණනාවක ජනතාව වෙත රජය මගින් යෝජිත ආහාර මලු ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක‍්‍රියාත්මකව පවතින බවය. පානීය ජලය සැපයීමේ කටයුතු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙන් සිදුවන බව හෙතෙම පැවසීය.

 සටහන හා සේයාරූ - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග