2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

කැලණි රජමහා විහාරයේ ධාතු මන්දිරය සුද්ද කළ හොරා

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 419

අලුයම පිබිදුණු ස්වාමීන් වහන්සේ නමක් විහාරයේ ධාතු මන්දිරය වෙත වැඩම කළහ. අත වූ යතුර රැගෙන පිවිසුම් දොරටුව විවෘත කළ හිමියෝ දවසේ උදෑසන පූජාව පවත්වා පිටතට පැමිණියහ. උන්වහන්සේ සුපුරුදු ලෙසින් ආවාස ගෙය දෙසට පිය මැන්නෝය. ස්වාමීන් වහන්සේ ධාතු මන්දිරයට ඇතුළු වන ආකාරය දෙස සැඟවී බලා සිටින අවුරුදු 50ක පමණ පුද්ගලයෙකි. ඔහු හාමුදුරුවන්ට නොපෙනී සිට හොරාට ධාතු මන්දිරයට ඇතුළු වූයේ ස්වාමීන් වහන්සේ ඉන් නික්මුණු පසුවය. මොහු දඩි බිඩියේ ධාතු මන්දිරය පුරා ඒ මේ අත ඇවිද ගියේය. පූජනීයත්වයෙන් සුරක්ෂිතව අසුරා තුබූ භාණ්ඩ කීපයක් බෑගයකට දමාගත් තැනැත්තා වහා එතැනින් පිටවූවේය. වටපිට බලමින් හොර රහසේ පලා යන සැකකරුගේ සියලු හැසිරීම් විහාරයේ රහසිගත කැමරා කීපයකම සටහන්ව තිබුණේ ඔහුටත් නොදැනීමය.

කැලණිය රජමහා විහාරස්ථානයේ සිදුවූ මේ හොරකම පිළිබඳව කිසිවකුට අවබෝධයක් තිබුණේ නැත. ටික වේලාවකට පසුව විහාර මන්දිරය වෙත වැඩම කළ ස්වාමීන් වහන්සේට විහාර මන්දිරයේ යම් වෙනසක් සිදුව ඇති බව පෙනුණත් එය හරියාකාරව අවබෝධ වූයේ නැත. මොහොතක් එදෙස බලා සිටියදී තේරුම් ගොස් තිබුණේ අලුයම දක්වාම පන්සලේ තිබූ මිල කළ නොහැකි පෞරාණික වස්තූන් රැසක් අතුරුදන්ව ඇති බවය.

වහාම මේ බව කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ට දන්වා භාණ්ඩ අතුරුදන්වීම පිළිබඳව කැලණිය පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. එහිදී අනාවරණය වූයේ විහාරයේ පැරැණි ධාතු මන්දිරයේ ප්‍රදර්ශනයට තබා තිබූ ගජමුතු 10ක්, රන් බුදු පිළිම, රන් මාල 5ක් සහ මැණික් ගල් ඇතුළු පෞරාණික වශයෙන් වටිනා මිල කළ නොහැකි භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති බවය. මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ පොලීසිය විහාරයේ ස්වාමීන් වහන්සේලාගෙන් ලබාගත් තොරතුරු අනුව විහාරය පරිශ්‍රෙය් පිහිටුවා තිබූ රහසිගත කැමරාවල දර්ශන විමර්ශනයට ලක්කළේය. ඒ අතර වැඩි අවධානයක් යොමුවූයේ සැකසහිත ලෙස විහාර බිමේ සැරිසරන පුද්ගලයකු වෙතය. මොහු පන්සලට පැමිණෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් වන්දනා මාන සඳහා පැමිණෙන අයුරෙනි. ඒ මේ අත ඇවිදිමින් සිටින සැකකරු අලුයම ධාතු මන්දිරයේ දොර විවෘත කරන ස්වාමීන් වහ්නසේ දෙස බලා සිටින්නේ සැඟවී සිටය. මොහොතකින් ධාතු මන්දිරයට පැන ගන්නා පුද්ගලයා ස්වාමීන් වහන්සේට මුවා වී රැඳී සිටී. අලුයම පූජා කටයුතු අවසන් කළ ස්වාමීන් වහන්සේ පිටතට පැමිණෙන්නේ සැකකරු පිළිබඳ නොදැනය. උන්වහන්සේ ආවාස ගෙය දෙසට වඩින අතරතුර රන්මාල, රන් බුදු පිළිම, ගජමුතු, මැණික් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් ගමන් බෑගයට දමාගත් පුද්ගලයා විහාර මළුවට බැස පලා යන්නේ කිසිවකුට අසු නොවනු ඇතැයි සිතමිනි. එහෙත් මේ සියල්ල සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබීම පොලිස් පරීක්ෂණවලට සහනයක් විය.

ධාතු මන්දිරයේ ප්‍රදර්ශනයට තබා තිබූ ගජමුතු 10 අධිකරණ නියෝගයක් අනුව විහාරස්ථානයට හිමි වූ ඒවාය. සෙසු රන්මාල හා මැණික් ගල් දානපතියන් විසින් කැලණිය විහාරයට පූජාකළ ඒවාය. විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ පසුගිය 2 දින අලුයම ධාතු මන්දිරයේ පළමු ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මේ සොරකම සිදුව ඇති බවය. සී.සී.ටී.වී. දර්ශන අනුව පොලීසිය වාර්තා කරන්නේ 2 වැනිදා පෙරවරැ 7.00 -9.00 අතරතුර සැකකරු විහාර පරිශ්‍රයේ සැරිසරමින් සිට ඇති බවත් ඒ අතරතුර කාලයේදී සොරකම සිදුව ඇති බවත්ය. කැමරා දර්ශන අනුව හඳුනා ගැනීමට උත්සාහ ගන්නා සැකකරු අවුරුදු 50ක පමණ පුද්ගලයකු බවත් ඔහු උරහිසේ බෑගයක් එල්ලාගෙන යන බව පෙනෙන්නට ඇති බවත් පොලිසිය පවසයි. මේ අතර පොලිසිය පවසන්නේ මීට වසර කීපයකට ඉහතදීද කැලණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තිබූ භාණ්ඩ රැසක් සොරාගෙන ඇති බවය.

කොළඹ උතුර කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණයත් කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් වල්පොල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සහ බස්නාහිර පළාත උතුර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනායක මහතා ප්‍රධාන කණ්ඩායම් දෙකක් විමර්ශන සිදුකරති. මෙහි පළකරන සැකකරු පිළිබඳ තොරතුරක් ඇත්නම් ස්ථානාධිපති දිසා අපරාධ බස්නාහිර පළාත උතර 071-6868075, කාර්යාලය 011-2947780, ස්ථානාධිපති කැලණිය  071-8591593 හෝ පොලිස්ථානය කැලණිය 011-2914666 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

♦ සටහන සහ සේයාරුව
සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:03