මූල්‍ය වංචාකරුවකු වශයෙන් නම්කර ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක් කළ උදයංග වීරතුංග ඉකුත් රජය සමයේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයාය. 9 වසරක් තානාපති සේවාවේ ක්‍රියා කළ ඔහුට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගුවන් යානා මිලට ගැනීමේදී මුදල් අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා නැගිණ. ආණ්ඩු පෙරළියට පසුව තානාපති සේවය නිමවා ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය උදයංග වීරතුංගට දැනුම් දුන්නද ඔහු ආගිය අතක් නොවීය. එවැනි පසුබිමක පෙබරවාරි මුලදී මොහු ඩුබායි ගුවන් තොටුපොළේදී එරට ආගමන විගමන නිලධාරීන්ට කොටු වුවද අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට හැකිවූයේ නැත. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණ. සැඟවී සිටින සැකකාර උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත රතු වරෙන්තුවක් නිකුත් කෙරිණි.
මෙසේ තිබියදී මිග්යානා ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු වන උදයංග වීරතුංග ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වූයේ පසුගිය 26 වැනිදාය. මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේ ඉන් දින දෙකක් ගතවූ පසුවය. ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්ව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා සිදුකෙරෙන බවය.
මේ අතර පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් සැකකරු එරටින් පිටුවහල් කිරීමට සූදානමක් පවතින බවය. උදයංග වීරතුංග යුක්රේන පුරවැසියකු බව ප්‍රසිද්ධය. එබැවින් ඔහු ඩුබායි සිට පිටුවහල් කරන්නේ නම් නිතැතින්ම ඔහු යුක්රේනය වෙත යනු ඇතැයිද එසේ වුවහොත් මෙවරත් ඔහු ලංකාවට රැගෙන ඒම සිදු නොවන බවටද වාර්තා වේ. මීට මාසයකට පමණ ඉහතදී මොහු ඩුබායි ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී එරට ආගමන විගමන නිලධාරීන්ට කොටු වී තිබුණේ විදේශ ගමන් බලපත්‍රය තහනමකට ලක්ව තිබියදී ඩුබායි සිට අමරිකාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදීය. ඒ වන විටත් මෙරට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ ඉල්ලීම අනුව ජාත්‍යන්තර පොලීසිය වෙත නිල් නිවේදනයක් පමණක් නිකුත් කර තිබිණ.
උදයංග වීරතුංග මීට ඉහතදී අත්අඩංගුවට පත්ව තිබියදී මෙරටට රැගෙන ඒම සඳහා 7 දෙනකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියද ඔවුහු යළි හිස් අතින් මෙරටට පැමිණියහ. ඊට හේතු වී තිබුණේ සැකකරු ලංකාවට රැගෙන ඒම පිළිබඳව නීතිමය ගැටලු මතුව තිබූ බැවිනි. ඊට ප්‍රධාන හේතුව වූයේ සැකකරු යුක්රේන පුරවැසියකු වීමත් එරට සිට ඩුබායි වෙත ගුවනින් පැමිණ තිබූ නිසාත්ය. අත්අඩංගුවට ගැනීමේදී පැවති නීතිමය තත්ත්වය මත ඔහු බාරකළ යුතුව තිබුණේ යුක්රේන රජය වෙත පමණය. කෙසේ හෝ මෙවර ඔහු අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒමට හැකි වුවහොත් මිග්යානා ගනුදෙනුව ඇතුළු සෙසු මූල්‍ය වංචාවන්ට එරෙහිව ඔහුට නීතිමය පියවර ගැනීමට හැකිවනු ඇත.
මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ඩුබායි සිට අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග ලංකාවට රුගෙන ඒම සඳහා අනුමැතිය ලැබී ඇති බවය. එහෙත් සැකකරුවකු අත්අඩංගුවට ගත් පමණින් රටකට බාරනොදෙන බවත් ඒ සඳහා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.
යම් රටක පුද්ගලයකු වෙනත් රටකදී අත්අඩංගුවට පත්වූයේ නම් ඔහු හෝ ඇය සිය රටට පිටත් කිරීම හෝ බාරකිරීම එම රටවල් අතර තානාපති කාර්යාල හරහා සිදුකළ යුතුය. මෙම රාජ්‍යතාන්ත්‍රික කටයුතු විශේෂිතය. රටවල් දෙකක් අතර පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අදාළ රටවල් අතර මාරුකිරීමට නම් අවශ්‍ය නීතිමය ගිවිසුම් අත්සන් තබා සිටිය යුතුය. උදර්පණ නීතිය නම් වන්නේ එයයි.
රුසියන් භාෂාව හැසිරවීමේ දක්ෂයෙක් වන උදයංග වීරතුංග ව්‍යාපාරික වශයෙන්ද ඉහළ තලයක කටයුතු කළේය. ඔහු තේ ව්‍යාපාරයක නියැලුණු අතර යුක්රේනයේ ක්ලබ්ලංකා අවන්හලේ හිමිකරුද වේ. මොහුට යුක්රේන රජයෙන්ද නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන්ට ගිනිඅවි සැපයූ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ. මේ පිළිබඳව නිල වශයෙන් ශ්‍රී ලංකාවට යුක්රේන රජය දන්වා තිබුණේ 2014 නොවැම්බර් 21 වැනිදාය. එම තොරතුරු යුක්රේන බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබුණි.
දූෂිත මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා එල්ල වූ රුසියාවේ හිටපු තානාපතිවරයා සේවයෙන් නෙරපූ වහාම ලංකාවට කැඳවන්නට උපදෙස් දුන් හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට හෝ කිසිම ආරක්ෂක අංශ නිලධාරියකුට උදයංග යටත් වූයේ නැත. ඒ සියලු දෙනාට වඩා බලවත් ශක්තියක් ඔහු සතුව ඇති බව පැහැදිලිය. පැවති රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිරිසකගේ ඥාති සොහොයුරකු වන උදයංග වීරතුංගට මෙවර හෝ හරියට මාංචුව වැටේදැයි බොහෝ දෙනෙක් කුතුහලයෙන් බලා සිටිති.
►සමන්ත ප්‍රදීප් විල්තෙර