2018 මාර්තු 31 වන සෙනසුරාදා

මහදවල් හොර රහසේ සිදුවන හන්තානේ කුරුලු දඩයම

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 555

මහනුවර පාරිසරික හදවත ලෙස සලකනු ලබන“හන්තාන” අධිරක්ෂිත කඳු පරිශ්‍රයේ පිහිටි රක්ෂිත වනාන්තරවල සහ රජයට අයත් තේ වතු පරිශ්‍රවල දැවැන්ත ගස්වල “බෙන” තුළ වෙසෙන ඉතා දුර්ලභ ගණයේ දේශීය පක්ෂීන් ඉතා සූක්ෂ්ම ලෙස අල්ලා අධික මුදල්වලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගත හැකිව තිබේ. “හන්තාන” අධිරක්ෂිත පරිසර පෙදෙස් තුළ සිදුවන අනවසර නීති විරෝධී ඉදිකිරීම් හා සමානව සිදුකෙරෙන පරිසරයට හානිකර ක්‍රියාදාමයන් අතර හන්තාන රක්ෂිත පෙදෙස්හි වනාන්තරවල වෙසෙන අසරණ වන සතුන්, කුරුලු වර්ග අල්ලාගෙන ජාවාරම් සිදුකිරීම ඉතා රහසිගතව සිදුවන්නේ හන්තාන පරිසරය ආරක්ෂා කරන්නේ යැයි පෙනීසිටින පරිසරවේදීන්ගේද ඇස් වසාලමිනි.

ඔත්තු බලන්නන් යොදවාගනිමීන් ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරමින් ඉතා දැවැන්ත වූ ගස්වලට නඟින මෙම ජාවාරමුන් යකඩ ඇණ (විශාල වූ) යොදාගෙන එම විශාල යකඩ ඇණ ගස්වලට ගසා ඒවා ආධාරක ලෙස උපයෝගී කරගනිමින් ගස් බෙන තුළ වෙසෙන මාලගිරවුන්, සැළලිහිණියන්, මයිනන් සහ වෙනත් වර්ණයන්ගෙන් යුත් ඉතා දුර්ලභ වූ පක්ෂීන් අල්ලා, එම පක්ෂීන් අලෙවි කරන බවටද තොරතුරු හෙළිකරගත හැකි විය.

වනාන්තරවල ඉතා අහිංසකව වෙසෙන මෙම දුර්ලභ පක්ෂීන් අල්ලාගන්නා කල්ලියට දසදෙනකු පමණ ඇතුළත් බවත් ඔවුන් හන්තාන රක්ෂිත කඳු වනාන්තර පෙදෙස්හි මනා පළපුරුදුකරුවන් බවත් කියති. ඔවුන් සිදුකරන මෙම පක්ෂීන් ජාවාරම පිළිබඳව අහම්බෙන් මෙන් තොරතුරු අනාවරණය කරගත් අපි එම සියලු දසුන් අපේ කැමරාවලට හසුකරගන්නටද කටයුතු කළෙමු. වන සතුන්ගේ ආරක්ෂාවට යොමු වී සිටින නීතිම අංශවල පවා අවධානයට කිසිම අයුරකින් ලක්නොවූ අහිංසක පක්ෂීන් අල්ලන ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවලිය හන්තාන ප්‍රදේශයේ ජනතාව යම්තරමකට දන්නා නමුත් අනවශ්‍ය කරදර පටලවා ගැනීම තමන්ට අවශ්‍ය නැතැයි පවසා නිහඬ වී සිටිති.

ඉතාමත් දුෂ්කර ලෙස දැවැන්ත ගස්වලට නඟින මේ කුරුළු දඩයම්කරුවන් ආරක්ෂිත පටි ඉඟ වටා බැඳගෙන අත්පොරෝ යොදාගෙන ගස් බෙන කපා හාරා එම බෙන තුළ වෙසෙන පක්ෂීන් අල්ලාගනු ලබන්නේ එම අහිංසක පක්ෂීන් සඳහා ඔවුන්ට විශාල මුදලක් උපයාගත හැකි නිසාය.

රක්ෂිත වනාන්තරවල නිරන්තරයෙන් සැරිසරන මෙම කල්ලිය මා-වවුලන් පවා අල්ලා මස් පිණිස එම වවුලන් සංචාරක හෝටල් සහ අවට පිහිටි නිවාඩු නිකේතනවලටද අලෙවි කරන බවට තොරතුරු අනාවරණය විය.

හන්තාන පරිසරය මේ වන විට කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත්ව තිබෙන අවස්ථාවක එම සුන්දර වනාන්තර පරිසරය ඔපවත් කිරීමට ඉතිරිව සිටින ඉතා දුර්ලභ වූ විවිධ පක්ෂීන් අල්ලාගනු ලබන මෙම කුරුලු දඩයක්කරුවෝ එම පක්ෂීන් රුපියල් 25000/- සහ රුපියල් 50000/- වැනි මුදලකට අලෙවි කරතියි පැවසේ.

මාලගිරවුන් ළඟ තබාගැනීමත්, අලෙවි කිරීමත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, මෙවැනි සතුන් කූඩුවල එක්රැස් කර තබාගැනීමද වරදක් බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම ජාවාරම ඒ ඒ වතුවල පාලකයන් හා නිලධාරීන් මෙන්ම වතු කම්කරු සේවක ප්‍රජාවද නොදන්නා කරුණක් වුවත් මෙම ජාවාරම සිදුකරන කල්ලිය ජංගම දුරකතන පවා භාවිත කරමින් ඔත්තු බලමින් හන්තාන පරිසරයට කරනු ලබන බලවත් විනාශයට වගකිව යුතු රාජ්‍ය අංශ බලධාරීහුද නිහඬව සිටිති.

මේ ඇතැම් නිලධාරීන්ද විවිධ දේශපාලන බලපුළුවන්කාරකම් මත හන්තානේ ඉඩම් අත්පත් කරගෙන සංචාරක නිවාස, සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන පවා ඉදිකරගෙන තම ආර්ථිකය සරිකරගෙන සිටිති. ඇතැම් සංචාරක හෝටල්වලට දඩමස් සැපයෙන්නේද මෙම අධිරක්ෂිත වනාන්තර පෙදෙස්හි ජනාවාස ස්ථාපනය වී තිබෙන කොටස්වල පදිංචි වී සිටින නිකමුන්ගෙන් බවද තොරතුරු හෙළිකරගත හැකි විය.

හන්තාන කඳු රක්ෂිත පෙදෙස්වල ජීවත් වන මුවන්, ගෝනුන්, හාවුන්, මීමින්නන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් කැලෑ පාළුවෝ වියළි කාලගුණික තත්ත්වයන් තුළ රක්ෂිත වනාන්තර ගිනිතැබීම්ද නිරන්තරයෙන් සිදුකරති.

පරිසරවේදීන් ලෙස හඳුන්වන ඇතැමුන් හන්තාන අධිරක්ෂිත පෙදෙස් විනාශ වද්දී නිහඬව සිටීම පිළිබඳව හන්තාන පරිසරයට ආදරය කරන, එහෙත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ස්ථිර පදිංචිකරැවෝද මවිතය පළ කරති. 

හන්තාන රක්ෂිත පෙදෙස්හි කුඩා ගසක් හෝ වියළි දර අත්තක් හෝ කැපීම වන සංරක්ෂණ අණ පනත් යටතේ අධිකරණයට යොමුකර දඬුවම් ලබාදිය හැකි වරදකි. විශේෂයෙන් රක්ෂිත වනාන්තරයකට ඇතුළු වී වීඩියෝගත කිරීම, ඡායාරූප ගැනීමද දඬුවම් ලබාදිය හැකි වරදක් බවට වන සංරක්ෂණ කටයුතු බාර ඇතැම් නිලධාරීන් අධිකරණයේ පවරා තිබූ නඩුවලින් පෙන්වා දී තිබිණි.

එහෙත් මහ දවල් ඉතාමත් ප්‍රසිද්ධියේ ඔත්තුකරුවන් යොදවාගෙන සංවිධානාත්මක වූ දඩයම් කල්ලියක් දැවැන්ත ගස්වලට නැඟ එම ගස්වලට හානි කරමින් එකී ගස් බෙන තුළ සිටින විරල ගණයේ පක්ෂීන් අල්ලාගැනීම සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණය බාර වගකිව යුතු නිලධාරීන්ට තොරතුරැ නොලැබෙන බව ඔවුන්ගෙන් කරන ලද විමසීම්වලදී දැනගන්නට ලැබිණි.

වනජීවී නිලධාරීන් කීපදෙනකු පැවසුවේ දුර්ලභ ගණයේ පක්ෂීන් ළඟ තබාගෙන සිටි ඔවුන් අලෙවි කළ පුද්ගලයන් රැසක් මහනුවර හීරැස්සගල, මැවිල්මඩ, මහයියාව සහ අකුරණ යන ප්‍රදේශවලදී වැටලීම් කර අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔවුන් අධිකරණය හමුවට යොමුකොට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නඩු පවරා දඬුවම් ලබාදීමට පියවර ගත් බවද ඔවුහු පැවසූහ.

මහ දවල් හන්තාන අධිරක්ෂිත කඳු පෙදෙස්වල සිදුකෙරෙන කුරුලු දඩයම තමන්ට තොරතුරු ඔස්සේ දැනගන්නට ලැබුණා නම් වහා එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

රජයට අයත් තේ වතු පරිශ්‍ර තුළ ඇති විශාල ගස්වලට මෙම ජාවාරම්කරුවන් නඟින්නේ රාත්‍රී කාලයේ නොවන අතර ඔවුන් කුඩා අත්පොරෝ භාවිත කරමින් ගස්වලට නඟින අවස්ථාවන්හිදී ගසෙන් බිමට වැටේවි යන සැකය මත කඹ හා දම්වැල් වලින් ආරක්ෂා වෙති.

මෙම දඩයම් කල්ලිය ඉතා අනතුරුදායක මෙන්ම තම ජීවිත අවදානමද නොතකා දැවැන්ත ගස්වලට නැඟ බෙන හාරා ඒ තුළට අත් දමා කුරුල්ලන් අල්ලා ගනියි. මෙම ක්‍රියාව නීති විරෝධී කටයුත්තක් ලෙස ඔවුන් සලකන බවක් අප හෙළිකරගත්තේ ඔවුන් කීපදෙනෙක් ගස් මතට නැඟ සිටියදී තවත් කීපදෙනෙක් ජංගම දුරකතන ළඟ තබාගෙන තමන්ට බාධාවක් එන්නේ කොයි ඉසව්ව තුළින් දැයි මනා විමසිල්ලෙන් සිටිනු දුටු විටදීය.

මහනුවර සුන්දරම කඳු පරිසරය වූ හන්තාන උඩවත්ත කැලේ, වාකරේවත්ත, ගන්නෝරුව කඳු රක්ෂිතයද මෙම කුරුලු දඩයම්කරුවන්ගේ ග්‍රහණයට නතුවීමට වැඩි කලක් ගත නොවනු ඇත.

සුන්දර කන්ද උඩරට මනරම් පරිසරයට අලංකාරයක් ගෙන දෙන විවිධ පක්ෂීහු හන්තාන කඳු පරිශ්‍රයට පැමිණෙති. මෙම පක්ෂීන් අතර ලංකාවේ විවිධ පළාත්වලින්ද විදේශ රටවලින්ද කුරුලු වර්ග සංක්‍රමණය වෙති. බොහෝ අවස්ථාවන්වල දැවැන්ත ගස්වල බෙන තුළ ශ්‍රී ලංකාවට ආවේණික වූ ඉතාම දුර්ලභ ගණයේ පක්ෂීහුද සිටිති.

බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් ධනවතුන් තම නිවාසවල පෞද්ගලික සතුන් වත්තක් පවත්වාගෙන යාම සඳහා මාලගිරවුන්, මයිනන්, සැළලිහිණියන් වැනි පක්ෂීන් මෙම ජාවාරම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවද කියති.

මා-වවුලන් වැනි අහිංසක පක්ෂීන් දැල් යොදා අල්ලාගන්නා ඇතැම් කුරුලු දඩයම්කරුවන් එම වවුල් මස් සංචාරක හෝටල්වලට සපයති. එක් වවුලෙක් රුපියල් 300 සිට රුපියල් 500 දක්වා මිලකට අලෙවි කෙරෙන බව වවුලන් බහුලව ගැවසෙන දිගන, අඹකොටේ සහ හන්තාන පෙදෙස්හි අප කළ සොයා බැලීම්වලදී අනාවරණය කරගත හැකි විය.

දුර්ලභ ගණයේ පක්ෂීන් අල්ලා විකුණා ලබාගන්නා මුදල් යොදවාගනු ලබන්නේද මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට බවද දැනගන්නට ලැබිණි.

මහනුවර සහ නගරයෙන් බැහැර සංචාරක නිකේතන පිහිටි රක්ෂිත වනාන්තර ආසන්න ප්‍රදේශවලද වනාන්තරවල වෙසෙන පක්ෂීන් කුරුලු දඩයම්කරුවන්ගෙන් බේරාගැනීමට කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුව ඇත.

► ජේ.ඒ.එල්. ජයසිංහ
සේයාරූ - තෙල්දෙණියේ චන්දන උඩුවාවල