2018 මාර්තු 24 වන සෙනසුරාදා

ගින්දරෙන් පිච්චෙන පුත්තලමේ දිය බිඳක් සොයන හිරුණිලා

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

එගොඩපිටිය ගම්මානයේ ජලය නොමැතිකමින් පීඩාවට පත් වූ පවුල් දහයක් පමණ ජීවත්වෙති. ගමෙහි කෙළවර වන්නට ජීවත්වීම මෙම ගැටලුවට විසඳුම් නොලැබීමට හේතුවී ඇත. දහසකුත් අගහිඟකම් මැද ජීවත්වීමට වෙර දරන දිරිය දියණියක් පිළිබඳ වාර්තා වූයේ එම ගම්මානයෙනි. ඇය හිරුණි නිසංසලාය. මොරියාකුලම රජයේ විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම පවුලේ වැඩිමලාවූ සහෝදරයින් හතර දෙනකුට මවක් මෙන්වූ ඇය තවමත් වයස අවුරුදු 16ක දැරිවියකි. වැඩිහිටි අයකුට වඩා හැකියාවකින් යතුරු පැදිය රිසිසේ පදවන හිරුණි කිලෝමීටර දෙකක් පමණ දුර ගොස් පානීය ජලය රැගෙන ඒම ඇයගේ දින චර්යාව වී ඇත.

ආච්චි අම්මාට වතුර ගෙන ඒමට නොහැකිවූ දිනවල දෛනික කටයුතු සඳහාද ජලය රැගෙන ඒමට හිරුණි පසු බට නොවන්නීය. වයසට වඩා වැඩි මුහුකුරාගිය කාර්ය භාර්යයන් ඇයට සිදු කිරීමට සිදු වූයේ අගහිඟකම් මැද වුවද සමගියෙන් ජීවත්වූ මව පියා අතර වූ ආරවුලක් මත ආදරණීය පියාණන් ගෙල වැළලා ගෙන ජීවිතයෙන් සමු ගැනීමෙන් පසුවයි.

පියා අහිමිවන විට වයස අවුරුදු 14 ක්වූ හිරුණිට වයස අවුරුදු 04, 06, 07,වයසේ පසුවූ සොහොයුරන් තිදෙනෙකි. පියා අහිමිවී මාස හයකට පමණ පසුව දැනට වසර එක හමාරකට පමණ පෙර මවද ඔවුන් හැර දමාගොස් ඇත. හිරුණි දැරිවියගේ මවගේ සොහොයුරාගේ බිරිඳද තම සැමියා සහ වයස අවුරුදු 06 දරුවා හැරදමා ගොස් ඇත්තේද දැනට වසර එක හමාරකට පමණ පෙරය.

දරුවන් පස් දෙනකුගේ ආරක්ෂාව වගකීම හිරුණිගේ මවගේ මෑණියන් විසින් බාරගෙන ඇත්තේ නොතේරෙන වයසේ දරුවන්ට මවගේ පියාගේ රැකවරණය ලබාදීමටය. වයස අවුරුදු 70 ක්වූ ඇය පී.වී. මාලනීය. දරැවන් පස් දෙනකු ජීවත් කර වීමට නොවිඳිනා දුක් විඳිමින් විවිධ රැකියාවල නිරතවීමට ඇයට සිදුවී ඇත.

දියණියක් සහා පුතණුවන් තිදෙනකු තම කුසින් මොලොවට බිහිකර ආදරයෙන් ඇති දැඩිකර සැමියා මියයාමත් සමඟ දරුවන් අතහැර යාමට තරම් මව අකාරුණික වුවද ඒ පාපයේ වන්දිය ගෙවීමට ඇයගේ මව භාර ගන්නේ දරුවන්ට කරුණාවත්ත ආච්චි අම්මා කෙනෙකු වීමෙනි.

එගොඩපිටිය පලීගම වැවට ඉහළින් පිහිටා ඇති පවුල් දහයක් පමණ ජීවත්වන මෙම ගම්මානය වන අලි බහුල සැරිසරන ප්‍රදේශයකි. හිරු බැස යාමත් සමඟ ගමට පැමිණෙන වන අලින් හේතුවෙන් අඳුර වැටීමට පෙර නිවෙස් තුළට වී සිටීමට සිදුවී ඇත. වයස අවුරුදු 70ක ආච්චි අම්මා කෙනෙකු සහා වයස අවුරුදු 16ක්වූ මිනිපිරියකගේ දින චර්යාව පිළිබඳ තොරතුරු ලබා දුන්නේ නිමේෂිකා දිල්හානී මහත්මියයි. ඇය එගොඩපිටිය කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ කිරි එකතු කිරීමේ සේවිකාව ලෙස සේවය නිරත කාන්තාවකි.

දින කිහිපයකට පෙර දුරකථනයෙන් දේශයට ඇමතූ ඇය තොරතුරු ලබාදුන්නේ මෙසේ කියමිනි. මම උදේ හතේ පටන් දහය වනතෙක් කිරි එකතු කරනවා. මම දකිනවා. මාලනි නැන්දා වතුර කලගෙඩියක් අරගෙන හත් අටවතාවක් ගමන් කරනවා. වතුර ගේන්න කිලෝමීටර එක හමාරක් විතර දුර යනවා. ගෙදර වැඩවලට වතුර ගෙනාවට බොන්න වතුර ගේන්න මිනිපිරී පාසල් ගිහින් එනකම් ඉන්නවා කියලා තමයි මාලනී නැන්දා කිව්වේ.

ඒ ගම එගොඩපිටිය ග්‍රාමසේවා වසමේ කෙළවර තමයි තිබෙන්නේ. පලීගම වැව ගමට ආසන්නයෙන් තිබෙනවා. අලි නිසා වැඩිය කවුරුවත් වැවට නාන්නවත් යන්නේ නැහැ. ඒ ගමට වෙනත් කිසිම ජල පහසුකමක් නැහැ. පත්තරේටවත් දාලා ගමට නළ ළිඳක් සකස් කරලා දෙනවා නම් මේ දුක් විඳින අයට ලොකු සහනයක් වෙයි.

ඒ දුක්බර කතාවේ සත්‍ය සොයා අපේ ගමන ආරම්භ විය. පුත්තලම අනුරාධපුර මාර්ගයේ තබ්බෝව හතේ කණුව මංසන්දියෙන් වමට හැරී කිලෝමීටර හයක් කාපට් මාර්ගයේ ගොස් එතැන් සිට තවත් කිලෝ මීටර හයක් පමණ දූෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් ඇරඹූ අපට එගොඩපිටිය කිරි මධ්‍යස්ථානය හමුවිය.

එතැන් සිට වමට හැරී ගමන් කරන විට යතුරු පැදියකින් ගමන් කරන ගැහැනු දැරියක් සහා පිරිමි දරුවකු නෙත ගැටුණි. ඇය හිරුණි යැයි අපට කී නිමේෂිකා දිල්හානි  අදාළ නිවස දෙසට අප කැඳවාගෙන ගියේ දුරකථනයෙන් ඇය කී දුක්බර කතාවේ සත්‍යතාවය පෙන්වා දීමටය.

නිවසට ළඟාවන විට දැක ගැනීමට හැකිවූයේ දවසේ කුලියට තල මිටි බඳිමින් සිටින මාලනී ආච්චිය. ගතවූයේ විනාඩි කිහිපයකි. හිරුණි තම වැඩිමහල් සහෝදරයා සමඟ වතුර කෑන් එකද රැගෙන යතුරු පැදියෙන් නිවසට පැමිණියහ. ඒ ආකාරයට අවස්ථා කිහිපයකදී ජලය රුගෙන ඒමට ගිය හිරැණි සහ සහෝදරයා අවසානයේදී  යතුරුපැදිය අයිතිකරුට ලබාදෙන්නේ වතුර කෑන් එකක්ද සමඟය.

රෑ බෝ වෙමින් තිබුණි. හිරුණි රැගෙන ආ වතුර පිරවූ බැරල් එකෙන් ජලය පුරවාගත් ආච්චී අම්මා මුණුපුරන් හතර දෙනාගේ ඇඟපත සේදීම ඉතාමත් අරපිරිමැස්මෙන් සිදුකළේ ජලය පිරිමසා ගැනීමේ අවශ්‍යතාවයෙනි. ඇඟපත සෝදා ඇයගේ පාසල් වැඩ සිදුකරනා අතරතුර බාල සහෝදරයින්ට පාඩම් කියාදීම හිරුණිගේ සුපුරුදු ක්‍රියාවලිය බව ආච්චි අම්මා පැවසීය.

උදෑසනින් අවදි වී පාසැල් යන සහෝදරයින් තිදෙනා සමඟ හිරුණි මොරියාකුලම රජයේ විදුහලට අධ්‍යාපනය ලැබීම සඳහා ගිය පසු පෙර පාසල් යන හිරැණිගේ බාල සොහොයුරාව පෙර පාසලට රැගෙන යාමට ආච්චි අම්මාට සිදුවී ඇත.

ක්‍රමක්‍රමයෙන් හිරැ බැස යමින් තිබුණි. රූ බෝවීමට පෙර එම ගම්පියසින් පිටත්වීම සිදුකළ යුතුමය. රූ බෝවීමත් සමඟ වන අලි රංචු පිටින් මෙම ප්‍රදේශය ආක්‍රමණය කරන බව ගම්වැසියෙක් පැවසූහ.

පී.වී. මාලනී මව රු බෝවීමට පෙර ගමෙන් පිටතට යන ලෙස ආයාචනා කළේ බොහෝ දේවල් අපට පවසමිණි. ඇය කිව් කතාවේ සාරංශය මෙසේ සටහන් කිරීම වැදගත්යැයි අපට හැඟුණි. අවුරුදු එකක් දෙකක් නොවෙයි වසර ගණනාවක් අපි මේ විදිහට වතුර නැතුව දුක් විඳිනවා. මම දරුවන්ගේ දරුවෝ පස් දෙනෙක් හදා ගන්නවා. අපට ජීවත් වෙන්න ආදායමක් නැහැ. වන අලි ගැටලුවයි වතුර නොමැතිකම නිසයි වගාවක් කරන්නත් බැහැ.

දවසක් කුලී වැඩ තිබුණොත් දවසක් නිකම් ඉන්න ඕනෑ. මට දැන් වයසයි. කිලෝමීටර එකහමාරක් විතර දුර ගිහින් වතුර කලගෙඩියක් ඔළුවෙ තියාගෙන ආවම හරිම අමාරුයි. සල්ලි දීලා වතුර ගන්න විදිහක් නැති නිසා තමයි අපි මෙහෙම දුක් විඳින්නේ. අපට සමෘද්ධියක්වත් නැහැ. සමහර දවස්වලට එගොඩපිටිය පෙරියවිල්ලුව වැවට ගිහින් නාගෙන රෙදි සෝදගෙන එනවා. වැවෙත් වතුර නැහැ මඩවෙන්න හිඳිලා අලිත් නානවා අපිත් නානවා. මගේ මිනිපිරී තමයි මමත් එක්ක එකතුවෙලා වැඩිහිටියෙක් වගේ හැම දේම කරන්නේ. ගමට නළ ළිඳක්වත් ගහලා දෙන්න කවුරු හරි ඉන්නවා නම් ලොකු පිනක් වෙනවා.

අප ගමෙන් පිටවීමට පෙර ආයාචනයක් කරමින් ජලය ලබා ගැනීමට නළ ළිඳක් ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටි හිරුණි නිසංසලා දියණිය ඇගේ හඬින් කියූ කතාව අපි මෙසේ සටහන් කරමු.

“මම පාසැල් ගිහින් එනකොට දෙක දෙක හමාර වෙනවා. එහෙම ඇවිත් තමයි යාළුවෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන වතුර අදින්නේ. වතුර හතරක් අදිනකොට හවස් වෙනවා. මගේ මල්ලිලා හතර දෙනා එක්ක වැවට නාන්න ගිහින් ඉක්මනට එනවා.

හවස් වෙනකොට අලි ඉන්න නිසා ඉස්කෝලේ වැඩ කරන්නේ ඊට පස්සේ, මල්ලිලාටත් පාඩම් කියලා දෙනවා. එතකොට රෑ වෙනවා. අපි වගේම මේ ගමේ පවුල් දහයක් විතර ඉන්නවා. ඒ අයත් වතුර නැතුව ලොකූ ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා.

හවස් වුණොත් වැවට නාන්න යන්නත් බැහැ අලි නිසා. ඒ වගේ දවස්වලට වැඩියෙන් වතුර අදින්න වෙනවා. මම මේ අවුරුද්දේ විභාගෙ ලියන්න ඉන්නෙ. මගේ ආච්චි පව්. වයස නිසා එයාට වතුර වැඩිය අදින්නත් බැහැ. අපිව බලා ගන්නෙ ආච්චි අම්මා කියමින් හිරුණිකාගේ දැසින් මතුවෙමින් ආ වේදනාව යටපත් කරගෙන ඇය නිහඬ වූවාය. ඒ නිහඬතාවයෙන් සිහින මැවූ බලාපොරොත්තුව ඉටුවන්නට නම් ඇය ඉල්ලූ ජල පහසුකම ලැබිය යුතු වේ.

ජී.එම්. පොඩි මැණිකා ගමේ සිටින වයෝවෘද්ධ කාන්තාවකි. පෙරිවිල්ලුව වැවට ඇවිත් මඩ වතුර ටිකක් නාලා කලයකටත් පුරවාගෙන යනවා. ඔය ඡන්ද කාලෙට එන මහත්වරු අපට වෙච්ච පොරොන්දු ඉටුකරලා තිබුණා නම් වතුරට අපට දුක් විඳින්න වෙන්නෙ නැහැ.

කිලෝමීටර එකහමාරක් විතර දුර ඇවිත් වතුර එකක් අරගෙන යනවා කියන්නේ හරිම මහන්සියක්. මොනවා කරන්නද දැන් අපි වයසයි. මැරෙනතුරු ඔය ටික කාලෙත් ඔහොමම යනවා. මම නම් කාටවත් කියන්නේ නැහැ පුතේ වතුර දෙන්න කියලා මොකද නොකෙරෙන නිසා. රැපියල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා කරන සංවර්ධන වගේ නෙවෙයි රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා නළයක් ගහලා දුන්නා නම් අපිට අද මේ දුක නැහැ.

♦රෝවන් පෙරේරා - පුත්තලම