2018 මාර්තු 17 වන සෙනසුරාදා

ආණමඩුවේ පැය 24 ආදර්ශය

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

ආණමඩුවට කළු පැල්ලමක් ඇති කරමින් මුස්ලිම් ජාතිකයකුට අයත් වෙළෙඳසැලක් පසුගිය 11 වැනිදා අළුයම ගිනිබත් කිරීමට ආණමඩුවේම තරුණ පිරිසක් කටයුතු කර තිබුණේ සාමකාමී ආණමඩුව ජාතීවාදී අරගලයකට මුල පිරවීමටයි. ආණමඩුවේ බුද්ධිමත් ජනතාව ජාතිවාදී අරගලයක් ඇති කර ගන්නවා වෙනුවට අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි කියමන සපථ කරමින් ක්‍රියාවක් තුළින් රටටම ආදර්ශයක් ලබාදීමට කටයුතු කළහ.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසේන, පුත්තලම යුදහමුදා කඳවුරේ බ්‍රිගේඩියර් පාලිත පෙරේරා, පුත්තලම විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී බී සී එල් මුණසිංහ යන ආරක්ෂක අංශ ප්‍රධානීන් ආණමඩුව එක්සත් වෙළෙඳ සංගමයේ නිලධාරීන් සහ අමාත්‍ය පාලිත රංගේබංඩාර මහතා අතර ආණමඩුව පොලිස් ස්ථානයේදී කළ සාකච්ඡාවේදී ගත් තීරණයක් අනුව පැය විසි හතරක් ගතවෙන්නට පෙර ගිනිබත්ව තිබූ වෙළෙඳසල යථා තත්ත්වයට පත්කර (11) වන දින රාත්‍රි හතට ආරක්ෂක නිලධාරීන් පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරිය, වෙළෙඳ සංගමය ප්‍රදේශයේ ජනතාව එක්ව මහා සංඝරත්නය සහා මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශීර්වාද මැද්දේ වෙළෙඳසළ යළි විවෘත කිරීම සිදුවිය.

ආණමඩුවෙන් ආරම්භ වූ මෙම ආදර්ශමත් ක්‍රියාවලිය රටේ විවිධ මතධාරීන් අතර මෙන්ම මුස්ලිම් ප්‍රජාව අතර මහත් පැසසීමකට ලක්විය. වෙළෙඳසල විවෘත කිරීමෙන් පසුව මහජනතාවගෙන් ලැබුණු තොරතුරැ සහ සීසීටී දර්ශන ඔස්සේ හඹාගිය පොලීසියට ගිනි තැබීමට සම්බන්ධ සැකකරැවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. මේ සියලු කටයුතු කිරීමට මූලිකව කටයුතු කළ ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ දේශපාලනඥයන් මෙන්ම ආණමඩුව වෙළෙඳ සංගමයේ සභාපති දයාන් අබේරත්න යන අය මහත් කාර්ය භාරයක් ඉටු කළහ. සියලු කටයුතු යහපත් ලෙස නිමාවීමෙන් පසුව 13 වැනි දින ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් හත්දෙනකු ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව 19වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ජනනී එස්. විජේරත්න මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ සිදුවීම වාර්තා වූ පසු ඒ පිළිබද සියැසින් දැක බලාගන්නට ගිය අප දුටු දේ පිළිබඳ කතාවේ සුලමුලයි මේ.

11 වැනි දින අලුයම හතරට පමණ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගෙන් ලැබුණු දුරකථන ඇමතුමට අවදි වූ අප ආණමඩුවට ගමන් ඇරඹූවේ සිදුවන දේ සියැසින් දැක බලා වාර්තා කිරීමටය. ආණමඩුවේ වෙළෙඳ සංකීර්ණයේ හටගෙන තිබෙන ගින්න වාර්තාවීමත් සමඟ එය නිවාදැමීම සඳහා ජල බවුසර් සපයා ගැනීමට සහය වන ලෙස ආයතන කිහිපයකට දුරකථන ඇමතුම් ලබාදී තිබූ පාලිත රංගේබංඩාර මහතා අදාළ අංශ දැනුම්වත් කිරීමට අපගෙන්ද සහය පැතීය.

පුත්තලම විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයාට අමාත්‍යවරයා කියූ පණිවිඩය ඇසීමෙන් සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට හැකිවිය. පැය භාගයක් පමණ කාලයකින් ආණමඩුව නගරයට ගිය අපට දැක ගත හැකිවූයේ අහස උසට නැගෙන කළු දුමාරය පමණී.

අවට විදුලිය විසන්ධි වී තිබුණි. වෙළෙඳසල් එකිනෙක සම්බන්ධ වී තිබීම ගින්න පැතිරී යාමේ වැඩි අවදානමක් පැවතීම හේතුවෙන් කඩිනමින් එය මැඩ පැවැත්වීමට ආණමඩුව ප්‍රජාව බාල්දි, කළගෙඩි, කෑන්, බේසම් උපයෝගී කරගෙන බවුසර්ද යොදාගනිමින් ගින්න නිවාදැමීමට වෙහෙස වෙමින් සිටියහ.

වෙළෙඳසලේ වහළය පොළවට පතිත වී තිබුණි. විශාල ජනතාවක් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම දේශපාලනඥයෝද එම ස්ථානයට පැමිණ සිටියහ. හඳුනා නොගත්තද අන්ධකාරයේ එහා මෙහා දුවමින් ගින්න පැතිරී යාම වැළැක්වීමට වෙහෙසවන විශාල පිරිසක් දැක ගත හැකිවීය. ප්‍රදේශයේ නගරයේ ආරක්ෂව සඳහා අදාළ අංශ ස්ථාන ගත කර තිබෙන ආකාරය නෙත ගැටුණි. අලුයම 5.30 පමණ වනවිට සම්පූර්ණම ගින්න නිවා දැමීමට ආණමඩුව වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රමුඛ ප්‍රජාවට හැකිවිය.

අඳුර පහවී යන්නට පෙර ආණමඩුව පොලිසියට රැස්වූ ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ අමාත්‍ය පාලිත රංගේබංඩාර මහතා වෙළෙඳ සංගමයේ සභාපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී පැය විසිහතරක් යන්නට පෙර වෙළෙඳසැල යථා තත්ත්වයට පත්කර එය විවෘත කිරීමට එකඟතාවයක් විය. එම කාලය තුළදී මේ සිදුවීම පිළිබඳව නීතිය හා සාමය අමාත්‍යවරයා වූ අග්‍රාමාත්‍යවරයාද දැනුවත් කිරීමට පාලිත රංගේ බණ්ඩාර මහතා ක්‍රියා කළේය. මෙම සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීන්ද සහභාගීව සිටි අතර ඒ වනවිටත් ගිනි තැබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරැ අණාවරණය වී තිබුණි. මූලික අරමුණ වූයේ දවසක් ඇතුළත වෙළෙඳසැල තිබූ තත්ත්වයට පත්කර යළි විවෘත කීරීමය. සැකකරැවන් අත්අඩංගුවට ගැනීම දෙවැනි පියවර විය.

උදෑසන 6.30 පමණ ගිනිගෙන දැවීගිය වෙළෙඳසල අසල රැඳී සිටි ජනතාව ඇමතූ දේශපාලන අධිකාරිය සාමය කඩ නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් සැකකරැවන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. විවිධ පක්ෂ නියෝජනය කරමින් සිටි පිරිස අතර ප්‍රියංකර ජයරත්න මහතා ද සිදුවී ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කළේය.

පෙරවරු දහය පමණ වනවිට සියලු සාකච්ඡා නිම වී ගිනිබත් වී තිබූ වෙළෙඳසල යථා තත්ත්වයට පත් කිරීමට සියලුදෙනා එකමුතුව ශ්‍රමය යොදවමින් වහළය සකසා දීමට පහළගම වඩු කාර්මිකයෝ ඉදිරිපත්වී සිටියහ. වෙළෙඳ සංගමය මෙම කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් වෙන්කර වැඩ ආරම්භ කළේය. පෙරවරැ 11 පමණ එම ස්ථානයට පැමිණි හිටපු පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය පුත්තලම නගර සභාවේ හිටපු සභාපති කේ.ඒ. බායිස් මහතා සිංහල ජනතාවගේ ක්‍රියා කලාපය ඇගයීමට ලක් කළේය. ඔහු පැවසුවේ සිංහල මුස්ලිම් ජනයා අතර ජාතිවාදී අරමුණු නොමැති බවත් ඇතැම් පිරිස් ගැටුම් ඇති වීමට මාර්ගය සකස් කරමින් සිටින බවත්ය.

සියයට අනූනවයක් ඉන්න ආණමඩුව සිංහල ජනතාව එක මුස්ලිම් ජාතිකයකුට මේ කරන සත්කාරය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පැසසීමට ලක්විය යුතු එකක් බවද කේ.ඒ. බායිස් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආණමඩුව නගරයේ සිංහල ජනතාවගේ මුස්ලිම් හිතවතා වූ නව්ෆර් මහතාගේ වෙළෙඳ සල යළි සකස්කර දීමට සිංහල ප්‍රජාව කටයුතු කළේ දැඩි කැමැත්තකින් යුතුවයි. ආණමඩුව එක්සත් වෙළෙඳ සංගමය සියලු වගකීම් කරටගෙන සිදුකළ සත් ගුණවත් ක්‍රියාව රටේ ජනතාවට ආදර්ශයක් වනු ඇත. මේ සිදුවීමට අදාළ සැකකරැවන් වයස අවුරැදු විස්සත් විසිපහත් අතර වයසේ පසුවන වැදගත් රුකියා කරන මව්පියවරැන්ගේ දරැවන් වීම බලවත් කණගාටුවකි.

 කතාව හා සේයාරූ I රෝවන් පෙරේරා - පුත්තලම

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05