2018 මාර්තු 17 වන සෙනසුරාදා

සරසවි ඇතුළේ අලුත්ම සටන

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 515

ප්‍රධාන ඉල්ලීම් හතක් මුල්කරගෙන විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් පසුගිය පෙබරවාරි 28 දින ආරම්භ කළ වැඩ වර්ජනය තවමත් අවසන් වී නොමැත. වර්ජනය නිසා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන හා විභාග කටයුතු ද උපාධි ප්‍රදානෝත්සව ආදියද නැවතී ඇත. ඉල්ලීම් ලබාදීමට අමාත්‍යංශවලින් මෙම සති දෙකකට අධික කාලය තුළදී කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, ගැටලුවලට විසඳුම් පතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යංශය අතර පසුගිය 13 දා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ද කිසිම හේතුවක් නොමැතිව කල් දැමූ බවද දැන ගන්නට තිබේ.

මේ නිසා 15 දා සිට වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්ලවාරච්චි පවසයි. ඒ අනුව වැඩවර්ජන කාලය තුළ සිදු කළ ස්වයංසේවාවලින්ම ඉවත් වීමට ඔවුන් තීරණය කර තිබේ. රටේ විශ්වවිද්‍යාල 15ම සේවකයන් මෙම වැඩවර්ජනයට සහභාගී වී ඇති නිසා තත්ත්වය බැරෑරුම් වී ඇත.

ඉදිරියේදී විශ්වවිද්‍යාලවල තවත් අංශවල කාර්ය මණ්ඩල මෙම සටනට සහය පළකිරීමට තීරණය කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයීය උප ශාලාධිපති සංගමය පසුගිය 9දා නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සභාපති එන්. ජේ. සමන්. ප්‍රියදර්ශන පවසන්නේ මෙම වර්ජනය නිසා සරසවිවල ඉදිරි අධ්‍යයන සැලසුම්වලට ද දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි. සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාග කටයුතු හා නවක සිසුන් බඳවා ගැනීමද කල් දමා ඇති අතර බාහිර පාඨමාලා කටයුතු ද අඩාල වී තිබේ. මේ නිසා වෘත්තීය ගැටලුවලට කඩිනමින් විසඳුම් දී අඩාලව ඇති විශ්වවිද්‍යාල කටයුතු යථා තත්ත්වයට පත් කරන ලෙස උප ශාලාධිපති සංගමය ඉල්ලා සිටී.

අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනයට සහාය පළකරමින් තම සංගමය 13 දා සිට අමතර රාජකාරිවලින් වැළකී සිටීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය ද පවසයි. විශ්වවිද්‍යාල ලේඛාධිකාරීවරුන් සහකාර ලේඛාධිකාරිවරුන් ඇතුළු විධායක නිලධාරීහු මෙම සංගමය නියෝජනය කරති. වර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන අයට ලිඛිතව දැනුම් දී ඇති බවද සංගමය කියයි.

එසේම ප්‍රධාන සේවක සංගමයට අමතරව දිවයිනේ විශ්වවිද්‍යාලවල සේවකයන් ද විශ්වවිද්‍යාල මට්ටමින් උද්ඝෝෂණ පැවැත්වීම මේ වනවිට ආරම්භ කර ඇත. කැලණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ අනධ්‍යන කාර්ය මණ්ඩලය පසුගිය 13 දා උද්ඝෝෂණයක නිරතව ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කර්ය මණ්ඩලය ද පසුගිය 14දා එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැයක උද්ඝෝෂණයක් පවත්වා තිබූ අතර එයට සියලුම අනධ්‍යන කාර්ය මණ්ඩලය සහභාගී වී සිට ඇත. එසේම රජරට විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය ද 13 වැනිදා උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා විය.

අනධ්‍යන සේවකයන්ගේ වර්ජනය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටිඅඩියේ ආරම්භ වූවක් නොවේ. මෙයට දිගු ඉතිහාසයක් ඇත. 2011 වසරේ නිකුත් වූ අංක 1000 චක්‍රලේඛයට අනුව විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට විශේෂ දීමනාවක් ලැබුණු නමුත් අනධ්‍යන සේවකයන්ට ලැබී නොමැත. එහෙත් එම චක්‍රලේඛය මගින් අධ්‍යයන දීමනාව සේවක අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට ද දායක කර ඇත. එයින් අදහස් වන්නේ එය දීමනාවක් ලෙස නොසලකා වැටුපට එකතු කර ඇති බවය. අනධ්‍යන කාර්ය මණ්ඩලය එයට සමගාමීව දීමනාවක් ඉල්ලා ඇතත් එය ලබා දී නැත.

2015 ජනවාරි 05දා එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම් පී. බී. ජයසුන්දරගේ අත්සනින් යුතු ලිපියකින් මෙම අධ්‍යයන දීමනාවට සමගාමීව දීමනාවකට අවසර ලැබුණු අතර ඒ අනුව අනධ්‍යන සේවකයන්ට හිමිව ඇත්තේ සියයට 20ක උපරිමය ඇති මාසික හිලව් දීමනාවකි. එහි සියයට 20 සීමාව ඉක්මවන ලෙස ඔවුන් ඉල්ලා සිටියද එයට අවධානය යොමු නොකිරීම නිසා 2016 ජූලි 27දා වැඩවර්ජනයකට යාමට ඔවුන්ට සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 4/2017 චක්‍රලේඛය මගින් මේ දීමනාව තවත් සියයට 15කින් වැඩි කළ අතර ඒ අනුව සියයට 35ක දීමනාවකට හිමිකම් ලැබිණ.

මේ පිළිබඳව සහ තවත් කරුණු පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති යන දෙදෙනාගේ අත්සනින් යුතුව නිකුත් කළ එකඟතා ලියවිල්ල අනුව 2018 වසරේදී එය යළිත් සියයට 20කින් වැඩි කළ යුතු වුවද එය සිදුව නැතැයි යන්න සමිතිවල චෝදනාව වේ. එම ලියවිල්ල මගින් එකඟ වූ “මින් ඉදිරියට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වැටුප් හා දීමනා වැඩි කිරීමක් සිදුවන්නේ නම් ඒ සඳහා පොදු එකඟතාවක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කිරීම” යන කොන්දෙසිය කඩකර ඇති බවද සමිති කියයි. 2016 සිට ලැබිය යුතු එම වැටුප් හා දීමනා වැඩිවීම සිදු නොවූ අතර සියයට 20 හා 15 වශයෙන් 2018 වනවිට 2015 වැටුපට සියයට 35ක දීමනාවක් එක්විය යුතු නමුත් මේ දක්වා එය සිදුවී නොමැත. මෙය විශාල අසාධාරණයකි.

මෙම තත්ත්වය අනුව සේවකයන් මෙවර වැඩ වර්ජනයෙන් ඉල්ලා සිටින්නේ එම එකඟතා ලියැවිල්ලේ ඇති ප්‍රධාන කරුණුවලින් 7ක් හෝ ඉටුකර දෙන ලෙසටයි. ඔවුන් මෙතෙක් ලබාගත් වරප්‍රසාදයක් වන “භාෂා දීමනාව” ගෙවීමට කටයුතු කර නොමැත. මෙම දීමනාව සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 1.6ක මුදලක් වෙන්කර ඇතිමුත් එම මුදල් පාවිච්චි වී නැත. තවද විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා රක්ෂණ ක්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා තිබුණද ලබා ගැනීමට නුපුළුවන්ව ඇත.

ඔවුන් නගන තවත් චෝදනාවක් වන්නේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යන සේවයන් දෙපිරිසකගේම සේවක අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් මුදල් ඇත්තේ එකම ගිණුමක බවයි. අචාර්යවරුන්ගේ මූලික වැටුප, ජීවන වියදම් දීමනාව හා මාසික හිලව් දීමනාව ලෙස සියයට 115 සිට 167 දක්වා මුදලක් සේවක අර්ථසාධක අරමුදලට බැර වනවිට අනධ්‍යන සේවකයන්ගෙන් මේ සඳහා බැරවෙන්නේ මූලික වැටුප, ජීවන වියදම් දීමනාව සහ සියයට 35ක් වූ මාසික හිලව් දීමනාව පමණි. මෙය ඉතා අසාධාරණ වන අතර එකම ආයතනයක් තුළ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවලට දෙආකාරයෙන් සැළකීම මූලික මානව අයිතිවාසිකම් කඩවීමක් ද වන බව පෙන්වා දෙන ඔවුහු ඉදිරියේදී ඒ පිළිබඳව නීතිමය කටයුතු කිරීමට ද සිදුවිය හැකි බව කියති. මෙම සේවක අයිතීන් පිළිබඳ විෂමතාව නැති කිරීමට ඉතාමත් අවශ්‍ය බව ඔවුන්ගේ අදහසය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ.

“සාකච්ඡා සිදු නොවුණු නිසා මෙතෙක් කල් අප නිරත වූ ස්වෙච්ඡා සේවාවල කටයුතු ද නතර කළා. ඒ සමඟම විශ්වවද්‍යාල ශිෂ්‍ය සංගම් සමඟද සාකච්ඡා කළා. කථිකාර්යවරුන්ද මේ වනවිට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. කථිකාචාර්යවරු සහ ශිෂ්‍යයන් සැම දෙනාම අපට සහය දීමට එකඟ වුණා. ඒ නිසා ඉදිරි තත්ත්වය බැරෑරුම්.

විශ්වවිද්‍යාල කොමිසම අගතිගාමී ලෙසයි කටයුතු කරන්නේ. ඔවුන් වැරදි තොරතුරු දෙනවා. එහි සභාපතිවරයා අපට කිසිදු සහයක් දෙන්නේ නැහැ. සාකච්ඡාවලට පැමිණෙන්නේ නැහැ. අලුතින් පත්වූ ඇමති කබීර් හෂීම් සමඟ 27 වැනිදා විනාඩි 5ක් පමණ කතා කරන්න ලැබුණි. අපි තොරතුරු සියල්ල දුන්නත් කිසිවක් සිදු වූයේ නැහැ. අපි හැදුවේ අන්තිම මොහොතේත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට නොගොස් සාකච්ඡාවලින් විසඳගන්නයි. ඒත් බැරි වූ නිසා තමා වර්ජන තීරණ ගන්න සිදු වූයේ.

එකඟතා ගිවිසුම අත්සන් කළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා සහ අමාත්‍යංශ ලේකම් දිසානායක යන මහත්වරුන් තවමත් එම තනතුරැවල සිටිනවා. ඒ නිසා ඒ අයට ක්‍රියා කරන්න අපහසුකමක් නැහැ. නීත්‍යානුකූල ලෙස අත්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කොමිසම අපොහොසත් වෙලා. එහි වරදක් තිබෙනවානම් ක්‍රියාත්මක කිරීමට අපහසුනම් ඒවෙලේ කියන්න ඕනෑ. එහෙම බැරිනම් ඇයි අත්සන් කළේ? අත්සන් කළාට පසු දිගින් දිගට ඇදගෙන යාම වැරදියි. ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් කිරීම වැරදියි. විශ්වවිද්‍යාල පාලක සභාව අපට සහය දෙන්නේ නැහැ. ඒ අය නිහඬව සිටීම නිසා මේ වනවිට සමස්ත අධ්‍යාපන කටයුතු කඩාගෙන වැටිලා.

විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු විධිමත්ව සිදු කිරීම පාලක සභාවල වගකීමක්.

2016 – 08 – 08 දින උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති යන දෙදෙනාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියේ ප්‍රධාන කරුණු හතකට දෙපාර්ශවය එකඟතාව ප්‍රකාශ කර තිබේ.

01. මාසික හිලව් දීමනාව

A. මාසික හිලව් දීමනාව 2007-01-01 දින සිට ලබා දීමට මුදල් ඇමතිගේ එකඟතාව මත දැනට එකඟ වී ඇති රුපියල් මිලියන 360 මුදලට අමතර වශයෙන් තවත් රුපියල් මිලියන 100ක් ලබා ගැනීමට යළි මුදල් ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම, මෙම ප්‍රතිපාදන ඇතුළත් විශ්වවිද්‍යාල අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට දායකත්වය ලබා දීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීම.

B. එම මුදල 2016-01-01 දිනට පෙර දාතම්කර ලබා දීම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීම.

C. ඉදිරියේදී වර්ෂ 5ක පොදු රාමුවක් තුළ විශ්වවිද්‍යාල සේවක දීමනා ගෙවීමට මුදල් අමාත්‍යංශය සමඟ ක්‍රියාකිරීමට පියවර ගැනීම.

D. ඉදිරියේදී විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යම් වැටුප් සහ දීමනා ඉහළ දැමීමක් කරනවා නම් ඒ සඳහා පොදු එකඟතාවක් ලබාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම

02. විශ්‍රාම වැටුප

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමඟ සාකච්ඡා කර අවම කාල පරිච්ඡේදයක් තුළදී ඵලදායී විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස්කර ක්‍රියාත්මක කිරීම.

03. භාෂා දීමනාව

භාෂා දීමනාව භුක්ති විඳි සියලු සේවකයන්ට එය යළි ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම.

04. රක්ෂණ ක්‍රමය

සේවක එකඟතාව මත ක්‍රියාත්මක වන, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය වන පොදු රක්ෂණ ක්‍රමයක් 2017 ජුනි මස සිට ආරම්භ කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් එය නියාමනය කිරීම.

05. විශ්‍රාම වයස

විශ්‍රාම යන වයස අවුරුදු 57 සිට 60 දක්වා වැඩි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීම.

06. දේපල ණය

විශ්වවිද්‍යාල සේවකයන් සඳහා හඳුන්වා දුන් දේපල ණය ක්‍රමයේ අනධ්‍යන පරිපාලන නොවන කාර්ය මණ්ඩලය සඳහා උපරිමය මිලියන 1ක් වන සීමාව ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීම.

07. වැඩ වර්ජන සහන

පසුගිය සේවක වැඩ වර්ජනය අවසන් කර සියලු අනධ්‍යන සේවකයන් 2016-08-08 සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව ඇමැති මණ්ඩල අනුමැතිය පරිදි සියලු සේවක කොටස්වලට එකී වර්ජනය හේතු කරගෙන පනවන වැටුප් කැපීම, නිවාඩු අඩු කිරීම ආදී කිසිවක් සිදු නොකිරීම හා කොමිෂන් සභවේ අංක 11/ 2016 (01) යන චක්‍රලේඛය ඉවත් කර ගැනීම.

♦ යසවර්ධන රුද්‍රිගු