2018 මාර්තු 03 වන සෙනසුරාදා

කටකාර දේශපාලනඥයකුගේ බිරිඳක් මැරුණු අම්මා සොයා එයි

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 594

ගෙවී ගිය සතියේ හිඹුටානේ සාදුගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් විජය පුවත්පත් සමාගමේ දුරකථන වෙත ආ ඇමතුම් සංඛ්‍යාත්මකව විශාලය. මේ අතර කිහිප වාරයක් අප සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර පසුව අප හා සම්බන්ධ වූ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් යැයි පවසමින් තම අනන්‍යතාව ප්‍රකාශ කළ පුද්ගලයකු පැවසුවේ තමන් කතා කළේ කාරණා දෙකකට බවය. ඔහුගේ එක් කාරණාවක් වූයේ පෞද්ගලික කරුණක් සම්බන්ධව හිඹුටානේ සාදු වෙත යාම අවශ්‍ය බැවින් පත්තිනි දේවාලයට යන්නට මාර්ගය විමසීමය. පාඨක ඔබේ පහසුව සඳහා හිඹුටානේ සාදු මුණගැසීමට යා හැකි දින, යායුතු පිළිවෙත මෙන්ම මාර්ගය ද මින් පෙර ලිපිවල අපි පැහැදිලිව සටහන් කර තිබූ බව අපි නැවතත් සිහිපත් කරමු. අදාළ පුද්ගලයා ඉහත කී කරුණ විමසන්නට පෙර කියා සිටියේ තමන්ට රාජකාරී කටයුත්තකට අදාළව යමක් අපෙන් දැනගන්නට ඇති බවයි. ආදායම් බදු දෙපාර්තමේන්තුවට අදාළව රාජකාරි කරන්නේ යැයි පැවසූ ඉහත පුද්ගලයාට දැනගන්නට අවශ්‍යව තිබුණේ හිඹුටානේ සාදු මසකට කොපමණ ආදායමක් ලබනවාද?, දිනකට කොතරම් ආදායමක් ලබනවාද? විශාල ආදායමකට ඔහු මාසිකව හිමිකම් කියනවාද? ආදි කරුණු කිහිපයකි.

ජනමාධ්‍ය වැනි සමාජයට පෙර මඟ කියන්නට වෙහෙසෙන ක්ෂේත්‍රයක් ඔස්සේ අප ජනගත කරන්නට යත්න දරන්නේ සමාජයට වඩාත් සුගතිගාමී වන කරුණු කාරණා හෝ හෙළිදරව් කිරීම්ය. එහෙයින් වගකීම හා විශ්වසනීයත්වය පෙරටුකොට අපේ රාජකාරිය ඉටු කරන්නට අපි හැමවිටම උත්සුක වෙමු. ජ්‍යෙතිෂ්‍ය හා ඒ හා සබැඳි ක්ෂෙත්‍රවල නියුතු වූ ඇතැම් පුද්ගලයන් වංචනික ලෙස මිනිසුන් රවටන මිනිසුන් ගසා කන ඒවා මුවාවෙන් අපයෝජන පවා කරන සංස්කෘතියක් ද බිහි වී ඇති පසුබිමක අප ප්‍රත්‍යක්ෂ කරගත් දෙයනම් මිනිසුන් විෂයෙහි ඉතා සාධාරණ සහ මානුෂීය ප්‍රතිපත්ති මත පිහිටා මුදල මූලික සාධකය කර නොගෙන හිඹුටානේ සාදු තම සේවය වසර ගණනාවක් මුළුල්ලේ ජනතාවට ලබාදෙන බවයි. ගිහියකු වන ඔහු ප්‍රදේශවාසීන් විසින් “සාදු” ලෙස හඳුන්වන්නේ ද ඔහු සතු එකී ගුණාංග හේතුවෙන් බව හිඹුටානේ සාදු පිළිබඳව ලිපි පෙළ සම්පාදනය කිරීමට පෙරාතුව ඔහු පිළිබඳව ඔහු ගැන කළ පූර්ව සොයා බැලීමේදී අපි තහවුරු කර ගත්තෙමු. තමන් වෙත ලැබෙන පූජාවන් සැමවිටම ප්‍රතික්ෂේප කරන හිඹුටානේ සාදු පවසන්නේ නැති බැරි දරුවන් වෙනුවෙන් ඔබට හැකිනම් පැන්සලක් පොතක් හෝ තමන්ට ලබා දෙන ලෙසයි. ඒ දුප්පත් දරුවන් වෙනුවෙන් හිඹුටානේ සාදු සිදු කරන එවන් දානමය පිංකම් උදෙසාය. ජ්‍යෙතිෂය මන්ත්‍ර ගුරුකම් හා ඒ හා සබැඳි කාර්යයන් සඳහා ලක්ෂ ගණන් මුදල් අය කරන පිරිසක් සිටින සමාජයේ හිඹුටානේ සාදු එවැනි කාර්යයන් සඳහා අය කරන මුදල් ඉතා සාධාරණ බව අප ඔබට කියන්නේ හුදෙක් කා වෙනුවෙන් හෝ “කඩේ යාමේ” වුවමනාවක් නිසා නොව ඒ සත්‍ය හා ඇගයීම සාධාරණ බව අප පැහැදිලි කරගත් පසුබිමක එය පැවසීම වඩා සහනශීලී පදනමක පිහිටා තම බලවර ඔස්සේ කටයුතු කරගෙන යන ඔහුට කරන ගෞරවයක් වශයෙන් සලකාය.

එමෙන්ම බැඳුම්කර වංචනිකයන් වැනි මහා පරිමාණයේ අහස පොළව නුහුලන ජාතික අපරාධයකට වගකිව යුතු අපරාධකාරයන්ගේ වත්කම් වංචා ආදි හෙළිදරව් කිරීමේ යුතුකම හා සමාජ වගකීම, රජයට බදු ගෙවීම් පැහැර හරින ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්, වතුර බිල හා ලයිට් බිලටත් වංචා කරන ඇතැම් දේශපාලනඥයන්ගේ හොරකම් වංචා හෙළිදරව් කිරීම මිස තම රුකියාව සේවාවක් බවට පත් කරගත් හිඹුටානේ සාදු වැනි පුද්ගලයන්ගේ දවසේ ආදායම හෝ මාසේ ආදායම සෙවීම අපේ රාජකාරිය නොවන වගද අපි මෙහිලා සිහිපත් කරමු. අදාළ පාර්ශ්ව අදාළ රාජකාරි කිරීම තමන්ට අදාළ ක්‍රමවේද ඔස්සේ සිදුකර ගන්නවානම් සුදුසුම ක්‍රමය එය වගද සිහිපත් කරමින් පත්තිනි මෑණියන්ගේ වරම් රැගෙන බලවර පෙන්වන හිඹුටානේ සාදු ගැන අපි ලියූ ලිපි පෙළේ අට වැන්නට අපි ප්‍රවේශ වෙමු.

ඉහත සඳහන් කළ පරිදි ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාවිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාධු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සාධු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදු වූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණ නම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදා කරන ප්‍රේම සබඳතා කඩා බිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන් හෝ වරම් ලද හිඹුටානේ සදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

මේ සිදුවීම සිදු වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ. ලංකාවේ ප්‍රසිද්ධ පන්සලක ෆයිල් වගයකුයි තව භාණ්ඩ වගයකුයි නැති වුණාම ඒ පන්සලේ හාමුදුරුවෝ ඒ ගැන මහින්දගේ ආණ්ඩුවේ සිටි ප්‍රබල රාජ්‍ය නිලධාරියකුට කීවා. මේ සිද්ධිය ගැන පරීක්ෂණ කළත් කිසිම හෝඩුවාවක් දැනගන්න ලැබුණේ නෑ. පන්සල් සී.සී.ටී.වී දර්ශන බලද්දී හොරකමට අදාළ මිනිසා ඉන්නවා. ඒත් එන්නේ ටයිකෝට් දාලා කාර් එකකින්. මිහිහා කවුද කියලා අඳුරගන්න බෑ. අර රාජ්‍ය නිලධාරියා මගේ ළඟට එන කෙනෙක්. ඒ නිලධාරියා හාමුදුරුවන්ව එක්ක අාෙව් මගේ ළඟට. මම ඒ හොරා ගැන සියලු විස්තර පවසා තිබුණා. ඒ හොරා ඊට පෙර ඒ පන්සලේ වැඩ කරපු බාස් කෙනෙක්. නම ප්‍රියන්ත. මම හෙළිදරව් කරපු තොරතුරු ඔස්සේ පොලිස් පරීක්ෂණ සිදු කරා. අවසානයේ ඔහු බන්ධනාගාර ගත වුණා.

හිඹුටානේ සාදු ළඟට සරණ සොයා පැමිණෙන බොහෝ පිරිස් අතර දරු සම්පත් නොමැතිව ලතැවෙන පීඩාවට පත් වී සිටින පිරිස ද බොහෝ වෙති. එසේ පැමිණෙන අයට හිඹුටානේ සාදු අවශ්‍ය ප්‍රතිකාර පූජා ලබා දෙන්නේ දරු සම්පත් වාසනා නොලැබීමට හේතුව පත්තිනි දේවියගේ ආරෑඪයෙන් නිශ්චිතවම දැනගත් පසුවය. (මීට පෙරද සඳහන් කළ පරිදි හිඹුටානේ සාදු ආරූඪයෙන් පවසන සියල්ල පසුව අදාළ පාර්ශ්ව පැමිණ සාදුට පවසයි. අදාළ පූජා ප්‍රතිකාර කරන්නේ ඉනික්බිතිවය.)
සමහර අයට ඇඟේ අධික උෂ්ණය යටතේ ශාරීරික හේතු මත දරු සම්පත් නැති වෙනවා. තවත් අයට පෙර සංසාරේ කර ඇති කර්ම නිසා කර්ම ඵල දීමක් වශයෙන් දරු සම්පත් නැතුව මානසිකවත් සාමාජයීය වශයෙනුත් ඔවුන් පීඩාවට පත් වෙනවා. ඒ හේතුව නිවැරදිවම ප්‍රකාශයට පත් වූ පසුව මම ඒ අනුව ඔවුන්ට පූජාවන් කළ යුතු නම් ඒ පූජාවන් හා ප්‍රතිකාර අවශ්‍යනම් ඒ දේවලුත් වෛද්‍යවරු වෙත යොමු කළ අවස්ථාවලදී ඒ යොමු කිරීමුත් කරනවා. ඇඟේ උෂ්ණය අධිකකමින් දරු සම්පත් නැති අයට සුදු හඳුන් දමා තැඹිලි දින හතක් බීමට දීමෙන් දරු සම්පතකට අවශ්‍ය ශාරීරික පසුබිම් හදනවා. දරු සම්පත් නැති අයට පළන්දන විශේෂ යන්ත්‍ර තියෙනවා. ඒ යන්ත්‍ර මඟිනුත් ආරක්ෂාව ලබා දෙනවා. සමහර අයට තැඹිලි ප්‍රතිකාරයෙන් පසු දවස් හත ගෙවී ඉතා කෙටි කාලයක් ඇතුළතම පිළිසිඳගැනීම් සිදු වෙනවා. සමහර අයට තුන් මාසයක් ගත වූ පසු දරු ගැබ පිහිටන ආකාරයට ප්‍රතිකාර ලබා දෙනවා. සමහර අයට දරු සම්පත් ලබා දීම වෙනුවෙන් පත්තිනි මෑණියන්ගේ රූපෙට රූපයක් තොටිල්ලක්, පැහැදුම් කඳක් ආදී බාරහාර වීම් වෙනවා. පැහැදුම් කඳක් කියන්නේ එළවළු පස් ජාතියක්, හාල් වගේ දේවල්.

ශ්‍රී මහා බෝධිය වගේ සමහර ස්ථාන තියෙනවා. ඒ වගේ තැන්වල මව් කුසයක පිළිසිඳගන්න, පින් ඇති මව්කුසයක් බලාගෙන ඉන්න විඥාන ගැවසෙනවා. මව් කුසයකට එන්න තරම් පින් ඇති අය ශ්‍රී මහා බෝධිය වගේ තැන්වලට ඇවිත් දරු සම්පත් ඉල්ලා බාර වෙන දරු ගැබක් ප්‍රාර්ථනා කරන අය දිහා බලාගෙන ඉන්නවා. ඒ මව් කුසය තමන්ගේ කර්ම ශක්තිය අනුව පිළිසිඳ ගැනීමට සුදුසු නම් ඔවුන් ඒ මව්කුසයට යනවා.

හිඹුටාන පත්තිනි දේවාල භූමියේදිත් මළවුන් ගෙන්වීම සිදු කරනවා. ඒ අය මේ භූමියේම දිගටම රැඳී ඉන්න උත්සාහ කළත් මෙතන මට බලවර අරන් එන අය ඔවුන්ට දිගටම මෙහි රැඳී ඉන්න දෙන්නෙවත් මට විපතක් කරන්න ඉන්නෙවත් නෑ. ඒ මළවුන් බොහෝ අවස්ථාවල මම ශ්‍රී මහා බෝධියට බාර කරනවා. මෙතනදී ඥාතීන් සමඟ ඔවුන්ට ජීවත්ව සිටිය කාලයේ කතා කළ අයුරින්ම ඒ මළවුන් කතා කරනවා. ශ්‍රී මහා බෝධියට ගිහින් බාර කළාමත් එතෙන්දීත් මම මළවුන්ව ගෙන්වා කතා කරනවා. ආයෙත් නැවත එන්න බැරි වෙන්න එතෙන්ට බාර කළාම ඒ ප්‍රාණකාරයෝ නිතර මිනිසුන් පින් කරන්නට පැමිණෙන ඒ තැන ඉඳන් පින් ලබාගෙන සුගතිගාමී භවවල පසුව උපත්තිය ලබනවා. ඇත්තටම එය මහා පිනක්.

එක්තරා කටකාර දේශපාලනඥයකුගේ බිරියක් එනවා ඇගේ මියගිය මවගේ ප්‍රාණකාරයා ගෙන්වා ගන්න. ඇගේ මව රෝහලේ ඉද්දිත් මම බලන්න ගියා. මම ඒ ගිහින් කීවා ඈ ඉතා ඉක්මනින් මිය යනවා ඇය බේරාගන්න බෑ මේ කාලය තුළ මේ විදිහට මැරෙයි කියලා. ඇය තවම උප්පත්තිය ලබලා නෑ. මේ දේශපාලනඥයාත් බිරියත් කතාබහට ලක් වූ චරිතයන්. ඇය වරින් වර පැමිණ ඇගේ මවගේ මළගිය ප්‍රාණකාරයා ගෙන්වාගෙන කතා කරනවා.

ඉකුත් දිනෙක හිඹුටානේ සාදු වෙත පැමිණ සිටි කාන්තාවකට හිඹුටානේ සාදු කතා කළේය.

නෙළුම් වරෙන්... උඹ උඹේ මිනිහයි දරුවොයි ඉද්දි තව මිනිස්සු එක්ක ඉන්න යනවා සල්ලි හම්බ කරන්න. ඇයි උඹ වෙන රස්සාවක් නොකර මේ පව්කාර වැඩවලින් සල්ලි හොයන්නේ?

රස්සාවක් කරන්න තරම් මම ඉගෙනගෙන නෑ සාදු. රස්සාවක් හොයලා හොයලා නැති තැන ළමයින්ට කන්න දෙන්න විදිහක් නැති නිසා තමා මේ රස්සාව කරන්නේ.

උඹ මේ ළඟදි එකෙක් දුන්න රත්තරන් වළල්ලක් ගත්තා. උඹ මගේ දුවක් වගේනේ. මට මේක ආපහු එපා. උඹට සල්ලි නැති වෙලාවක මේක උගස් තියලා සල්ලි ගනින්. එහෙම කියලා උඹට වළල්ලක් දුන්නා මිනිහෙක්. දැන් ප්‍රශ්නයක් වෙලා උඹගෙන් අර දුන්න වළල්ල ඉල්ලනවා. උඹට මිනිහෙක් හිටියට ඒ ඉන්නේ නමට. ඌ උඹ හම්බ කරගෙන එනකම් ගෙදරට වෙලා බලාගෙන ඉන්න නිකමෙක්. උඹ දැන් බයවෙලා ඉන්නේ වළල්ලට මොකද කරන්නේ කියලා. උඹ අහවල් හෝටලයේ (හෝටලයේ නම සඳහන් කරමින්) ජර්මන් කාරයෙක් එක්ක හිටියා.

එසේ කියනවිටම සිංහල කාන්තාවක් නොවූ අර කාන්තාව ක්ලාන්තය සෑදී බිම වැටුණාය. 

එදා ඒ සිද්ධියට පසුව ඒ කාන්තාව යළි ඔබ මුණ ගැසෙන්නට ආවාද?

ඔව්. ඒ ගෑනු කෙනා කීවා ඒ ගෑනු කෙනා කරන වැරදි, යන තැන් සිට සියල්ල මම කීවලු. ඇය ඒවා පිළිගත්තා. මට කීවා මගේ මිනිහා නිකමා වාගේ ගෙදරට වෙලා ඉන්නවා. දරුවෝ බඩගින්නේ තියන්නේ කොහොමද සාදු. ඒකයි මම මේ රස්සාව කරන්නේ කියලා කීවා. මට ඇය පත්ව ඇති අසරණ තත්ත්වය වැටහුණා. ඒත් පතිවත නොරකින කාන්තාවකට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබෙන්නේ නෑ.

(පත්තිනි මෑණියන්ගේ වරම් ලැබ හිඹුටානේ සාදු සිදු කළ මේ විස්මිත හෙළිදරව් සමඟින් එන ඉරිදාත් මුණගැසෙමු.)

 සංජීවිකා සමරතුංග
    සේයාරූ I චන්න කස්සප කෝරලේආරච්චි