දසවද දී මරා දැමූ ඉරණවිල දස හැවිරිදි දරුවාගේ ඛේදවාචකය
ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇති ඉරණවිල සමිඳුගම පදිංචිව සිටි ජුවන් පේඩිගේ සුසිත් නිර්මාල් නැමති වයස අවුරුදු දහයක් වූ පාසල් සිසුවා මියගොස් ඇත්තේ හිසට සිදු වූ බරපතළ හානි හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.
හලාවත මහ රෝහලේ විශේෂ අධිකරණ නිලධාරී ඩී.කේ. විජේවර්ධන මහතා විසින් 28 වැනි දින හලාවත මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.
25 වැනි දින අතුරුදන් වූ මෙම දරුවාගේ මෘත ශරීරය 27 වැනි දින ඉරණවිල පිහිටි කඩොලාන කැලෑවක තිබිය දී හමු වූ බව පොලීසිය කියයි.
සහෝදර සහෝදරියන් පස්දෙනකුගෙන් සිව්වැනියා වන මියගිය දරුවා ඉරණවිල ශාන්ත පීතර මහා විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත. කතෝලික භක්තිකයන් වූ මෙම පවුලේ පිරිස 25 වැනි ඉරැදින උදෑසන දිව්‍ය පූජාවට ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ මියගිය දරුවා පමණක් බවද කියයි. දිව්‍ය පූජාව නිමවී පැමිණෙන විට දරුවා නොසිටීමෙන් කලබලයට පත්වූ මව්පියන් රාත්‍රිය උදාවන තෙක් දරුවා සොයා ඇතත් තොරතුරක් නොලැබීමෙන් බියට පත් වී හලාවත පොලීසියට පැමිණිල්ලක් කර ඇත. රෑ බෝ වී තිබුණද ගම්වැසියන් සහ පොලීසිය දරුවා සොයාගැනීමේ මෙහෙයුමක නිරත වී ඇත.
පසු දිනයේ ද දරුවා ගැන තොරතුරක් සොයාගැනීමට වෙහෙස වූ හලාවත පොලීසියට ලැබුණු සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂණ කටයුතුවලට පහසුවක් විය. ආපන ශාලාවක පටිගත වී තිබූ සී.සී.ටී.වී දර්ශනවල ඝාතකයා යැයි සැක කරන පුද්ගලයා ඉටි බෑගයක් සහ පිහියක් අතැතිව සිටින ආකාරයත්, ආපන ශාලාවේ සිට කෑම පාර්සලයක් ලබා දී දරුවා කැඳවාගෙන යන ආකාරයත් සටහන් වී ඇති බව කියති. දින දෙකක මෙහෙයුමෙන් පසුව 27 වැනි දින ඉරණවිල කලපුව අසල කඩොලාන කැලෑවක තිබී අඩනිරුවත්ව තිබූ සුසිත් නිර්මාල්ගේ දේහය හමු වී ඇත.
ගම්වැසියන්ගේ තොරතුරුවලට අනුව ඝාතකයා බවට සැක කරන පුද්ගලයා පොල් කැඩීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණෙන බවත් එවැනි අවස්ථාවල මීට පෙර ද මෙම දරුවා ඔහු සමඟ යන එන බවත් වාර්තා වෙයි. ගිරා පැටව් අල්ලා දීමට එන ලෙස කියමින් දරුවන් දෙදෙනකුට අඬගසා ඇතත් එක් දරුවකු ඔහු මඟහැර ගොස් ඇති බවත් ගිරා පැටවුන්ට ඇති ආසාව නිසා ඝාතනයට ලක්වූ දරුවා ඔහු සමඟ ගොස් ඇති බවත් කතාබහට ලක්විය.
මෙම ඝාතනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිව පෙනී යන්නේ මව්පියන්ගේ නොසැලකීම හේතුවෙන් මෙවන් තත්ත්වයන්ට දරුවන් මුහුණදෙන බවයි. වයස අවුරුදු දහයක දරුවකු තනිකර මව්පියන් නිවසින් බැහැරව යාම දරුවාගේ ආරක්ෂාවට ගැටලුවක් වේද යන්න සිතන්නට මව්පියන්ට නොහැකි වූයේ ඇයිදැයි සිත් තුළට නැගෙන ප්‍රශ්නාර්ථයකි.
වාර්තා වන ආකාරයට පෙර අවස්ථාවලදී මෙම ඝාතකයා දරුවා සමඟ ඇසුරු කරන බව මව්පියන් දැන හෝ නොදැන සිටීම තුළ පැහැදිලි වන්නේ මව්පියන් ලෙස දරුවන් පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
මෙවැනි පැහැරගැනීම් මීට පෙර ද අවස්ථා ගණනක දී සිදුවිය. වසර දෙකකට පෙර පුත්තලම ධර්මපාල ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ දැරිවියක පැහැරගෙන යාම, ඉන් අනතුරුව වයස අවුරුදු හතරක පිරිමි දරුවකු පැහැරගෙන යාම සිදු වූ අතර එම දරුවන් නිරුපද්‍රිතව බේරාගැනීමට පුත්තලම පොලීසියට හැකිවූයේ ක්ෂණිකව පොලීසියට පැමිණිලි ලැබීම තුළයි.
හලාවත පොලිස් බලප්‍රදේශයේ සිදු වූ දරුවා අතුරුදන් වීම කල් නොමරා ක්ෂණිකවම පොලීසිය දැනුවත් කර තිබුණේ නම් දරුවා බේරාගැනීමට වැඩි අවස්ථාවක් තිබූ බව පුත්තලම පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසේන මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
“මව්පියන් විදිහට දරුවන් පිළිබඳ දක්වන අඩු සැලකිල්ල මෙවැනි බිහිසුණු තත්ත්වයන් ඇතිවීමට හේතුවක් වෙලා තිබෙනවා. දරුවන් මේ ලෝකයට බිහිකිරීම පමණක් නෙවෙයි, ඒ දරුවන් යහපත් පුරවැසියෙක් කරන්න මව්පියො විදිහට වගබලාගන්න එක ඔවුන්ගේ වගකීම. කුඩා කාලයේ දී අපරාධ මානසිකත්වයත් එක්ක වැඩිහිටි තත්ත්වයට පත්වෙන පුද්ගලයා විවිධ අපරාධවලට පෙළඹෙනවා.
ඒ තත්ත්වය නැති කරන්න මව්පියන්ට වගේම පාසල්වල ගුරුවරුන්ටත් වගකීමක් තිබෙනවා. මව්පියන් දරුවන්ට ඉබාගාතේ යාමට ඉඩහැර තිබීම දරුවන් වැඩිහිටියන් බවට පත් වූ පසු අපරාධකරුවෙක් වීමට හේතුවක් වෙනවා එහෙමත් නැතිනම් ඒ දරුවන්ගේ ජීවිතවලට හානියක් සිදුවෙනවා.
අද වෙලා තිබෙන්නේ දරුවො දරුවන්ගේ පාඩුවේ, මව්පියො ඒ අයගේ පාඩුවේ. දරුවො මොනවද කරන්නේ කියලා මව්පියන්ට බලන්න වුවමනාවක් නැහැ. අපරාධ වළක්වන්න පොලීසියට විතරක් බැහැ. කුඩා කාලයේ දී ලබාගන්න මානසිකත්වය වැඩිහිටියෙක් වුණාට පස්සෙ අයින් කරන්න අමාරුයි. එතකොට පොලීසියට කියනවා රාජකාරී කරන්න කොන්දක් නැහැ කියලා. බොහෝ දෙනා හිතන්නේ ආරක්ෂාව පොලීසිය දෙන්න ඕන කියලා. නමුත් හැම වෙලාවකම හැම අවස්ථාවකම හැමකෙනා ළඟම පොලීසිය නැහැ. ඒ නිසා විශේෂයෙන් කුඩා දරුවන් ගැන වැඩි අවධානයක් ගන්න මව්පියො වගබලාගන්න ඕන.
පුංචි කාලේ හැදෙන්නේ නැති කෙනා වැඩිහිටි වුණාට පස්සෙ හදන්න නම් පුනරුත්ථාපනය කරන්න වෙනවා. නමුත් අපේ රටේ හරියට ඒ ක්‍රමවේදයට යන්න බැහැ. සුළු අපරාධයක් කරලා හිරේට යන කෙනා එළියට එන්නේ මහා භයානක අපරාධකාරයෙක් වෙලා. කුඩා කාලයේ අපරාධ මානසිකත්වයෙන් වැඩිහිටි බවට පත්වෙනවා. ඉන් පස්සේ අපරාධ කරන්න ගන්නවා. ඊට පස්සෙ හිරේට යනවා. නැවත මහා අපරාධකාරයෙක් වෙලා එළියට එනවා. ඔය ක්‍රියාවලිය තුළ අපරාධ වැළැක්වීමට නොහැකියාවක් තිබෙනවා. අපරාධකරුවන් පුනරුත්ථාපනය කරලා එළියට එන ක්‍රමයක් තිබුණොත් වැරදි කරපු අයට හොඳ මානසිකත්වයකින් එළියට එන්න පුළුවන්. රටේ අපරාධ වළක්වන්න මව්පියන් දරුවන්ට හොඳ මානසිකත්වයක් ලබාදෙන්න ඕන. දරුවන් ගැන අවධානයෙන් කටයුතු කරන්න ඕන.”
වයඹ බටහිර භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධකරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව හලාවත පොලීසිය පැවසීය.
♦ රෝවන් පෙරේරා - පුත්තලම