2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

නම්බුකාර බල්ලොත් වල් බල්ලොත් එකම හෝටලේ

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1050

අපි ගමන් කරමින් හුන්නේ මට්ටක්කුලියේ සිට මීගමුව දක්වා දිවෙන පාර දිගේය. ලන්දේසි යුගයේදී භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් සෑදු හැමිල්ටන් අපේ වම්පසින් දිස්වෙයි. තැනින් තැන ධීවර යාත්‍රා නවතා ඇති හැමිල්ටන් ඇල, පාලමක් ආධාරයෙන් තරණය කළ අපි තවත් මිනිත්තු කිහිපයකින් හෝටලය වෙත ළඟාවීමු. අපි පැමිණ සිටියේ මිනිසුන් නවාතැන් ගන්නා සාමාන්‍ය හෝටලයකට නම් නොවේ. මේ වත්තල බාක් ස්ට්‍රීට් (Bark Street) බලු හෝටලයයි. 

 “මහත්තයා බල්ලෝ භාර දෙන්න එනවනම් කළින් එපොයිමන්ට් එකක් දාගෙන එන්න ඕනෙ. අපේ මිස්ට කෝල් කරලා එන්න” අපි ආවේත් බල්ලෙක් නවත්වා යාමට යැයි සිතූ මුරකරුවා ඉක්මන් විය. 

පැමිණි කාරණය පහදා දීමෙන් පසු වුවද ඔහු අපිව ඇතුළට ගත්තේ හෝටලයේ හිමිකාරිණිය වන මනීෂා සහ ඇගේ සැමියා වන හසිත් එතැනට ආ පසුය. ඒ තරමටම බලු හෝටලයේ ආරක්ෂාව දැඩිය, සුපරික්ෂාකාරීය. 

බල්ලන් ඇතිකිරීම මෙන්ම පුරැදු කිරීම මනීෂාගේ විනෝදාංශයකි. මේ හෝටලයේ සෙසු බල්ලන් සමඟ මනීෂාගේ බල්ලන් පස් හය දෙනෙකු ද නවාතැන් ගෙන සිටී. ඒ අතරින් කිහිපදෙනෙක් ජර්මන් ෂෙපර්ඩ්, ඩොබර්මන් ෂෙපර්ඩ්, බැසට් හවුන්ඩ් වැනි වංශවත් බල්ලන් වෙද්දී තවත් කිහිපදෙනෙක් දේශීය වල් බල්ලන් යන කාණ්ඩයට අයත් වෙති. 

හෝටලයක් කියූ විට ඉන් අදහස් වන්නේ කෙටි කාලසීමාවකට නවාතැන් ගන්නා ස්ථානයකි. ඉඳුම් හිටුම් මෙන්ම කෑම බීම ද එහිදී හිමිවේ. මෙතැන ද එවැන්නකි. බලු සුරතලුන්ට දිනක් දෙකක් මෙන්ම මාසයක්, වසරක් වුව ද නවාතැන් ගැනීමට මෙහි පහසුකම් පවතී. 

“මම මේක පටන් ගත්තේ 2012 අවුරුද්දෙදි විතර. පිටරට යද්දි බල්ලන්ව නවත්තලා යන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට මම මුහුණ දීලා තිබුණා. මගේ යාළුවන්ට නෑදෑයින්ටත් ඔය ප්‍රශ්නෙ තිබුණා. එහෙම හිතලා තමයි බාක් ස්ට්‍රීට් පටන්ගත්තෙ”

ඇය සතුව සිටින වංශක්කාර බල්ලන් බොහෝ දෙනකු සුනඛ ප්‍රදර්ශනවලදී කප් ගැසූ සැබෑම වංශවත් බල්ලන්ය. එතැන සිටි කැල් නම් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා ප්‍රකට සුනඛ තිබූ සඟරාවක මුල් පිටුවක් පවා තම රැවෙන් සැරසූ ජයග්‍රාහකයෙකි. මනීෂාගේ තවත් සුරතලකු වන බීගල් වර්ගයේ සුනඛයකු මේ මොහොතේ ඉන්නේ අමෙරිකාවේය. ඌ ලෝකයේ තැනින් තැනට සංචාරය කරමින් සුනඛ ප්‍රදර්ශනවලදී ජයග්‍රහණ ලබා තිබේ.   

“බල්ලන්ගේ විවිධ වර්ග තියෙනවනෙ. Dog Shows පටන් අරන් තියෙන්නේ ඒ ඒ වර්ගෙන් හොඳම බල්ලෝ තෝරලා. ඊට පස්සේ මෙන්න මේ බල්ලගේ පරම්පරාව තමයි මේ වර්ගයේ හොඳම පරම්පරාව වගේ නම් කිරීම් සිද්ධ කරන්නයි. එතකොට බල්ලන් මිලදී ගන්න ඉන්න අයට තමන් ගන්නේ හොඳ බල්ලෙක් ද කියලා දැනගන්න ඒ දැනුම වැදගත් වෙනවා”

මනීෂාගේ බලු හෝටලයේදී බල්ලන්ට මිශ්‍ර වන්නට අවස්ථාවක් නැත. එක බල්ලෙකුට එක කූඩුවක් බැගින් හිමිවන අතර උන් එළියට එන්නේ ද වෙනස් වෙලාවන්හිදීය. මන්ද සුළු ඉඩකින් පවා බල්ලන් අතර යුද්ධ හට ගැනීමට පුළුවන. 

මනීෂාට බාක් ස්ට්‍රීට්හි නවාතැන් ගන්නට එන බල්ලන් හා යාළුවන්නට ගතවන්නේ පැය ගණනකි. වැඩිම වුණොත් දවසකි. බල්ලන් හා මිතුරු වන හැටි ඈ හොඳින් දනී. 

“මගේ බල්ලෝ සේරම හිතාගෙන ඉන්නෙ එයාලගේ ලොක්කි මම කියලයි. අපි හැම වෙලාවෙම එයාලට කමාන්ඩ් එක දීගෙන ඉන්න ඕනෙ. අපි බයයි කියලා පෙන්නුවොත් ඉවරයි. හරියට කමාන්ඩ් කරන තරමට තමයි බල්ලෙක්ව හොඳට පුරුදු කරන්නත් පුළුවන් වෙන්නෙ” 

සති අන්තවල නිවාඩු ගත කිරීමට බැහැර යන අයටද කෙටි කාලසීමාවක් සඳහා හෝ විදේශ ගතවන අයට ද මේ බලු හෝටලය සපයන්නේ මිල කළ නොහැකි සේවාවකි. මෙහි නවාතැන් ගන්නා එක් රුයක් සඳහා බල්ලෙකුගෙන් අය කෙරෙන ගණන රුපියල් දෙදහස් පන්සීයකි. ඊට අමතරව මාසයක් වැනි දීර්ඝ කාලයක් නවාතැන් ගන්නේ නම් දිනක අය කිරීම රුපියල් එක්දහස් පන්සීයකි. බාක් ස්ට්‍රීට්හි බල්ලන්ට නවාතැන් දෙන්නට පෙර සලකා බැලෙන කාරණා කිහිපයක්ම තිබේ. ඒ අතුරින් ප්‍රධාන කරුණක් වන්නේ බල්ලා කෙතරම් සැර බල්ලෙකු ද යන්නයි. 

“ටෙලිෆෝන් එකෙන් බල්ලා ගැන කියද්දි මම මුලින්ම අහන ප්‍රශ්නයක් තමයි බල්ලා ගොඩක් සැර එක්කෙනෙක්ද කියන එක. මොකද මට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණත් අපේ ස්ටාෆ් එකේ වෙන කාවහරි හැපුවොත් හරි අපරාදයක්නෙ. එක පාරක් ඔය විදිහට සැර බල්ලෙක් නවත්තගෙන, කෑම දෙන්න යද්දි අපේ ස්ටාෆ් එක් කෙනෙක්ගෙ අත හපා කෑවා”

බලු හෝටලයේ නවාතැන් ගැනීමේ පාස්පෝට් එක, බල්ලන්ට එන්නත් විදීම පිළිබඳ සටහන් කර ඇති පොතයි. නියමිත පරිදි එන්නත් ලබාදී නැති බල්ලන්ට දොරටු විවෘත වන්නේ නැත. 

“බල්ලා මොන ජාතියෙද කියන එක අපිට වැඩක් නෑ. ජර්මන් ෂෙපර්ඩ්ගේ, රොට් වයලර්ගේ ඉඳන් වල් බල්ලා දක්වා ඕන බල්ලෙක් අපි බලාගන්නවා. එකම දේ එයාලාට හරි වෙලාවට බෙහෙත් විදලා තියෙන්න ඕනේ. එහෙම නැතුව අනිත් බල්ලන්වත් අනතුරේ දාන්න අපිට බෑනේ”  

කුඩාම වයසේ බලු පැටවුන් ද මෙහි නවත්වා ගන්නේ නැත. එයට හේතුව අනිකක් නොව උන්ව තම හිමිකරුවන්ගෙන් ඈත් කිරීමට මනීෂා තුළ ඇති අකමැත්තයි. 

“පොඩි පැටව් නවත්තගන්න එක හරි පව් වැඩක්. ඉතින් අපි මාස දෙකට වඩා පොඩි පැටවු භාරගන්නෙ නැහැ” ඈ කීවාය. 

බාක් ස්ට්‍රීට් හෝටලයේ නවතින බල්ලන්ට හිතුමනාපෙට කල් ගෙවන්නට ඉඩක් නැත. කාල සටහනකට වැඩ කරන්නට ඔවුන්ට සිදුවේ. උදෑසන හයට පමණ සියලු බල්ලන් අවදි විය යුතුය. ඉන්පසුව ඔවුන්ව පැය එකහමාරක් පමණ එළිමහනේ රඳවා තැබීමෙන් පසු උදේ ආහාරය ලබා දේ. අනතුරැව නැවතත් ටික වේලාවක් නිදහසේ සැරිසරන බල්ලන්ව කූඩුවට යොමු කෙරේ. නැවත හවස්වරැවේ එළියට ගන්නා ඔවුන්ට රාත්‍රී ආහාරය ලබා දෙන්නේ හැන්දෑවේ හතට පමණය. 

බලු හෝටලයේ කාමර එසේත් නැත්නම් බලු කූඩු පිහිටා තිබුණේ වත්තේ පිටුපසට වන්නටය. අපි එහි යනවිට බල්ලන් කිහිපදෙනකුම තම හෝටල් කාමරයට වී අලස සුවය විඳිමින් උන්හ. එම කූඩුවල ද විදුලි පංකා සහ එයාර් කූලර්ස් ක්‍රියාත්මක වෙමින් තිබුණි. ඇතැම් බලු කූඩු ඉදිරියෙන් එතරම් පළල් නැති ධාවන පථයක් වූ අතර ඒවා දෙපසින් ද කණු සිටුවා ආවරණය කර තිබුණි. ඒ බල්ලන්ට ව්‍යායාම කරන්නට ඇති ධාවන පථ බව මනීෂා අප සමඟ පැවසුවාය.

කතා කරමින් සිටින අතරේදීම මනීෂා අසල කූඩුවක සිටි ජර්මන් ෂෙපර්ඩ් බල්ලන් දෙදෙනෙකු කූඩුවෙන් එළියට ගත්තාය. 

අප එතැනට පැමිණි වේලේ පටන්ම අප වෙත බුරමින් සිටි හොඳින් වැඩුණු ජර්මන් ෂෙපර්ඩ් බල්ලන් දෙදෙනා  දැන් නිදැල්ලේ ය. කොයිතරම් පුරුදු පුහුණු කළ ද, ජර්මනියේ සිට පැමිණිය ද බල්ලා බල්ලාමය. හැපුවෝතින් අප අහවරය. ඡායාරෑප ගැනීමද මඳකට අමතක වූ අපේ ඡායාරූප ශිල්පියා, සුමුදු පස්සෙන් පස්සට යන්නට විය. සුමුදුගේ විශාල දෑස් බයෙන් තව තවත් විශාල වන්නට මොහොතක් ගතවූයේ නැත.

“අයියෝ ඔයා බයවෙන්නෙපා. මේ ගොල්ලෝ මිනිස්සුන්ට හොඳට පුරැදුයි. එන්න අපි ඉස්සරහට යමු” මනීෂා කීවේ අපේ බිය සිනහවට කරුණක් කර ගනිමිනි. 

අපි ඇදුණේ අසල තිබූ පිහිනුම් තටාකය දෙසටය. පිහිනුම් තටාකයෙන් ඔබ්බේ තිබුණේ මුහුදු වෙරළය. එනිසා අවට පරිසරයේ තිබුණේ දැඩි ග්‍රීෂ්මයකි.  

ඩොරති සහ කැල් නම් වූ ජර්මන් ෂෙපර්ඩ් බල්ලන් දෙදෙනා පිහිනුම් තටාකය අසලට කැඳවාගත් හසිත් ඔවුන් දෙදෙනාට පිහිනුම් තටාකයට බසින ලෙස අණ කළේය. මඳ ඈලී මෑලි ගතියකින් පසු ඔවුන් දෙදෙනා අණට කීකරැ වෙමින් දියට බැස්ස ද හැකි ඉක්මණින් පීනා ගොඩට ආවේ ගිනි අව්වේ නාන්නට තිබූ අකමැත්ත නිසා විය යුතුය. 

“මේ පූල් එක අපේ බල්ලන්ට හදපු එකක්. හැබැයි අයිතිකාරයා කියනවනම් බෝඩ් වෙන්න එන බල්ලොන්වත් අපි පූල් එකට බස්සනවා”

පුරා හෝරා කිහිපයක් මේ අපූරු බලු හෝටලයේ ගත කළ අපි නැවත කොළඹ බලා පිටත් වූයේ ‘බල්ලන්ටත් ගිය කලක්’ යැයි සිතමිනි. 

 රජිත ජාගොඩ ආරච්චි
සේයා රූ - සුමුදු හේවාපතිරණ