2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

දක්ෂ ගුරුමවක් මරා දැමූ නායකත්ව පුහුණුව

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 275

නායකත්ව පුහුණුවක් මරණයකින් කෙළවර වේ නම් එය කොතරම් නම් අනුවේදනීය පුවතක්ද යන්න අප අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් එවැනි නායකත්ව පුහුණුවකට ගොස් සිටියදී පුහුණුව අතරවාරයේ 53 හැවිරිදි ගුරු මවකට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ ශෝචනීය පුවතක් පසුගිය දින අපට වාර්තා වූයේ කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයෙනි. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරැ වූ ගුරැ මාතාව අම්බලන්තොට බැරගම හතරේ ඇළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් විදුහල්පතිවරුන් වෙනුවෙන් පවත්වනු ලබන  නායකත්ව පුහුණු කඳවුරක් කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර ඒ සඳහා හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය වූ රෝහිනී කුමාරි අතපත්තු මහත්මිය ද පසුගිය 16 දින කුරුණෑගල වාරියපොළ වයඹ නායකත්ව පුහුණු කඳවුර වෙත නිවසින් පිටත්ව ගොස් තිබේ. මීට පෙරද රන්ටැඹේ සහ කුඩාඔය දී විදුහල්පතිවරුන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන් දෙකකටද ඇය සම්බන්ධ වී ඇති අතර මෙවර ඇය සම්බන්ධ වී ඇත්තේ තුන්වැනි නායකත්ව පුහුණුව සඳහාය. නමුත් මෙය ඇයගේ අවසන් නායකත්ව පුහුණුව සේම ජීවන චාරිකාවේ ද අවසන් පුහුණුව වේවි යැයි කිසිවකුත් නොසිතන්නට ඇත.

මේ සිදුවිම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයා වන තිලකරත්න අබේසිංහ මහතා (59) මෙසේ පැවසීය.

නායකත්ව පුහුණුවට ගොස් සිටියදී හදිසියේම මියගිහින් තියෙන්නේ මගේ බිරිඳ. ඇය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය ලෙසයි කටයුතු කළේ. මීට පෙරත් විදුහල්පතිවරුන් වෙනුවෙන් රන්ටැඹේ සහ කුඩාඔය දී පැවති නායකත්ව පුහුණු වැඩසටහන් දෙකකට ද ඇය සහභාගී වුණා. මෙවර පැවැත්වුණේ ඇයගේ අවසාන නායකත්ව පුහුණු වැඩසටහනයි. එය වයඹ පුහුණු පාසලේ දී තමයි පැවැත්වුණේ. මෙවර නායකත්ව පුහුණුව ගොඩක් දුර තියෙන නිසා යාම පිළිබඳව මගේ එතරම් කැමැත්තක් තිබුණේ නෑ. නමුත් අවසාන පුහුණුව නිසා සහ මීට පෙර පුහුණු දෙකකට සහභාගී වූ නිසා යන්න ඉඩ දුන්නා. ඒ අනුව ඇය පසුගිය 16 වැනිදා උදේ වැඩමුළුව සඳහා යන්න නිවසින් පිටත්ව ගියා. ඒ ගිහින් 17 දින හවස 3ට පමණ තමයි බිරිඳ කඳවුරේ පුහුණුවේ සිටියදී අනතුරකට ලක්වෙලා තිබුණේ. කඹයක ආධාරයෙන් බිමට බැසීමට යාමේදී කඹය කඩාගෙන වැටීමෙන් අනතුරක් සිදු වූ බව තමයි අපිට දැනගන්න ලැබුණේ. අනතුරින් පස්සේ නෝනව රෝහලට ඇතුළත් කරලා තිබුණා. පස්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලටත් එතනින් කොළඹ ජාතික රෝහලටත් මාරැකර යවා තිබුණා. කොළඹ මහ රෝහලට රැගෙන යන අතරවාරයේ දී නෝනව  මියගිය බව තමයි අපිට දැනුම් දුන්නේ.

17 වැනිදා සවස පුහුණු වැඩසටහන් පවත්වන අවස්ථාවේ දී බිරිඳ කඹයක් කඩාගෙන බිමට වැටිලා කියලා පුහුණුවට ගිහින් හිටිය වෙනත් කෙනෙක් මට දුරකතනයෙන් දැනුම් දුන්නා. මම කිව්වා බිරිඳට කතා කරන්න ඕනේ, ඇයට ෆෝන් එක දෙන්න කියලා. ඒ අනුව මම ඇයට දුරකතනය ඔස්සේ කතා කළා. එහිදී නෝනා මට කිව්වා, තිලක් මට ටිකක් අමාරුයි ඔයා ඉක්මනට එන්න කියලා. ඒ අනුව මම එදිනම ඉක්මනින්ම කුරැණෑගලට ගියා. මම කුරුණෑගලට යනකොට බිරිඳ කුරුණෑගලින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණා. එහිදී ඇය මියගියා කියලා පසුව මට පණිවිඩයක් ලැබුණා.

මම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියකු ලෙසයි කටයුතු කරන්නේ. මට ඉන්නේ දුවලාම සිව් දෙනෙක්. එක දරැවෙක් තවමත් ඉගෙන ගන්නවා. මගේ බිරිඳ කුරුණෑගල බලා ගියේ ඇයගේ අවසන් ගමන බව දැනගත්තා නම් මම කීයටවත් ඇයට යන්න දෙන්නේ නෑ. බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අද දරුවෝ හතර දෙනයි මමයි මේ ලෝකේ තනි වුණා. මේ දරැවෝ සිව් දෙනාට අම්මගේ අඩුව මට නැවත කවදාකවත් පුරවන්න බැරිවේවි. පුංචි කාලේ ඉඳලා මේ දරුවෝ වෙනුවෙන් මහන්සි වෙලා කැපවීම් කරලා ඒ දරුවෝ හොඳ තැනකට එනකොට ඒ දිහා බලා සතුටු වෙන්න අද මේ දරැවන්ගේ අම්මා නැතිවෙලා තියෙනවා. මට මගේ සෙවණැල්ල වගේ හයියක් වුණු මගේ බිරිඳ සදහටම නැති වුණා.

මේකට හේතුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කළ මෙම වැඩමුළුවට සහභාගී වූ විදුහල්පතිවරුන්ගේ ජීවිත පිළිබඳව කිසිදු සැලකිල්ලක් අදාළ බලධාරීන් නොදැක්වීම. මෙම පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වන සියලුම දෙනාගේ ආරක්ෂාව පිළිබඳව සංවිධායකවරැන් වගබලාගත යුතු වුවත් මෙම පුහුණුව තුළ ඔවුන් එය ලබාදීලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි අද මට මගේ බිරිඳත් දරුවන්ට මවකුත් ඒ වගේම පාසලකට විදුහල්පතිනියක් අහිමි වුණේ. නායකත්ව වැඩමුළු කියලා මිනිස්සු අරගෙන ගිහින් මේ විදියට පෙට්ටියෙන් එවන්න මේ බලධාරීන් කටයුතු කිරීම ඉතාම කණගාටුවට කරුණක්. මම වගකිව යුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන්න කියලා යැයි දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු පිසදමමින් තිලකරත්න අබේසිංහ මහතා පැවසීය.

මියගිය විදුහල්පතිවරියගේ සහෝදරියක වන ලක්ෂ්මි අතපත්තු මහත්මිය මෙසේ පැවසුවාය.

මියගියේ මගේ අක්කා. අපේ පවුලේ වැඩිමලා තමයි අක්කා. අක්කගේ මේ හදිසි වියෝව අපිට දරාගන්න බෑ. අක්කගේ මරණය පිළිබඳව අපිට තවම ලොකු සැකයක් තියෙනවා. අපි වගකිව යුතු පාර්ශ්වවලින් මේ වන විට ඉල්ලා තියෙනවා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා. අක්කගේ මරණයෙන් පස්සේ නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කරලා තියෙනවා. දෙයක් වුණාට පස්සේ මේ මොනවා කළත් වැඩක් නෑ. අනික මෙවැනි වැඩමුළු කරන කොට ඒවාට සම්බන්ධ වෙන අයගේ ශරීර සෞඛ්‍ය ගැන වගේම වයස පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් මේ පුහුණුවේදී එහෙම සැලකිල්ලක් දක්වලා තිබුණ බවක් නම් පේන්න නෑ. එහෙම ආරක්ෂාව ගැන මේ අය සැලකිල්ලක් දක්වලා තිබුණා නම් අඩි 40 ක් විතර උඩකින් අක්කා වැටෙන්න විදියක් නෑ. අක්කා 1987 ඉඳලා පටන් ගත්ත මේ ගුරු ජීවිතය මේ දක්වා නිසියාකාරව සිදුකරගෙන ආවා. අවශ්‍ය තැනට අවශ්‍ය විදියට නායකත්වය දුන්නා. පවුලේ අපිටත් එහෙම තමයි. අක්කට විශ්‍රාම යන්න තිබුණේ තව අවුරුදු 3 ක් වගේ කාලයක්. එහෙම අයට මේ නිලධාරීන් මොකට හමුදා පුහුණුවක් දුන්නද මට තේරෙන්නේ නෑ. මෙච්චර කාලයක් අක්කා දුවා දරුවන් දහස් ගණනකට නිසි නායකත්වය දුන්නේ මේ හමුදා පුහුණුවීම්වලට ගිහිල්ලා නෙමෙයි. ඒ නිසා අපිට මේ සිදුවීමත් එක්ක පේන්නේ බලධාරීන් කලින් කලට විවිධ වැඩසටහන් හඳුන්වා දුන්නත් ඒවා පවත්වන නිසි ක්‍රමවේදය පිළිබඳව දැනීමක් මේ අයට තිබිලා නෑ කියන එකයි. ඒ නිසා මින් ඉදිරියට මෙවැනි අපරාධ සිදුකරන්න ඉඩ තියන්න එපා කියලයි අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ.

මියගිය විදුහල්පතිතුමියගේ වැඩිමහල් දියණිය වන ලක්ෂාණි මෙසේ පැවසුවාය.

අම්මා මීට පෙරත් අවස්ථා දෙකකදීම නායකත්ව පුහුණුවකට ගියා. ඒවායේ දී නම් සියලුම දෙනාගේ ආරක්ෂාව උපරිමයෙන් සලසා තිබුණා කියලා අම්මා අපිත් එක්ක කියලා තිබුණා. ඒ අනුව තමයි අම්මා මෙවර කුරැණෑගල තියෙන අවසන් නායකත්ව පුහුණුවට යනවට අපි විරුද්ධ නොවු‍ණේ. අම්මා මේ යන්නේ අවසන් ගමන කියලා හීනෙන්වත් දැනුණා නම් අපි කීයටවත් අම්මට මේ ගමන යන්න දෙන්නේ නෑ. මට ඉන්නේ නංගිලාම තුන් දෙනෙක්. බාල නංගි පසුගිය දින පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. දිලිනි නංගි පුහුණු හෙදියක් ලෙස කටයුතු කරන අතර පියුමි නංගි තාක්ෂණික පාඨමාලාවක් හදාරනවා. මම රසායනාගාර ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. අම්මා අපි ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් අද අම්මා අපිට අහිමි වුණා. අම්මට මේ දේ වුණේ වගකිව යුතු පාර්ශ්ව සැලකිල්ලකින් කටයුතු නොකළ නිසයි. මින් ඉදිරියටවත් මේ වගේ අපරාද සිදුවෙන්න ඉඩ තියන්න එපා කියලා මම වගකිව යුතු අයගෙන් ඉල්ලන්ෙන්. අපි ගෙයක් හදලා මාර්තු 01 වැනිදාට ඒකට පදිංචියට යන්නයි හිටියේ. දැන් අම්මා නැතිව අපි කොහොමද අලුත් ගෙදර පදිංචියට යන්නේ. ඇයි දෙයියනේ අපිට මේ වගේ දෙයක් වුණේ යැයි කදුළු වගුරවමින් ඇය අපත් සමඟ පැවසුවාය.

මියගිය රෝහිනී මහත්මිය දරුවන් සිව් දෙනකුගේ ආදරණීය මවක් පමණක් නොව දරුවන් සිය දහස් ගණනකට නෙත් පෑදූ ගුරැ මාතාවක් බවයි ඇයගේ අවසන් කටයුතු සඳහා පැමිණි පිරිස පැවසුවේ. එහිදී බොහෝ දෙනා පැවසුවේ මේ අපරාධය සඳහා පුහුණු වැඩසටහනට නායකත්වය දුන් පිරිස් වගකිව යුතු බවයි.

මියගිය රෝහිනී මහත්මිය බෙලිඅත්ත දෙද්දුවාවල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර අධ්‍යාපන කටයුතු බාර කිරීමෙන් පසුව බෙලිඅත්ත දෙද්දුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ විද්‍යා ගුරැවරියක ලෙස සිය ගුරු ජීවිතය ආරම්භ කර තිබේ. පසුව ඇය 1991 වසරේ නොවැම්බර් 22 වැනි දින තිලකරත්න අබේසිංහ මහතා සමඟ යුග දිවියට එළඹීමෙන් පසු පදිංචිය සඳහා අම්බලන්තොට ප්‍රදේශයට පැමිණ ස්ථාන මාරුවක් ලබාගෙන අම්බලන්තොට ජනපද විද්‍යාලයට පැමිණ තිබේ. පසුව 2008 වසරේ දී ශ්‍රේණිධාරී ගුරිවරියක ලෙස හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ ගුරු සේවයට එක්ව ඇති ඇය 2011 වසරේ දී සුචි ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙසත්, 2013 වසරේ දී සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය ලෙසත් පත්ව තිබේ.

මෙම සිදුවීමත් සමඟින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී ඇති අතර තාවකාලිකව මෙම පුහුණු වැඩමුළුව ද නතර කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ. විදුහල්පතිවරුන්ගේ පෞරුෂ වර්ධනය හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක මෙම පුහුණු වැඩමුළුවලදී ඒ සඳහා සහභාගී වන විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබූ පසුබිමක මෙවැන්නක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව වගකිව යුතු නිලධාරීන්ගෙන් කරැණු විමසීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය පසුගිය 18 වැනි දින කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා විසින් පැවැත්වූ අතර පුහුණුව පැවැත්වූ නිලධාරියා සහ ඊට අදාළ ලිපි ලේඛන එළඹෙන මාර්තු 8 වැනි දින කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කෙරුණු අතර වැඩිදුර සාක්ෂි විභාගය ද එදිනට කල්තබා තිබේ. මියගිය විදුහල්පතිනියගේ දේහය පිළිබඳව වූ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ මහතා විසින් පවත්වා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණ වාර්තාව මාර්තු 8 ලබාදීමට නියමිතව තිබේ.

මේ කෙසේ වුවද අද වන විට දරුවන් සිව් දෙනකුට මවක්, ආදරණීය සැමියකුට බිරිඳක්, දහස් ගණනක් වූ දරැවනට ආදරණීය ගුරු මාතාවක් අහිමි වී හමාරය. බලධාරීන් පුහුණුව සඳහා පැමිණෙන විදුහල්පතිවරුන්ගේ ජීවිත පිළිබඳව අවධානය මීට වඩා යොමුකළ යුතු වුවද එය කරන්නට එක් අයකු මියයන තෙක්ම නොහැකි වීමද කණගාටුවට කරැණකි. එමෙන්ම නායකත්ව පුහුණු වැඩසටහන් පිළිබඳව මෙරට ජනතාවගේ කිසිදු ගැටලුවක් නොමැත. එහෙත් ඒවා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙළවල් පිළිබඳව මින් ඉදිරියට ජනතාව තුළ පවතින්නේ කුකුසකි. ඒ නිසා මින් ඉදිරියට නායකත්ව පුහුණු වැඩසටහන් සඳහා ඇරයුමක් ලැබෙන සෑම අවස්ථාවකදීම ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් ඒ සඳහා සහභාගී වීම පිළිබඳව දෙපාරක් සිතනු නොඅනුමානය. මින් ඉදිරියටවත් මෙවන් කටයුතුවලදී පුහුණුවට කලින් ජීවිතය පිළිබඳව දෙපාරක් නොව සිය දහස් වාරයක් සිතුය යුතු බව අප සිහිපත් කරන්නෙමු. 

කතාව හා සේයාරූ
 සූරියවැව නුවන් ජයසේකර