2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අයිතිකාරයත් මරාගෙන බිමට පාත්වූ ග්‍රෑන්ඩ්පාස් බිල්ඩිම

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

“තාහීර් මහත්තයා අපි එක්ක කතා කරමින් මිදුලේ හිටියා. එකපාරටම මම ඇතුළට යනවා කියලා ගියා. එයා ස්ටෝරුව ඇතුළට යනවාත් එක්කම මමත් අනිත් පැත්තට හැරුණා. ඒත් එක්කම විශාල ඝෝෂාවක් එක්ක පිපුරුම් ශබ්දයක් ඇසුණා. හිතාගන්න බැරිවුණා. හැරිලා බලද්දි පළාතම දූවිල්ලකින් වැහිලා තිබුණා. දූවිල්ල අතරින් පෙනුණේ තාහිර් මහත්තයාගේ ස්ටෝරුවේ වහලය කඩාගෙන වැටිලා තියෙනවා.”

ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ පිහිටි ඇඩම් එක්ස්පෝ සමාගමට අයත් පැරැණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ඒ තුළ වූ සිලෝන් ට්‍රේඩින් පෞද්ගලික සමාගමේ හිමිකරු තාහීර් ගුලාම් හුසේන් ඇතුළු සේවක සේවිකාවන් හත් දෙනකු මරුමුවට පත් වී තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුවීමේ ඛේදවාචකය පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට ගිය මොහොතේ එම සිදුවීම සියැසින් දුටු සහ ඒ ආසන්නයේම සිටි ප්‍රසන්න ඉන්දික (40) මහතා එසේ පැවසීය.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේ පසුගිය 14 බදාදා පස්වරු 3.00ට පමණය. සිද්ධිය සැලවීමත් සමඟ එහි ගිය අපට දකින්නට ලැබුණේ පොලීසිය හා යුද හමුදාවේ සාමාජිකයන් එක්ව සුන්බුන් අතරේ සිරවී සිටි තුවාලකරුවන් සහ මළසිරුරු පිටතට රැගෙන 1990 හදිසි ගිලන් රථ තුළට දමන අයුරුය. සිද්ධිය සැලවීමත් සමඟ අසල්වාසී ජනතාව පොදිකමින් අවට රැස්වී සිටි අතර අනතුරට පත් සේවක සේවිකාවන්ගේ සහ හිමිකරුගේ ඥාතීහු විලාප නගමින් සිටියහ. මේ අතර මහා ඛේදවාචකයට මැදිවී දිවි බේරාගෙන සිටි සේවක සේවිකාවන් පිරිසක් භීතියට සහ කම්පනයට පත්ව පසෙකට වී සිටින අයුරුද දකින්නට ලැබිණ.

සිදුවීම විස්තර කළ ප්‍රසන්න ඉන්දික මහතා මෙසේද පැවසීය.

“මම මොහොමඩ් සමඟ මිදුලෙ ඉද්දි තාහිර් මහත්තයා අපි ළඟට ඇවිත් කතා කරමින් හිටියා. ටිකක් ඉඳලා මම ඇතුළට යනවා කියලා ගියා. එයා දෙපාරක් ඇතුළට යනකම් ඉඳලා අපි අනිත් පැත්තට හැරුණා විතරයි. මහා ශබ්දයක් ඇසුණා. හිතාගන්න බැරිවුණා. පස්සෙ දැක්කෙ විනාශය. වටපිටාවේ අයත් දුවගෙන ආවා.”

මේ සමඟ අදහස් දැක්වූවේ ප්‍රසන්න ඉන්දික මහතා සමඟ සිටි “මොහොමඩ්” මහතාය.

“අපි තුන්දෙනා එකට ඉඳලා තාහිර් මහතා ඇතුළට ගියා විතරයි. අපට කාර්යාලයට යන්න වෙලාවක් තිබුණෙ නෑ. අපි වැඩකරන්නේ කඩාගෙන වැටුණු බිල්ඩිමට ඉස්සරහ බිල්ඩිමේ. සද්දෙ ඇහිලා පස්ස බලනවාත් එක්කම මම දැක්කා තහඩු විසිවෙලා යනවා. අපි බයවුණා. කොහොමහරි ටික වෙලාවකින් කඩා වැටුණු බිල්ඩිම ඇතුළට අපි ගියා. මුලින්ම යටවෙලා හිටියේ තාහිර් මහත්තයා. අපි ඔහුව උස්සලා අරගෙන වාහනයක දැම්මා. එයාලා එවේලෙම ඉස්පිරිතාලෙට ගෙනියන්න ඇති. ටික වෙලාවකින් පස්සෙ පොලීසිය සහ හමුදාව ඇවිත් මුදාගන්න මෙහෙයුමක් කළා.”

ග්‍රෑන්ඩ්පාස් සුලෙයිමාන් රෝහලට මඳක් ඔබ්බෙන් වන්නට බබාපුල්ලේ මාවත අසල ඇඩම් එක්ස්පෝ ගොඩනැගිලි සංකීර්ණය පිහිටා ඇත. ප්‍රධාන මාර්ගයෙන් එයට පිවිසුමක් ඇති අතර එහි දෙපස මීටර් ගණනාවක් දුරට විහිදුණු එකම හැඩයේ තනිමහල් ගොඩනැගිලි දෙකකි. එහි විවිධ සමාගම්වලට අයත් කාර්යාල සහ ස්ටෝරු පිහිටා තිබේ. මෙහි දකුණු පස ගොඩනැගිල්ලේ කෙළවරට වන්නට තිබුණේ කුළුබඩු ඇසුරුම් කර විදේශයට යවන ආයතනයකි. එහි දිග අඩි 70ට වැඩිය. පළල අඩි 35ක් පමණය. හදිසි කඩා වැටීම සිදුව තිබුණේ එම කොටසේය. ගොඩනැගිල්ලේ පැති බිත්තිය අඩි 15ක් පමණ උස වුවත් එහි වහලය අඩි 25ක් පමණ උසය. සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණේ එම වහලේ විශාල කොටසකි. ගොඩනැගිල්ලේ කෙළවර කොටසට හානියක් නොවූයෙන් එහි රැඳී සිටි පිරිසට හානියක් සිදුවී නැත.
සිදුවීමෙන් බියට පත් ඔවුන් එළියට පැන ජීවිතය බේරාගෙන තිබුණි. අනතුර සිදුවූ මොහොතේ සේවක සේවිකාවන් 12ක් එම ස්ථානයේ සේවය කරමින් සිට ඇති අතර 9 දෙනකු සුන්බුන් ගොඩකට මැදිවී ඇත. ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පිරිස රෝහල්ගත කරන්නට පියවර ගැනුණ අතර 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණි. සෙසු දෙදෙනා බරපතළ තත්ත්වයේ පසුවූයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබූහ.

අනතුරින් මියගොස් සිටියේ කුළුබඩු සමාගමේ හිමිකාර තාහිර් ගුලාම් සමඟ වෙල්ලම්මා, නල්ලිමා, ලලිතා, රාජේෂ්වරී, කසුන්, නාහිර්, සුජී යන පිරිස බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රසන්න මහතා මෙසේද කීය.

“අපි වැඩකරන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලට ඉස්සරහා ගොඩනැගිල්ලේ. මුලින්ම මොකුත් හිතාගන්න බැරිවුණා. පස්සෙ තමයි කාරණය වැටහුණේ. ඇත්තටම මේ ගොඩනැගිලි පරණයි. නමුත් ඒක හේතුවක් නෙමේ. මේ ගොඩනැගිල්ලට මායිමේ තිබුණේ ලංකාවේ සුප්‍රසිද්ධ ආයතනයක්. ඒ ආයතනය කොළඹින් පිට තැනකට ගෙනගියා. පස්සෙ තිබුණු ගොඩනැගිල්ල කඩලා ඉවත් කරන්න කොන්ත්‍රාත්කරුවෙකුට බාරදීලා තියෙනවා. ඔවුන් පැත්තක් කඩලා මේ බිල්ඩිමට මායිමේ බිත්තිය ඉතුරුවෙලා තියෙනවා. ඒක අඩි 75ක් විතර උසයි. ඒකෙ කොටසක් තමයි මේ වහලය උඩට කඩාගෙන වැටුණේ. ඒකෙන් මේ අනතුර සිද්ධවෙලා තියෙනවා. අපරාදෙ අහිංසක මිනිස්සු මැරුණා” යැයි කියමින් සුසුම් හෙළන ඔහු දෑත දිගු කර අහස උසට පෙනුණු කඩාවැටුණු බිත්තියේ ඉතිරි කොටස පෙන්වීය.

“සිද්ධියත් එක්කම මිනිස්සු පිරුණා. අපි අමාරුවෙන් සුන්බුන් ඇතුළට ගියා. මුලින්ම පේන්න හිටියේ බොස්. එයාව වාහනයකට දැම්මා. සමහර අයගේ අත් කකුල් තිබුණෙ නෑ. බොස්ගෙත් අතක් කකුලක් නැතුව තිබුණේ. සමහර අයගෙ ඔළුව සම්පූර්ණයෙන් පොඩිවෙලා. එහෙම අය අල්ලන්නවත් ගියේ නෑ. කෑ ගහනවා ඇහුණු දෙන්නෙක් විතරක් අපි උස්සලා ගත්තා. ඒ වෙලාවෙ කෑමට කීප දෙනෙක් එළියට ගිහින් අනිත් අය ඇතුළෙ හිටියා. කෙළවරේ හිටිය කීප දෙනා විතරයි බේරැණේ. එතන සිංහල තරුණයන් හතර දෙනෙක් හිටියා. අනිත් අය දෙමළ හා මුස්ලිම් අය. ගබඩාවේ මැද කණු බීම් මොකුත් නෑ. යකඩ බාර් විතරයි හරහට තිබුණෙ.” යැයි ආයතනයේ ආරක්ෂක නිලධාරිවරයා කීහ.

මේ අතර ප්‍රදේශවාසී තරුණයෙක් කීවේ මෙවැන්නකි. “ඔය බිල්ඩිම අපේ ආච්චිලාටත් වඩා වයසයි. ඊටත් වඩා කඩා වැටිලා තියෙන්නෙ අල්ලපු ඉඩමේ තියෙන ලොකු කම්පැණියකට අයිති තාප්පයක්. සල්ලිවලට ඕන දෙයක් කරන්න පුළුවන් කාලෙ මේ අනතුර අහම්බයක් කියලා අත්හැරීම නම් මෝඩකමක්.”

සිද්ධියට පසුව තුවාලකරුවන් රෝහල්ගත කරන්නට පියවරගත් ආරක්ෂක අංශ නැවත ආපසු ගියද ග්‍රෑන්ඩ්පාස් පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පිටස්තර පුද්ගලයන් ඇතුළු නොවන පරිදි රැකවල්ලා සිටියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ හෙයිනි. එදින රාත්‍රියේ ඊට අවස්ථාවක් නොවූයෙන් පසුදින එම කටයුතු සිදුකෙරුණි. එදින සුන්බුන් ඉවත් කරන අවස්ථාවේ සමාගම හිමිකරු තාහීර් මහතාගේ ශරීරයෙන් ඉවත්ව තිබූ අත හා කකුල සොයාගත් බව එම ආයතනයේ සේවකයෙක් පැවසීය. සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යාමට නියමිතව සිටියහ.

 කතාව / සේයාරූ: සමන්ත ප්‍රදීප් විල්තෙර සහ ළහිරු හර්ෂණ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05