2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අවුරුදු එකහමාරේ කුරහන් විප්ලවය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

යහපාලන රජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙන්ම මහා පරිශ්‍රමයකින් සකස් කළ පළාත් පාලන මැතිවරණය පසුගියදා පැවැත්විණි. බොහෝ දෙනා පුල පුලා බලා සිටි ආකාරය. මේ මැතිවරණය වෙනසකි. ප්‍රතිඵලත් වෙනස්ය. ඒ වගේම ඇතැම් ආසනවල ජයග්‍රහණත් එක් පැත්තකින් විකාරය. එය වෙනම කතා කළ යුතු විෂයකි. එහෙත් අප කතා කරන්නේ මෙවර මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵලවල වෙනස්කම්ය. ඇතැම් අය ප්‍රතිඵල දැක තවමත් ඉන්නේ වික්ෂිප්තයෙන්ය. ඒ තරම් මේ ප්‍රතිඵල වෙනස්ම අත්දැකීමකි. මෙම මැතිවරණයේදී සම්මුතිවාදී ආණ්ඩුව වෙන් වෙන්ව තරග කිරීමට ආරම්භයේදීම තීරණය කළේය. ඒ අනුව එ.ජා.ප.ය වෙනමත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනමත් තරග බිමට ඇතුළු වූයේ විශාල බලාපොරොත්තු සමඟින්ය. එය කෙතරම්ද කීවොත් දෙපිරිසම එකිනෙකා ගැන උදම් අනා ගත්හ.

මේ අතර වෙන්ව ආ එ.ජ.නි.සයත්, මහින්ද පාර්ශවයත් අතර වෙනම ගැටුමක් තිබුණේය. ඒ ගැටුම 2015 ජනවාරි 08 වැනිදා සිට ආරම්භ වූවකි. එය තව තවත් උග්‍ර අතට හැරෙන්නේ මහ මැතිවරණයේදීය. ඒ මහින්ද රාජපක්ෂට දිනුවත් අගමැතිකම නොදෙන බව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් දෙමින් ප්‍රකාශ කිරීමත් සමඟය. කෙසේ වෙතත් මහ මැතිවරණයේදී ජනාධිපතිවරයාගෙන් ඔහු බලයට ගෙන ආ ලක්ෂ 62ත් එසේම මහින්දගේ ලක්ෂ 58ත් ඉවත්ව හැලී ගිය බව ඕනෑම කෙනකුට දැනෙන දෙයකි. ඒ ජනාධිපතිවරයා ලක්ෂ 62ක බලාපොරොත්තුවට පයින් ගැසීම නිසාය. එනම් ලක්ෂ 62 (62,17,162) ඔහුට ඡන්දය භාවිතා කළේ රාජපක්ෂ පාලනය බිඳ හෙලීමටය. එහෙත් මෛත්‍රීපාල මහතා බලය ලැබුණු සැණින් නිර්පාක්ෂික වීම වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගැනීමත් එසේම මහින්ද සමඟ එකට ඡන්දය කිරීමත් යන කාරණා නිසා ලක්ෂ 62ම ජනාධිපතිවරයා සමඟ නෝක්කාඩු විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට ඒ අවුල දැනුණු නිසාදෝ ඔහු පිරිසිදු පාලකයකු යැයි කීම සඳහා රාජපක්ෂලාට බලය නොදෙන බව එළිපිට කීවේය. එම ප්‍රකාශය නිසා මෛත්‍රීපාල මහතා ගැන මහින්ද කඳවුර කලකිරැණු අතර එය ජනාධිපතිවරණයේදී මහින්දට ලැබුණු ලක්ෂ 57 (5,768,090)ක ඡන්ද ප්‍රමාණය පසුබසින තැනට ගෙනාවේය. එහෙත් මහින්ද  ඉවසාගෙන සිටියේය. 

කෙසේ වෙතත් අවසානයේ මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුණු අතර ප්‍රතිඵලය වූයේ එ.ජා.ප.ය. 5,098,916 ලබා ගනිමින් මන්ත්‍රී ආසන 106ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට 4,732,664ක් ලබා ගනිමින් ආසන 95ක් ද දිනා ගැනීමය. එය විශාල පසුබෑමක් විය. මේ නිසා කාටවත් බහුතර බලයක් ද පාර්ලිමේන්තුවේ තිබුණේ නැත. 

මේ සියලු කාරණා හේතුවෙන් අවසානයේ ජනාධිපතිවරයා සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකරගත්තේ දෙපිරිසේම කැමැත්ත මතය. එහෙත් මේ ආණ්ඩුව ගන්නාවිට ආණ්ඩුවට ඉතිහාසයේ ඇසීමට සිදු වූ ලොකුම මූල්‍ය වංචාව පිළිබඳවද ඇසීමට සිදුවී තිබුණේය. ඒ මහ බැංකු බැඳුම්කර වංචාව ගැනය. මේ සිද්ධිය කෙතරම් ප්‍රබලද කීවොත් මේ හරහා රටට සිදු වූ අලාභය ගණනය කළ නොහැකි බව සඳහන් විය. මෙහි හොඳම කාරණය නම් ආණ්ඩුවේම සිවිල් සංවිධාන විසින් මේ වංචාවට ආණ්ඩුවටම ඇඟිල්ල දිගු කිරීමය. ඒ අතර යහපාලන ආණ්ඩුවේ නියමුවකු වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ ද සිටියහ. කෙසේ වෙතත් අවසනායේ මේ සිද්ධිය කෝප් කමිටුවට ආ අවස්ථාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ෆුට් නෝට් ජනතාවට සැකයක් දෙන්නක් විය. කෙසේ වෙතත් මේ කාරණයට ආණ්ඩුව පැහැදිලි පිළිතුරක් ලබාදුන්නේ නැත. මේ අතර ආණ්ඩුව අනාගත් තවත් ප්‍රශ්නයක් වූයේ සයිටම් අවුලය. සයිටම් ආයතනයට විසඳුමක් දීම වෙනුවට හොඳින් නැත්තන් නරකින් තියරියට යාම නිසා ආණ්ඩුවත්, විශ්ව විද්‍යාල ප්‍රජාවත්, ඔවුන්ගේ මාපියනුත්, වෛද්‍ය වෘත්තීකයන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රත්, සයිටම් ආයතනයේ දරුවනුත් ආණ්ඩුව සමඟ විරසක විය. පැහැදිලි පිළිතුරක් වෙනුවට ඔළුවට බැට්න් පොල්ලෙන් පහරදෙන ක්‍රමවේදයට ගිය නිසා ආණ්ඩුවට එරෙහිව ශිෂ්‍ය ප්‍රජාව වෛර බැඳගත්හ. 

මේ අතර ආණ්ඩුව වරද්දාගත් තවත් දෙයක්ද තිබුණේය. ඒ රාජපක්ෂ පාලනයෙන් පොරොන්දු වූ අදියර කිහිපයක් රුපියල් 10000ක රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම එකවර ලබාදීමය. එය කිසිම ආණ්ඩුවක් විසින් නොකරන අනුවණ වැඩකි. සැබවින්ම එය වසරකට 2500 බැගින් වසර හතරකට දීමට තිබු පඩි වැඩි කිරීම එකවර දීම නිසා ආණ්ඩුව දැඩි ලෙස ආර්ථික අර්බුදයකට මැදිවිය. මේ නිසා ඇතැම් අවස්ථාවල රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට ආණ්ඩුවට රජයේ බැංකුවලින් ණයට පවා ගැනීමට සිදුවුණි. එපමණක් නොව රාජ්‍ය සේවකයාට එකවර පඩි වැඩිකිරීම නිසා වාර්ෂික පඩි වැඩි කිරීම ද නතර විය. මේ නිසා ආණ්ඩුව කෙරෙහි රාජ්‍ය සේවක විස්වාසය අහිමිවිය.

මේ අතර රාජ්‍ය සේවකයන් ආණ්ඩුව අත් හැරීමට තවත් හේතුවක් වූයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයයි. එම කොට්ඨසය රාජපක්ෂවරුන්ගේ හොර ඇල්ලීම සඳහා පිහිටුවනු ලැබුවද රාජ්‍ය සේවකයන් එක දිගට ගෙනවිත් ප්‍රශ්න කරන්නට විය. ඇතැම් අය රජයේ සාක්ෂිකරුවන් කළහ. මේ නිසා රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලැබෙන ආරක්ෂාවක් නැති බව තේරැම් යන්නට ඇත. මේ නිසා රාජ්‍ය සේවකයෝ සෘජුව ගනු ලබන තීරණ අත්හැර දැමූහ. එවැනි තීරණ ගැනීම් හිරේ විලංගුවේ වැටෙන්නට හේතුවිය හැකි බව ඔවුන්ගේ පිළිගැනීම වන්නට ඇත. මේ හේතුවෙන් රාජ්‍ය සේවකයා අකාර්යක්ෂම වූ අතර ජනතාව සිය වෛරය ආණ්ඩුවට වෙත හැරෙව්වෝය.

සියලු කාරණා අතරතුර රාජපක්ෂලා ක්‍රමක්‍රමයෙන් මේ දේශපාලන පොර පිටිය ආක්‍රමණය කරමින් සිටියහ. ඒ විවිධ රැස්වීම් මගින් සහ පාර්ලිමේන්තු විවාද හරහාය. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය විපක්ෂයේ කාර්ය භාරය සිදුකරමින් පාර්ලිමේන්තුවේත්, එළියේත් විශාල හඬක් ආණ්ඩුවට එරෙහිව සිදුකරමින් සිටියහ. එහි සිටි බොහෝ මන්ත්‍රීවරු ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු නිසා ජනාධිපතිවරයාගේ උදහසට ලක්වෙමින් සිටියහ. මේ නිසා අවසානයේ මන්ත්‍රීවරුන් බහුතරයකට ශ්‍රී.ල.නි.ප සාමාජිකත්වය අහිමි කෙරිණි. මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලංකා මන්ත්‍රීවරුනුත්, පාක්ෂිකයනුත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ අලුත් පක්ෂයක් සකසන ලෙසය. ඒ අනුව පොහොට්ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවිය.
එම පක්ෂය ක්‍රමයෙන් දීප ව්‍යාප්තව මහින්දට හිතවාදී පිරිස් පක්ෂයට ගනිමින් යටි බිම්ගත දේශපාලන මෙහෙයුමක් සිදුකරගෙන ගියේය. එය සැබවින්ම බැසිල් රාජපක්ෂ විසින් සිදු කරන ලද්දකි. ඒ අනුව එම පක්ෂයට පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරැ තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසකුත්, පාක්ෂිකයන් විශාල පිරිසකුත් එකතු වූහ. ඒ බව එකවරක් සඳහන් කරමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ තම පක්ෂයට සාමාජිකයන් ලක්ෂ විස්සක් එකතුවී ඇති බවය. එහෙත් එ.ජා.ප.යෙත් ශ්‍රී.ල.නි.ප.යෙත් මැති ඇමතිවරැ පවසා සිටියේ මෙය බැසිල්ගේ ගුණ්ඩුවක් බවය. කෙසේ වෙතත් පොහොට්ටුව දිවයින පුරා ස්ථාවර වනවිට රට තුළ තෙල් හිඟය, දුම්රිය වර්ජන, වෛද්‍ය වැඩ වර්ජන එක දිගට පෝලිමට සිදුවිය. මේ හේතුවෙන් ජන ජීවිත අඩාල වූ අතර එය මහින්ද පාර්ශවයට ආණ්ඩුවට පහර දීම සඳහා ආණ්ඩුව විසින්ම ලබා දුන් ආයුධ විය. මේ නිසා ආණ්ඩුවට එක දිගට ප්‍රහාර එල්ල විය.

මේ අතර බුද්ධි අංශ නිලධාරින් හා හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමද ආණ්ඩුවට අවාසිදායක විය. එය මහින්ද කඳවුර රණවිරු දඩයම ලෙස අර්ථ ගැන්වීය. පශ්චාත් යුද සමයක ජීවත් වන දකුණේ මිනිසුන්ට එම ප්‍රකාශ සමඟ ආණ්ඩුව කෙරෙහි වූ විශ්වාසය අඩුවිය. මේ සියලු කාරණා මත ව්‍යවස්ථා සංශෝධනයත් ආවේය. එහිදී නිර් ආගමික බව සහ ෆෙඩරල් යන සංකල්ප දෙක සිංහල බෞද්ධයන් කැළඹීමකට පත් කරන්නක් විය. මේවා යෝජනා පමණක් වුවත් ආණ්ඩුව ඒ සඳහා පිළිතුරු දුන්නේ දියාරු ක්‍රමයටය. මෙය බරපතළ පසුබෑමක් විය.

මේ සියලු දෑ සිදුවනවිට ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසමක් ද පත් කළේය. එම කොමිසම වෙත ආණ්ඩුවේ මැති ඇමතිවරැත්, නිලධාරීනුත් කැඳවා ප්‍රශ්න කරනවිට ලැබුණු සාක්ෂිවලට අනුව බොහෝ දෙනා අවබෝධ කරගත්තේ මෙය ආණ්ඩුවේ අය මැදිහත්ව සිදු කළ දෙයක් ලෙසය. අවසානයේ අදාළ වාර්තාව දෙසැම්බර් 31 වැනිදා ඉදිරිපත් කළේය. එම වාර්තාවට අනුව එය මහා විශාල හොරකමක් බව හෙළිවී තිබුණි. මේ නිසා ආණ්ඩුව සම්බන්ධයෙන් වූ විශ්වාසය තව තව බිඳී ගියේය. 
මේ අතර මැතිවරණය ප්‍රකාශය කිරීමත් සමඟ ආණ්ඩුවේ දෙපාර්ශ්වයම එකිනෙකාට හොරු යනුවෙන් බැණ අඬ ගහගැනීම රටම බලා සිටියේය. ආණ්ඩුවට ප්‍රතිවාදියා විපක්ෂය වුණත් මේ ආණ්ඩුවට ප්‍රතිවාදියා ඔවුන්ම විය. අවසානයේ ජනාධිපතිවරයා ට්‍රිලියන ගණනක මුදල් වංචවක් ද හෙළි කළේය. එයද යහපාලන රජයේ ගිණුමට බැර විය. කෙසේ වෙතත් මේ අතර තුර ශ්‍රී.ල.නි.ප.ය මාධ්‍ය හමු තබමින් කියා සිටියේ හොරුන්ගෙන් තොර පාලනයක් අවශ්‍ය නම් ශ්‍රී.ල.නි.ප.ය.ට ඡන්දය ලබාදෙන ලෙසය. එසේ කියමින් ගුරුවරියන් දණ ගැස්වූ සරත්ලා එක වේදීකාවේ සිටියහ. එසේ කියන අතරතුර ඌවේ මහ ඇමැතිවරයා විදුහල්පතිනියක් ලවා වන්දවාගත් චෝදනාවක් ද ආවේය. මේ සියලු චෝදනා ශ්‍රී.ල.නි.ප. ගිණුමට බැර විය.

මේ අතර එ.ජා.ප.ය මාධ්‍ය හමු පවත්වමින් කීවේ මෙවර අති විශිෂ්ඨ ජයක් ලබාගන්නා බවත් එය සීයට 75ක් බවත්ය. එසේම මැතිවරණයට පෙර 06 වැනිදා පොදුජන පෙරමුණේ නියමු බැසිල් රාජපක්ෂ මාධ්‍ය හමුවක් තබමින් කීවේ මෙවර මැතිවරණයෙන් සීයට 70ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගන්න බවත් එය පළාත් පාලන ආයතන ගතහොත් 225 ත්, 250 අතර වනු ඇති බවත්ය.

මේ අතර ජේ.වී.පී.ය ප්‍රකාශ කර සිටියේ ඔවුන් ද වැඩි ප්‍රමාණයක්  ගන්නා බවය.

ඒ අනුව පසුගිය 10 වැනිදා මැතිවරණය පැවැත්විණි. ඊට පසුදින අලුයම වනවිට ජයග්‍රාහකයන් කවුද යන්න ටිකෙන් ටික එළියට ආවේය. පුදුමය නම් 11 වැනිදා දහවල් වනවිට රටේ තුන්වැනි බලවේගයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ බලය අල්ලා තිබුණේය. පළාත් පාලන ආයතන 340කින් 239ක් ඔවුන් ජයගෙන තිබුණේය. එක්සත් ජාතික පක්ෂය ආයතන 41කි, දෙමළ සන්ධානය 34කි, ශ්‍රී.ල.නි.ප.ය - එජනිස 10කි, කම්කරු කොංග්‍රසය 05කි, මුස්ලිම් කොංග්‍රසය 03කි. ඡන්ද සංඛ්‍යාවට අනුව පොදුජන පෙරමුණ 4,941,952 (44.65%), එ.ජා.ප.ය 3,612,259 (32.63%), එක්සත් ජනතා නිදහස් සන්ධානය 989,821(8.94%), ජනතා විමුක්ති පෙරමුණ 693,875 (6.27%) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 491, 835 (3.07%) වශයෙනුත් ප්‍රතිඵල ලබාගෙන තිබුණි. එසේම, දෙමළ සංධානය 338,675 (3.07)ක්ද ලබාගෙන තිබුණේය. මේ ප්‍රතිඵල සැසැඳීමේදී විශාල වෙනසක් දක්නට ලැබේ.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් ලබාගත් ප්‍රතිඵල අනුව ඡන්ද 826138ක අඩුවීමක් ඇත. මේ අඩුවීම එ.ජා.ප.ය විසින් පෙන්වා දෙන්නේ රාජපක්ෂවරු තවමත් ජනතාව ප්‍රතික්ෂේප කරන බවය. එම තර්කය වැරදිය. මහින්ද රාජපක්ෂ මෙවර සිය කණ්ඩායම ඉදිරිපත් කළේ තමන්ට සුපුරුදු අතින් හෝ බුලත් කොළෙන් නොවේ. එය පොහොට්ටුවය. පොහොට්ටුව අලුත් පක්ෂයක් මෙන්ම ලාංජනයකි. එම අලුත් පක්ෂය අවුරුද්දයි මාස දෙකක් ඇතුළත ලක්ෂ 49ක ඡන්දයක් ලබා ගන්නේ නම් තවත් කුමන තර්කද? අවුරුදු හැට ගණනක් පැරැණි ශ්‍රී.ල.නි.ප.යත්, අවුරුදු හැත්තෑවක් පරණ එ.ජා.ප.යත් අලුත්ම පක්ෂයක් හමුවේ පරාජය වූවා නම් තවත් කුමන කතාද? කෙසේ වෙතත් අලුතින් සකසා ගත් පක්ෂයක්, අලුතින්ම සංවිධානය වී මෙවැනි විශාල ජයග්‍රහණයක් ලැබීම පුදුමයකි. විශේෂයෙන් බලය තිබෙන පක්ෂ දෙකක් පරාජය කිරීමත් විශේෂත්වයකි.

මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව තරග කළ මහ මැතිවරණය හා සසඳනවිට බුලත් කොළයත් පොහොට්ටුවත් අතර ලබාගත් ඡන්ද ප්‍රතිඵල අනුව 209,288ක ඡන්ද සංඛ්‍යාවක් පොහොට්ටුවට වැඩි වී ඇත. එය සැබවින්ම වර්ධනයකි. එහෙත් එක්සත් ජාතික පක්ෂය ක්‍රමයෙන් පහළට වැටී ඇත. ඔවුන් මහ මැතිවරණයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා සසඳනවිට විශාල පසුබෑමක් සිදුවී ඇත. ඒ ලක්ෂ 14ක (1,486,657) පසුබෑමකි. එය සුළුපටු ප්‍රමාණයක් නොවන්නේය. සැබවින්ම එය දැවැන්ත කඩා වැටීමකි. එසේම දශක ගණනාවක් දේශපාලනය කළ ශ්‍රී.ල.නි.ප.යත්, එ.ජ.නි.ස.යටත් ලබාගත හැකි ඡන්ද සංඛ්‍යාව ද ඛේදවාචකයකි. ඔවුන් මෙවර ලබාගෙන ඇත්තේ 1,481,656 කි. එවැනි දැවැන්ත පක්ෂයක් ලක්ෂ 14ට වැටෙන්නට තරම් පිරිහීම කොතෙක්දැයි අපට සිතාගත හැක.

කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් යම් වර්ධනයක් ජනතා විමුක්ති පෙරමුණට ලබාගැනීමට හැකියාව ලැබී ඇත. ඔවුන් මහ මැතිවරණය හා සැසඳීමේදී 149875ක ඡන්ද සංඛ්‍යාවක් වර්ධනය වී ඇත. එම වර්ධනය ජනතා විමුක්ති පෙරමුණට වාසියකි. එය ඇතැම්විට තරුණ ප්‍රජාව සහ ආණ්ඩුවත් රාජපක්ෂවරුත් සම්බන්ධයෙන් කලකිරුණු පිරිස විය හැක. විශේෂයෙන් මෙවර ජනතා විමුක්ති පෙරමුණට කලාකරුවන් රැසකගේ සහය හිමිවීමද විශේෂත්වයකි. එහෙත් දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ප්‍රජාවගෙන් කැපීයන පක්ෂයක් බවට පත්වෙමින් පවතින බව මෙවර ප්‍රතිඵලවලින් සනාථ විය. විශේෂයෙන් පසුගිය කාලයේ එම සන්ධානයේ අභ්‍යන්තර ගැටලු විශාල වශයෙන් එළියට යාම නිසා දමිළ ජනතාව සන්ධානය සම්බන්ධයෙන් කලකිරී සිටියහ. එපමණක් නොව විපක්ෂයේ කාර්යභාරය තුළට උතුරැ නැගෙනහිර ප්‍රජාවට සිදු වූ දෙයක් නැත. මේ නිසා දෙමළ ජාතික සන්ධානය මෙවර 176,288ක ඡන්ද ප්‍රමාණයක් අහිමිව ගොස් ඇත. එතුළින් පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානයේ පිරිහීමය.

කෙසේ වෙතත් මෙවර ප්‍රතිඵල හා සැසඳීමේදී ඉතාමත් සංවිධානාත්මක ප්‍රහාරය එල්ල කර ඇත්තේ පොදුජන පෙරමුණ විසිනි. එයට මුඛ්‍යම හේතුව වූයේ ආණ්ඩුවේ ඉහත කී පරිපාලන දෝෂය. මේ නිසා ආණ්ඩුව කෙරෙහි විශ්වාසය දීප ව්‍යාප්ත මට්ටමින් කඩා වැටුණි. ඒ වැටීම ආණ්ඩුව දැන් සිටියත් කිසිම විටක නිවැරදි කළේ නැත. ඒ වෙනුවට සිදුවූයේ තව තවත් එකිනෙකාට චෝදනා කරමින් කාලය ගත කිරීමය. එහි අවසානය වූයේ තුන්වැනි බලවේගයකට ආණ්ඩුව යටත් වීමය.

►ගයාන් ගාල්ලගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05