2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඡන්ද ප්‍රතිඵල ගැන සාස්තර අහන්න මැති ඇමැති පෝලිමක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 694

ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාධිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම, පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත්තෙමු. එහෙයින්ම හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන් කරුණු පැහැදුවෙමු.

මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ නම් ගම් දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදීනම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණනම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන්වගෙන් වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.

ජාත්‍යන්තර තලයට ගිය ප්‍රසිද්ධ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම දේශපාලනඥයන් ද හිටපු රාජ්‍ය නායකයන් ද නොයෙකුත් ගැටලු හිස තබාගෙන හිඹුටානේ සාදු මුණගැසීමට පැමිණෙති. දේශපාලනඥයන් බොහෝ විට හිඹුටානේ සාදු හමුවට පැමිණෙන්නේ තමන්ගේ දේශපාලන අනාගතය, තමන් සිරගත වීමට නියමිතව ඇත්නම් ඒ සිරගත වන කාලය, තමන්ට කවුරුන් හෝ කොඩිවින බන්ධන කර ඇත්නම් ඒ පිළිබඳව තමාට කිට්ටු වී සිටින පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය දැනගැනීම යනාදී කරුණු රැසකට පිළිතුරු අපේක්ෂාවෙනි.

මේ මෑතකදී ඉඳහිට ආන්දෝලනාත්මක දේවල් කරන එමෙන්ම ගංවතුර ව්‍යසනයේදී ජනතා සේවය වෙනුවෙන්  ඇමැතිකම් පසෙකලා ජනතාවාදී සේවයක යෙදුණු ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති ධූරයක් දරන දේශපාලනඥයෙක් හිඹුටානේ සාදු වෙත පැමිණියේය. ඒ පැමිණියේ පුංචි ඡන්දයේදී තම පක්ෂය ජයග්‍රහණය කරනවාද නැද්ද යන්න විමසා දැනගැනීමට වුවත් ඒ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම ඒ මොහොතේ තවත් අපූරු කාරණයක් හා සම්බන්ධ වූ බවද හිඹුටානේ සාදු අප හා පැවසීය.

“අද හුඟාක් මිනිස්සු දේවාල ගාණේ ගිහින් ඇතැම් කපුවන්ගේ වංචනික ක්‍රියා නිසා අසරණ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඇතැම් විට මෙවැනි කපුවන්යැයි කියාගන්නා ඇතැම් වංචනිකයන් නිසා මිනිසුන්ගේ මුදල් විශාල වශයෙන් නාස්ති වී යනවා. මෙවැනි කපුවන් නිසා මිනිසුන් මියගිය සිද්ධින් වගේම කාන්තාවන් අපයෝජනය වූ සිදුවීම් පවා මෑතකාලීනව අපට අසන්නට ලැබුණා. සමහර මිනිසුන් කිසිම ප්‍රතිඵල නොලැබෙන පූජාවන් ආරක්ෂාවන් සඳහා ලක්ෂ ගණනක් මුදල් වියදම් කර ණයවී ආර්ථික වශයෙන් බිංදුවටම වැටෙන අවස්ථා තියෙනවා. 

සැබෑ ලෙසම ජ්‍යොතිෂ්‍ය සහ දේවාල කරගෙන යන දෙවියන්ගෙන් වරම් ලද සැබෑ කපුවන් මෙවැනි ව්‍යසන වංචා සිදුනොවෙන්න එක්සත්ව පෙරට එන්න ඕන. ඒ වගේම එවැනි කපුමහතුන්ගේ හා දේවාලවල එකතුවෙන් අසරණ ජනතාවට දරුවන්ට පිහිටවීම වගේම ඉන්දියාව වැනි රටවල බැතිමතුන් ලංකාවේ වන්දනීය දේවාල නැරඹීමට පැමිණෙන අපේ ජනතාව ඒ ඒ රටවල වන්දනීය ස්ථාන නැරඹීම ගැන අලුත් ප්‍රවණතාවක් ඇති කිරීමත් සුදුසුයි කියලා මම කල්පනා කළා. ඒ වගේ තවත් අවංක සමාජ ශුභ සාධනය පිණිස හේතුවෙන ජනහිතකාමි යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදැරිව මම අදහස් කරගෙන ඉන්නවා සමස්ත ලංකා පොදුජනසෙත දේවාල සංවිධානය කියලා එකක් ඇති කරන්න. ඒ සංවිධාන ලාංඡනයත් මේ වෙද්දී නිර්මාණය කරලා ඉවරයි.

මේ මෑත දවසක මම පත්තිනි දේව මෑණියන්ට කන්නලව් කරලා කීවා සමස්ත ලංකා පොදුජනසෙත දේවාල සංවිධානය පිහිටුවා ගන්න අපට උදව් ලබාගත හැකි ඒ සඳහා රාජ්‍ය මට්ටමේ දායකත්වයක් ලබාගත හැකි ඊට සුදුසුම පුද්ගලයෙක් මට මුණගස්සවන්න කියලා. ඊට පසුවදාම තමා තම පක්ෂය මෙවර පුංචි ඡන්දයේදී ජයග්‍රහණය කරනවා ද නැද්ද යන්න විමසීමට අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණියේ. 

ඇත්තටම එතුමා දරන නියෝජ්‍ය ඇමැති ධුරය ඒ කටයුත්ත හා සම්බන්ධ ක්ෂේත්‍රයක්. තම පක්ෂයේ ජයග්‍රහණය ගැන විමසීමට පැමිණි එතුමාට මම පැහැදිලිවම කීවා ජයග්‍රහණය කරන්නෙ නෑ පක්ෂය පරදිනවා කියලා.” 

පත්තිනි මෑණියන්ගේ ආරූඪයෙන් හිඹුටානේ සාදු පවසන දේවල් සහ පූජාවන් ආදිය සිදුකළ යුතු බව පැවසුවහොත් ඒ විස්තර හිඹුටානේ සාදු ආරූඪයෙන් තොරව සිටින අවස්ථාවලදී අදාළ පුද්ගලයන් පැමිණ පවසයි. හිඹුටානේ සාදු හමුවට පැමිණි පුද්ගලයන් ඔවුන් පැමිණි කාරණා සහ හිඹුටානේ සාදු ඔවුන්ට පැවසූ දෑ හිඹුටානේ සාදු දන්නේ එසේ පැමිණ කීවොත් පමණි. ආරූඪයෙන් සිටින මොහොතේ කරන කියන කිසිවක් හිඹුටානේ සාදුගේ මතකයේ නොපවතී.

“ආරූඪයෙන් තොරව සිටිනා මොහොතක මම ඒ නියෝජ්‍ය අමාත්‍යවරයාට මම ආරම්භ කිරීමට අපේක්ෂා කරන සමස්ත ලංකා පොදුජනසෙත දේවාල සංවිධානය ගැනත් එහි අරමුණ හා අභිමතාර්ථ ගැනත් කරුණු පැහැදිලි කළා. එතුමා කැමති වුණා ඒ පිළිබඳව වෙනමම වෙලාවක් වෙන්කරගෙන මා සමඟ සාකච්ඡා කරන්න. ඔහුගේ පැමිණීම මට සලකන්නේ මම දෙවියන්ට කළ පෙර කී කන්නලව්ව ඇසීමෙන් පසු පත්තිනි මෑණියන් අදාළ පුද්ගලයා මට මුණගැස්වීමක් විදිහට. දෙවියන්ගේ බලය හරි පුදුමාකාරයි.” 

එසේ පැවසූ හිඹුටානේ සාදු ඉතා පරාර්ථකාමී සිතුවිලි පෙරදැරිව සහනශීලී පදනමක් මත පිහිටා කරගෙන පිංකම් ගැනද ඉතා සාධාරණකොට ඔබට කියන්නට අපි අදහස් කළෙමු.“ කෙනෙක් නැතිබැරිකමින් දුක් විඳිනවා නම් පාසල් යන දරුවන්ට පොත්පත් අවශ්‍ය උපකරණ ආදිය ගන්න විදිහක් නැතුව අසරණ වී ඉන්නවානම් මම මට හැකි උපරිමයෙන් ඒ අයට ඒ දේවල් ලබාදෙනවා. අප විමසූ කල හිඹුටානේ සාදු පැවසුවේය.

මම පෙර කී දේශපාලනඥයාගේ ජීවිතයට ළඟම කෙනෙක් මීට කාලයකට පෙර තුරුණු වියේදීම එක්තරා රෝගයකින් පීඩා විඳ මිය ගිහින් තිබුණා. ඒ මිය ගිය කෙනා ඒ නියෝජ්‍ය ඇමැතිවරයාට ඉතාමත් ආදරය කළ ඔහුගේ ජීවිතයට සමීපව සිටි කෙනෙක්. අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණි පසු ඒ මිය ගිය කෙනාත් පැමිණ තිබුණා. ඔහු තවම මනුෂ්‍ය භවයක ඉපදී නැහැ. යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ මේ ආදි භවයක සැරිසරනවනම් විතරයි මළවුන් ඇඟට ගන්න පුළුවන්. මනුෂ්‍ය භවයක ඉපදී සිටින කෙනෙකු ඇඟට ගන්න බෑ. මේ කෙනා ඇඟට ගත්තාම ඔහු තමන්ගේ මවගේ නමත් සඳහන් කරමින් ඇය ගැනත් ඇහුවා. මේ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ මියගිය කෙනා ගැන තියෙන ආදරය නිසාම සමහරදාට ඒ සොහොනට ගිහින් නිදාගන්නවා. ඒ විස්තර සියල්ල අර මළගිය ආත්මය ඇඟට ගෙන්වා ගත් පසු කියා තිබුණා. ඒ වගේම තම මව සමඟ කතා කරන්නත් ඒ මළගිය ප්‍රාණකාරයාට කැමැත්තක් තිබුණා. මේ විදිහට මළගිය ආත්මය කතා කළාම අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා ඇඬුවා. යළි පැමිණෙන්න දවසකුත් අහගෙනයි ඔහු ගියේ...”

“ඡන්දය ගැන අහන්න ඔහු විතරක් නෙවෙයි තවත් දේශපාලනඥයන් මා ළඟට ආවා. ඒ අය කාරණය හිතේ තබාගෙන ආව කාරණය අනුව මම අදාළ දේවල් වගේම දේශපාලන අනාවැකිත් කියලා තිබුණා. සමහර දේශපාලන පක්ෂ දිනන දිස්ත්‍රික්ක ගැනත් මම ඔවුන් අහද්දී කියලා තිබුණා.

මේ මෑතක දවසක එකතරා මාධ්‍ය ආයතනයක ප්‍රධානියකුව සිටි ආණ්ඩු පෙරළියත් සමඟ එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වෙන්න සිදු වූ මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුත් මා හමුවට ආවා. ඔහු මාධ්‍ය ප්‍රධානියෙක් ලෙස කළ කී දෑ සහ ඔහුගේ වාග් ස්වාභාවය නිසා ඔහු ක්ෂේත්‍රයේ කතාබහට ලක්වූ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඔහු කාලයක සිට මගේ ළඟට එනවා. ඔහුත් මෙවර පුංචි ඡන්දය ගැන අහද්දී ඒ ඡන්දයේ ප්‍රතිඵල මේ ආකාරයටයි එන්නේ කියලා මම කීවා. පුංචි ඡන්දය ගැන මා පැවසූ අනාවැකි ඒ අසුරින්ම සැබෑ වී තිබුණා. අහපු අය ඒක දන්නවා.”

ඉකුත් සතියේ දිනක හිඹුටානේ සාදුගෙන් යම් කාරණයක් අසා දැනගන්නට පැමිණ සිටි පුද්ගලයෙකුට හිඹුටානේ සාදු ඔහුගේ නම කියා කතා කළේය. 

“හලාවත ප්‍රදේශයේ පූසාරි කෙනෙක් උඹගේ රත්තරන් මාලයකුයි ලක්ෂ අටක මුදලකුයි මතුරලා දෙන්න කියලා අරගෙන ගිහින් ආගිය අතක් නෑ. උඹ ආවේ ඒ ගැන අහන්න. උඹගේ නැතිවෙච්චි බඩු ටික ආපහු ලබාගන්නේ කොහොමද බලන්න. හිටපන් මම උඹට ඔය වංචාකාර පූසාරි ඉන්න තැන කියන්නම්.”

එසේ කියමින් හිඹුටානේ සාදු ඒ පූසාරි සිටින හලාවත ප්‍රසිද්ධ කෝවිලක නමක් සඳහන් කළේය. ආගිය අතක් හොයාගන්න නැතුව පූසාරි අන්න ඒ කෝවිලේ ඉන්නවා. උඹ පලයන් එහෙට. ගියොත් උඹට උඹේ දේවල් හොරකම් කළ එකාව අල්ලගන්න පුළුවන්.

ඒ තරුණයාට හිඹුටානේ සාදුගේ මඟපෙන්වීම ලැබුණේ ඒ අයුරිනි. තවත් පුද්ගලයෙක් පැමිණ සිටියේද හොරකමක් ගැන අසන්නටය. ඒ පුද්ගලයාටද හිඹුටානේ සාදු ඔහුගේ නම කියමින් කතා කළේය.” උඹ ආවේ පිටිපන ඉඳන්. ඒ ආවේ උඹේ පරයි වගයක් නැතිවෙලා තියෙනවා. උන්ට වුණේ මොකද බලන්න.

උඹගේ ගෙවල් කිට්ටුව ඉන්නවා නේද (නම් කීපයක් සඳහන් කරමින්) කියලා එවුන් ටිකක්. අන්න උන් තමා උඹගේ පරයි ටික හොරකම් කළේ. ගිහිල්ලා බලපන්.” හිඹුටානේ සාදු හොරකම ගැන කළ හෙළිදරව්ව එලෙසින්ම සැබෑවී තිබුණේය. 

“පසුව ඒ මනුස්සයා මට ඇවිත් කීව විදිහට මම නම් කීව අය ළඟට ගිහින් බලද්දී පරයි ටික ඒ අය ළඟ ඉඳලා. ඊට පසු ඒ මනුස්සයා පොලිසියටත් කියලා ඒ පරයි ටික අරගෙන. පරයි ටික හමුවුණාට පසුව ඔහු ඇවිත් සිදුවූ බාරය ඔප්පු කරමින් දෙවියන්ට පූජාවක් දුන්නා. 

මේ ළඟදී කාන්තාවක් නිවෙසේ උඩ තට්ටුවෙන් පහළට වැටී මියගොස් තිබුණා. මේ මරණය අබිරහසක් ලෙස වගේ හිතුණු නිසා වෙන්න ඇති ඒ කාන්තාවගේ සහෝදරිය ඇගේ මරණය ගැන අහන්න ආවා. ඇය මිය යද්දී නිවෙසේ ඉඳලා තියෙන්නේ දරුවා විතරක් නිසා සිදුවූ දෙය ඒ පවුලේ අයට හරිම ප්‍රහේලිකාවක් වී තිබුණා.

මම ඒ මැරුණු කෙනා මගේ ඇඟට ගත්තා. අරගෙන මොකද වුණේ කියලා අහද්දී ඒ මළගිය ආත්මය කතා කරන්න ගත්තා. 

මගේ අනියම් සබඳතාවක් තිබ්බා. දරුවා එදා පාඩම් කර කර ඉන්න ඒ වෙලාවේ එයා ගෙදර ආවා. ඇවිත් පස්සේ අපි දෙන්නා අතරේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ මිනිහා අන්තිමේ කෝපය දරාගන්න බැරුව උඩතට්ටුවෙන් පල්ලෙහාට මාව තල්ලු කළා. මාව මැරුණේ ඒකෙන්...”

මේ තොරතුරු හෙළිදරව් වීමෙන් පසු පවුලේ උදවිය නීති ක්‍රියාමාර්ගයෙන් මේ මියගිය කාන්තාවගේ මිනිය ගොඩදාලා නැවත පොලිස් පරීක්ෂණ ඉල්ලාසිටින තැනට දැන් සිද්ධිය මතු වී තිබෙනවා. මේ ආකාරයට අබිරහස් ඝාතන සුලමුල හෙළිදරව් කරගන්න වගේම හොරකම් ගැන තොරතුරු හෙළිදරව් කරගන්නත් සාමාන්‍ය මිනිසුන් වගේම ආරක්ෂක අංශයේ නිලධාරීන් පවා මගේ ළඟට එනවා. මිනීමරුවන්ගේ නම්, ගම්, දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක ඝාතනය සිදුකළ අයුරු, සැඟවී සිටියහොත් ඊට සම්බන්ධ වූ අය වගේම හොරකම්වලට අදාළවත් අදාළ දත්ත හා හොරකම කළ ආකාරය හොරාගත් භාණ්ඩ සඟවා ඇත්නම් හෝ විකුණා ඇත්නම් ඒගැනත් සියල්ල මට හෙළිදරව් කරන්න පුළුවන්... ඒත් මගේ ආරාව වෙනුවෙන් මම දැන් ඇතැම් කාරණා කියන්නේ නෑ. මට පූර්ණ ආරාව දෙනවනම් ආරක අංශ නිලධාරින්ට ඝාතන හොරකම් ගැන මට අවශ්‍ය ඕනෑ තොරතුරක් කියන්න පුළුවන්. 

ඇස් ඉදිරියේ ප්‍රත්‍යක්ෂ වූ එවන් සිදුවීම් සමුදායකි. ඒ සිදුවීම සමුදායෙන් තවත් සිදුවීම් කිහිපයක් රැගෙන එන ඉරිදාත් අපි ඔබ මුණගැසෙමු.

 සංජීවිකා සමරතුංග
    සේයාරූ - චන්න කස්සප කෝරලේ ආරච්චි   

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05