2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

දුම්රිය ධාවනය කාෙටඋඩ යැවූ චීන මැදිරි අවුල

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

 

දුම්රිය ධාවනය පිළිබඳ දුම්රිය පාලනාධිකාරිය සහ රියැදුරන් අතර මේ වනවිට යළිත් වරක් අර්බුදයක් උද්ගතව තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රියැදුරන් සහ සහයකයන් දුම්රිය ධාවනයෙන් වැළකී සිටීමට තරම් තත්ත්වය උග්‍රවිය. ඔවුන් දුම්රිය ධාවනයෙන් ඉවත්වීම නිසා මගී ජනතාව හිරිහැරයට පත්ව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව නිතරම සේවක අර්බුද පිළිබඳ නම් දරා ඇති ආයතනයකි. මෙයට සුළු කලකට පෙර දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වැඩවර්ජනය නිසා මගීන්ට සෑහෙන කාලයක් දුම්රිය පහසුකම් නොලැබීමෙන් විශාල කරදරයකට පත්වන්නට සිදුවිය. දැනට එම තත්ත්වය තාවකාලිකව පහව ගියද අළුයට සැඟවුණු ගිනි පුපුරු මෙන් කොයි වේලේ කොතනින් සේවක අර්බුද පටන් ගනීවිදැයි කිව නොහැක.

මේ වනවිට ඇතිවී තිබෙන ගැටලුවට හේතුව චීනයෙන් ආනයනය කළ සම්පාදන වායු තිරිංග දුම්රිය මැදිරි 100ක් ධාවනය සඳහා යෙදවීමේදී එයට සුදුසු දුම්රිය එන්ජින් නොමැතිවීම නිසා ධාවනය කිරීමට නොහැකි වීමය. මෙම මැදිරිවල තිරිංග බලය (Brake System Power) ඉතාම අඩු බව පැවසේ. වාහනයක ප්‍රධානම අවශ්‍යතාව විශ්වාසනීය තිරිංග පද්ධතියක් තිබීමය. නිසි තිරිංග පද්ධතියක් නොමැති වාහන ධාවනය කළහොත් ප්‍රතිඵල කෙසේවේද? එය එහි රියැදුරන්ටද, මගීන්ටද, පදිකයන්ට මෙන්ම එම දේපලවලටද අතිභයානක වේ. දුම්රිය රියැදුරන් පවසන්නේ මෙතෙක් කල් විශාල අනතුරක් සිදු නොවී ධාවනය කිරීමට හැකිවීම ජනතාවගේ වාසනාවක් බවය. එහෙත් මෙම වාසනාව ඉදිරියේදී අවාසනාවක් බවට පත්වනු ඇතැයි ඔවුහු කියති.
මෙම මැදිරි ආනයනය තුළ මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම මැදිරියක් කෝටි 3ක් පමණ වටිනා අතර මේ සඳහා මැදිරි 100ට කෝටි 300ක් පමණ වැයවී ඇත. මේවාට සුදුසු එන්ජින් ගෙන ඒමට මුදල් නොමැති නිසා දැනට ඇති ඒවාට අමුණා දුවන්නට සැලැස්වුවද එය සාර්ථක වී නොමැත.

මෙම මැදිරි ආනයනය කිරීමේදී නිරීක්ෂණ පරීක්ෂණ හා සාකච්ඡා සඳහා යැයි කියමින් ඉංජිනේරුවරුන් සහ උසස් නිලධාරීන් 10 වරක් පමණ විදේශ සංචාරවලට ගොස් ඇති අතර,  ඒ අයගේ නිර්දේශ මත ආනයනය කර ඇත. මෙලෙස සුදුසු බවට නිර්දේශ කිරීම තුළ විශාල වශයෙන් දූෂණ සිදුව ඇති අතර, දැන් මේ දූෂණවලට වග කියන්නට සිදුව ඇත්තේ තමන්ට බවද අද පවතින තත්ත්වය තම රැකියාවල සුරක්ෂිතභාවයටද තර්ජනයක් බවද රියැදුරෝ කියති.

මේ පිළිබඳ අදහස් දක්වන දුම්රිය “ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර්ස්” සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මෙසේ කියයි.

“2007 වසරේ අවසාන කාලයේ තමා මෙම මැදිරි ශ්‍රී ලංකාවට ආවේ. නව චීන මැදිරි 100ක් ගෙනාවා. මේවා අතර නැරඹුම් මැදිරි සහ භෝජනාගාර මැදිරිත් තිබෙනවා. භෝජනාගාර මැදිරි එකක්වත් එදා සිට දිව්වේ නැහැ. එකක් ධාවනය කරලා එය ගිනිගත්තා. මෙම මැදිරිවල ජලය නැහැ. ජලය ගබඩාකර තබන්නට බැහැ. ඉතින් වතුර නැති භෝජනාගාර රථවලින් වැඩක් නැහැ. නැරඹුම් මැදිරි උඩරට මාර්ගයේ ධාවනය කිරීමටයි ගෙනාවේ. එහෙත් ඒවායේ තිරිංග බලයේ ගැටලුවක් නිසා දුවන්න බැරිවුණා. නිවැරදිව තිරිංග බලය ගැන දැනුවත් කරලා නැහැ. 1:45 ආනතිය ඇති බෑවුම්වලදී මැදිරිවල අත් තිරිංග බලයෙන් මුළු දුම්රියම නවත්වා ගැනීමේ හැකියාව තිබිය යුතු වෙනවා. එහිදී මුළු දුම්රියම තිරිංග තදකර නවත්වාගෙන අවශ්‍ය වූ විට යම් වේලාවක් තබා ගැනීමට හැකිවිය යුතුයි. එම තත්ත්වය නැතිවීම නිසා කඳු පල්ලම්වල ධාවනයේදී විශාල අනතුරැ ඇතිවිය හැකියි. මේ නිසා උඩරට ගමන් මාර්ගයේ මේ මැදිරි ධාවනය කරවන්නේ නැහැ. ගෙනාපු දා ඉඳලම නිකං දමා තිබෙනවා. මේවා නිවැරදි කරන්නට මේතාක් කල් ගත් පියවර අසාර්ථක වෙලා.

ඔහු පවසන්නේ මෙම වායු තිරිංගවලට ගැලපෙන එන්ජින් නොමැති බවයි. අලුතින් එන්ජින් ගෙන ඒමට විශාල මුදලක් වැයවෙන නිසා එය දරාගත නොහැකියි. මේවා පාවිච්චි නොකර තබා ගැනීම පිළිබඳ විගණන විමසුම් ඇතිවූ අතර ඒවායින් බේරීමට කෙසේ හෝ අටවා දුවවන්න ගොස් ගැටලු උග්‍රවිය. එවකට සිටි ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) නිලංක ප්‍රනාන්දු තිබුණු “වැකුම්” තිරිංග පද්ධති එන්ජිමක් වායු තිරිංගවලට වෙනස් කර දුවන්නට උත්සාහ කළ අතර එයින් යම් ප්‍රතිඵලයක් ලැබුණු බව ඔහු කියයි. එසේ වුවද එයද අසාර්ථක වීමට හේතුවූයේ ගෙනා මැදිරිවල තිරිංග ක්‍රමය වායු තිරිංග “ඩිස්ක් බ්‍රේක්” ක්‍රමයක් වීමත් මුල් ඒවායේ තිබූ වැකුම් බ්‍රේක් ක්‍රමයට ඩිස්ක් බ්‍රේක් නොතිබීමත්ය. ඒ නිසා මෙයද වැඩිකල් කරන්නට බැරිව අසාර්ථක වූ බව ඔහු කියයි. එයට හේතු ඔහු මෙලෙස දක්වයි.

“නිසි අධ්‍යයනයකින් තොරවයි මේවා ගෙනත් ඇත්තේ. පරීක්ෂා කිරීමට රට ගිය කණ්ඩායම් එහෙ ගිහින් මොනවා කළාද දන්නේ නැහැ. අලුත් තාක්ෂණය ගෙනාවට ඒවා මෙහි තිබෙන එන්ජින්වලට ගැලපෙනවද, දෙපාර්තමේන්තුවේ දුම්රිය නීතිවලට ගැලපෙනවද යන්න සොයා බැලුවේ නැහැ. ඒ ගෙනාපු ඒවා නිකං තියාගෙන සිටීම නිසා ගැටලු ඇතිවන බැවින් කොහොම හරි දුවවන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගත්තා. දුම්රිය අනතුරු කිහිපයක් සිදුවුණා. 

එයට හේතුව දුම්රිය රියැදුරන්ගේ වරදක් නොවන නිසා ඔවුන්ට දඬුවම් කළේ නැහැ. වේගය අඩුකරගෙන දුවන ලෙස උපදෙස් දුන්නා. හුණුපිටියේදී සිදුවූ අනතුරෙන් පසු දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම රියැදුරන්ට පැවසුවා තවදුරටත් අනතුරු සිදුවුවහොත් අපට එරෙහිව පියවර ගන්නා බව. එසේම ඔහු එයට පෙර සිදුවූ අනතුරුවලටද විනය පියවර ගන්නට සූදානම් වුණා. මෙම තත්ත්වය නිසා අපට දුම්රිය ධාවනයෙන් ඉවත්වන්නට සිදුවුණා. අපි එකවරම එසේ කළේ නැහැ. කිහිපවරක් පවසා කිසිම විසඳුමක් සිදු නොවූ නිසයි මෙම පියවර ගන්නට සිදුවුණේ.

ඔහු කියන්නේ මේ පිළිබඳ යළි පරීක්ෂණ කර සොයාබලා අත්හදා බැලීමේ සංචාරවලට යොමුවී සියල්ල යථා තත්ත්වයට පත්කළ බව සනාථ කර දුම්රිය ධාවනය කරන ලෙස පාලනාධිකාරියෙන් උපදෙස් ලැබුණු බවයි. එසේම යළිත් යම් සිද්ධියක් ඇතිවුණොත් විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත් යම් නීතියක් වෙතොත් එම නීති වෙනස් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් පවසා ඇත. පැවැති තත්ත්වය ගැන පත්කළ කමිටුවකින් පරීක්ෂණ කොට මෙම තීරණය ගත් නිසා තම සංගමය එයට එකඟ වී පසුගිය 6 දා සිට යළි දුම්රිය දුවන්නට පටන්ගත් බව ලේකම්වරයා පවසයි. එහෙත් ඊට පසුදා 07 දින ධාවනය වූ යාල්දේවි දුම්රිය තඹුත්තේගම දුම්රිය ස්ථානයේ නැවැත්වීමට නොහැකි වී ඇත. එයට හේතුව තිරිංග බලයේ දුර්වලතාවයි. ඒ වනවිට තිරිංග බලය 80ට පහළ බැස තිබීමය. සාමාන්‍යයෙන් දුම්රියක් මෙයට පෙර නැවැත්වීමට යාමේදී කිලෝමීටර් 1 ½ විතර ධාවනය සිදුව නැවතෙන අතර මේ වනවිට එම දුර මීටර් 400-500 පමණ දුරට අඩුකර ඇත. එහෙත් එම තත්ත්වයද ප්‍රමාණවත් නොවන බව ඔහු කියයි.

“කෝච්චි දෙකක් දුවන්න පටන් ගත්තත් එය සියයට 100ක් සාර්ථක නැහැ. නැවැත්වීමට බැරි තත්ත්වය නිවැරදි වෙලා නැහැ. එහෙත් අපි මහජනතාවට සිදුවන දුෂ්කරතා පිළිබඳවද සලකා බලලා අපටද විනය පියවර නොගැනීම යටතේ ධාවනය කරවන්නට පටන් ගත්තා. මෙම මැදිරිවල ඇති දෝෂ 10ක් අප සොයාගෙන දැනට 6ක් නිවැරදි කරලා තියෙනවා. එහෙත් ඉතිරි සියල්ල සකස් කරනතුරු ගැටලු ඇතිවෙනවා.

අපි නම්‍යශිලී ප්‍රතිපත්තියක කටයුතු කළත් මේ වනවිට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අපි කලකිරිලයි ඉන්නේ. අපට විවිධ චෝදනා එල්ල කරනවා. අප දේශපාලනය කරන බවටද විවිධ බලවේග සමග සම්බන්ධව ධාවනය කඩාකප්පල් කරන බවටද චෝදනා කරමින් වෘත්තීය සමිතිවලට මඩ ගහන ව්‍යාපාරයක්ද සිදුවෙමින් පවතිනවා. අපි මේ ගැන කලකිරී සිටින අතර ඉදිරියේදී මේ තත්ත්වය සලකා බලා පියවර ගැනීමට අපට සිදුවේවි.”

ඔහු පවසන්නේ චීන මැදිරිවලට බලපාන මෙම දෝෂය S-10 බලවේග කට්ටලවලටද යම් පමණකට ඇති බවය. මෙම S-10 කට්ටල 2010 දී චීනයෙන් ආනයනය කළ ඒවා බව ඔහු කියයි. S-8 ජපානයෙන්, S-10 සහ 12 චීනයෙන්ද S-11 ඉන්දියාවෙන්ද ආනයනය කළ අතර වඩාත් ගැටලුව ඇතිව ඇත්තේ චීනයෙන් ආනයනය කළ මැදිරිවල බව ඔහු පෙන්වා දෙයි. මේ තත්ත්වය සකස්කර ගැනීම සඳහා තම සංගමය යෝජනා කරන්නේ වඩාත් නිවැරදි අපේ රටට ඔබින බ්‍රේක් කට්ටලයක් ජර්මනියෙන් ගෙනැවිත් මෙයට බද්ධ කළ යුතු බවයි. මෙය නවීකරණය කළ ක්‍රමයක් වන අතර වායු තිරිංගවලට සකස් කළ එන්ජිමක් මේ “වැකුම්” සිලින්ඩර් සඳහා යෙදිය යුතු බව ඔහු පෙන්වා දෙයි. එසේ ස්ථීර විසඳුමක් නොදී පැලැස්තර යොදා ධාවනය කිරීමට සැලැස්වීම අනතුරුදායක අතර තම සංගමය සමඟ පාලකයන් සිදුකළ එකඟතාවය කඩකළහොත් කිසිදු දැනුම් දීමකින් තොරව යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට ලේකම්වරයා අවධාරණය කරයි.

මේ පිළිබඳ විමසීමේදී දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම පවසන්නේ දැනට ගැටලුව විසඳා දුම්රිය රියදුරන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් දුම්රිය ධාවනය ආරම්භ කර ඇති බවය. මේ පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම රියැදුරන් සහ නියාමකයන්ද නම්‍යතාවක් සිදුවිය යුතු බව ඔහු කියයි. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් නිසා සියල්ල පිරිමසා ගෙන කටයුතු කළ යුතුය යන්න ඔහුගේ අදහසය.

එසේම දින 15ක් ධාවනය නොවූ කොළඹ මඩකලපු දුම්රියේ චීන මැදිරි වෙනුවට රුමේනියානු මැදිරි යොදවා 8 වැනිදා සිට යළි ධාවනය කිරීම ඇරඹූ බව ඔහු කියයි.

චීන මැදිරි සවිකර ධාවනය වූ දුම්රිය ධාවනය රියැදුරන් සහ නියාමකයන් ප්‍රතික්ෂේප කළ නිසා පසුගිය 24 දා සිට පෙබරවාරි 07 දා දක්වා කොටුවෙන් සහ මඩකලපුවෙන් ධාවනය කළ දුම්රිය අත්හිටවූ අතර දැනට එම තත්ත්වය සමනය කර පුරුදු පරිදි ධාවනය කරන බව දෙපාර්තමේන්තුව කියයි.

► යසවර්ධන රුද්රිගු