“පද්මාවතී චරිතය ලංකාවටත් සම්බන්ධයි කියලා දැනගන්න ලැබුණා. ඒ නිසා චිත්‍රපටය බලන්න ලොකු උනන්දුවක් ඇති වුණා. ඇත්තටම අවුරුදු ගාණකට පස්සෙයි මම ෆිල්ම් එකක් බලන්න තියටර් එකකට ආවේ. මම හිතනවා මේක හොඳ වින්දනයක් ලබාදෙවී කියලා.” පද්මාවත් චිත්‍රපටය නැරඹීමට පෙර අපට වැල්ලවත්ත සැවෝයි සිනමාහලේදී එලෙස පැවසුවේ සමාගම් අධ්‍යක්ෂවරයකු වන එස්. එම්මානුවෙල් නම් ප්‍රේක්ෂකයෙකි. සැවෝයි සිනමාහල උසස් රසවින්දනයකින් යුත් සිනමා ප්‍රේක්ෂකයන්ගේ කේන්ද්‍රස්ථානයකි. ඒ වෙත පැමිණෙන බොහෝ දෙනා මේ චිත්‍රපටය ගැන දැනුමක් සහිත අය බව එහි ගිය අපට පැහැදිලි විය.
ඉන්දියාවේ පමණක් නොව ලොව රටවල් රාශියක ආන්දෝලනයක් ඇති කළ සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවත් චිත්‍රපටය රූපගත කිරීමේ අවස්ථාවේ පටන්ම බාධක රැසකට මුහුණ දුන් නිර්මාණයකි. නඩු පිට නඩු වැටීම නිසා තිරගත කිරීම කල්ගිය චිත්‍රපටය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත පසුගිය 25 දා සිට ඉන්දියාවේ සහ පකිස්ථානයේ ප්‍රදර්ශනය කිරීම ඇරඹුණි. නමුත් ඉන්දියාවේ රාජස්ථාන්, ගුජරාඨ, හරියානා සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තවල එය තිරගත නොවූයේ කලහකාරී විරෝධතා නිසාය. චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුණු පසු සිනමාහල්වලට පොලිස් ආරක්ෂාව යොදා තිබුණි. හින්දු අන්තවාදීන් සිනමාහල්වලට පහර දී ඇති අතර සිනමාහල් රැසක් ගිනිබත් කර ඇත.
බියට පත් සමහර සිනමාහල් හිමියෝ එය ප්‍රදර්ශනය කිරීම අත්හිටවූහ. මේ අතර මුස්ලිම් රාජ්‍යයක් වන පාකිස්ථානයේ එක් දිනකින් පද්මාවත් ජනප්‍රිය වූ බව වාර්තා වේ. නමුත් මුස්ලිම් බහුතරයක් වෙසෙන මැලේසියාවේ පද්මාවත් තහනම් කර තිබේ.
හින්දු සහ මුස්ලිම් ජාතීන් දෙකම වාසය කරන ශ්‍රී ලංකාවේ පද්මාවත් 3D චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය 26 වැනි සිකුරාදාය. එය ඊ.ඒ.පී. මණ්ඩලයේ සහ සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමාහල් 30කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය ඇරඹුණි.
ඊ.ඒ.පී. මණ්ඩලයේ සැවෝයි, ක්වීන්ස් ගාල්ල, විල්මැක්ස් අනුරාධපුරය, සැවෝයි ප්‍රිමියර් වැල්ලවත්ත යන සිනමාශාලාවල හින්දි පිටපත් ද දෙහිවල කොන්කෝඩ්හි දෙමළ පිටපත ද ප්‍රදර්ශනය වේ. ඊට අමතරව රීගල්, ලීඩෝ, මැජෙස්ටික් සිටි යන කොළඹ සිනමාහල්වලටත් යාපනය, ගම්පහ, කඩුවෙල, නුවරඑළිය, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු නගර රාශියකටත් පද්මාවතී පැමිණ සිටින්නීය. සිනමාහල්වලින් ආරංචි වන්නේ මේ සෑම සිනමාශාලාවකම පද්මාවත්ට ආදරණීය පිළිගැනීමක් ලැබුණු බවයි.
ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමේ බෙදාහැරීම් කළමනාකරු කේ.ජි. විමලදාස මහතා අපට ඒ ගැන අදහස් දැක්වූයේ මෙසේය.
“අපේ සිනමාශාලා හයක දින පහක් තුළ 4179ක් චිත්‍රපටය බලලා තියෙනවා. ඒ දින පහට ඉන් ලද ආදායම රුපියල් මිලියන 2.6ක්. නමුත් දෙමළ පිටපත පෙන්වන කොන්කෝඩ් සිනමාහලේ විශාල ප්‍රතිචාරයක් දකින්න අමාරුයි. අනිත් සිනමාශාලාවල ලොකු ප්‍රතිචාරයක් තිබෙනවා. පසුගිය සති අන්තයේ සැවෝයි සිනමාහලේ හවුස්ෆුල් දර්ශන පැවැත්වුණා.
විශේෂයෙන් පැවසිය යුත්තේ දෙමළ ජනතාවට වඩා මුස්ලිම් ප්‍රේක්ෂකයන් චිත්‍රපටයට ආකර්ෂණය වී ඇති බවයි. අපේ මුස්ලිම් කාන්තාවන් පද්මාවත් බලන්න ලොකු උනන්දුවක් දක්වනවා. නමුත් තරුණ පෙළ අතරනම් විශාල ආකර්ෂණයක් තවම දකින්න අමාරුයි. ටික දිනක් යනවිට ඔවුන් අතරත් මෙය ජනප්‍රිය වේවි. සංජය ලීලා බංසාලිගේ චිත්‍රපට ටික දිනක් ගියවිට තමයි තරුණ පෙළ අතර ආකර්ෂණය වෙන්නේ.
ලංකාවේදී අපට ඉන්දියාවේ වගේ ලොකු කලබලයකින් චිත්‍රපටය බලන බවක් පේන්න නැහැ. සාමාන්‍ය විදිහට ඔවුන් එය නරඹනවා.
පද්මාවත් පිළිබඳව ඉන්දියාවේ හටගත් ගිනිගත් විරෝධතා රැළිද අපේ රටේ ප්‍රේක්ෂකයන් එයට අද්දවා ගැනීමට වක්‍රව බලපා තිබේ. සංජය ලීලාගේ දෙව්දාස්, බ්ලැක් වැනි චිත්‍රපට මෙයට පෙර අප රටේ ප්‍රේක්ෂක සිත් වසඟයට පත් කළේය. පද්මාවත් මෙරටට ගොඩබැස්සේ එවැනි සුපුරුදු අධ්‍යක්ෂවරයෙකුගෙන් ඔපමට්ටම් වූ රැවැත්තියක් ලෙසිනි.
“චිත්‍රපටය ඉතා විශිෂ්ට නිෂ්පාදනයක් බව පේනවා. පද්මාවතී ලෙස දීපිකා පදුකෝන්ගේ රඟපෑමත් ඉහළයි. ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ දියුණුව අපට පේනවා. ඔවුන් 3D තාක්ෂණයත් පහසුවෙන්ම අල්ලා ගත්තා. නමුත් චිත්‍රපටයේ සමහර අනුවේදනීය කොටස් කපලා දාලා බවයි පේන්නේ. සති පූජා දර්ශනයේ සමහර අවස්ථා එහෙම.” අපට පැවසුවේ එය නැරඹූ පරිගණක ඉංජිනේරුවෙක් වන තෙදස් චන්ද්‍රජයවර්ධනයි.
අධ්‍යක්ෂ සංජේ ලීලා පද්මාවත් චිත්‍රපටයට පාදක කර ගෙන ඇත්තේ ක්‍රි.ව. 1540 දී මලික් මුහම්මද් ජයසි විසින් රචිත “පද්මාවත්” නම් කාව්‍යයයි. අධ්‍යක්ෂකවරයා විසින් එලෙස එක් කෘතියක් පමණක් චිත්‍රපටයට පාදක කරගැනීමද විවේචකයන්ගේ විරෝධයට හේතුවී තිබේ. ඔවුන් පවසන්නේ පද්මාවතී හෙවත් පද්මිණී රැජන පිළිබඳ කතාව එක් කාව්‍යයකට පමණක් සීමා නොවන අතර එය ඓතිහාසික කතන්දර රැසක් සමඟ බද්ධ වන ප්‍රවාදයක් බවයි.
පද්මාවත් කාව්‍යය අනුව සිංහල ද්වීපයේ පද්මාවතී නම් කුමරිය ගැන අසා ඇය සොයා සිම්හල ද්වීපයට එන රතන් සිං නම් රාජ්පූත් රජු ඇය හා පෙමින් වෙලී විවාහ කර ගනී. ටවර්හෝල් යුගයට අයත් චාල්ස් ඩයස්ගේ පද්මාවතී නූර්තියේ එන “දැක්කොත් පද්මාවතී, ආලේ නොකරා බැරී” යනුවෙන් වර්ණනා කරන්නේ මේ කුමරියගේ රූපශ්‍රීයයි. එහෙත් ඉන්දියානු පුරාවෘත්ත අනුව පද්මාවතී රැජන සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධයක් නැත. නමුත් පෞරාණික ජනශ්‍රැති සැලකිල්ලට ගත් සංජේ ලීලා බන්සාලි පද්මාවතී ලෙස රඟන දීපිකා පදුකෝන්ගේ විවාහයට පෙර සරල ඇඳුම් විලාසිතා ශ්‍රී ලාංකික ඌරුව අනුව නිර්මාණය කරන ලද බව පැවසේ. ඒ බව චිත්‍රපටය නරඹන විට අපට ද පැහැදිලිවේ. ඇය රාජ්පූත් රජු සමඟ විවාහයෙන් පසු රාජ්පූත් රාජධානියේ ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින්නීය.
සිම්හල දේශයට චිතෝර්හි රජු රතන් සිං පැමිණෙන්නේ පද්මාවතීගේ රූපශ්‍රීය ගිරවකු මඟින් අසා දැනගෙනය. ඔහුට වනයේදී පද්මාවතීගේ හීසරයක් වැදේ. ඒ පද්මාවතී වනයේ දුවමින් මුව දඩයමේ යමින් සිටි අවස්ථාවකි. පසුව ඇය ඔහු සහ ප්‍රේමයෙන් වෙලී චිතෝර් බලායයි. පද්මාවතීයගේ රෑපයට මෙන්ම නුවණට ද චිතෝර් රාජ්‍යයෙත් විශාල පිළිගැනීමක් ලැබේ. සුරූපී පද්මාවතී පිළිබඳ ආරංචි වන දිල්ලියේ සුල්තාන්වරයකු වන අලවුදීන් කල්ජි ඇය ලබාගැනීමට චිතෝර් රාජ්‍යය ආක්‍රමණය කරයි. අලවුදින් කල්ජි රජෙකුට නොගැලපෙන උපක්‍රමයකින් රතන් සිං රජු මරාදමයි. අලාවුදින් කල්ජි අධිරාජ්‍යා සමඟ සටනේදී චිතෝර් හමුදාව පරාජය වුවත් පද්මාවතී ඔහුට යටත් වන්නේ නැත. ඇය ඇතුළු කාන්තාවන් රාශියක් ගෞරවපූර්වලෙස ගින්නට පැන සති පූජාවේ යෙදෙති. සැමියා වෙනුවෙන් දිරිමත්ව ගින්නට බිලි වූ පද්මාවතී රැජන අදටත් ගෞරවපූර්ව චරිතයක් ලෙස රාජ්පූත් සමාජයේ බුහුමන් ලබන්නීය. හින්දු රාජ්පූත්වරු චිත්‍රපටයට විරෝධය පා පැත්තේ ඇගේ අභිමානවත් චරිතය කෙලෙසා ඇති බව පවසමිනි. එමෙන්ම දීපිකා පදුකෝන් එම චරිතයට පණදීම පද්මාවතීගේ ගෞරවයට හානියක් බව විරෝධතාකරුවෝ පවසති. කෙසේ වුවත් අපට නම් පෙන්නේ මින් පද්මාවතීගේ ගෞරවපූර්ව පතිවත ඔප් නැංවෙන බවයි. ඉන්දියාවේ බොහෝ දෙනා එයට විරෝධය පාන්නේ චිත්‍රපටය නරඹා නොවේ. ඔහේ කරන්නන් වාලේය.
පද්මාවත් චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිට සහයෝගය පළකරමින් පසුගිය 28 වැනි ඉරිදා පස්වරු 3.30ට විනාඩි 15ක කාලයක් සියලු රූගත කිරීම් නවත්වා නිශ්ශබ්දතාවයකින් සහයෝගය පළ කිරීමට ඉන්දියානු චිත්‍රපට හා රූපවාහිනී අධ්‍යක්ෂවරු ක්‍රියාකළහ.
කෙසේ වුවත් මේ හැලහැප්පීම් නිසාම පද්මාවත් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඇදගැනීමට සමත්ව ඇත. ඉන්දීය රුපියල් කෝටි 190ක වියදමකින් නිපදවූ එය තෙදිනක් ඇතුළත දී ඉන්දීය රුපියල් කෝටි 130ක ආදායමක් ඉපයීමට සමත්වීමෙන් ඒ බව පෙනේ.
අපට නම් පෙන්නේ පද්මාවත්ට එරෙහිව හින්දූන් උඩපැන්නාට එයින් හින්දු දහමට හෝ පද්මාවතී චරිතයට කිසිදු හානියක් සිදුවී නැති බවයි. සිත්ගත් රුවැත්තියකට ලොබින් රාජ්‍යය ගැන නොසිතා චිතෝර් නුවර විනාශ කරන උන්මත්තකයෙක් මෙන්ම යුද නීති කිසිවක් නොසලකන මිලේච්ඡයෙක් ලෙස මුස්ලිම් සුල්තාන් අධිරාජයා මෙහි නිරූපණය කර ඇත. ඔහු නිතරම මස් කුට්ටි ගිලිමින් පද්මාවතී ගැන සිතනවා විනා ඇය කෙරෙහි ප්‍රේමයක් තිබෙන බව නම් අපට නොපෙනේ. මේ ගැන විමසීමට අපි දෙහිවල අහමඩ් පවාස් නම් ප්‍රේක්ෂකයා සමඟ කතා කළෙමු. මුස්ලිම් බහුතරයක් චිත්‍රපටය නැරඹීමට රොද බැන්දද ඔහු තුළ වූයේ ඒ ගැන ප්‍රසාදයක් නොවේ.
“ඇත්තටම මේ චිත්‍රපටයට හින්දු අය විරුද්ධ වුණාට මේකේ මුස්ලිම් අය තමයි ම්ලේච්ඡ විදිහට පෙන්නලා තිබෙන්නේ. දිල්ලි සුල්තාන් මුස්ලිම් අධිරාජ්‍යයේ මිනිසුන් මස් ගිලින වනචාරීන් වගේ පෙන්වලා තිබෙනවා. ඒ වගේම පද්මාවතී තම සැමියා වෙනුවෙන් තවත් කාන්තාවන් සිය ගණනක් සමඟ ගින්දරට පැන ජීවිතේ විනාශ කර ගැනීමත් අනුමත කළ නොහැකියි. නමුත් වාණිජ චිත්‍රපටයක් විදිහට හොඳ නිෂ්පාදනයක්. එය ප්‍රේක්ෂකයාට වින්දනයක් ලබා දෙනවා. ඒත් සංස්කෘතිකමය වශයෙන් ගැටලු තිබෙනවා.”
කෙසේ වුවත් ඉන්දියාවේ මෙන් අපේ රටේ නම් පද්මාවතීට ගිනිතියන්න තරම් ප්‍රේක්ෂකයන් මුලාවේ නොවැටීම සතුටට කරුණකි.
► කුසුම්සිරි විජයවර්ධන