ඇය තවමත් මඟබලා සිටී. ජීවිතේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී හෙම්බත් වූ ඒ ජීවිතය අද දෑස් දල්වා බලාසිටින්නේ කවුරුන් එනතුරුද..? දරුවන් තිදෙනකු වැදූ අම්මා අද තනි වී සිටී. දෑස්වල කඩාහැලෙන්නට දඟලන කඳුළු බින්දු හැම අම්මා කෙනෙකුගේම සෙනෙහසට නිදසුනකි. සමාජය කලක් ඇයව “පීරා” ලෙසින් හංවඩු ගැසීය. නමුත් නමින් ඇය මිසිලින් පීරිස් වෙයි. පානදුර නගරයේ මීට වසර කිහිපයකට උඩදී ඇය කොන්දොස්තරවරියකි. ලොකු කාකි කලිසමත් ලොකු ෂර්ට් එකත් ඇඳ, බෙල්ල වටා ලේන්සුවක් ද දවටා හිසේ තොප්පියක් ද පැළඳ සිටි ඇය පිරිමියකු සේ හරිහරියට බස් රථයේ ටිකට් කැඩුවාය.
මහා හයියෙන් කතා කරන “පීරා” එකල හැඩිදැඩි චණ්ඩි කාන්තාවකි. ගාල්ල ප්‍රදේශයේ ඉපදුණු පීරාට සහෝදර සහෝදරියන් කීපදෙනකු සිටියද අද ඇයට ඒ කිසිවකු පිළිබඳ එතරම් මතකයක් නැත. වරින්වර ඇය තම සහෝදර සහෝදරියන් පිළිබඳව මතකය ආවර්ජනය කරයි.
“ගාල්ලේ ඉඳන් මම තනියම පානදුරේ ආවා..”
පීරා පානදුර ඉඳිබැද්ද ප්‍රදේශයේ ඒ.එස්. පීරිස් සමඟ විවාහ විය. ජීවිතේ බොහෝ දුක්ඛ දෝමනස්සයන් අත්වන්නට ඇත්තේ ඉන් අනතුරුවය. බීමත් සැමියා නිසාම පීරා බොහෝ තාඩන පීඩනයන්ට ලක්වූවාය. දුප්පත්කමත්, හිරිහැරත් ඉවසා දරාගත් පීරා කොන්දොස්තරවරියක් ලෙසින් පානදුර නගරයේ සේවයට එක්වූයේ ජීවන සටනට අභියෝග කිරීමටය. ඒ 1963 වසරේ දී පමණය.
“මම බස්වල ටිකට් කැඩුවා... නෝනලා මහත්තයලා සමහරදාට මට වැඩිපුර සල්ලිත් දෙනවා... ලොකු කාකි කලිසම ඇඳලා පානදුර ටවුමට ගියාම හැමෝම මාව දන්නවා...”
පීරා ඉඳහිට ඒ අතීතය මතක් කළද ඒ බොහෝවිට මුනිවත රැක්කාය. පීරා දරැවන් තිදෙනකුගේ මවකි. දරු සෙනෙහස විඳින්නට තම දෙතනේ එරුණු කිරි තම දරැවන්ට පොවන්නට තරම් පීරා අම්මා වාසනාවන්ත නොවූවාය. අදටත් කියාගන්නට නොදන්නා හේතුවක් නිසාවෙන් තම කුසින් වැදූ දරු දෙදෙනකු ළමා නිවාසයකට බාරකරන්නට තරම් පීරා අම්මා ඉතා දරදඬු අම්මා කෙනෙකු වූවාය. තවත් දරැවකු නියුමෝනියාව වැළඳීමෙන් පීරා අම්මාගේ ජීවිතයෙන් සමුගත්තාය. අවසානයේ දී ඇයට ඇයටමය කියා ඉතුරු වූ කෙනෙක් නැත.
කාන්තාවකගේ සියුමැලි දෑතත්, මනබන්ධන සිනාවත් පීරා අම්මාට උරුම නොවීය. ඇය පිරිමින් හා හරිහරියට පානදුර නගරයේ කොන්දොස්තර රාජකාරිය කළාය. මහ රෑක වුවද තනිවම පාරේ යන්නට, බසයක් කැඩුණු විට බස් රථය තල්ලු කරන්න තරම් ශක්තිමත් කාන්තාවක් වූ පීරා අම්මා දහදුක් විඳ සිය දරුවන් තරම් ශක්තිමත් කාන්තාවක් නොවුණේ ඇයි...? පීරාට වැරදුණේ එතැනිණි. ජීවිතේ අනේකවිධ මානසික පීඩාවන් තම හිතේ ගොඩනැගෙද්දී සැමියා, තම දරුවන් තම ජීවිතෙන් ඈත්වෙද්දී පීරා නොදැනුවත්වම කාත් කවුරුත් නැතිව මහමඟට වැටුණාය. කාලයක් තිස්සේ කරගෙන ආ රැකියාව පීරාට අහිමි විය. අවසානයේ දී ඉතිරිවූයේ දෙනෝදාහක් ගැවසෙන, නමුත් ජීවිතේ තනිවුණ මහමඟත්, රැකියාවෙන් සන්තකයටම ඉතිරිවුණ කාකි කලිසමත්, බාජු කලිසමත් හිස් පළඳනාවත් පමණි.
එතැන් පටන් පීරාගේ නිවහන වූයේ පානදුර බස් නැවතුම්පොළය. පීරා තම කුසගින්න හිතේ හැටියට පුරවාගත්තාය. ඒ පානදුර නගරයේ ඇති කුණුකසළ ගොඩිනි. හෝටල් ළඟට ගොස් බලාගෙන සිටියද පීරාට රසමුසු අහරක් නොලැබුණි. කාත් කවුරුවත් නැති පීරා ඇතැමුන්ට අතපෑවද, ඒ කිසිවකු පීරාව ගණන් නොගත්තාය. අවසානයේ දී කළුම කළු කිළිටි වුණු පීරාගේ ජීවන සිහින මහමඟටම සින්න වූවාය. හිසේ ඇති තොප්පිය අඳුරු පැහැ ගැන්විණි. නාන්නට අකමැති පීරාගේ හිසකෙස් කුණු දූවිලිවලින් පිරී එකිනෙකට ඇලවුණු කොණ්ඩ බූසියක් විය. නියපොතු අස්සේ කුණු බැඳී දිගු වූ නියපොතු මෙන්ම සැමවිටම උරහිසේ ඇති විශාල ඉරුණු ගමන්මල්ල නිසාම පීරා එකල සුරංගනා කතාවල සිටි මායාකාරියකගේ වෙස්ගත්තාය.
පානදුර නගරයේ කපුටන්, සුනඛයන් හා හරිහරියට කුණුකසළ අවුස්සන පීරා පාසල් කොල්ලො කුරුට්ටන්ගේ විහිළුවට ද ලක්විය.
පීරා දරුවා කෝ...
පීරා කෝ මිනිහා... ආදී විවිධ උසුළු විසුළු හමුවේ පීරා ද කෝපවන්නීය. ඇය මහ හයියෙන් පරුෂ වචනවලින් බැණවදී. දරුවන්ට තියා වැඩිහිටියකුටවත් අසා සිටිය නොහැකි පරුෂ වචන කිසිම බයක් සැකයක් නැතිව එකල පීරාගේ කටින් නිතරම පිටවුණි. අතපා උපයා ගන්නා සියලු මුදල් පීරා බුලත් විට කෑමට වියදම් කරන්නීය. ඇතැම් දිනවලදී මිනිසුන් පීරා වෙත බුලත් විටක් දිගුකරනවා වෙනුවට එය විසිකර දමයි. ඒ සැමදෙයක්ම පීරා අහුලා කටේ දමාගන්නේ රසබොජුනක් පරිද්දෙනි.
ජීවිතේ තනි නොතනියට - සංසාර වාරුව මුණගැසුණු සැමියාත්, කුසින් වැදූ දරුවනුත් නොමැතිව පටාචාරාවක් ලෙසින් පීරා පානදුර නගරයේ සැරිසැරුවාය. පානදුර වතුර කාණුවක් දකින පීරා කාණුවට බැස හිතේ හැටියට වතුර බොන්නීය. කාණු වතුරෙන් මුහුණ සේදුවාය. පානදුර රෝහල ඉදිරිපිට බස්නැවතුම, පානදුර ප්‍රධාන බස්නැවතුම පීරාගේ නවාතැන්පොළ විය.
මොකක්දෝ සංසාර පවකට පිරා ජීවිතේ බොහෝ කාලයක් එසේ වන්දි ගෙවූ පීරාගේ ජීවිතයට අස්වැසිල්ලක් ගෙන ආවේ සොබාදහමයි. දෙදහස් දහය වසරේ දී එක්තරා දිනක පානදුර නගරයට මුළු දවස පුරාම මහ වැස්සක් ඇදහැලුණි. පැය ගාණක් එකදිගට වැටුණු වර්ෂාව පානදුර නගරය ගංවතුරෙන් යටකිරීමට ද සමත් විය. පාර පෙනෙන නොපෙනෙන වර්ෂාව නිසාම පානදුර නගරය හිස් වූ නගරයක් විය. පීරා පානදුර නගරයේ තනිවූවාය. ආවරණය නොවූ බස්නැවතුමේ පීරා අසරණව බලා සිටියාය. ඇයට සැමියා මතකයට එන්නට ඇත. තම කුසින් වැදූ දරුවන් මතකයට එන්නට ඇත. නමුත් ජීවිතේ ඒ කිසිවක්ම ළඟ නොවුණු තැන පීරා වකුටු වී වැරහැලි ඇඳුම් තෙතබරිත වනතුරැම බස්නැවතුමේ බිම ගුලිගැසී සිටියාය. ගංවතුරෙන් පීරා හොඳමට තෙමුණි. සීතලත් වැස්සත් හේතුවෙන් ගැහිගැහී සිටි පීරා එක්වරම ගල්ගැසුණාය.
දවසක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ශිවකුමාර මහතා මා දුරකතනයෙන් අමතා බස් හෝල්ට් එකේ මනුස්සයෙක් මැරිලා ඉන්නවා. ඉක්මනට එන්න කියලා කිව්වා. ඉතින් මමත් ඉක්මනට ආවා. ඒ වෙලාවේ තමයි අපි දැනගත්තෙ පීරාට පණ තියෙනවා කියලා. ඉතින් අපි ඉක්මනට පීරාව නාවලා හොඳට පිහදාලා පානදුර මානසික වාට්ටුවේ නතර කළා. කොහොම හරි රෝහලෙන් පීරාව තියාගන්න බෑ කියලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ නිසා වෛද්‍ය ශිවකුමාර මහතා මැදිහත් වෙලා නාගොඩ මානසික අංශයට යොමුකළා. මාස දෙකක් විතර පීරා අම්මා එතන ප්‍රතිකාර ගත්තා.
මනෝ වෛද්‍ය උපදේශන නිලධාරිනී ජේ.ඩී. නන්දනී ජයවර්ධන මහත්මිය පැවසීය.
පීරා පිරිසුදු කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. දිගට වැඩුණු නියපොතු ඉතා ඝනකමින් යුක්ත විය. කුණු දූවිලි බැඳී කැරලි සහිත කෙස්රොද පිරිසුදු කිරීමට ෂැම්පු බෝතල් දෙකක් යෙදවීය. ඒ සියල්ලටම වැඩියෙන් අපහසු වූයේ පීරාගේ වදින පහරවල්වලින් බේරීමත්, ඒවා ඉවසා සිටීමත්ය. කොන්දොස්තරවරියකව සිටින කාලයේ දී ඇය දරදඬු චරිතයක් විය. කාත් කවුරුවත් නැතිව පානදුර නගරයේ සිටි කාලයේ දී ඇය ගල්ගෙන මිනිසුන්ට දමා ගැසුවාය. එමෙන්ම රෝහලේ දී ඇය වෛද්‍යවරුන්ට හෙදියන්ට අතට හසුවන දෙයකින් දමා ගැසුවාය.
ඇත්තටම මට පීරා අම්මා ගැන ගොඩක් දුක හිතුණා. මොන දේ කළත් මේත් මනුස්සයෙක්නෙ. ඒ නිසා මම පානදුර සුජාතා වැඩිහිටි නිවාසයේ අසේල මහත්තයටයි ප්‍රියානි මිස්ටයි කතා කරලා විස්තරය කිව්වා. නාගොඩ වැඩිහිටි නිවාසයට පීරා අම්මව බාරගන්නම් කිව්වා. කොහොම හරි රෝහලෙන් පීරා අම්මව මම අරගෙන යද්දී මට ගහලා ත්‍රීවිල් එකෙන් පැනලත් ගියා. බොහොම අමාරුවෙන් තමයි අපි පීරා අම්මාව නිවාසයට ගෙනාවේ. ඒ එද්දීත් වෙලාව රෑ දහයහමාරට විතර ඇති...
නන්දනී ජයවර්ධන මහත්මිය පැවසීය.
ත්‍රීවිලරය එන අතරමඟ දීද පීරා කෑමට යමක් ඉල්ලීය. නමුත් ත්‍රීවිලරය නැවැත්වූ සැණින් පැන දුවාවි යැයි තිබූ සැකයට ත්‍රීවිලරය නතර නොකොට පීරාට වැඩිහිටි නිවාසයටම රැගෙන ආවේය. ආ සැණින් ඇයට බත් පිඟානක් අතට ලැබුණි. ඒ දෙස ටික වේලාවක් ඇය බලා සිටියාය.
මට ෂොපින් බෑග් එකක් ඕනේ.. පීරා විධානය දුන්නාය. කිවූ සැණින් ඇය අතට බෑගය ලැබුණි. පිඟානේ තිබූ බත් සියල්ල පීරා බෑගයට හැලුවාය. පිඟාන පසෙකට දැමුවාය. බෑගයට දැමූ බත් සියල්ල පීරා එකහුස්මට ගිල දැමුවාය. ඇයට පිඟන් කෝප්ප නුහුරු විය. ඇඳ ඇතිරිලි හුරැනොවිණි. කාලයක් යනතුරුම ඇය ඇඳේ නිදා නොගත්තාය. ඒ වෙනුවට ඇය ඇඳ පාමුල නිදාගත්තාය. කාලයක් තිස්සේ ඇගේ දෑතේ තිබූ සුදු යකඩ මුදු සියල්ල ගැලවුණි. එයින් එක් මුදුවක් කපා ඉවත් කිරීමට පවා සිදුවිණි.
අදද පීරා තම රෝගය සඳහා ප්‍රතිකාර ලබාගනී. ඇයට අද වනවිට සුනීතා වැඩිහිටි නිවාසයෙන් හව්හරණක් ලැබී ඇත. තනිව ජීවත්ව සමාජයට ශාප කළ පීරා අද මෙහි කාත් කවුරුවත් නැති වැඩිහිටියන් සමඟ දවස ගෙවයි.
මේ වනවිට ඇයට ජීවිතේ තවත් සුවිශේෂී තැනැත්තකු මුණගැසී හමාරය. ඒ ඇගේ පුතෙකි. කුඩා කලදීම ළමා නිවාසයට බාරදුන් එක් පුතෙකු වසර විසිපහකට පසුව තම මෑණියන් සොයා වැඩිහිටි නිවාසයට පැමිණ තිබුණි. මවත් පුතාත් මුණගස්වන්නට මූලික වූයේ පුතුගේ පෙම්වතියයි.
උඹ කසාද බඳින්න හදන්නෙ කාත් කවුරුවත් නැති අනාථ ළමා නිවාසයක කොල්ලෙක්..
පෙම්වතියට නිතරම බොහෝ දෙනකු මැසිවිලි නැගුවාය. මේ නිසාම තම පෙම්වතා ළමා කාලයේ සිටි ළමා නිවාසයට ගොස් බාරදුන් තැනැත්තා පිළිබඳව විමසීමේ දී ලිපිලේඛනවල මිසිලින් පීරිස් යැයි ලියැවී තිබුණි. අවසානයේ දී ඇයට තම අනාගත නැන්දනියව සොයාගැනීමට හැකිවිය.
තම මවගේ හැඩරුව ඇති පුතුගේ සුවඳින් පීරා තම පුතුව හඳුනාගත්තාය. ජීවිත කාලයටම පාවහන් නොදැමූ, මහපොළොවට ගිනියම් වූ කකුල්වලට තම පුතු ගෙනා පාවහන් යුගලය අදටත් පීරාට නුහුරු නුපුරුදුය. නමුත් ඇය අදටත් තම පුතු එනතුරු බලාසිටී. සෑම වසරකදීම සිංහල අලුත් අවුරුද්දට පීරාගේ පුතණුවන් තම මව දැකබලා ගැනීමට නිවාසයට පැමිණේ.
එදා වගේම අදටත් පීරා බුලත්විට කෑමට රුසියෙකි. අද ඉතා නිහඬ ජීවිතයක් ගෙනයන පීරාට ඇතැම් දේ අමතකය. වරින්වර මතකයට නැඟෙන දේ හැර ඇය අද නිහඬව ඈත බලාගෙන සිටී. කලක් මිනිසුන්ට පිළිකුලක් වූ පීරා අද ජීවිතේ සැනසීමෙන් සුජාතා නිවාසයේ ගත කරයි. මිනිසුන්ට ගල් ගැසූ දෑත් එක්කරම ඇය අපිට ආයුබෝවන් කියමින් සමුගනිද්දී ඒ දෑස්වල තිබූ බලාපොරොත්තු මොනවාදැයි අපි නොදන්නෙමු.
විශේෂ ස්තූතිය
නන්දනී ජයවර්ධන මහත්මිය
මනෝ විද්‍යා උපදේශන නිලධාරිනී
යූ.එස්. ප්‍රියානි මිය
ප්‍රධාන කළමනාකාරිනී - සුජාතා වැඩිහිටි නිවාසය - පානදුර
දිශානි ජයමාලි කරැණාරත්න
සේයාරූ/ සුමුදු හේවාපතිරණ
පසුබිම් වාර්තා - සමන් කාරියවසම්